අන්තර්ජාතික අවුල ලිහාගැනීම

May 15, 2011
Publication:
The government had a programme with a strong vision for defeating Prabhakaran's separatist terrorism at home. It had no such vision for the international questions that would follow the victory: it failed to see them coming, and even once they had become serious it did not manage to build a programme with a strong forward vision for meeting them.

ආණ්ඩුවට දේශීය වශයෙන් ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදී බෙදුම්වාදී ව්‍යාපාරය පරාජය කිරීම සඳහා ශක්තිමත් දර්ශනයක්් සහිත වැඩපිළිවෙළක් තිබුණේය. එහෙත් එම යුද්ධය ජයගැනීමෙන් පසු ජාත්‍යන්තර වශයෙන් ඇතිවන ප්‍රශ්න ජයගැනීම සඳහා වන ශක්තිමත් ඉදිරි දර්ශනයක් ආණ්ඩුවට නොතිබුණේය. ආණ්ඩුව එම ප්‍රශ්න කල් තියා දකින්නට අසමත්වූවා පමණක් නොව ප්‍රශ්න බරපතළ ලෙස මතුවන්නට වූ පසුව වත් ඒ තත්ත්වයට සාර්ථක ලෙස මුහුණදීම සඳහා ශක්තිමත් ඉදිරි දර්ශනයක් සහිත වැඩපිළිවෙළක් ඇතිකර ගැනීමට සමත් වූයේ නැත.

ලෝකයේ බලවත්කමින් අංක එකට තිබුණු ත්‍රස්තවාදී සංවිධානයක් යුදමය වශයෙන් පරාජය කරන්නට සමත් වූ ආණ්ඩුව ඉන්පසු එළැඹෙන සාම කාලය තුළ ජාත්‍යන්තර තලයේ එල්ටීටීඊ හිතවාදී දෙමළ ඩයස්පෝරාව සමග කෙරෙන මතවාදී අරගලය ජයගැනීමට අසමත්වීම මගින් යුද්ධයෙන් හිමි කරගත් සියලු ජයග්‍රහණයන්ගේ ඵල අහිමි කරගන්නා තර්ජනයකට මුහුණදී සිටින්නේය.

දැන් ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදී ව්‍යාපාරය දර්ශනයේ නැත. ප්‍රභාකරන්ගේ ව්‍යාපාරය පරාජය කිරීමෙන් අවසාන විග්‍රහයේදී අපේක්ෂා කළේ ශ්‍රී ලංකා රාජ්‍යයට යුදමය වශයෙන් එල්ලවෙමින් තිබුණු දරුණු ප්‍රහාරයන්ගෙන් අත්මිදී රාජ්‍යයේ පැවැත්ම ආරක්ෂා කරගනිමින් රාජ්‍යයේ කටයුතු බාධාවකින් තොරව ඉදිරියට ගෙනයා හැකි තත්ත්වයක් දිනාගැනීමය. එහෙත් දැන් ප්‍රභාකරන් හෝ එල්ටීටීඊය නැතත් සිදුවී ඇත්තේ දේශීය වශයෙන් එල්ල වන ප්‍රහාරයක් වෙනුවට රාජ්‍යය ජාත්‍යන්තර ප්‍රහාරයන්ට ලක්වන තත්ත්වයකට පත්වීමය. එම ප්‍රහාරයන්ගේ ස්වරූපය යුදමය ස්වරූපයක් ගෙන නැතත් ඒ මගින් ශ්‍රී ලංකා රාජ්‍යයට සිදුවෙමින් තිබෙන හානිය ප්‍රභාකරන්ගේ එල්ටීටීඊයෙන් එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර නිසා සිදුවූ හානියටත් වඩා බරපතළය.

