ඔහු අප සමඟ ජීවත් වෙයි

October 29, 2026
Publication:
One man said he was a god among men. No, said another, he was a man among men. No, said a third, he was a gentleman among lawyers. What can be said for certain is that he was a gentleman and a lawyer — an utterly fearless one, whose honesty could not be questioned, and who fought his cases not to earn money but for other people's rights and for the society. A tribute to Suranjith Hewamanna.

ඔහු මිනිසුන් අතර දෙවියෙක් වී යයි කෙනෙක් කීය. නැත, ඔහු මිනිසුන් අතර මිනිසෙක් වීයැයි තවත් කෙනෙක් කීය. නැත, ඔහු නීතිවේදීන් අතර මහත්මයෙක් වී යැයි තුන්වැන්නා කීය. මා ගැන කිවයුත්තේ, ඔහු මහත්මයකු හා නීතිවේදියකු වීය යන්න මට නිසැක වූ බවයි. ඔහු පරිපූර්ණ මහත්මයෙක් විය. නීතිවේදියකු වශයෙන් ඔහු අතිශයින් ම නිර්භීත විය. ඔහුගේ අවංකභාවය කිසිසේත් ම ප්‍රශ්න කළ හැක්කක් නොවී ය. ඔහු නඩුවල දී සටන් කළේ මුදල් ඉපැයීමට නොවේ. ඔහු සටන් කළේ අන්‍යයන්ගේ අයිතීන් වෙනුවෙනි. සමාජය වෙනුවෙනි.

සුරන්ජිත් හේවාමාන්නගේ මරණය පිළිබඳ පුවත මා මහත් ලෙස කම්පාවට පත් නොකළේ ය. ඔහු අවුරුදු ගණනක් පීඩා විඳිමින් සිටියේ ය. ඔහුගේ වකුගඩු අක්‍රීය වෙමින් තිබුණි. පසුගිය අවුරුදු කිහිපයේ දී ඔහු හෘදයාබාධ කිහිපයකට ඔරොත්තු දී තිබුණි. ඔහු කටයුතු කළේ ඔහුගේ සෞඛ්‍ය ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වමිනි. මන්ද යත් ඔහු උනන්දු වූයේ ඊට වඩා බැ?රුම් කරුණු ගැන බැවිනි. පද්ධතියේ ඉහළම තැන කුලී හේවායින් සිටින තාක් කල් එය නිවැරදි මාවතට ගත නොහැකි යැයි ඔහු සෑම විටකම කීය.

සෑම මොහොතක ම ඔහු ශ්‍රී ලංකාවේ දේශපාලන අනාගතය ගැනත්, එහි අධිකරණය ගැනත්, එහි ජනතාවගේ නිදහස ගැනත් කතා කළේ ය. ඔහු බොහෝ පොත් පත් කියාවා තිබුණේ ය. ඔහු සැබැවින් ම බහුශෘතයෙක් විය. ඔහුගේ දැනුම ඔහු යෙදුණු වෘත්තිය වූ නීතියට අදාළ පොත්වලට සීමා නොවීය. ඔහු බොහෝ දේ පිළිබඳ ඉතිහාසය, දේශපාලනය හෝ ශිෂ්ටාචාරය ඈ බොහෝ දේ පිළිබඳ දැනුම් ආකරයක් විය.

මා නීතිපති දෙපාර්තමේන්තුවේ සිටි කාලයේ මම සුරන්ජිත් නිතර දුටුවෙමි. එහෙත් ඔහු සමඟ දීර්ඝ සංවාදයක කිසිදා නොයෙදුණෙමි. මා අධිකරණයට බැඳුණු පසු ඔහු මා ඉදිරියේ පෙනී සිටි ප්‍රථම දිනය තවමත් මට මතක ය. ඔහුගේ නඩුව දුෂ්කර එකක් විය. එහෙත් ඔහු තමා කියන දේ විනිශ්චයකාරවරයාට ඒත්තු ගැන්වීම සඳහා වූ තම ප්‍රයත්නයන් අත්හැරීමට කැමති නොවී ය. ඔහුගේ ආශාව වූයේ තම සේවාදායකයා වෙනුවෙන් තම උපරිමය කිරීමය. ඔහුගේ දේශනය සීමා කිරීම දුෂ්කර විය. ඔහු ඒ පෙනී සිටියේ නොමිලයේ ( ඡරද ාැද දෙවියන් වෙනුවෙන්) බව බොහෝ කලකට පසු ඔහු මා සමඟ කීය. ඔහු තවත් නඩුවකට පෙනී සිටි විට ““හේවාමාන්න මහත්තයා, ඔබ හොඳ ආරම්භක පිතිකරුවෙක්. අපි ඔබට ඉතා පැහැදිලි දිනයක් දෙන්නම්”” යැයි කියමින් මා ඔහුගේ නඩුව තවත් දිනකට කල් තැබූ බව මට මතක් වෙයි. ඔහු හිස නමා නිරහංකාරයේ හා උපහාසයේ මිශ්‍රණයක් වූ තම සුපුරුදු සිනහවෙන් ඊට එකඟ විය.

