ප්රමුඛ වැදගත්කමක් ඇති කරුණු නොසලකා නොවැදගත් හෝ අඩු වැදගත්කමක් ඇති දේවලට ප්රමුඛ වැදගත්කමක් ලබාදිම ශ්රී ලාංකික ජාතියට ආවේණික ජන්ම ලක්ෂණයක් කොට සැලකිය හැකිය.
17 වැනි ව්යවස්ථා සංශෝධනයේ තිබුණු ලොකුම වැරැද්ද ව්යවස්ථා සභාවට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පැවරිමට නොහැකි ආකාරයේ ආරක්ෂාවක් ලබාදි නොතිබීම නොව, එම සංශෝධනය නීතිගත කෙරෙන ක්රියාවලියේදි එහි මූලික අරමුණ විනාශ කෙරෙන, එහි හරයට සිදුවී තිබෙන විකෘතියයි. වහාම නිවැරදි කළයුතුව තිබුණේ එය වුවත්, ආණ්ඩුව එය නොසලකා ව්යවස්ථා සභාවක් වැනි ආයතනයකට නොතිබිය යුතු අනවශ්ය ආරක්ෂාවක් ලබාදිම සඳහා 18 වැනි සංශෝධනයක් ඉදිරියට ගෙනාවේය.
රාජ්ය සේවය කෙරෙහි අනිසි දේශපාලන ඇගිලි ගැසීමෙන් වළකා රාජ්ය සේවය නිර්දේශපාලනකරණයකට ලක් කිරීම හා ප්රමුඛ වැදගත්කමක් ඇති උපරිම ස්වාධීනත්වය තිබිය යුතු ආයතන හඳුනාගෙන එම ආයතන වලට ස්වාධීනව ක්රියාකළ හැකි පරිසරයක් ලබාදිම 17 වැනි සංශෝධනයේ අරමුණ විය.
රාජ්ය නායකයකුට යම් පමණක අභිමත බලයක් තිබිය යුතු වුවත්, රටේ පොදු යහපතට හානිවන ආකාරයකින් ඒ අභිමත බලය පාවිච්චි කිරීමට ඉඩක් තිබිය යුතු නැත. උසාවියෙන් දඬුවම් කරනු ලැබූ පුද්ගලයෙකු නිදහස් කිරිමේ බලය ජනාධිපති සතුය. එහෙත් එවැනි බලයක් රාජ්ය නායකයාට ලබාදි ඇත්තේ ඒ රාජ්ය නායකයා නියෝජනය කරන පක්ෂයට සම්බන්ධ අපරාධකරුවන්ට රැකවරණය ලබාදිම සඳහා නොවේ. දඬුවම් පැමිණ වීමේදි අධිකරණය අතින් වරදක් සිදුවී ඇති බව පෙනෙන අවස්ථාවලදි හෝ මානුෂිකව කරුණු සලකා බැලිය යුතු විශේෂිත අවස්ථාවලදි විපතට පත්ව සිටින එවැනි පුද්ගලයන්ට යුක්තිය ඉටු කිරීම සඳහාය. එහෙත් ජනාධිපති චන්ද්රිකා කුමාරතුංගගේ සිට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන දක්වා වන සියලු ජනාධිපතිවරුන් එහිදි තමන්ට ලැබී තිබුණු එම බලය සිය පක්ෂවලට සම්බන්ධ නමගිය අපරාධකරුවන් ආරක්ෂා කිරීම සඳහා කලාතුරකින් හෝ යොදා ගත්තේය.
ප්රමුඛ වැදගත්කමක් ඇති තනතුරුවලට පුද්ගලයන් තෝරාපත් කිරිමේ ක්රියාවලියේදි රාජ්ය නායකයාට හා නායිකාවට තමන් කැමති පුද්ගලයකු පත් කිරිමේ බලයක් ලැබී තිබුණි. මෙහිදි ඒ හැම නායකයකුම සුදුසු පුද්ගලයන් නොසලකා සිය දේශපාලන හෙංචයියන් පත් කිරීම සඳහා ඒ බලය පාවිච්චි කර තිබෙන අතර ඒ නිසා මෙතෙක් රටට සිදුවී තිබෙන හානිය අතිවිශාලය. 17 වැනි ව්යවස්ථා සංශෝධනයේ එක් මුලික අරමුණක් වූයේ මේ විෂයේදි රාජ්ය නායකයාට ලැබී තිබෙන අභිමත බලය හිතුවක්කාරි ලෙස පාවිච්චි කිරීමට තිබෙන ඉඩකඩ සීමාකිරීමය.