වළක වැටීම මොළයට ලාභයකි

වළක වැටීම මොළයට ලාභයක් බව කියා ඇත්තේ මාඕ සේතුංය. වළක නොවැටී සිටින්නට තරම් ඥානය තිබුණේ නම් වඩා හොඳය. අනෙක් අතට වළක වැටුණු පසුත් ඉන් ගොඩඑන්නට අවශ්‍ය කරන ඥානය පහළ නොවන්නේ නම් මුහුණ දෙන්නට සිදුවන තත්ත්වය ඛේදජනක විය හැකිය. මේ විෂයේදී රටක් වශයෙන් අප ඉන්නේ ද වළේ වැටුණු තත්ත්වයකය. ඉන් ඉක්මනින් ගොඩ ඒමට අවශ්‍ය කරන ඥානය පහළ කරගැනීමට අප අසමත් වෙතොත් රටේ ඉරණම අවාසනාවන්ත විය හැකිය.

ආවේගයන් පහළවීම මනුෂ්‍ය ස්වභාවයකි. එහෙත් ආවේගයන් පහළවන්නේ මොළයෙන් නොවේ. ආවේගයන් සංතෘෂ්ටියක් ඇති කිරීමට හේතුවිය හැකි වුවත්, ආවේගයන්ට ඉදිරි දර්ශනයක් ලබාදීමේ හැකියාව නැත. ඉදිරි දර්ශනයක් ඇති කරගත හැක්කේ මොළයෙන් පමණය. ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන මෙම සංකීර්ණ අවුල ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇත්තේද ආවේගයන්ට මුල් තැන දෙන ප්‍රතිපත්තියකින් නොව මොළයට මුල් තැන දෙන ප්‍රතිපත්තියකි. ආවේගයන් ක්‍රියාකරන්නේ ඇතිවන අනාගත ප්‍රතිඵල ගණන් බැලීමකින් තොරවය. එහෙත් මොළයෙන් කරන ක්‍රියාවලදී ලැබෙන ප්‍රතිඵලයද සැලකිල්ලට ගනී.

