ආණ්ඩුව ගන්නා පියවර දෙස විමසිල්ලෙන් බලා සිටිමු

October 13, 2002
Publication:
Ranil Wickremesinghe has ordered the new Inspector General of Police, T.E. Anandarajah, to investigate an attack on journalists at a Samurdhi officers' protest in Medirigiriya, allegedly by thugs linked to the United National Front. The piece welcomes the order but doubts it will be followed through, citing inaction over election violence and over MPs Ranga Bandara, Dilip Wedaarachchi and Ranjith Aluwihare, and over incidents involving ministers Vajira Abeywardena, Arumugam Thondaman and Mahinda Wijesekera.

මැදිරිගිරියේ පැවති සමෘද්ධි නිලධාරි උද්ඝෝෂණයකට එජා පෙරමුණ ආණ්ඩුවට සම්බන්ධ මැර පිරිසක් විසින් පහර දෙනු ලැබූවේ යයි කියනු ලබන සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂෂණයක් පවත්වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නව පොලිස්පති ආනන්ද රාජා මහතාට නියෝග කර ඇති බැව් පසුගියදා මාධ්‍ය මගින් හෙළි කෙරිණි. සිද්ධිය වූ වහාම මෙවැනි නියෝගයක් කිරීම ගැන ප්‍රථමයෙන් අග්‍රාමාත්‍යවරයාට ප්‍රශංසාව පළ කර සිටිය යුතුය. එක්සත් ජාතික පෙරමුණු රජය බලයට පත් වීමෙන් පසු මාධ්‍යවේදින් අරභයා එම රජයට මුහුණ පෑමට සිදුවූ ප්‍රථම අප්‍රසන්න අත්දැකීම මෙය වේ. එමෙන්ම පොලිස්පති පදවියට පත් ආනන්ද රජා මහතාගේ ප්‍රථම නිල රාජකාරිය මෙය වීමද ඔස්සේ පහරදිම පිළිබඳව අපක්ෂෂපාතී පරීක්ෂෂණයක් පැවැත්වේ යැයි අනුමාන කළ හැකිය.

කෙසේ වෙතත් මැදිරිගිරියේදි මාධ්‍යවේදින්ට පහරදිමේ සිද්ධිය පිළිබඳව ආණ්ඩුව ගන්නා පියවර පිළිබඳව සියුම් සැකයක් මතු වීම නොවැළැක්විය හැකිය. එයට හේතු ව පසුගිය කාලයේ සිදුවූ ඇතැම් අප්‍රසන්න සිද්ධීන් පිළිබඳව ආණ්ඩුව ගත් පියවර ක්‍රියාත්මක තලයේදි බලාපොරොත්තු වූ ආකාරයෙන් ඉටු නොවීම නිසාය. ඇතැම් සිද්ධීන් ගැන පරීක්ෂෂණ පවත්වා තරාතිරම නොබලා දඬුවම් කරන බැව් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියත් ඒවා බොහොමයක් කාලයේ වැලිතලාවට වැසී යෑමට ඉඩහැර නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බැව් පෙනේ. මේ ආණ්ඩුව බලයේ සිටි කෙටි කාලය තුළදි ඇතැම් මැති ඇමතිවරුන් මෙන්ම ඔවුන්ගේ කිට්ටු ඥාතීන්ගෙන් සිදුවී ඇති වරද ප්‍රමාණය සුළු කොට තැකිය නොහැකිය. පසුගිය පොදු පෙරමුණු ආණ්ඩු කාලය තුළ සිදුවූ බරපතල අපරාධ හා අනීතික ක්‍රියා හා සසැඳීමේදි මේවා සුළුවට පෙනෙතත් ප්‍රජාතන්ත්‍රවාදය හා අධිකරණයේ ස්වාධීනත්වය යළි ස්ථාපිත කරන බවට සපථ කර බලයට පත් ආණ්ඩුවකින් මේවා සිදුවන විට තත්ත්වය වඩා බරපතලවේ.

පසුගිය පළාත් පාලන මැතිවරණය හා ආසන්න කාල පරාසය තුළ සිදුවූ මැර ක්‍රියා හා ඡන්ද දූෂණ පිළිබඳව එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබලයන් කිහිප දෙනෙකුටම චෝදනා එල්ල වී ඇතත් එම ක්‍රියා පිළිබඳව මෙතෙක් ඵලදායී පියවර ගත් බවක් නොපෙනේ. මේ ගැන සොයා බැලීමට පත් කළ කොමිසමද ඉතා හෙමින් සිය කටයුතු කරගෙන යන නමුත් පරික්ෂෂණයකින් අනතුරුව ද එයට ගත හැකි පියවර කුමක්දැයි යන්න ප්‍රශ්නයක්ව පවතී. ඊට අමතරව රංග බණ්ඩාර, දිලීප් වෙදආරච්චි හා රංජිත් අලුවිහාරේ යන මන්ත්‍රීන් තිදෙනා පිළිබඳව එජාපය පක්ෂෂ මට්ටමින් තදබල පියවර ගන්නා බවට ප්‍රචාරය කර තිබුණත් මෙතෙක් ගත් පියවරක් නැත. ඇමති වජිර අබේවර්ධන මහතා සම්බන්ධයෙන් ද තත්ත්වය එසේමය. ඡන්ද අක්‍රමිකතා සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ඉදිරිපත් වූ චෝදනා පිළිබඳව ද එජාපය පක්ෂෂ මට්ටමෙන් දියාරු පිළිවෙතක් අනුගමනය කරන බැව් පෙනේ. ඇමති ආරුමුගම් තොණ්ඩමන් බොරැල්ල පොලිසියට විත් සිදුකළ කලබැගෑනිය හා හෝමාගම රෝහලට පැමිණ සිදුකළ ගාලගෝට්ටිය ද ළිස්සා යෑමට හැරිම වත්මන් ආණ්ඩුවේ ප්‍රතිරූපයට හානියකි. ඇමති මහින්ද විජේසේකර මෝදර රේගු කාර්යාලයට කඩා වැදි එහි නිලධාරීන්ට බැන වැදිමේ සිද්ධිය පිටුපස මෙයට වඩා බිහිසුණු අපවාද චෝදනා පවති. එයට ද ආණ්ඩුවේ ප්‍රතිචාරය නිහඬව සිටීම හෝ ඊට ආසන්න ක්‍රියාවකි. මේ අනුව, බලන විට මාධ්‍යවේදින්ට පහරදිම පිළිබඳව පවත්වන පරික්ෂෂණ පිළිබඳව සැක මතු වීම ස්වාභාවිකය. නමුත් මහජන ඡන්දයෙන් බලයට පත් ආණ්ඩුවක් තිබෙන රටක එය එසේ සිදුවිය යුතු නැත.