ඒ සඳහා වන දර්ශනය කරලියට ආවේ දේශපාලන පක්ෂ ලෝකයෙන් නොව, සිවිල් සමාජයෙනි. එම ක්රියාවලියේ මොළය ලෙස ක්රියා කළේ විද්වතුන්ගේ සංගමයයි.
සමාජයේ විශ්වාසයට හා ගෞරවයට හේතුවූ පුද්ගල කණ්ඩායමකින් සැදුම් ලත් ව්යවස්ථා සභාවක් ඇති කොට, ස්වාධීන තත්ත්වයක තිබිය යුතු කොමිෂන් සභාවලට හා ප්රමුඛ වැදගත්කමක් ඇති තනතුරුවලට පුද්ගලයන් පත් කිරීම එම ව්යවස්ථා සභාවේ නිර්දේශ මත සිදුවන තත්ත්වයක් ඇති කිරීම ඒ වැඩපිළිවෙළේ අරමුණ විය. ඒ ක්රමය ඒ සමාන ආකාරයකින් හෝ වෙනත් ආකාරවලින් වෙනත් බොහෝ රටවල ද ක්රියාත්මක වේ.
ශ්රී ලංකාවේ පරිපාලන සේවය දේශපාලන ග්රහණයට පත් කෙරුණේ 1972 ව්යවස්ථාවෙනි. එම ව්යවස්ථාව එතෙක් ක්රියාත්මක වූ රාජ්ය සේවා කොමිෂන් සභාව අකර්මණ්ය කොට, පත් කිරිමේ මාරු කිරිමේ හා සේවයෙන් පහකිරිමේ බලය අදාළ ඇමතිවරුන් අතට හා කැබිනට් මණ්ඩලය අතට ගත්තේය. ඒ සමග බලයේ සිටින දේශපාලකයන්ට නීතිය නොසලකා එහෙයි කියන පරිපාලන සේවයක් ඇතිවිය. ඒ තත්ත්වය නිවැරදි කිරීම 17 වැනි සංශෝධනයේ එක් අරමුණක් විය.
මේ වුවමනාව වෙනුවෙන් විද්වතුන්ගේ සංගමය කෙටුම්පතක් ද සකස් කළේය. ව්යවස්ථා සභාවක් යටතේ ක්රියාත්මක වන ස්වාධීන කොමිෂන් සභා ක්රමය පිළිබඳ අදහස එජාප හා ජවිපෙ වැනි විරුද්ධ පක්ෂවල ද පිළිගැනීමට හේතුවිය. අවසානයේදි ඒ අදහස වෙනුවෙන් එජාය ද නීති කෙටුම්පතක් සම්පාදනය කළ අතර, කෙටුම්පතේ එන රාමුව විද්වතුන්ගේ සංගමය කෙටුම්පත් කළ කෙටුම්පතට වඩා පටුවීම හේතු කොටගෙන එජාපයේ කෙටුම්පත බලවත් විවේචනයට ලක්වී අවසානයේදි එජාපය එක් කරුණකදි හැර (ව්යවස්ථා සභාවේ සංයුතිය පිළිබඳව) අන් සියලු කරුණු වලදි විද්වතුන්ගේ සංගමයේ කෙටුම්පතට සමාන කෙටුම්පතක් සම්පාදනය කළේය.
ව්යවස්ථා සභාව, ස්වාධීන කොමිෂන් සභා හා වෙනත් ප්රජාතන්ත්රවාදි ප්රතිසංස්කරණ සඳහා තාවකාලික ආණ්ඩුවක් ඇති කරගන්නා ලෙස ඒ සමග මේ විෂය ගැන උනන්දුවක් දක්වන සිවිල් සමාජයෙන් දේශපාලන පක්ෂ වෙත බලකිරීමක් සිදුවිය. පොදු පෙරමුණු ආණ්ඩුව ගරා වැටෙමින් තිබුණු තත්ත්වයක් ඉදිරියේ ප්රජාතන්ත්රවාදි ප්රතිසංස්කරණ සඳහා තාවකාලික ආණ්ඩුවක් ඇති කරගත යුතුයි කියන අදහස පොදු පෙරමුණ කෙරෙහි ද බලපාමින් තිබුණේය. ප්රජාතන්ත්රවාදි ප්රතිසංස්කරණ සඳහා තාවකාලික සර්වපාක්ෂික ආණ්ඩුවක් ඇති කරගැනීමට පක්ෂව මහින්ද රාජපක්ෂ වැනි අය ප්රසිද්ධියේ අදහස් පළ කරන තැනකට පැමිණ තිබුණේය.