ශ්‍රී ලංකාව පැටලී සිටින්නේ ප්‍රඥාවෙන්ම ජයගත යුතුව තිබෙන සංකීර්ණ හා දුෂ්කර අභියෝගයකටය. එල්ටීටීඊය වැනි ව්‍යාපාරයක් බිහිවීමට බලපෑ සාධක සමාජ, ආර්ථික හා දේශපාලන හේතු තිබෙනවා වුවත්, එහි කෘෘර හා ප්‍රචණ්ඩ පැවැත්ම ශ්‍රී ලංකා රාජ්‍යයේ පැවැත්ම තීරණාත්මක ලෙස අභියෝගයට ලක් කරන තත්ත්වයක් ගොඩනැගී තිබුණි. ඔවුන් ඉල්ලා සිටියේ රාජ්‍යයකට දිය හැකි දෙයක් නොව දිය නොහැකි දෙයකි. තමන් ඉල්ලා සිටි දෙමළ රාජ්‍යයෙන් මෙපිට කිසිවක් ලබාගැනීමටද ඔවුහු කැමති නොවූහ. ඔවුහු දිනාගත නොහැකි මනෝරාජික ඉලක්කයක් සඳහා සටන් කළෝය. ඒ සඳහා ඔවුහු උතුරේ කිසියම් භූමි ප්‍රමාණයක තත්ත්වාකාර රාජ්‍යයක්ද පවත්වාගෙන ගියෝය. එහෙත් ලංකාවේ දෙමළ ජනතාවගෙන් අතිවිශාල බහුතර පිරිසක් ජීවත් වූයේ ප්‍රභාකරන්ගේ තත්වාකාර රාජ්‍යය පවත්වාගෙන ගිය භූමි ප්‍රදේශයේ නොව ඉන් පිටස්තරවය. ප්‍රභාකරන් සිය රාජ්‍යයේ කටයුතු හා එම තත්වාකාර රාජ්‍යයේ පැවැත්ම රැකගැනීම සඳහා කරන යුද්ධය සඳහා අවශ්‍ය අරමුදල් ප්‍රධාන කොට ලබාගත්තේ එතෙර රටවල කැරෙන මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් හා දෙමළ ඩයස්පෝරාවෙන් ලැබෙන ආදායමෙනි. ප්‍රභාකරන්ගේ කටයුතු කෙරෙහි බලපෑමේ හැකියාවක් ලංකාවේ ජීවත් වන දෙමළ ජනතාවට නොතිබුණි. එහෙත් ප්‍රභාකරන්ගේ කටයුතු කෙරෙහි කිසියම් විශාල ප්‍රමාණයකට බලපෑමේ හැකියාව දෙමළ ඩයස්පෝරාවට තිබුණි. එල්ටීටීඊ හිතවාදී දෙමළ ඩයස්පෝරාවට ප්‍රභාකරන්ගේ කටයුතු පිළිබඳ කිසිදු විවේචනයක් නොතිබුණි. ඔහු විසින් කරනු ලබන සියලු සාහසික ක්‍රියා ඔවුහුද අනුමත කළෝය. ශ්‍රී ලංකාවෙන් පිටස්තර රටවල ජීවත් වන ලංකාවේ දෙමළ ජනතාවගේ සංඛ්‍යාව ඔවුන්ගෙන් පැවත එන්නන් සමග දශ ලක්ෂයක් පමණ විය හැකිය. ඊට අතිරේකව ලෝකයේ ජීවත් වන සමස්ත දෙමළ ජනතාව මිලියන 74ක් පමණ වේ. ලෝක දෙමළ ජනතාව ප්‍රභාකරන් දැක්කේ සිත්පිත් නැති බිහිසුණු ත්‍රස්තවාදියකු ලෙස නොව, දෙමළ රාජ්‍යයක් නැති ලෝකයට දෙමළ රාජ්‍යයක් ඇති කිරීමට වෙර දරන වීරයකු ලෙසය. ප්‍රභාකරන්ගේ පරාජය අඩු වැඩි වශයෙන් ඒ සියලුදෙනාගේ සිත් සසල කළේය. ශ්‍රී ලංකාව පිළිබඳව වෛරයෙන් හා කෝපයෙන් කරුණු සලකා බලන තැනකට ඔවුන් තල්ලු කළේය. එම වටාපිටාව දෙමළ ඩයස්පෝරාවට ජාත්‍යන්තර තලයේ ශ්‍රී ලංකා විරෝධී ව්‍යාපාරයක් පවත්වාගෙන යෑමට අවශ්‍ය හැඟීම්බර වටාපිටාවක් ලබා දුන්නේය. ප්‍රභාකරන් පරාජය කැරුණු යුද ව්‍යාපාරය ඔවුන් අර්ථ දක්වමින් තිබෙන්නේ දෙමළ සංහාරයක් ලෙසය.

යුරෝපා රටවල ජීවත් වන ලංකාවේ දෙමළ ජනතාවගෙන් යැපෙන එම රටවල ජීවත් වන දේශපාලනඥයන්ටද ඩයස්පෝරාව පවත්වාගෙන යන ශ්‍රී ලංකා විරෝධී ව්‍යාපාරයට ආධාර කරන්නන් ලෙස ක්‍රියාකිරීමට සිදුවී තිබෙන්නේය. බටහිර බලවත් රටවලටද ශ්‍රී ලංකාව සමග ඇති කරගත් විවිධ ප්‍රශ්න තිබුණි. ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නය හා එය විසඳාගත යුතු ආකාරය පිළිබඳව ඔවුන් සියලුදෙනා දරන ලද මතය එක සමාන විය. එනම් ප්‍රභාකරන්ගේ ව්‍යාපාරය යුදමය වශයෙන් පරාජය කිරීමේ හැකියාවක් ලංකා ආණ්ඩුවට නැත. ඒ නිසා ප්‍රශ්නය සාකච්ඡා මගින්ම විසඳා ගත යුතුය. ශ්‍රී ලංකාව සඳහා මෙවැනි සූත්‍රයක් ඉදිරිපත් කිරීම කෙරෙහි ඇමරිකාවට එල්ල වූ ප්‍රහාරයෙන් පසුව ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු සියලු බටහිර බලවතුන් එකට එකතු වී අල්කයිඩා ව්‍යාපාරයට එරෙහිව ගෝලීය මට්ටමෙන් ආරම්භ කර තිබුණු යුද ව්‍යාපාරයද බලපෑවේය. සියලු ත්‍රස්තවාදී ව්‍යාපාර එකට එකතු වී ක්‍රියාකිරීම වැළකීම සඳහා එවැනි න්‍යාය ධර්මයක් අප මත පැටවීමට ඔවුන්ට අවශ්‍ය වීයැ”යි ද කිව හැකිය.

