19 වැනි ව්යවස්ථා සංශෝධනය පිළිබඳව ශ්රේෂ්ඨාධිකරණය ලබාදි තිබෙන තීන්දුව අලුත් වටයක දේශපාලන අර්බුදයක් මතු කිරීමට නියමිත ය. ඊට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියක් අවශ්ය වනවා සේ ම, ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු ය. එහෙත් ජනමතවිචාරණයක් ප්රකාශයට පත් කිරිමේ බලය ඇත්තේ ජනාධිපතිනියට ය. ජනාධිපතිනියට ලැබී තිබෙන අභිමත බලය අනුව තමන් කැමති දිනයක එය කරළියට ගැනීමේ හැකියාව ඇත්තේ ය.
ජනමතවිචාරණයකට ද යායුතු බවට ශ්රේෂ්ඨාධිකරණය තීරණය කළහොත්, ජනමතවිචාරණයකට හා මහ මැතිවරණයකට යාමට යන වියදම එක සමාන නිසා ජනමතවිචාරණයකට නොගොස් පාර්ලිමේන්තු මහ මැතිවරණයකට යාමට ආණ්ඩුව අදහස් කරගෙන සිටියේ ය. ව්යවස්ථාව අනුව අවශ්ය නම්, පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ බලය පාර්ලිමේන්තුවට ඇතත්, පාර්ලිමේන්තු මැතිවරණයක් ප්රකාශ කිරිමේ බලය ඇත්තේ ජනාධිපතිනියට ය. එහිදි ද ජනාධිපතිනියට ලැබී තිබෙන පරම බලය නිසා පස්ස දොරෙන් ගනුදෙනු කිරිමේ හැකියාවක් ඇයට ඇත.
මේ ව්යවස්ථාව එජාපයේ නිර්මාණයකි. දැන් එය එම පක්ෂයට ම අභියෝගයක් වී තිබේ. එය දෛවයේ සරදමකි. ඊළග සරදම වනුයේ 78 ව්යවස්ථාව විසින් ස්ථාපිත කර ඇති විධායක ජනාධිපති ක්රමයට එරෙහිව පෙනී සිටි ශ්රීලනීපය ඇතුළු පොදු පෙරමුණත්, විධායක ජනාධිපති ක්රමයට එරෙහිව කටේ කෙළ ලේ වනතුරු කෑගැසූ ජනතා විමුක්ති පෙරමුණත් අද විධායක ජනාධිපති ක්රමයේ ආරක්ෂකයන් බවට පත්වී සිටීම ය. විධායක ජනාධිපති ක්රමය එක්කෝ අහෝසි කොට වඩා හොඳ හා තර්කානුකූල දේශපාලන ක්රමයක් ඇතිකර ගන්නා ලෙසත්, එසේ නොවී විධායක ජනාධිපති ක්රමයම අවශ්ය නම්, ව්යවස්ථාවේ ඇති නොගැලපීම් ඉවත් කොට ක්රමය සංශෝධනය කරගන්නා ලෙසත් “රාවය” දිගින් දිගට ඉල්ලා සිටියේ ය. පසුගිය මැතිවරණයට පෙර ද, මැතිවරණයෙන් කවුරු බලයට ආවත්, විශාල අවුලක් ඇතිවන්නට ඉඩ තිබෙන බව කියා එය සංශෝධනය කරගන්නා ලෙස අපි ඉල්ලා සිටියෙමු.
ඒ කිසිම දේශපාලන පක්ෂයක් ඒ කරුණු බැරෑරුම් ලෙස සැලකිල්ලට ගත්තේ නැත. අවසානයේදි දෑන් රට නැවත හිරවෙන තැනකට තල්ලු වෙමින් පවතී. ඒ නිසා ඇතිවන්නට යන අර්බුදය විනාශකාරි හා බිහිසුණු ප්රතිවිපාක ඇති කිරීමට හේතුවිය හැකි ය.