පොදු පෙරමුණු ආණ්ඩුවේ බිඳ වැටීමක් ඇතිවීම වළකා ගැනීම සඳහා ජනාධිපතිනිය ජනතා විමුක්ති පෙරමුණ සමග එකගත්වයක් ඇති කරගැනීමේ උත්සාහයක නිරත වූ අතර ජනතා විමුක්ති පෙරමුණ පරිවාස ආණ්ඩුවක් සඳහා කොන්දේසි ඉදිරිපත් කළේය. ඉදිරිපත් කළ එම කොන්දේසි අතර, ව්යවස්ථා සභාව හා ස්වාධීන කොමිෂන් සභා ක්රමයක් ඇතුළත් 17 වැනි ව්යවස්ථා සංශෝධනය එක් කොන්දේසියක් විය.
ජවිපෙ ජනප්රියභාවය සඳහා 17 වැනි සංශෝධනයක් ගැන කතා කළත්, එම පක්ෂයට එහි කාර්ය ගැන අවබෝධයක් නොතිබුණ. එම තත්ත්වය ප්රයෝජනයට ගනිමින් ජනාධිපතිනිය කළේ ජයම්පති වික්රමරත්න ලවා එහි හරය විකෘති කෙරෙන ආකාරයට හා තවදුරටත් ප්රමුඛ තනතුරුවලට පුද්ගලයන් නම් කිරිමේ බලය ජනාධිපතිට ලැබෙන ආකාරයට නව කෙටුම්පතක් සම්පාදනය කිරීමය. එම කෙටුම්පත බැලු බැල්මට පැරණි කෙටුම්පතට වඩා වෙනස් නොවූවත්, මූලික වැදගත් කාරණා කිහිපයක් සියුම් ලෙස විකෘති කොට තිබුණි.
මුල් කෙටුම්පතට අනුව
(අ) මැතිවරණ කොමිෂන් සභාව
(ආ) රාජ්ය සේවා කොමිෂන් සභාව
(ඇ) ජාතික පොලිස් කොමිෂන් සභාව
(ඈ) මානව හිමිකම් කොමිෂන් සභාව
(ඉ) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
(ඊ) අධිකරණ සේවා කොමිෂන් සභාව
(උ) මුදල් කොමිෂන් සභාව
(ඌ) මැතිවරණ කොට්ඨාශ සීමා තීරණ කොමිෂන් සභාව යන කොමිෂන් සභාවලට සාමාජිකයන් හා සභාපතිවරුන් ද
(අ) අගවිනිසුරු හා ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්
(ආ) අභියාචනාධිකරණයේ සභාපති හා අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්
(ඇ) නීතිපති
(ඈ) විගණකාධිපති
(ඉ) පොලති
(ඊ) පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්
(උ) පාර්ලිමේන්තු මහ ලේකම්
යන තනතුරුවලට පුද්ගලයන් නම් කිරිමේ බලය තිබුණේ ව්යවස්ථා සභාවටය.
එහෙත් ජනාධිපතිනිය වෙනුවෙන් ජයම්පති වික්රමරත්න මහතා විසින් සම්පාදනය කොට නීතිගතවූ කෙටුම්පතට අධිකරණ සේවා කොමිසම හැර අනෙකුත් සියලු කොමිසන් සභා සඳහා සභාපතිවරුන් හා සාමාජිකයන් පත් කිරිමේ බලය ව්යවස්ථා සභාවට ලැබුණත්, අනෙකුත් සියලු ප්රමුඛ තනතුරු සඳහා පුද්ගලයන් නම් කිරිමේ බලය ලබාදි ඇත්තේ ජනාධිපතිටය.
සිදුවී තිබෙන විකෘතිය තේරුම් ගැනීමට අවශ්ය තරම් සියුම් බවක් ජනතා විමුක්ති පෙරමුණට තිබුණේ නැත. එජාපය ද කිසිම හැදෑරිමකින් තොරව මේ දඩි බිඩි සංශෝධනයට සහාය දුන්නේය.
දෑන් සමස්ත වැඩපිළිවෙළම තිබෙන්නේ අවුල් ජාලාවකය. සියලු දෙනා ඇටිකෙහෙල් කෑ උගුඩුවන් ලෙස නිහඬවම තටමනවා විනා බරපතල වරදක් සිදුවී ඇති බව මහජනයාට දැනුම් දෙමින් ඒ වරද නිවැරදි කිරිමේ උත්සාහයක යෙදෙන්නේ ද නැත.
ප්රියානි විජේසේකර මෙම අශෝභන ගනුදෙනුවේ පළමු බිල්ල බවට පත්ව සිටී. කොතරම් සුදුසුකම් තිබුණත් ඇය පත් කිරීමට ජනාධිපතිනිය කැමති නැත. ජනාධිපතිනියගේ ඒ හිතුවක්කාරි වැඩපිළිවෙළින් සිදුවන්නට යන වරද නිවැරදි කිරිමේ හැකියාවක් ව්යවස්ථා සභාවට නැත.