තෝරා ගැනීමට විකල්පයක් නොතිබුණි

එහෙත් ශ්‍රී ලංකාව තිබුණේ සාකච්ඡා මාර්ගයෙන් හෝ යුද මාර්ගයෙන් එල්ටීටීඊයෙන් එල්ල වී තිබෙන අභියෝගය ජයගැනීමෙන් තොරව එක අඩියක්වත් ඉදිරියට යා නොහැකි හිරවූ තත්ත්වයකය. එහෙත් සාකච්ඡා මගින් ප්‍රශ්න විසඳා ගැනීමට දරන ලද හැම උත්සාහයක්ම එල්ටීටීඊය විසින් ව්‍යර්ථ කර තිබුණි. වෙනම රාජ්‍යයකින්ම මෙපිට ඊට අඩු කිසිවක් භාරගැනීමට ඔවුහු කැමැති නොවූහ. ඔවුහු ඉතාමත් මුරණ්ඩු ලෙස වෙනම රාජ්‍යයක් පිළිබඳ අදහසේ එල්ලී සිටියා පමණක් නොව, සිය මනෝරාජික ඉලක්කය සපුරාගැනීම සඳහා කැරෙන බිහිසුණු පහරදීම් ද අත්නොහැරියෝය.

මේ තත්ත්වය ඉදිරියේ එක්කෝ ආණ්ඩුව කවදා හෝ ඔවුන්ගේ ආකල්ප වෙනස් වන තෙක් ඔවුන්ගෙන් එල්ල වන සියලු විනාශකාරී පහරදීම් ඉවසාගෙන සිටිය යුතුව තිබුණේය. නැතහොත් ඔවුන් යුදමය වශයෙන් පරාජය කළ යුතුව තිබුණේය.

එහිදී ආණ්ඩුව තෝරාගත්තේද යුද්ධයේ මාවතයි. ඒ හැර ආණ්ඩුවට තෝරා ගැනීමට අන් විකල්පයක්ද නොතිබුණි. එය බටහිර බලවතුන් දැක්කේ ශ්‍රී ලංකා ආණ්ඩුව එතෙක් පිළිගත් තමන්ගේ නිර්දේශිත ප්‍රතිපත්තියට එරෙහිව ක්‍රියාකිරීමක් ලෙසය. ඔවුන් ආණ්ඩුව තෝරාගත් එම ක්‍රියාමාර්ගයට එරෙහිව විරෝධය පළකරන්නට වූ විට ඔවුන්ගේ ක්‍රියාකාරකම් ශ්‍රී ලංකා ආණ්ඩුව දැක්කේ එල්ටීටීඊය හා ප්‍රභාකරන් ආරක්ෂා කරන දුෂ්ට වැඩපිළිවෙළක් ලෙසය. එහිදී ආණ්ඩුව ඔවුන්ට ප්‍රතිචාර දක්වන ලද්දේ කෝපයෙනි. යුද්ධයට එරෙහිව කතා කරන සමහර බටහිර රටවල නියෝජිතයන් ආණ්ඩුව එල්ටීටීඊ ආධාරකරුවන් ලෙස ප්‍රසිද්ධියේ හඳුන්වන ලද අතර තමන්ගේ විරෝධයට හේතුවූ සමහර බලවත් පුද්ගලයන් ලංකාවට ඒමට උත්සාහ දරන අවස්ථාවලදී ලංකාවට ඒමට අවසරදීමෙන් වැළකී සිටියේය. තවත් සමහරුන්ට ලංකාවට ඒමට අවසර දී ලංකාවට ඇතුළුවන්නට ඉඩ නොදී ගුවන්තොටුපොළේදී ආපසු හරවා යවන ලදි. ශ්‍රී ලංකාව බටහිර රටවල් සම්බන්ධයෙන් අනුගමනය කළ මෙම ගොරෝසු ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාව හා බටහිර රටවල් අතර තිබුණු මිත්‍ර සම්බන්ධය ද පළුදු කොට ශ්‍රී ලංකාව දැඩි බටහිර විරෝධී ආකල්ප ඇති රටක් ලෙස සලකා ක්‍රියාකරන තැනකට ඔවුන් තල්ලු කළේය.