නොබෝ කලකට පෙර මම සුරන්ජිත්ගේ සමීප මිතුරකු බවට පත් වීමි. අධිකරණ ක්‍රමය හිතුවක්කාර අන්දමින් විනාශ කිරීමට එරෙහි සටනේ ඔහු පුරෝගාමියකු වූ බව මා දැන ගත්තේ 2000 වසර හරියේ දී පමණි. ඔහු නොපෑහෙන දේශපාලන දෘෂ්ටීන් දෙකක් වූ කොමියුනිස්ට්වාදය හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ගැඹුරු දෘෂ්ටියක් තිබුණු පුද්ගලයකු පිළිබඳ දුර්ලභ උදාහරණයක් විය. ඔහු යක්ෂයාගේ අධිවාචකයා හැටියට ක්‍රියා කරතැයි මම සිතීමි. මා වැරදි බව පසුව මට පෙනී ගියේ ය. ඔහු ක්‍රම දෙකේ ම හොඳ අංගයන්ට ගරු කළේ ය. මුල් කාලයේදී ඔහු කොමියුනිස්ට්වාදයේ හිතවතෙක් විය. පසුව ඔහු (මොස්කව්) කොමියුනිස්ට් පක්ෂයේ ශ්‍රී ලංකා ශාඛාවේ මධ්‍යම කාරක සභා සාමාජිකයෙක් විය. මට හමුවූ සුරන්ජිත්, කිසි විටෙකත් කොමියුනිස්ට්වාදය හෙළා නොදුටු, එහි මූලික ප්‍රතිපත්තිවලට ගරු කළ, ඒකාන්තයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදියෙක් විය.

මානව නිදහස්කම්-යුක්තිය, පුවත්පත් හා අදහස් පළකිරීමේ නිදහස-සුරන්ජිත්ගේ හදවත පත්ලේම විය. අධිකරණ ක්‍රමය අවමානයට පත් කළ ඕනෑම කෙනෙකු කෙරෙහි ඔහු එහි මුදුනේම හෝ පහළම සිටියත්, සුරන්ජිත් තුළ වූයේ අතිශය පිළිකුලකි. සෑමවිටම ඔහු මෙසේ කීවේය. ““මුදුනෙන් දුඟඳ හමයි නම්, පහළම මට්ටම වඩා හොඳ වන්නේ කෙසේද?”” ඔහු මෙසේ ද ඇසීය. “මතුපිට පමණක් ඇති යුක්තියේත් මෙබඳු සමාජයක ජීවත්වීමේත් ප්‍රයෝජනය කුමක්ද?””

තමන්ගේ මුළු ජීවිතයම ප්‍රතිපත්ති වෙනුවෙන් කැප කළ පුද්ගලයෙකුගේ අවසානය එතරම් ශෝකාකූල වීම දෛවයේ සරදමකි. ශ්‍රී ලංකාවේ අධිකරණය යළි ගලවා ගත නොහැකි තැනට පත්වී ඇතැයි යන ප්‍රබල හැඟීම නිසා සුරන්ජිත් අසහනයට කළකිරීමට හා රෝගී තත්ත්වයට පත්වී සිටියේය. තමන් දරන අධිකරණ හෝ පරිපාලන කවර තනතුරක් හෝ තමන්ට ඇති කවර බලයක් හෝ ඉහළ හෝ පහළ කවර ඛණ්ඩයක හෝ සිට සමාජය විනාශ කරන, යුතු අයුතුකම් නොතකන පූලකයින් මෙන් නොව, රටේ යහපත සඳහා කටයුතු කරන අවංක පුද්ගලයෙකුට එබඳු ගැඹුරු අසහනයක ප්‍රතිවිපාක විඳින්නට සිදුවීම ස්වාභාවිකය.

සුරන්ජිත් කිසිවිටෙකත් බණ දේශනා නොකළේය. ඔහු කළේ නිවැරදි හා ගෞරවනීය හැටියට තමා කල්පනා කළ දේය. ඔහු කිසිවිටෙකත් කිසිදු ලාභයක් සඳහා එය ඔහුට කෙතරම් ඵලදායක විය හැකිව තිබුණත්, ව්‍යාජ හේතු යොදා නොගත්තේය. බලයේ සිටි පුද්ගලයින්ගේ චපල ක්‍රියාවන්ට ගොදුරු වූ බොහෝ අධිකරණ නිලධාරීන්ට එකම සැනසුම වූයේ ඔහුය. ඔහු ඔවුන්ට ආධාර වනු පිණිස කළ හැකි සියල්ල කළේය. බොහෝ විට ඔහු ඔවුන්ගේ නඩු සඳහා තමන්ගේම වියදමින් ලියවිලි පිළියෙළ කළේය. කිසිදු පැකිළීමකින් තොරව කුමන ප්‍රතිඵලයක් ආවත්, තමා මුහුණ දිය හැකි කුමන අවාසියක් තිබුණත්, තමාට කවර පාඩුවක් සිදු වුණත්, ඇත්ත කතා කිරීමට තරම් නිර්භීත වූ ඔහු සැබෑ නීතිවේදියෙකු පිළිබඳ ආදර්ශය විය. නීතිවේදී වෘත්තියේ නවකයින්ගේ පමණක් නොව අන් අයගේ ද ධෛර්යයට හා ප්‍රතිපත්තිවලට ආධාර කළ ඔහු, තම පැවැත්ම මුදල් හා තත්ත්වය සඳහා ඕනෑම මට්ටමකට පහත වැටෙන ආකාරයේ නිවටයින්ට හා කපටි හා වංක පුද්ගලයින්ට විකල්ප ආදර්ශයක් දුන්නේය.

සුරන්ජිත් අයුක්තියේ අන්ධකාරයට එරෙහිව කුඩා ආලෝකයන් බොහෝ ගණනක් දැල්වූ ගින්නක් වූයේය. ඔහුගේ අකල් මරණය මරණයක් නොවේ. ඔහු දැල්වූ කුඩා ආලෝකයන්ට, යම් දිනක ඒවා අති මහත් ගින්නක් මෙන් එක්ව දැල්වෙනු පිණිස, ඔහු දිගටම ජීවය දෙයි.

සමිත් ද සිල්වා

(හිටපු මහාධිකරණ විනිසුරු)