රාජපක්ෂ පාලනයේ හත් අවුරුද්ද

November 27, 2011
Publication:
Mahinda Rajapaksa can be counted the most argued-about and the most powerful head of state Sri Lanka has produced since independence; before him that place belonged to J.R. Jayewardene. Five sections follow: social and family background, power and resolve, the lust for power, importance and power, and where it went wrong.

ජනාධිපති මහින්ද රාජපක්ෂ, නිදහසින් පසු ශ්‍රී ලංකාවේ බිහිවූ වඩාත්ම විවාදයට හේතුවූ හා බලවත්ම රාජ්‍ය පාලකයා ලෙස සැලකිය හැකිය. ඊට පෙර එම තත්ත්වය හිමි කරගෙන තිබුණේ ජේ.ආර්. ජයවර්ධනය. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ද බලවත් රාජ්‍ය පාලකයකු ලෙස සැලකිය හැකි වුවද අනෙකුත් බලවත් රාජ්‍ය පාලකයන් දෙදෙනාට සාපේක්ෂව ඔහුගේ පාලන කාලයට ආවේණික කෙටි බව ඔහුට ලැබෙන බලවත්කම සීමාකිරීමට හේතුවීයැ”යි කිව හැකිය. විධායක ජනාධිපති ක්‍රමයක් ඇති කිරීමට පෙර පැවති ලිහිල් දේශපාලන ක්‍රමය තුළ බිහිවූ නායකයන් අතුරින් සිරිමා බණ්ඩාරනායක බලවත්ම පාලිකාව ලෙස සැලකිය හැකිය.

රාජ්‍ය පාලකයකුගේ බලවත්කම කෙරෙහි දැඩි බවද වැදගත් සාධකයක් ලෙස ක්‍රියා කරයි. එහෙත් එය එකවිට හොඳට සේම නරකටද බලපෑ හැකිය. ලිහිල් දේශපාලන ක්‍රමයක් පැවති කාලයේ බලයට පත්වූ රාජ්‍ය නායකයන් අතුරෙන් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක සේ ම ඩඩ්ලි සේනානායකද දුර්වල නායකයන් ලෙස සැලකෙන්නේ තීන්දු ගැනීමේ ක්‍රියාවලියේදී ඔවුන් පෙන්නුම් කර තිබෙන අසමත්භාවය නිසාය. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැති ධුරයේ සිටින විට “සෙවළ බණ්ඩා” යන යෙදුම ඔහු හැඳින්වීම සඳහා සමකාලීන නායකයන් යොදාගත් ජනප්‍රිය පදයක් විය. එයින් අදහස් කැරුණේ සංකීර්ණ ප්‍රශ්නවලදී දැඩි තීන්දු ගැනීමේ ධෛර්යයක් ඔහුට නොතිබුණු බවය.

සමාජ හා පවුල් පසුබිම

සමාජ හා පවුල් පසුබිම අනුව වෙනත් නායකයන්ට සාපේක්ෂව ගත් විට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස සේ ම ජනාධිපති මහින්ද රාජපක්ෂද, ලිස්සන ගහේ මුදුනට නැගීමට අවශ්‍ය සමාජ හෝ පවුල් පසුබිමක් නැතිව ඒ තැනට පැමිණි නායකයන් දෙදෙනකු ලෙස සැලකිය හැකිය. ඩඩ්ලි සේනානායක හා ජේ.ආර්. ජයවර්ධන සේ ම සිරිමා බණ්ඩාරනායක හා චන්ද්‍රිකා කුමාරතුංගද එක්තරා විශාල ප්‍රමාණයකට උරුමය අනුව තේරී පත්වූ නායකයන් ලෙස සැලකිය හැකිය. ඒ උරුමය ඔවුන්ට නොතිබුණේ නම් ඔවුන් ඒ තත්ත්වයට ළඟා නොවන්නට ද ඉඩ තිබුණේය. එහෙත් රණසිංහ ප්‍රේමදාස හා මහින්ද රාජපක්ෂ එවැනි උරුමයකින් තොරව බලයට පැමිණි නායකයන් දෙදෙනකු ලෙස සැලකිය හැකිය. රාජ්‍ය නායකයන් බිහිකිරීම සඳහාම වෙන්වූ හා සූදානම් කළ බලවත් පවුල් කණ්ඩායම් දෙකක් රටේ තිබුණේය. රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අයිතිය තිබුණේද ඒ පවුල් කණ්ඩායම් දෙකටය. ඒ නිසා උරුමය හරහා බලයට පත්වීම ඉන් පිටස්තරව බලයට පත්වීමට වඩා පහසුවීයැ”යි කිව හැකිය.

