අසමත් රාජ්‍යයේ අසමත් පාර්ලිමේන්තුව

October 29, 2026
Publication:
Parliament holds the power to make the law, to control public money and to direct the country's affairs, and it has never managed to carry the social and political responsibility that goes with being a legislature — only the material advancement of its members. Ivan dates the decay from 1977 and the executive presidency, and asks whether parliament gives the public a service worth the large price they pay for it.

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුව රටේ පවතින අවුල්වලට වගකිවයුතු එක් ප්‍රධාන ආයතනයක් ලෙස සැලකිය හැකි ය.

රටේ නීති සම්පාදනය, රාජ්‍ය මුදල් පාලනය හා රටේ කටයුතු හැසිරවීමේ ප්‍රධාන බලය පැවරී ඇත්තේ පාර්ලිමේන්තුවට ය.

පාර්ලිමේන්තුව එහි සාමාජිකයන්ගේ ද්‍රව්‍යමය අභිවෘද්ධිය ගැන මිස ව්‍යවස්ථාදායකයක් වශයෙන් තමන් වෙත පැවරී තිබෙන සමාජ, දේශපාලන වගකීම හරියාකාරව ඉටු කිරීමට කිසිසේත් ම සමත් වී නැත.

මේ පරිහානිය ආරම්භ වන්නේ 1977 න් පසුව ය. විධායක ජනාධිපති ක්‍රමයක් ඇති කිරීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද්‍රව්‍යමය වරප්‍රසාද දී විධායක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව රබර් මුද්‍රාවක් බවට පත්කර ගත්තේ ය. එතැන් සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය වගකීම කොට ගත්තේ තමන්ගේ අභිවෘද්ධිය ගැන සොයා බලනවාට අතිරේකව තම කොට්ඨාසයේ ඡන්දදායකයින්ගේ අභිවෘද්ධිය සොයා බැලීම ය. ව්‍යවස්ථාදායකයක් වශයෙන් රටේ කටයුතු සොයා බැලීමේ වගකීම අත්හැරියේ ය.

ඉන්පසු ඉඳහිට ඇසෙන ගාලගෝට්ටි හැරුණු විට අර්ථවත් වාද විවාද නො ඇසෙන තත්ත්වයක් ඇතිවිය. විධායකය සතුටු කිරීම සඳහා ප්‍රජාතන්ත්‍ර විරෝධී අණපනත් නීතිගත කරන ආයතනයක් බවට පිරිහුණේ ය. රටේ සියලු කටයුතු පවත්වාගෙන යෑමේ බලය විධායක ජනාධිපතිවරයාට බාරදී රටේ කුමක් සිදුවුවත් ඒවා ගැන කතා කිරීමෙන් වැළකී සිටින ප්‍රතිපත්තියකට මාරු වූයේ ය.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ප්‍රශ්නය අවුල් ජාලාවකට ගොස් තිබෙන අවස්ථාවක හැන්ද අත ඇති අය ලෙස තමන්ට කැමති තරම් බෙදා ගත්තේ ය. උසස් අධිකරණයේ විනිසුරුවරුන්ගේ වැටුප් නිර්ලෝභී ලෙස වැඩි කරන විට වෙන්න යන්නේ කුමක් දැයි අපි දැන සිටියෙමු. එය තමන්ගේ වැටුප් ස්වයංක්‍රීය ලෙස වැඩි කරගන්නා උපාය මාර්ගික වැඩපිළිවෙළක් බව ජනතාව දැන නො සිටියේ ය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වැටුප් වැඩි නො කළ යුතුයැයි අපි නො කියමු. රාජ්‍ය සේවක වැටුප් තීරණය කිරීම සඳහා කොමිෂන් සභා ක්‍රමයක් ඇති කර තිබුණු තත්ත්වයක් යටතේ රාජ්‍ය සේවකයන් ගේ වැටුප් සමඟ උසස් අධිකරණයේ විනිසුරුවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හා නිලතල හොබවන ඇමතිවරුන්ගේ වැටුප් තීරණය කළ යුතුව තිබුණේ පාර්ලිමේන්තුව විසින් නොව එම කොමිෂන් සභාව විසින් ය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිල කාලය අවුරුදු 06 ක් ව තිබිය දී අවුරුදු හතේ සම්පූර්ණ නිල කාලය සඳහා වාහන ලබාදෙනවා වෙනුවට අවුරුදු 05 ක කාලයක් සඳහා නිල වාහනයක් ලබාදෙන්නේ එක් නිල කාලයක් සඳහා වාහන දෙකක් ලබාදීමේ සටකපට අරමුණින් බව තේරුම් ගැනීමට විශාරද දැනුමක් අවශ්‍ය වන්නේ නැත.

ලෝකයේ වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙන ද්‍රව්‍යමය වරප්‍රසාද සමඟ සැසඳූ විට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙන ද්‍රව්‍යමය පහසුකම් සුපිරි තත්ත්වයක පැවතියත් ඔවුන් අතින් සිදුවන කාර්ය භාරය සැලකූ විට එය තිබෙන්නේ උපරිම තත්ත්වයක නො ව අවම තත්ත්වයක ය.

රටේ පැවැත්ම කෙරෙහි බලපාන සෑම දෙයක් ම සොයා බැලීමේ වගකීම පාර්ලිමේන්තුව සතු ය. එහෙත් පාර්ලිමේන්තුව විසින් සොයා බලන කිසිම දෙයක් නැති තරම් ය. අඩුම වශයෙන් විගණකාධිපතිවරයා ඉදිරිපත් කරන විගණන වාර්තා පිළිබඳවවත් හරි සොයා බැලීමක් කරන බවක් පෙනෙන්නට නැත.

සමස්ත රාජ්‍ය නිලධරතන්ත්‍රය ම දූෂණයෙන් ද, අකාර්යක්ෂමතාවයෙන් ද හිරි වැටුණු තත්ත්වයකට පත්ව ඇතත්, ඒ ගැන සොයා බලා නිසි පිළියම් යෙදීමට පාර්ලිමේන්තුවට උනන්දුවක් ඇති බවක් පෙනෙන්නට නැත.

යුක්තිය පසිඳලීමේ ආයතන ක්‍රමය දැන් දීර්ඝ කාලයක් තිස්සේ විධායකයේ දේශපාලන අතකොලුවක් ලෙස ක්‍රියාකරමින් සිටී. එහෙත් ඒ ගැන පාර්ලිමේන්තුව මුළුමණින් නිහඬ ය.

කැබිතිගොල්ලෑව ඛේදවාචකයේ දී එම බස් රථයේ ගමන් කර තිබුණු පිරිස 176 කි. රටේ පොදු මගී ප්‍රවාහන සේවාවන් හි තත්ත්වය ඉන් හොඳින් පෙන්නුම් කරයි. එහෙත් මේ කිසිම ප්‍රශ්නයක් ගැන පාර්ලිමේන්තුවේ කතා නැත.

පාර්ලිමේන්තුව පවත්වාගෙන යෑමට මහජනතාව විශාල මිලක් ගෙවයි. ඒ මිලට සරිලන සේවාවක් තමන් විසින් කරන්නේ ද යන්න පාර්ලිමේන්තුව සොයා බැලිය යුතු ය.