බටහිර රටවල් එල්ටීටීඊයට එරෙහිව පවත්වාගෙන ගිය යුද්ධය සම්බන්ධයෙන් අනුගමනය කළ යුද විරෝධී ප්‍රතිපත්තිය ප්‍රභාකරන් හා එල්ටීටීඊය ආරක්ෂා කිරීමේ අරමුණින්ම කරන ලද දෙයක් ලෙස සැලකිය නොහැකිය. ශ්‍රී ලංකා විරෝධී ප්‍රතිපත්තියක් වෙනුවෙන් පෙනී සිටි සමහර පුද්ගලයන් කෙරෙහි එල්ටීටීඊයට හිතවත් දෙමළ ඩයස්පෝරාව බලපෑවා විය හැකි වුවත් ඔවුන්ගේ එම ප්‍රතිපත්තිය කෙරෙහි වඩාත්ම බලපෑ බව පෙනෙන්නේ වෙනත් කාරණයකි. එනම් ශ්‍රී ලංකාවේ ඇතිවන සිදුවීම් ඔවුන්ගේ රටවල ජීවත් වන දෙමළ ජනයා ත්‍රස්තවාදී ක්‍රියාමාර්ගවලට තල්ලු කිරීමට හේතුවනු ඇති බවට ඔවුන් තුළ පැවති බිය ඒ කෙරෙහි බලපෑ ප්‍රබල සාධකයක් විය.

ශ්‍රී ලංකාවේ එල්ටීටීඊ විරෝධී යුද වැඩපිළිවෙළට බටහිර බලවතුන් අවහිර කරන විට ශ්‍රී ලංකාව සිය යුද ව්‍යාපාරය සඳහා වැඩි වැඩියෙන් චීනය හා ඉරානය වැනි රටවලින් ආධාර ලබාගන්නා තැනකට තල්ලු විය. ඒ තත්ත්වය බටහිර බලවතුන් තුළ විවිධ හේතු නිසා ගොඩනැගී තිබුණු ශ්‍රී ලංකා විරෝධය තීව්‍ර කිරීමට හේතුවිය.

ප්‍රශ්න ඇති කිරීමට බලපෑ හේතු

ශ්‍රී ලංකාව ජයග්‍රාහී ලෙස යුද්ධය අවසන් කිරීමෙන් පසුව යුද්ධය පැවති කාලසීමාව තුළ පවත්වාගෙන ගිය දැඩි බටහිර විරෝධී විදේශ ප්‍රතිපත්තියෙන් ඉවත් වී නැවත මැදහත් විදේශ ප්‍රතිපත්තියකට මාරුවීමට හා යුද්ධ කාලයේදී අර්ධ වශයෙන් වැසී තිබුණු ප්‍රජාතන්ත්‍රවාදී නිදහසේ දොර කවුළු මුළුමනින් විවෘත කරන අතර යුද්ධයෙන් විපතට පත් දෙමළ ජනයාගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙනවාට අතිරේකව ලංකාවේ දෙමළ ප්‍රශ්නයට දෙමළ ජනයාගේ විශ්වාසයට හේතුවන දේශපාලන විසඳුමක්ද ලබාදීමට සමත් වී නම් එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කිරීම ආශ්‍රයෙන් ජාත්‍යන්තර තලයේ මතුවී තිබුණු ප්‍රශ්න දුරදිග නොයන තත්ත්වයකින් අවසන් කරගන්නට ශ්‍රී ලංකාවට හැකිවන්නට ඉඩ තිබුණි.