ජනාධිපති රණසිංහ ප්‍රේමදාසට ධුර කාල දෙකක් බලයේ සිටීමට හැකිවී නම් එජාපයට උරුමය අනුව තිබෙන හිමිකමේද විශාල වෙනසක් ඇතිවන්නට ඉඩ තිබුණි. රණසිංහ ප්‍රේමදාසගේ මරණය නිසා පිටස්තරයකු අතට පත්ව තිබුණු පක්ෂය නැවත පැරණි හිමිකරුවන් අතට මාරුවිය. මහින්ද රාජපක්ෂ බලයට පත්වීමේ ක්‍රියාවලියද එක පවුලකට හිමිව තිබුණු පක්ෂයක අයිතිය වෙනස් කළේය. රණසිංහ ප්‍රේමදාස රාජ්‍ය නායකයා වී ඔහු පක්ෂයේද නායකයා වූ විට එතෙක් පැවති පක්ෂයේ නිලබලතන්ත්‍රය ඔහුගේ විශ්වාසයට හේතු නොවීය. ඔහුට එය පෙනුණේ පක්ෂයේ පැරණි උරුමකරුවන්ට සම්බන්ධ පවුල් කණ්ඩායමට පක්ෂපාත නිලබලතන්ත්‍රයක් ලෙසය. ඒ නිසා ඔහු එම තත්ත්වය වෙනස් කරගැනීමට උත්සාහ කළ අතර එම තත්ත්වය පෙරළා පක්ෂ අභ්‍යන්තරයේ ව්‍යාකූල තත්ත්වයක් ඇති කිරීමට හේතුවිය. මෙම සාධකය ජනාධිපති මහින්ද රාජපක්ෂ කෙරෙහිද බලපා තිබෙන බව පෙනේ.

ජනාධිපති රණසිංහ ප්‍රේමදාසට ඔහුගේ විශ්වාසයට හේතුවූ ලොකු පවුලක් නොසිටියේය. එහෙත් තිබෙන පුංචි පවුල බලවත් කරගැනීමට ඔහු උත්සාහ කළේය. පක්ෂයට ආධාර කළ සාම්ප්‍රදායික ධනවතුන්ට පක්ෂයේ පැරණි උරුමකරුවන් සමග තිබුණු බැඳීම් සලකා ඔවුන් මත මුළුමනින් යැපෙන තත්ත්වයකට යෑමෙන් වැළකී තමන්ගේ සමාජ හා පවුල් පසුබිමට ගැළපෙන නව ධනපති පන්තියක් ගොඩනගා ගැනීමටද ඔහු උත්සාහ කළේය. ජනාධිපති මහින්ද රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට සේ ම ඥාතීන්ටද සමීප සම්බන්ධයක් තිබුණු ලොකු පවුලකට උරුමකම් කී නායකයකු ලෙස සැලකිය හැකිය. ඒ නිසා ඔහුගේ පවුලට හා ඥාතීන්ට බර තබා ක්‍රියාකරන ප්‍රතිපත්තිය ප්‍රදර්ශනාත්මක තත්ත්වයක් හිමි කරගෙන ඇතැ”යි ද කිව හැකිය.

රාජ්‍ය බලයට උරුමකම් කී සාම්ප්‍රදායික පවුල් කණ්ඩායම් දෙක ඉතා ඈත ඉතිහාසයක සිට නොවූවත්, එක පවුලක් ලන්දේසි කාලයේ සිටද තවත් පවුලක් ඉංග්‍රීසි යුගයේ මැද භාගයේ සිටද ප්‍රභූ තත්ත්වයක් හිමිකරගෙන සිටි පවුල් කණ්ඩායම් දෙකක් ලෙස සැලකිය හැකිය. නිදහසින් පසු මාරුවෙන් මාරුවට රාජ්‍ය බලය දරන තත්ත්වයක් තුළ තවදුරටත් එම පවුල් දෙක තම තමන්ට හිමි ප්‍රභූත්වය හා ධන බලය ක්‍රමානුකූලව වර්ධනය කරගත්තේය. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස පතුලෙන්ම පැමිණි නායකයෙකි. ඒ නිසා ඔහුගේ ඥාති මිත්‍ර හා පන්ති සංග්‍රහය ඉහත කී පවුල් දෙකේ ඥාති මිත්‍ර හා පන්ති සංග්‍රහයට වඩා කැපී පෙනෙන තත්ත්වයක තිබුණේයැ”යි කිව හැකිය. ධනවත් තත්ත්වයක සිටින කෙනෙකුට දෙන ලොකු දෙයකට වඩා දුප්පත් තත්ත්වයක සිටින කෙනකුට දෙන පොඩි දෙයක් වුවත් වඩා කැපී පෙනෙන්නේය. මහින්ද රාජපක්ෂ රණසිංහ ප්‍රේමදාස මෙන් පහළින්ම පැමිණි කෙනකු නොව මැද තත්ත්වයකින් පැමිණි කෙනෙකි. සේනානායකවරුන් හා බණ්ඩාරනායකවරුන් ජාතික මට්ටමෙන් ප්‍රභූ තත්ත්වයක් හිමිකරගත් පවුල් දෙකක් වන විට රාජපක්ෂවරුන් හිමි කරගෙන තිබුණේ ප්‍රාදේශීය මට්ටමේ ප්‍රභූ තත්ත්වයක් පමණය. එම පවුල රටේ කැපී පෙනෙන ධනවතුන් නොවීම හේතු කොටගෙන ඔහුගේ පවුල්, ඥාති මිත්‍ර හා පන්ති සංග්‍රහය ප්‍රදර්ශනාත්මක තත්ත්වයක් හිමි කරගෙන තිබෙන බවද කිව හැකිය.