ඇත්තටම දැන් සිදුවිය යුතුව තිබෙන්නේ ප්රමාද කිරීමකින් තොරව 17 වැනි සංශෝධනයේදි සිදුවී තිබෙන විකෘතිය නිවැරදි කිරීම සඳහා වන ව්යවස්ථා සංශෝධනයක් ඉදිරියට ගැනීමය. එවැනි වැඩපිළිවෙළකට සහාය දෙනවා මිස, ඊට බාධා කිරිමේ හැකියාවක් ජනතා විමුක්ති පෙරමුණට ද නැත.
එහෙත් සිදුකරන නිවැරදි කිරීමක් ඇති කර තිබෙන විකෘතියට පමණක් සීමා නොවිය යුතු අතර, මේ නීතියට ආවේණික අඩුපාඩුකම් සම්පූර්ණ කිරීම ද ඒ සමග සිදුවිය යුතුය.
1. ව්යවස්ථා සභාවට දේශපාලන පකෂවල එකගත්වය ඇතිව තේරි පත්වන සාමාජිකයන් ඔවුන් අවසාන වශයෙන් තේරි පත්වීමට පෙර මහජන පරීක්ෂාවට ලක් කෙරෙන ක්රමයක් තිබිය යුතුය. දේශපාලන පක්ෂවල එකගත්වය තිබුණත්, නම් කරන සාමාජිකයකුට එරෙහිව බරපතල චෝදනා ඇතොත් ඒවා පරික්ෂාවට ලක්විය යුතුය. මේ ස්ථානය ඉතාමත් ගරු කටයුතු පුද්ගලයන්ට පමණක් ආ හැකි තැනක් වනවා ඇත්තේ එවිටය. දැනට ප්රමුඛ තනතුරුවලට පත්වන පුද්ගලයන් පරීක්ෂාවට ලක් කෙරෙන පාර්ලිමේන්තු කමිටුවක් ක්රියාත්මක වේ. ව්යවස්ථා සභාවේ සාමාජිකයන් ද ඒ කමිටුව ඉදිරියට යා යුතු තත්ත්වයක් ඇති කළ හැකිය.
2. ව්යවස්ථා සභාවට නාමකරණයෙන් පත් කරන සාමාජිකයන් විවාදයට හේතුවන වෙනත් කටයුතු වලට සම්බන්ධ වීමෙන් වැළකී සිටිය යුතුය. ඔවුන් සියලු දෙනා හිටපු විනිසුරුවරුන් හෝ නීතිඥයන්ය. ව්යවස්ථා සභාව විනිසුරුවරුන් පත් කිරිමේ ක්රියාවලියට සම්බන්ධ නිසා ඔවුන් නඩු කටයුතු සඳහා අධිකරණය ඉදිරියේ පෙනී සිටින තත්ත්වයකින් ක්රියාකිරීම කිසිසේත් ම උචිත විය නොහැකිය. ඒ සඳහා එකගතාවක් ඇති කරගෙන තිබුණත් ජනාධිපති නීතිඥ එච්.එල්. ද සිල්වා මහතා තවමත් නීතිඥයකු ලෙස ක්රියා කරමින් සිටිනවා පමණක් නොව, දේශපාලන වැදගත්කමක් ඇති නඩු වෙනුවෙන් පෙනී සිටීම ද අත්හැර නැත. ඒ තත්ත්වය වැළක්වීමට නීති සම්පාදනය විය යුතුය.
3. ව්යවස්ථා සභාවට පුද්ගලයන් පත්කිරිමේ බලය ඇතත්, පුද්ගලයන් ඉවත් කිරිමේ බලය ලැබී නැත. විෂමාචාර චෝදනා මත ඉහළ අධිකරණයේ විනිසුරුවරුන් ඉවත් කිරිමේ බලය ව්යවස්ථා සභාවට ලැබිය යුතු නැතත්, ඉහළ අධිකරණයේ කිසියම් විනිසුරුවරයෙකුට එරෙහිව බලවත් වරදකට අදාළව පැමිණිල්ලක් ලැබෙන අවස්ථාවක කරුණු සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරිමේ බලය ව්යවස්ථා සභාවට ලැබිය යුතුය.
4. ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් වශයෙන් හෝ සභාපතිවරුන් වශයෙන් පුද්ගලයන් තෝරාගන්නා ක්රමය ප්රකාශිත නැත. ඒ සඳහා විධිමත් ක්රමයක් ඇති කොට එය ප්රකාශයට පත් කළ යුතුය.