යුද්ධයෙන් විපතට පත් දෙමළ ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත්කිරීම සඳහා ආණ්ඩුව කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළේයැ”යි කිව හැකිය. එහෙත් ඒ අංශයෙන් පෙන්නුම් කළ ප්‍රගතියට සමාන ප්‍රගතියක් මතභේදයට හේතුවී තිබුණු අනෙක් අංශ දෙකේදී පෙන්නුම් කිරීමට ආණ්ඩුව අසමත් විය. විශේෂයෙන්ම බටහිර බලවතුන් සමග ඇති කරගෙන තිබුණු ගැටුම ඉක්මනින් අවසන් කිරීමට ආණ්ඩුව සමත් වූයේ නැත. අනෙක් අතට යුදමය තත්ත්වය තුළ අර්ධ වශයෙන් වැසී තිබුණු ප්‍රජාතන්ත්‍රවාදයේ දොර කවුළු ප්‍රමාදයකින් තොරව මුළුමනින් විවෘත කිරීමටද ආණ්ඩුව සමත් වූයේ නැත. ලොකුම දුර්වලතාව ලෙස සැලකිය හැක්කේ එල්ටීටීඊය පරාජය කිරීම සඳහා ක්‍රියාත්මක කළ යුද ව්‍යාපාරය තුළ සිදුවූ හානි පිළිබඳව (මියගිය අය හා තුවාල ලැබූවන්) ලෝකයට තක්සේරුවක් ඉදිරිපත් නොකිරීමය. ඊළඟ දුර්වලතාව ලෙස සැලකිය හැක්කේ එල්ටීටීඊය පරාජය කළ යුද්ධය පිළිබඳවත් ලංකාවේ දෙමළ ජනතාවගේ අනාගතය හා ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳවත් නිල විග්‍රහයක් ලෝකයට ඉදිරිපත් නොකිරීමය. එම වටාපිටාව ශ්‍රී ලංකා විරෝධී බලවේගයන්ට යුද්ධය පිළිබඳව ඔවුන් කැමති චිත්‍රයක් ලෝකයට මවාපෑමට අවස්ථාවක් ලබා දුන් අතර ඒ ආශ්‍රයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කිරීමට වාසිදායක පසුබිමක් ඇති කළේය.

එල්ල වන චෝදනාවලදී ඒවාට සන්සුන්ව හා තර්කානුකූලව පිළිතුරු නොදී චෝදනා එල්ල කරන්නන්ට කෝපයෙන් බැණ වදින ප්‍රතිපත්තිය සේ ම යුද්ධය තුළ සිවිල් ජනයාට කිසිම හානියක් සිදුවූයේ නැතැ”යි කියන පිළිවෙතද ශ්‍රී ලංකාවේ අවාසියට හේතුවිය.

ඕනෑම යුද්ධයක් තුළ සාමාන්‍ය ජනයාට හානි සිදුවිය හැකිය. එය බරපතළ වරදක් වන්නේ සාමාන්‍ය ජනයාට හානි සිදුකිරීමේ අරමුණින්ම හානි සිදුකර ඇත්නම් පමණය. යුද්ධයේ අවසාන වටයේදී ආරක්ෂක හමුදාවලට යුද්ධ කරන්නට සිදුවූයේ එල්ටීටීඊය ලක්ෂ තුනකට ආසන්න ජනතාවක් ප්‍රාණ ඇපයට තබාගෙන සිටියදීය. එවැනි යුද්ධයකදී එහි සිටින සාමාන්‍ය ජනයාටද කිිසියම් හානියක් සිදුවීම නොවැළැක්විය හැකිය. එහෙත් ඔවුන් ප්‍රාණ ඇපයට ගෙන සිටි මහජනයාගේ ආරක්ෂාව මුළුමනින් නොසලකා ආරක්ෂක හමුදා පහර දෙන පිළිවෙතක් අනුගමනය කර තිබෙන බවක් පෙනෙන්නට නැත. ආරක්ෂක හමුදාවල ප්‍රධාන අරමුණ වූ බව පෙනෙන්නේ ප්‍රාණ ඇපකාර තත්ත්වයක සිටි මහජනයා මුදාගනිමින් එල්ටීටීඊය තනිකොට පහරදීමය. එම උත්සාහය තුළ දෙපැත්තට මැදිවී සිටි කිසියම් පිරිසකට හානි සිදුවන්නට ඇතත් ප්‍රාණ ඇපයට තබාගෙන සිටි ජනගහනයෙන් අතිවිශාල පිරිසක් මුදාගැනීමට ආරක්ෂක හමුදා සමත් වූහ. ඒ අර්ථයෙන් එහි සිදුවූ හානිය බරපතළ නොවේයැ”යි කිව හැකිය. ඉතාමත් වැදගත්ම දේ පළිගැනීමේ අරමුණින් මිනිසුන් ඝාතනය කරන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවීමය. යුද්ධයේ අවසන් අදියරයට ආවේණික සැබෑ තත්ත්වයන් පිළිබඳ හරි චිත්‍රයක් ලෝකයට ලබාදීමටද ආණ්ඩුව සමත් නොවීය.