බලය හා අධිෂ්ඨානය

රාජ්‍ය බලයට උරුමකම් කී සාම්ප්‍රදායික පවුල් කණ්ඩායම් දෙකෙන් බිහිවන නායකයන්ට බලයට පත්වීම සඳහා විශාල අධිෂ්ඨානයක් අවශ්‍ය වූයේ නැත. එවැනි කිසියම් අධිෂ්ඨානයක් අවශ්‍ය වූයේ ඒ පවුල් කණ්ඩායම් දෙකේ පුරෝගාමීන්ට පමණය. එහිදීත් ඔවුන්ට තිබූ වාසිදායක වටාපිටාව නිසා අවශ්‍ය වූයේ කිසියම් අධිෂ්ඨානයක් මිස ලොකු අධිෂ්ඨානයක් නොවේ. සේනානායක පවුල් කණ්ඩායමේ පළමු අදියරේදී පිළිගත් දේශපාලන නායකයාව සිටියේ එෆ්. ආර්ය. දේශපාලනය සඳහා ඇප කැපවූයේද ධනය වැය කළේද ඔහුය. ඩී.එස්. සිය සහෝදරයාගේ හොඳ ආධාරකරුවෙක් පමණක් විය. එෆ්.ආර්.ගේ මරණයෙන් පසුව එම පවුල් කණ්ඩායමට පිළිගත හැකි තත්ත්වයක සිටියේ ඩී.එස්.ය. ඒ අර්ථයෙන් ඩී.එස්. අහම්බයෙන් පහළ වූ නායකයකු ලෙස සැලකිය හැකිය. එහෙත් සිය සහෝදරයාගේ මරණයෙන් පසුව ලිස්සන ගහේ මුදුනට නැගීම සඳහා වන දක්ෂ හා සටකපට වැඩපිළිවෙළක් ඔහු ඇති කරගත්තේය. ඉන්පසු ඔහුගේ අනුප්‍රාප්තිකයන්ට ලිස්සන ගහේ මුදුනට නැගීම සඳහා විශාල අධිෂ්ඨානයක් අවශ්‍ය වූයේ නැත.

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකටද ප්‍රමුඛයා වීම සඳහා වන අධිෂ්ඨානයක් තිබුණේයැ”යි කිව හැකිය. ලන්දේසි කාලයේ සිට බ්‍රිතාන්‍ය යුගයේ මැද භාගය තෙක්ම පහතරට මුහුදුබඩ පළාත්වල ස්වදේශිකයන් අතර ප්‍රමුඛ තත්ත්වයක් හිමි කරගෙන සිටියෝ බණ්ඩාරනායකවරුය. ඒ තත්ත්වය තමන්ගේ අයට අහිමි කොට සේනානායකවරුන් ප්‍රමුඛ තත්ත්වයක් හිමිකර ගැනීම බණ්ඩාරනායකගේ කනස්සල්ලට හේතුවී තිබුණායැ”යි කිව හැකිය. ඔහු කල් පසුවී හෝ සිය අරමුණ ජයගත්තේය. ඉන්පසු ඔහුගේ අනුප්‍රාප්තිකයන්ට ලිස්සන ගහේ මුදුනට නැගීමට අධිෂ්ඨානයක් අවශ්‍ය වූයේ නැත. මෙම පවුල් කණ්ඩායම් දෙකට රාජ්‍ය බලය සඳහා අයිතිවාසිකම් කිවහැකි පක්ෂ දෙකක් තිබුණු අතර බලයට පත්වීම සඳහා විශාල අධිෂ්ඨානයක් අවශ්‍ය වූයේ මේ පවුල් ප්‍රවාහයෙන් පිටස්තරව ඒ අරමුණ කරා ළඟාවීමට සිහින දකින්නන්ටය.

ඒ අර්ථයෙන් ඉතාමත් විප්ලවකාරී ලෙස කල්පනා කළ නායකයා ලෙස සැලකිය හැක්කේ රණසිංහ ප්‍රේමදාසය. රාජ්‍ය නායකත්වය සඳහා වර්ගය, ආගම හා කුලය, ප්‍රභූ බව හා ධනය යන සාධක බලපායි. ආගම වෙනස් කළහැකි දෙයක් වූ බැවින් අන් සියලු සුදුසුකම් තිබියදී තමන් අදහන ආගම පමණක් ඊට බාධාවක් විය හැකි බව පෙනෙන විට රාජ්‍ය නායකයන් වීමට සිහින දකින අය කල්තියා ආගම වෙනස් කළෝය. වැඩිදෙනා අදහන ආගම වැළඳ ගත්තෝය. එහෙත් කුලය වෙනස් කළ නොහැකිය. ඒ සුදුසුකම නොතිබියදීත් රණසිංහ ප්‍රේමදාස රටේ රාජ්‍ය නායකයා වීමට සිහින දැක්කේය. ඒ සිහිනය සැබෑ කරගැනීමටද ඔහු සමත් විය. එහෙත් රටේ ලේ වැගිරෙන කැරැල්ලක් නොතිබුණේ නම් සමහරවිට ඔහුගේ සිහිනය සැබෑ නොවන්නටද ඉඩ තිබුණේය. රටේ පැවති ප්‍රචණ්ඩ වාතාවරණය තුළ ජනතාවට රණසිංහ ප්‍රේමදාසගේ කුලය නොපෙනුණද රට නැවත යථා තත්ත්වයට පත්වීමෙන් පසු ජනතාවට ඔහුගේ කුලය පෙනෙන්නට පටන් ගත්තේය. ප්‍රේමදාස ජනාධිපතිවරයා කෙරෙහි සමාජයේ වර්ධනයවෙමින් පැවති නොකැමැත්ත කෙරෙහි කුලයද වැදගත් සාධකයක් සේ බලපෑවේය.