අවශ්ය නම් මේ සංධිස්ථානය ආණ්ඩුක්රම ව්යවස්ථාව ආශ්රයෙන් ඇතිවී තිබෙන අවුල් පමණක් නොව, රටට අවශ්ය දේශපාලන ප්රතිසංස්කරණ සඳහා පොදු එකගතාවක් ඇති කරගන්නා අවස්ථාවක් බවට පත්කර ගත හැකි ය. එවැනි නිමිත්තක් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ද එළඹුණේ ය. ප්රජාතන්ත්රවාදි ප්රතිසංස්කරණ සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇතිකර ගන්නා ලෙස ද, දුර දැක්මක් ඇති අය කෑගැසූහ. එය සියලු දේශපාලන පක්ෂ කෙරෙහි ද බලපාමින් තිබුණේ ය. එහෙත් එවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා ජනාධිපතිනිය කළේ ජනතා විමුක්ති පෙරමුණ සමග පරිවාස ආණ්ඩුවක් ඇති කරගැනීම ය.
දැන් නැවත රට පැමිණ ඇත්තේ ඒ සමාන අවස්ථාවකට ය. රට ඇද වැටී තිබෙන්නේ සමස්ත දේශපාලන ක්රමය පුළුල් ප්රතිසංස්කරණයකට ලක්කිරීමකින් තොරව, ඉදිරියට යා නොහැකි තැනක ය. මේ කුණුවී ඕජස් ගලන තුවාලය හොඳින් පිරිසිදු කොට, ඊට නිසි ප්රතිකාර කිරීම රටේ වගකීමයි. එසේ නො වෙතොත්, රටට යන්නට සිදුවනු ඇත්තේ විනාශ මුඛයට ය.
වෙනස් කරගැනීමට අවශ්ය ව ඇත්තේ ආණ්ඩු ක්රම ව්යවස්ථාව පමණක් නොවේ. තවත් බොහෝ දේ වෙනස් කරගත යුතු ය. බලයට පත්වන දේශපාලකයින්ට රටේ අනාගතය සමග හිතුවක්කාරි ලෙස සෙල්ලම් කිරීමට ඉඩක් නො ලැබෙන ලෙස හැම වැදගත් අංශයක් සඳහාම ජාතික ප්රතිපත්තියක් සඳහා පොදු එකගතාවක් ඇති කරගත යුතු ය. මැතිවරණ ක්රමය පමණක් නොව, පක්ෂ ක්රමයද වෙනස් විය යුතු ය. අප ප්රජාතන්ත්රවාදි පාලන ක්රමයක් අපේක්ෂා කරන්නේ බහු පක්ෂ ක්රමයක් මගිනි. එහෙත් කිසිම පක්ෂයක් තුළ අභ්යන්තර ප්රජාතන්ත්රවාදයක් නො පවතී. අභ්යන්තර ප්රජාතන්ත්රවාදයක් නැති පක්ෂ ක්රමය හදන්නේ ආඥාදායක නායකයින් ය. එසේ බිහිවන නායකයින්ගෙන් ප්රජාතන්ත්රවාදයක් බලාපොරොත්තුවීම විකාරයකි.
අවශ්යව ඇත්තේ ඇති කළයුතු ප්රතිසංස්කරණ සඳහා පොදු එකගතාවක් ඉලක්ක කොටගත් සර්ව පාක්ෂික තාවකාලික ආණ්ඩුවකි. ප්රතිසංස්කරණ සඳහා වන එම න්යාය පත්රයට ජනවාර්ගික ප්රශ්නය ද ඇතුළු කරගනිමින් ආරම්භ වී ඇති සාම වැඩපිළිවෙළ ද ඒ මගින් පෝෂණය කළ හැකි ය. රටට අවශ්ය දේශපාලන ක්රමය කුමක් ද යන්න එහිදි සාකච්ඡා කළ හැකි ය. දෙමළ මුස්ලිම් දුක් ගැනවිලි පමණක් නොව, සිංහල දුක් ගැනවිලි ද එහිදි සාකච්ඡාවට ලක් කළ හැකි ය. අධ්යාපනය, සෞඛ්යය, මගී ප්රවාහනය, පෞද්ගලිකකරණය වැනි කාරණා සඳහා ද ජාතික ප්රතිපත්ති රාමුවක් ඇති කරගත හැකි ය. මූලික ප්රශ්න අරබයා පොදු එකගතාවක් ඇති කරගැනීමෙන් පසුව පිරිසිදු හා ආදර්ශමත් මැතිවරණයකට යමින් දේශපාලනය සඳහා නව පරිච්ඡේදයක් ආරම්භ කළ හැකි ය.