ඕනෑම යුද්ධයක් තුළ සීමාන්තික ක්‍රියා කිසියම් ප්‍රමාණයක් සිදුවිය හැකිය. යුද්ධය අවසන්වීමෙන් පසුව ඒ ගැන කරුණු සොයා බැලීමේ වගකීමක් ආණ්ඩුවට තිබුණේය. විශේෂයෙන්ම අන්තර්ජාතික අවධානය දිනාගත් සිද්ධීන් කිසියම් ප්‍රමාණයක් තිබුණේය. ත්‍රිකුණාමලයේදී උසස් අධ්‍යාපනයේ යෙදී සිටි තරුණයන් පස්දෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය හා ප්‍රංශ සහන සේවා ආයතනයක සේවය කළ පුද්ගලයන් 17 දෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය ඒ අතර ප්‍රධානය. ජනමාධ්‍යවේදීන් වෙත විටින් විට එල්ල වූ සාහසික පහරදීම් ද ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබූ සිද්ධීන් ලෙස සැලකිය හැකිය. මේ සිද්ධීන් ගැන සාධාරණව කරුණු සොයා බලන තැනකට ආණ්ඩුව ගියේ නම් ශ්‍රී ලංකාවට එරෙහිව අන්තර්ජාතික තලයේ කෙරෙන කෑගැසීම් අඩුවන්නට ඉඩ තිබුණි.

71 අප්‍රේල් කැරැල්ල මර්දනය කිරීමෙන් පසුද ජාත්‍යන්තර වශයෙන් යම් ප්‍රමාණයක විවේචන ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල විය. ඒ පිළිබඳව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විවාදයක්ද සිදුවිය. එම කැරැල්ල පරාජය කිරීමේදී සිදුවූ සීමාන්තික ක්‍රියා අතර අන්තර්ජාතික තලයේ වඩාත්ම කතාබහට හේතුවී තිබුණු සිද්ධිය වූයේ කතරගම රූ රැජින (ප්‍රේමවතී මනම්පේරි) නිරුවත් කොට මරා දැමීමේ සිද්ධියයි. එවකට බලයේ සිටි ආණ්ඩුව කළේ ඒ ගැන පරීක්ෂණයක් පවත්වා එම සාහසික සිද්ධියට වගකිවයුතු හමුදා නිලධාරීන් කිහිපදෙනාට දඬුවම් කිරීමය. ඒ මගින් ආණ්ඩුව ජාත්‍යන්තර වශයෙන් සිය හොඳ නම රැකගත්තා පමණක් නොව ආරක්ෂක හමුදාවල ගෞරවයද ආරක්ෂා කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සාධාරණ හෝ සර්වතෝභද්‍ර නැතත් එහි ස්වාධීන රටක් වශයෙන් ශ්‍රී ලංකාව එම සංවිධානය සමග රණ්ඩු කරන ලද ආකාරය යහපත් නැත. එම සංවිධානයේ උසස් නිලධාරීන් ශ්‍රී ලංකාව පිළිබඳව කෝපයෙන් බලන තැනකට ශ්‍රී ලංකාව අනුගමනය කළ එම වැරදි ප්‍රතිපත්තිය බලපෑවේය. ජාත්‍යන්තර වශයෙන් එල්ල වන චෝදනා සමග කරන ගනුදෙනුවේදී ශ්‍රී ලංකාව අතින් සිදුවූ ලොකුම වරද ලෙස සැලකිය හැක්කේ එක විට බලවත් පෙරමුණු ගණනාවකට එරෙහිව සටන් කරන තැනකට තල්ලුවීමය. ඒ මගින් සතුරු පෙරමුණ ලොකු කරගත්තේය.