මහින්ද රාජපක්ෂයට වර්ගය, ආගම හා කුලය යන සුදුසුකම් තුනම තිබුණේය. එහෙත් ප්‍රභූ බලයක් හෝ ධන බලයක් නොතිබුණේය. ඒ දෙක නැතුවත් ඔහු රටේ රාජ්‍ය නායකයා වීමට සිහින දැක්කේය. ඒ සිහිනය සැබෑ කරගත්තේය. එහෙත් ඒ සිහිනය සැබෑ කරගැනීමට ඔහුට තමන් අකමැති නායිකාවක යටතේද වසර 11ක්ම වැඩ කරන්නට සිදුවිය. ඒ වසර 11 සිදුවූ මදිපුංචිකම් ඔහු ඉවසා දරාගෙන සිටියේය.

පහසුවෙන් බලය ලබාගන්නා නායකයකුට වඩා, දුෂ්කර ලෙස බලය ලබාගන්නා නායකයකු ලැබුණු බලය ආරක්ෂා කරගන්නා අතර, හැකියාවක් ඇතොත් එය දීර්ඝ කරගැනීමට වැඩි උනන්දුවක් දක්වන්නේයැ”යි කිව හැකිය. ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතනයට ලක් නොවී සිටියේ නම් 1994දී ආණ්ඩු වෙනසක් ඇති නොවන්නට පවා ඉඩ තිබුණේය. ඔහු ජීවතුන් අතර සිටියේ නම් ජනාධිපති විජේතුංග මෙන් නොව වඩා තීක්ෂ්ණ ලෙස ක්‍රියාකරනු ඇතැ”යි සිතිය හැකිය. ජනාධිපති මහින්ද රාජපක්ෂද ධුර කාල දෙකක් සඳහා පැවති සීමා නියමය ඉවත් කිරීමෙන් පෙන්නුම් කර තිබෙන්නේද බලය සඳහා වන මහින්ද රාජපක්ෂ සිහිනය කෙටිකාලීන නොවන බවය. එම ක්‍රියාව බල තෘෂ්ණාව පෙන්නුම් කරන අවස්ථාවක් ලෙසද විස්තර කළ හැකිය. ඒ සඳහා පැවති සීමාව ඉවත් කිරීම යහපත් දෙයක් ලෙස සැලකිය නොහැකි වුවද ඔහු ඒ ආකාරයට කල්පනා කළ පළමු නායකයා ලෙස සැලකීම වැරදිය. පූර්වගාමීන් කරන ලද වැරදි අනුප්‍රාප්තිකයකු විසින්ද සිදුකළ විට එය සාධාරණ ලෙස දැකීම නිවැරදි නොවන්නා සේ ම, පූර්වගාමීන් කරන ලද සමාන වැරදි මුළුමනින් නොසලකා අනුප්‍රාප්තිකයා කරන වැරදි පමණක් වැරදි ලෙස දැකීම ද වැරදිය.

