මැතිවරණ අපේ රටේ පවතින දේශපාලන ක්රමයේ දූෂිත බව හා විකාරරූපී ස්වරූපය ඉතා බලවත් ලෙස ප්‍රකාශ කෙරෙන අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. මැරකම්වලට, දූෂණ හා නීති විරෝධී ක්‍රියාවලට චෝදනා ඇති පුද්ගලයන්ට ඡන්දය නොදෙන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා ඡන්දදායකයන්ගෙන් ප්‍රසිද්ධියේ ඉල්ලීමක් කර තිබුණි. එහෙත් තිබෙන ප්රශ්නය මහජනයා එවැනි අය හඳුනාගන්නේ කෙසේද යන්නයි. ඉන්දියාවේ නම් නාමයෝජනා සමග හැම අපේක්ෂකයකුම නාමයෝජනා පත්‍රය සමග තමන්ට එරෙහිව නඩු ඇත්නම් ඒ නඩු, ඉදිරිපත් වී තිබෙන චෝදනා පිළිබඳ විස්තර ඇතුළත් දිවුරුම් ප්‍රකාශයක් මැතිවරණ කොමිසමට ලබාදිය යුතුය. ඉන්පසු එවැනි දිවුරුම් පෙත්සම්වල එන කරුණු සංවාදයට ලක්වේ. එහෙත් අපේ රටේ එවැනි ක්‍රමයක් නැත. අඩුම වශයෙන් මැතිවරණවලදී වත්කම් බැරකම් නීතිය පවා අකුරටම ක්‍රියාත්මක වන තත්ත්වයක් රටේ නොපවතී. ඉන්දියාවේ නම් සියලුම අපේක්ෂකයන් නාමයෝජනා පත්‍රය සමග තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශයක් ද ලබාදිය යුතුය.
වත්කම් බැරකම් ප්‍රකාශ නැතිව නාමයෝජනා බාරදිය නොහැකිය. බාරදෙන වත්කම් බැරකම් ප්‍රකාශවලට ඇතුළත් කරුණු සත්‍ය නොවන අවස්ථාවලදී ඔවුන්ගේ මන්ත්‍රී ධුර අහිමි කරන ක්‍රමයක් ද ඉන්දියාවේ ක්‍රියාත්මක වේ. අපේ රටේ ද වත්කම් බැරකම් නීතිය පවතී. ඒ අනුව ජනාධිපතිවරණවලට, පාර්ලිමේන්තු මැතිවරණවලට, පළාත් සභා මැතිවරණවලට හා පළාත් පාලන මැතිවරණවලට තරග කරන අපේක්ෂකයන් සිය වත්කම් බැරකම් ප්‍රකාශ කළ යුතුය. මැතිවරණවලදී එම විෂය භාර බලධාරියා වන්නේ මැතිවරණ කොමසාරිස්වරයාය. එහෙත් ඒ නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා පවා උනන්දුවක් දක්වන බව පෙනෙන්නට නැත. මැතිවරණ කොමිසමක් පත්කර නැතත්, 17 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව මැතිවරණ කොමිසමක් පත් කරන තෙක් මැතිවරණ කොමිසම සතු සියලු බලතල මැතිවරණ කොමසාරිස්වරයා සතුය. ඒ අනුව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සහතික කිරීම සඳහා නීති නැතිවිට රීති ඇති කිරීමේ බලය මැතිවරණ කොමසාරිස්වරයා සතුය.