ශ්‍රී ලංකාව සිටින තත්ත්වය

දැන් ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන තත්ත්වය සාධාරණ හේතු නැතිව නඩු පැවරීමකට ලක්වූ පුද්ගලයකුගේ තත්ත්වයට සමානය. එහිදී එම අසාධාරණයට ලක්වන පුද්ගලයා සාධාරණ හේතු නැතිව නඩු පැවරීමක් මගින් තමන්ට කර තිබෙන්නේ අසාධාරණයක්යැ”යි සලකා එම අසාධාරණයට විරෝධය පළකිරීම සඳහා නඩුවට මුහුණ නොදෙන්නේ නම් එහි ප්‍රතිඵලය වනු ඇත්තේ නඩුව ඒකපාක්ෂික ලෙස විභාගයට ගෙන ඔහු වරදකරුවකු ලෙස තීන්දුවීමය. ඔහු එම අසාධාරණය ජයගත යුතුව තිබෙන්නේද නඩුවට මුහුණ දී එල්ල කර තිබෙන චෝදනා ව්‍යර්ථ කිරීමෙන් පමණය.

ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල කැරුණු චෝදනාවලදී ඒවා අසාධාරණ චෝදනා ලෙස සලකා පිළිතුරුදීමෙන් වැළකී සිටින ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාවේ යහපතට හේතුවන්නේ නැත. සමස්ත චිත්‍රය ඉදිරියට ගැනෙන ආකාරයට එල්ල කරන හැම චෝදනාවකටම විධිමත් ලෙස පිළිතුරු දිය යුතුය. ඒ මගින් බොරු කළ හැකි සියලු චෝදනා බොරු කළ යුතුය. බොරුකළ නොහැකි චෝදනා වේ නම් ඒවා ගැන සාධාරණව කරුණු සොයා බලන තැනකට යායුතුය.

දෙමළ ඩයස්පෝරාවෙන් එල්ල වී තිබෙන විවේචනයන්ට ලැබෙන වැදගත්කම අහෝසි කළ හැකි වනු ඇත්තේ යුද්ධයෙන් විපතට පත් දෙමළ ජනයාගේ ප්‍රශ්න සේ ම ඔවුන් මුහුණ දී තිබෙන දේශපාලන ප්‍රශ්නවලටද සාධාරණ විසඳුමක් ලබාදීමෙන් පමණය. ඒ සඳහා ආණ්ඩුව දෙමළ දේශපාලන පක්ෂ සමග සහයෝගයෙන් කටයුතු කරන තැනකට යායුතුය. මෙවැනි ඛේදජනක සිද්ධීන් නැවත ඇතිවීමට ඉඩක් නැති ආකාරයට දෙමළ දේශපාලන පක්ෂවලද සහාය ඇතිව දෙමළ ප්‍රශ්නය විසඳාගත යුතුය.

ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයේ ස්වරූපය අවසන් වශයෙන් තීරණය කරනවා ඇත්තේ මෙම සංකීර්ණ අභියෝගයට ආණ්ඩුව මුහුණදෙන ආකාරයේ සාර්ථක හා අසාර්ථකභාවය මතය. එය ශ්‍රී ලංකාවේ අනාගතය කෙරෙහි සේ ම විදේශ රටවල ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ අනාගතය කෙරෙහිද හොඳට හෝ නරකට බලපායි. ඒ නිසා අන් සියලු ප්‍රශ්නවටල වඩා මෙම ප්‍රශ්නය විසඳා ගැනීමට ආණ්ඩුව සිය ශක්තිය හා අවධානය යොමු කළ යුතුය.