බලලෝභය

මෙම දූෂිත දේශපාලන ක්‍රමය ඇති කළ ජේ.ආර්. ජයවර්ධන ලිස්සන ගහේ මුදුනට නැග ගන්නේ වයස අවුරුදු 71දීය. මෙම ක්‍රමය සකස් කිරීමේදී ඔහු සමහර අංශවලදී ඇමරිකන් ක්‍රමය ආදර්ශයට ගත්තද, ධුර කාලයක් සඳහා ඇමරිකාවේ පවතින කාල නියමය ආදර්ශයට ගත්තේ නැත. ඔහු ධුර කාලයක කාල නියමය අවුරුදු 6ක් බවට පත් කළේය. ඒ අනුව ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයකුගේ ධුර කාල දෙකක් ඇමරිකන් ජනාධිපතිවරයකුගේ ධුර කාල තුනකට සමානය. අවුරුදු 71ක් යනු තරුණ වයසක් නොව මහලු වයසකි. එසේ තිබියදීත් ජේ.ආර්. ජයවර්ධන අවුරුදු 12ක පාලනයක් ගැන සිහින දැක්කේය. දෙවැනි ධුර කාලය සඳහා පැවති ජනාධිපතිවරණය එම ධුර කාලය ඉකුත් වන්නට පෙර පැවැත්වීම නිසා ඔහුගේ ධුර කාල දෙකේ මුළු කාලය එක වසරකින් අඩුවිය. ඔහුගේ වසර 11 කාලය අවසන්වීමට ආසන්න තැනකට එමින් තිබෙන විට වයස අවුරුදු 82ක් වූ එම මහලු නායකයා තුන්වැනි ධුර කාලයක් සඳහාද සිහින දැක්කේය. එම අයිතිය හිමිකර ගැනීම සඳහා වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක්ද සකස් කරගෙන තිබුණු බව මහාචාර්ය කේ.එම්. ද සිල්වාගේ ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානයේ සඳහන් වේ. එහෙත් ජේවීපී කැරැල්ල ඔහුගේ එම සිහිනය බොඳ කළේය. කැරැල්ලට අගමැති ප්‍රේමදාසගේ ගැඹුරු සම්බන්ධයක් ඇතැ”යි ඔහු විශ්වාස කළේය. තුන්වැනි ධුර කාලයක් සඳහා ප්‍රසිද්ධියේ පෙනීසිටි ඔහුගේ සමීප ආධාරකරුවන් දෙදෙනකු කැරලිකරුවන් විසින් මරා දැමූ විට තමන්ගේ වැඩසටහන ඉදිරියට ගන්නට ඔහු බිය විය. ඔහු යෂ්ටිය ප්‍රේමදාස අතට දී විශ්‍රාම ගියේය.

ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගද තුනෙන් දෙකක බලයක් නොතිබියදී හා ජනාධිපති අපේක්ෂකකම මහින්දට ලබාදී තිබියදීත් තුන්වැනි ධුර කාලයක් හෝ වෙනත් ආකාරයකින් හෝ තවදුරටත් බලයේ රැඳී සිටීමට සිහින දැක්කාය. ඇගේ එම සිහිනය බොඳ කළේ ඇගේ පුරෝහිත බමුණා ලෙස සැලකිය හැකි අගවිනිසුරු සරත් නන්ද සිල්වාය. බල්ලා මියයන්නට ආසන්න තත්ත්වයකට පැමිණ ඇති විට ඒ බව කල්තියා දැනගන්නෝ උගේ ඇඟේ ජීවත්වන බලුමැක්කෝ්ය.

බලයට විහාල ආශාවක් ඇති අය පුළුවන්කමක් ඇතොත් බලය අත්හරින්නේ නැත. එසේ නොවන අය සිටිය හැක්කේ ඉතා කලාතුරකින් පමණය. කලාතුරකින් හෝ පහළ වන එවැනි අය සැලකියයුත්තේ දේශපාලකයන් ලෙස නොව මුනිවරුන් ලෙසය. මෙය ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතියට පසුකලෙක එකතු වී තිබෙන නරක ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. රනිල් වික්‍රමසිංහ තරම් ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ගැන කතා කරන වෙනත් නායකයකු රටේ නැති තරම්ය. එහෙත් ඔහු පක්ෂ නායකත්වයේ එල්ලී සිටින්නේ ඒකාධිපති නායකයකු ලෙසය. බාල තම්පෝ ඉතාමත් දක්ෂ ශක්තිමත් වෘත්තීය සමිති ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය නායකයෙකි. එහෙත් ඔහුගේ වෘත්තීය සමිති ව්‍යවස්ථාව සකස් කර තිබෙන්නේ මැරෙන තෙක් නායකත්වය ඔහු අත තිබෙන ආකාරයටය. ලෙනින් සැලකිය හැක්කේ තමන් වෙත ගැලවුම්කාර භූමිකාවක් ආරෝපණය කරගත් එක්තරා විශාල ප්‍රමාණයකට ආගමික නායකයකු බඳු නායකයකු ලෙසය. ඔහු පවා විවේචකයන් ප්‍රිය නොකළේය. ට්‍රොට්ස්කි, බුඛාරින්, කමනෙව්, සිනොවියෙව් වැනි ඔහුගේ සමහර අදහස් විවේචනයට ලක් කරන නායකයන්ට වඩා තමන් කියන හැමදෙයක්ම අනුමත කරන ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියාකළ ස්ටාලින් ප්‍රිය කළේය. ලෙනින්ට ස්ටාලින් අලුගෝසුවකු ලෙස පෙනෙන විට ස්ටාලින් සිටියේ ආපසු හැරවිය නොහැකි තරමකට දුරගිය තත්ත්වයකය. ලෙනින් බලය පිළිබඳ විෂයයේදී කොතරම් සංවේදී වීද කියතොත් සාර් රජ පරපුරට උරුම කියන පුංචි දරුවකු පවා ජීවත්වනවා දකින්නට ඔහු කැමති නොවීය.