ඒ අනුව නාමයෝජනා සමග වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීම අනිවාර්ය කළහැකි අතර, අවශ්‍ය නම් අපේක්ෂකයන්ගේ පසුබිම් විස්තර ඇතුළත් දිවුරුම් පෙත්සමක් ද නාමයෝජනාවලදී ලබාගත හැකිය. එවැනි දේ කිරීමට අවශ්‍ය බලය තිබියදීත් මැතිවරණ කොමසාරිස්වරයා එසේ නොකරන්නේ ඇයි? බස්නාහිර පළාත් සභාව සඳහා තරග කරන සමහර අපේක්ෂකයන් මැතිවරණය සඳහා මෙතෙක් කර තිබෙන වියදම් දෙස බලන විට පුදුම හිතෙන්නේය. වැඩිම වියදම් දරන්නන් කිහිපදෙනාගේ වියදම රුපියල් මිලියන තුන්හාරසීයක් පමණ විය හැකිය. ඉන්දියාවේ නම් අපේක්ෂකයකුට වියදම් කළ හැකි වියදමේ උපරිම සීමාවක් පවතී. අපේක්ෂකයන් මැතිවරණ වියදම් පිළිබඳ ලේඛනයක් කොමිසමට ඉදිරිපත් කළයුතු අතර, එම මුදල් ලැබුණු ආකාරය ද එහි විස්තර කළ යුතුය. ඊට අතිරේකව දේශපාලන පක්ෂද සිය අරමුදල් පිළිබඳ ගිණුම් මැතිවරණ කොමිසමට ඉදිරිපත් කළ යුතුය. මැතිවරණ අරමුදල් හා වියදම් සීමාවන්ට අදාළ මෙවැනි නීති අපේ රටේ නැත්තේ ඇයි? නොදන්නාකම නිසා සිදුවූවක්ද? නැතිනම් දූෂිත ලෙස ක්‍රියාකිරීමට තිබිය යුතු නිදහස ආරක්ෂා කරගැනීම සඳහා හිතාමතා කරන ලද්දක්ද? ශිරාල් ලක්තිලක හා උදය ගම්මන්පිල යන අපේක්ෂකයන් දෙදෙනා සිය නාමයෝජනා සමග වත්කම් බැරකම් ප්‍රකාශ ද භාර දුන්නේය.
එය යහපත් හා ආදර්ශමත් ක්‍රියාවකි. එහෙත් වත්කම් බැරකම් ප්‍රකාශ භාරදීමෙන් පමණක් අපේක්ෂකයකුගේ සම්පූර්ණ පාරදෘෂ්‍යභාවය තහවුරු වන්නේ නැත. එය සම්පූර්ණ ක්‍රියාවක් වන්නේ මැතිවරණයට කරන ලද වියදම, එම වියදම විෂයන් අනුව බෙදී ගිය ආකාරය හා වියදම් සඳහා අවශ්‍ය අරමුදල් ලැබුණු ආකාරය දක්වන ආදායම් වියදම් ලේඛනයක් ද මහජනයා අතට පත්කරන්නේ නම් පමණය. ඉන්දියාවේ නම් මැතිවරණ වියදම් අඩු කිරීම සඳහා මැතිවරණවලදී ප්‍රචාරණ කටයුතු සඳහා ලබාදෙන කාලය දින 14කට සීමා කර තිබේ. මෙවැනි ක්‍රමයක් ශ්‍රී ලංකාව සඳහාද පහසුවෙන් යොදාගත හැකිය. අපේක්ෂකයන් කරන වියදම පමණක් නොව, රජයක් වශයෙන් කරන වියදම ද අඩු කළ හැකිය. ඉන්දියාවේ නම් අපේක්ෂකයන් කරන ප්‍රසිද්ධ කතා වෙත ද මැතිවරණ කොමිසමේ විමර්ශනයට ලක්වේ. වර්ගභේදය, ආගම් භේදය හා කුල භේදය වැනි වේදනාකාරී හැඟීම් අවුස්සන ආකාරයෙන් කතා පවත්වන අපේක්ෂකයන් මැතිවරණ ක්‍රියාවලියෙන් ඉවත් කෙරේ.
එවැනි නීති රීති අප රටට ද අවශ්‍යය. මැතිවරණ වේදිකාවලදී නිරන්තරයෙන් අසන්නට ලැබෙන්නේ පහත් රුචිකත්වය අවුස්සන කතා මිස, මහජනයාගේ දැනුම වර්ධනය කරන කතා නොවේ. රූපවාහිනී හා ගුවන්විදුලි සේවාවන්ට ද වැදගත් වී ඇත්තේ ද එවැනි නොවැදගත් තුට්ටු දෙකේ කතාබහ මිස හරබර කතා නොවේ. මහජනයා තමන්ට හිමි පරමාධිපත්‍යය බලය අනන්‍ය කරන්නේ මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කිරීමෙනි. එවැනි ගාම්භීර අවස්ථාවක් පවා ප්රචණ්ඩ හා පහත් රුචිකත්වය දනවන අවස්ථාවක් බවට පත්කර ගැනීම කොතරම් ඛේදජනකද?