තනි පුද්ගලයකු අතට අතිවිශාල බලයක් ලබාදෙන දේශපාලන ක්‍රමයක් ඒකාධිපති ක්‍රමයකට පරිවර්තනය කිරීමද පහසුය. තිබුණු පැරණි ලිහිල් ක්‍රමය, එක පුද්ගලයකු අතට පූර්ණ බලය ලබාදෙන ක්‍රමයක් නොවීම නිසා එකල ඒකාධිපති පාලනයක් සඳහා වන සිහින දකින්නෝද නොසිටියෝය. මෙම දේශපාලන ක්‍රමය තුළ දීර්ඝකාලීන බලයක් සඳහා සිහින දකින තැනක සිටි එකම පුද්ගලයා මහින්ද රාජපක්ෂ නොවන අතර මීට පෙර එසේ සිහින දකින ලද නායකයන් කොතරම් බලවත් වුවද මොන මොන හේතු නිසා හෝ ඒ සිහින සැබෑ කරගැනීමට ඔවුන් සමත් නොවූ බවද කිවයුතුය.

වැදගත් හා බලවත්කම

නිදහසින් පසුව බලයට පැමිණි නායකයන් අතරින් වැදගත්කමේදී හා බලවත්කමේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට අංක 1 හිමිව තිබෙන්නේ ඔහුගේ පාලන කාලය තුළ ලෝකයේ තිබුණු බිහිසුණුම ත්‍රස්තවාදී ව්‍යාපාරය ලෙස සැලකිය හැකි ප්‍රභාකරන්ගේ එල්ටීටීඊ ව්‍යාපාරය පරාජය කිරීම නිසාය. එය රටේ ඉදිරි ගමනට තිබුණු ලොකුම බාධකය වීයැ”යි කිව හැකිය. ඔවුන් තත්ත්වාකාර රාජ්‍යයක් ගොඩනගා ගනිමින් දශක දෙකකටත් වැඩි කාලයක් එය පවත්වාගෙන යෑමට සමත්ව තිබුණු අතර එය ඊලාම් රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීම ඔවුන්ගේ නොවෙනස්වන ඉලක්කය වී තිබුණේය. ඒ අරමුණ යුදමය වශයෙන් හා සාකච්ඡාමය වශයෙන් පරාජය කිරීමට දරන ලද හැම උත්සාහයක්ම අසාර්ථක වී ඔවුන් යුදමය වශයෙන් පරාජය කළ නොහැකි අපරාජිත ව්‍යාපාරයක තත්ත්වය හිමිකරගෙන තිබුණේය. එල්ටීටීඊයේ පැවැත්ම දෙමළ නොවන ජනයාට පමණක් නොව දෙමළ ජනයාටද මරණ බියෙන් යුතුව ජීවත්විය යුතු වටාපිටාවක් ඇති කර තිබුණේය.

පිළිගත් දේශීය හා ජාත්‍යන්තර විශ්වාසයන්ට පටහැනිව යමින් එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කිරීම සඳහා වන ශක්තිමත් වැඩසටහනක් ජාත්‍යන්තරයෙන් එල්ලවෙමින් තිබූ බලපෑම් නොසලකා ඔහු විසින් දියත් කළා පමණක් නොව, එය ආශ්චර්යමත් ආකාරයකින් ජයගැනීමටද සමත් විය. යුදබිමේදී සිය යුතුකම් හා වගකීම් නිර්මාණශීලී හා ප්‍රශස්ත ලෙස ඉටුකරන ලද වීරයෝ ද සිටියෝය. එසේ තිබියදීත් එම ජයග්‍රහණයේ ලොකුම ගෞරවය හිමිවිය යුතුව තිබුණේද රටේ ජනතාව හිමිකර දුන්නේද මහින්ද රාජපක්ෂටය. එල්ටීටීඊය හා ඔවුන් පවත්වාගෙන ගිය තත්ත්වාකාර රාජ්‍යය අවසන් කැරෙන ආකාරයට ලැබූ එම යුද ජයග්‍රහණය නිදහසින් පසුව රටේ සිදුවූ ලොකුම දේශපාලන සංසිද්ධිය ලෙසද සැලකිය හැකිය. ජනාධිපති මහින්ද රාජපක්ෂ නිදහසින් පසු මෙතෙක් ඇතිවූ ජනනායකයන් අතරින් වඩාත්ම වැදගත්ම හා බලවත්ම ජනනායකයා බවට පත්වන්නේද ඒ ක්‍රියාවේ ප්‍රතිඵලයක් වශයෙනි.

එහෙත් ඔහු ලැබූ එම ඓතිහාසික ජයග්‍රහණය ඉන්පසු ඉදිරියට ගෙන ගිය ක්‍රියාමාර්ගයන් තුළ ජනනායකයකු වශයෙන් ඔහුගේ ශක්තිය පමණක් නොව, සීමාවන්ද හොඳින් කැටිකර තිබුණේයැ”යි කිව හැකිය.

ප්‍රභාකරන්ගේ ව්‍යාපාරය පරාජය කිරීම වෙනුවෙන් එම උද්වේගකර මොහොතේම ලියන ලද ලිපියකින් මා කීවේ එම ජයග්‍රහණය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා නූතන ශ්‍රී ලංකාව බිහිකළ ලොකුම ජාතික වීරයා බවට පත්කරන බවය. එහෙත් එසේ ලැබුණු වීරත්වය පරිපූර්ණවීමට නම් රටේ පවතින දූෂිත දේශපාලන ක්‍රමය වෙනස් කරන අතර වර්ගය, ආගම හා කුලය මුල් කොටගෙන ඇතිවී තිබෙන ප්‍රශ්නවලටද සාධාරණ විසඳුමක් ලබාදිය යුතුව තිබෙන බවය.

වැරදුණු තැන්

එහෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එසේ සිතන බවක් පෙනෙන්නට නොතිබුණි. ප්‍රභාකරන් සමග ඔහුගේ තත්ත්වාකාර රාජ්‍යය පරාජය කිරීමෙන් පසු තිබෙන දූෂිත දේශපාලන ක්‍රමය වෙනස් නොකොට එසේම තබා ගනිමින්, දශක තුනකට වැඩි කාලයක් තිස්සේ කෙළවරක් නැති තරමට ලේ වැගිරෙන වටාපිටාවක් තුළ අන්තර් වර්ග, අන්තර් ආගම් හා අන්තර් කුල සම්බන්ධතාවල හා ජන ජීවිතයේ ඇතිවී තිබුණු මහා විකෘති කිරීම් නිවැරදි කොට නැවත යථා තත්ත්වයට පත් කැරෙන ප්‍රතිසංස්කරණ වැඩසටහනකින් තොරව ද්‍රව්‍යමය දේවලට පමණක් මුල්තැන දෙන දැවැන්ත සංවර්ධන වැඩසටහනකින් පමණක් සාර්ථක ඉදිරි ගමනක් යා හැකිවනු ඇතැ”යි ජනාධිපතිවරයා කල්පනා කළ බවක් පෙනෙන්නට තිබේ. ජනාධිපතිවරයා ඒ මගින් වීරත්වය පරිපූර්ණ කරගැනීමට තිබුණු මහඟු අවස්ථාව අහිමි කරගත්තේය.

මහින්ද රාජපක්ෂ පාලනයේ හත් අවුරුද්දට ආවේණික ශක්තීන් නොසලකා සීමාසහිතකම් පමණක් සැලකිල්ලට ගන්නේ නම්, ඒවා අතර පහත සඳහන් දේවල් ප්‍රධානය.

1. ප්‍රභාකරන්ගේ තත්ත්වාකාර රාජ්‍යය පරාජය කොට ද්‍රව්‍යමය වැදගත්කමක් ඇති සමහර දේවල් දෙමළ ජනතාවට ලබාදී ඇතත්, දෙමළ ජනතාවට හිමි ගෞරවය නැවත ප්‍රතිස්ථාපනය කිරීමට සමත්ව නැත.

2. දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ රටේ ඇතිවූ සිංහල-දෙමළ සන්නද්ධ කැරලි හා ඒවා මර්දනය කිරීම සඳහා දියත් වූ යුද ව්‍යාපාර තුළ විකෘති වී තිබෙන මනුෂ්‍යත්වය හා මනුෂ්‍ය සම්බන්ධතා යළි ප්‍රතිසංවිධානය කිරීමේ අවශ්‍යතාව තේරුම් ගැනීමට සමත්ව නැත.

3. ඉහවහා ගිය දූෂණය රටේ ඉදිරි ගමනට අවශ්‍ය කරන ලොකු බාධකයක් බව තේරුම් ගනිමින් එය මර්දනය කිරීමේ වැදගත්කම තේරුම් ගැනීමට සමත්ව නැත.

4. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාද බලයට පත්වූයේ විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කරන බවට ජනතාවට සහතික වෙමිනි. එහෙත් විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යෑමෙන් නොනැවතී ධුර කාල දෙකක් සඳහා පැවති සීමාව ඉවත් කිරීමෙන් දේශපාලන ක්‍රමය ප්‍රතිසංවිධානය කිරීමේ අවශ්‍යතාව මුළුමනින් නොසලකා හැර තිබේ.

5. ජෙනරාල් ෆොන්සේකා සම්බන්ධයෙන් පවත්වාගෙන යන දරදඬු ප්‍රතිපත්තිය ජනාධිපතිවරයාගේ සහ ආණ්ඩුවේ දේශපාලන ප්‍රතිරූපය අවලස්සන කිරීමට හේතුවී තිබෙන වැදගත් සාධකයක් බව තේරුම් ගැනීමට ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව සමත් වී නැත. ජෙනරාල් ෆොන්සේකාට ආවේණික සීමිතකම් තිබියදීත් ඔහු යුද්ධයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළ වීරයෙකි. ඔහු ජනාධිපතිවරණයෙන් ජය ලැබී නම් සමහරවිට රාජපක්ෂ පාලනය ඔහු සම්බන්ධයෙන් දැන් අනුගමනය කරන දරදඬු ප්‍රතිපත්තියටත් වැඩි දරදඬු ප්‍රතිපත්තියක් රාජපක්ෂ පවුලේ අය සම්බන්ධයෙන් ඔහු අනුගමනය කරන්නට ඉඩ තිබුණු බවද සත්‍යයකි. මෙම වීරයන් දෙදෙනා අතර පැවති තරගයේදී මහජනයා විශාල බහුතර ඡන්දයකින් තෝරාගත්තේ මහින්ද රාජපක්ෂ මිස සරත් ෆොන්සේකා නොවේ. එහෙත් ඒ තරගයේදී සරත් ෆොන්සේකාට එරෙහිව මහින්ද රාජපක්ෂට ඡන්දය දුන් ජනතාව අතර පවා සරත් ෆොන්සේකා පිළිබඳව කිසියම් කෘතවේදී හැඟීමක් තිබුණේය. එම ජනයා සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරන දරදඬු ප්‍රතිපත්තිය අනුමත කරන්නේ නැත.

6. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සමහර ප්‍රතිපත්ති යහපත් හා ඉදිරිගාමීය. එහෙත් එවැනි ප්‍රතිපත්ති පවා සන්නිවේදනය කරමින් තිබෙන්නේ ඉතාමත් දුර්වල ආකාරයකටය. පෞද්ගලික විශ්වවිද්‍යාල ක්‍රමයකට ඉඩදීමට ගෙන තිබෙන තීන්දුව ඉදිරිගාමීය. එහෙත් ජනතාවගේ විශ්වාසයට හා පිළිගැනීමට හේතුවන ලෙස එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සමත් වී නැත. ආණ්ඩුවේ ත්‍රෛභාෂා ප්‍රතිපත්තියද සමහර සීමාවන් තිබියදීත් ඉදිරිගාමී ප්‍රතිපත්තියක් ලෙස සැලකිය හැකිය. එය වඩාත්ම සහනශීලී වන්නේ දෙමළ ජනතාවටය. එහෙත් එය තවමත් දෙමළ ජනතාවගේ ගෞරවයට හේතුවන වැඩපිළිවෙළක් බවට පත්කිරීමට හැකිවී නැත. යුද්ධය අවසන්වීමෙන් පසුව ආරක්ෂක හමුදාවල අතිරික්ත පිරිස් වහා ගෙදර යවන ප්‍රතිපත්තියක් වෙනුවට ඔවුන් සංවර්ධන කටයුතුවලට යොදාගැනීම ඵලදායී හා ප්‍රායෝගික ප්‍රතිපත්තියක් ලෙස සැලකිය හැකිය. එහෙත් එය ක්‍රියාවට නගා තිබෙන ක්‍රමවේදය මහජනයා තුළ හොඳ හැඟීමක් ඇති කිරීමට හේතුවී නැත. නිදහස් වෙළෙඳ කලාපවල වසා තිබෙන කර්මාන්තශාලා ඈවර කොට පාවිච්චි කළ රජයේ ඉඩම්, කර්මාන්තශාලාවල ඉතිරි වී තිබෙන දේවල් නැවත රජයට පවරා ගැනීමේ අදහසද යහපත් හා කළ යුතුව තිබුණු දෙයකි. එයින් විවාදයට හේතුවන්නේ එජාපයේ බරපැන උසුලන්නකු ලෙස ක්‍රියාකරන දයා ගමගේ, ව්‍යාපාරයද එම ලැයිස්තුවට ඇතුළත් කර තිබීම පමණය. එහෙත් එම වැඩසටහන ක්‍රියාවට නගන්නට ගිය ආකාරය සමස්ත ක්‍රියාවලියටම දුෂ්ට පෙනුමක් ලබා දුන්නේය. පුද්ගලික අංශයට පවරාදී තිබෙන රජයේ ඉඩම් ඇති කරගත් කොන්දේසිවලට අනුකූලව පවත්වාගෙන යන්නේද යන්න සොයා බලන තැනකට යෑමද නරක දෙයක් නොව හොඳ දෙයකි. එහෙත් ඒ හොඳ දේ කළයුත්තේ පළිගැනීමේ සැඟවුණු අරමුණක් නැතිව යහපත් අරමුණින් කරන දෙයක් බව මහජනතාවටද පෙනෙන ආකාරයටය.

ජනාධිපතිවරයා සේ ම ආණ්ඩුවද මෙම හත් අවුරුදු සැමරුම ප්‍රධාන කොට පාවිච්චි කළ යුතුව තිබෙන්නේ ගතවූ වසර හත දෙස විවේචනාත්මක ආපසු හැරී බැලීමක් සඳහාය. මෙතෙක් කරන ලද හරි දේවල් සේ ම වැරදි දේවල්ද හඳුනාගැනීම සඳහාය.

මකියවෙලි කියා තිබෙන ආකාරයකට පාලකයකුට ජනතාව පාලනය කිරීම සඳහා තෝරාගත හැකි ක්‍රම දෙකක් ඇත්තේය. මහජනයාගේ ගෞරවයට හේතුවෙමින් මහජනයාගේ අවනතභාවය ලබාගැනීම එක ක්‍රමයකි. මහජනයා භීතියට පත් කොට ඔවුන්ගේ අවනතභාවය ලබාගැනීම තවත් ක්‍රමයකි. ඉන් ප්‍රශස්ත හා කල්පවතින ක්‍රමය වන්නේ පළමු ක්‍රමයයි.

##