රාවය සන්නිවේදන ක්‍රියාවලියට 20 වසර සම්පූර්ණ වන්නේ එළඹෙන අගෝස්තුවලදීය. විසි වසරක වර්ෂ පූර්ණය එළඹෙන්නට නියමිතව තිබුණු අවස්ථාවක රාවයේ කාර්ය මණ්ඩලයේ අඩකට ආසන්න පිරිසකගේ සේවය අහිමි කරන්නට සිදුවීම රාවයට සිය ඉතිහාසය තුළ මුහුණ දෙන්නට සිදුවූ ඉතාමත්ම වේදනාකාරි අත්දැකීම ලෙස සැලකිය හැකිය. එය රාවය ආරක්ෂා කර ගැනීම සඳහා ඒ සියලු දෙනා ස්වකැමැත්ත ඇතිව ගනු ලැබූ අනුවේදනීය තීරණයක් වූ අතර, කවර අඩුපාඩුකම් තිබියදී වුවත්, ඒ සියලු දෙනාගේ ගුණාත්මක අගය, රාවය කෙරෙහි ඇති බැඳීම හා කැපවීම ප්‍රදර්ශනය කළ උද්වේගකර අවස්ථාවක් ලෙස ද සැලකිය හැකිය. රාවයේ පැවැත්ම ආරක්ෂා කිරීම වෙනුවෙන් සේවය අතහැර ගිය අය අතර, ආරම්භක සාමාජිකයන් දෙදෙනෙකු ද වූහ. ඒ හැමදාමත් රාවයේ නියෝජ්‍ය කර්තෘ ලෙස ක්‍රියා කළ උපාලි කොළඹගේ හා හැමදාමත් රාවයේ ප්‍රධාන චිත්‍ර ශිල්පියා ලෙස ක්‍රියා කළ අශෝක පද්මසිරිය. අනෙක් අය අතර, ජයසිරි ජයසේකර (විශේෂාංග කර්තෘ), මංජුල වෙඩිවර්ධන (ක්‍රීඩා පිටු සංස්කාරක), ආනන්ද ජයසේකර (කර්තෘ මණ්ඩල සාමාජික), රංජිත් ගුණවර්ධන (කර්තෘ මණ්ඩල සාමාජික), අජිත් සෙනෙවිරත්න (ඡායාරූප ශිල්පී), පුෂ්පා පෙරේරා හා උපාලි රණතුංග (බෙදාහැරීම් අංශය), ශිරෝනි සේනානායක (පුස්තකාලය), කමලා කාන්ති (ගිණුම් අංශය) යනාදීන් විය.
රාවය ආරම්භ කිරීමෙන් බලාපොරොත්තු වූයේ එතෙක් රටේ පැවති සම්ප්‍රදායික පුවත්පත් කලාවෙන් බැහැර වී රටේ පොදු යහපත සලකා සමාජ වගකීමෙන් ක්‍රියාකරන ජනමාධ්‍ය සම්ප්රදායක් ආරම්භ කිරීමය. එය සරල හෝ පහසු ඉලක්කයක් නොවන බවත්, ඒ අරමුණ කරා යන ගමනේදී අතිවිශාල අභියෝගයන්ට මුහුණ දෙන්නට සිදුවනු බව අපි දැන සිටියෙමු. අඩුපාඩුකම් තිබියදී වුවත්, ඒ උදාර අරමුණ වෙනුවෙන් රාවය 20 වසරකට ආසන්න කාලයක් සටන් කළේය. ඒ කාලය තුළ යහපත් වෙනස්කම් ගණනාවක් ඇති කරලීමට ද රාවය සමත් විය. එය පාර්ලිමේන්තු වරප්‍රසාද නීතිය ආණ්ඩුව විවේචනය කරන ජනමාධ්‍යවේදීන්ට එරෙහිව මර්දන උපකරණයක් ලෙස යොදා ගැනීමේ පිළිවෙතට එරෙහිව සටන් කළේය. ඒ මගින් එම වැරදි සම්ප්රදාය අත්හිටුවන තත්ත්වයක් දිනාගැනීමට ද සමත් විය. සාපරාධී අපහාස නීතියට එරෙහිව ද රාවය දිග්ගැස්සුණු අරගලයක නිරතවෙමින් එම නීතිය ද අවලංගු කළ යුතු තත්ත්වයක් ඇති කිරීමට සමත් විය. වත්කම් බැරකම් නීතිය ද එක්තරා ප්‍රමාණයකට හෝ බලාත්මක තත්ත්වයකට ගැනීමට රාවයේ ක්‍රියාකාරීත්වය බලපෑවේය. අවසාන ප්‍රතිඵලයක් දිනාගැනීමට සමත් නොවූවත් අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් ද දිග් ගැසුණු අරගලයක නිරත විය. පසු කලක අසාර්ථක අත්දැකීමක් බවට පත්වුවත්, ස්වාධීන කොමිෂන් සභා ක්‍රමයක් ඇති කිරීමට හේතුවූ 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ පෙර ගමන්කරුවකු ලෙස ක්‍රියා කළේය. අල්ලස හා දූෂණයට එරෙහිවත්, වර්ගාන්තර සමානතාව හා මානව හිමිකම් වෙනුවෙනුත්, ස්ත්‍රී හා ළමා අයිතිවාසිකම් වෙනුවෙනුත් උපරිම ශක්තිය යොදා ක්‍රියා කළේය. එහෙත් රාවයට ඒ ගමන යන්නට සිදුවූයේ රෝස මල් ඇතිරූ මාවතක නොවේ. බොරු වළවල් කටු අකුල් හා බිහිසුණු වන සතුන් ගහන දුෂ්කර මාවතකය. ප්‍රතිපත්තිගරුක භාවය ආර්ථික වශයෙන් රාවයේ පැවැත්ම දුර්වල කිරීමට හේතු වුවත්, එම සුපුරුදු කටුක මාවත අත්නොහැර දුෂ්කර ලෙස ඉදිරියටම ගියේය. මහජනයාට පහසුවෙන් විකිණිය හැකි අරුත් විරහිත දේවල් වෙනුවට මහජනයාගේ විචාර අවබෝධය වර්ධනය කිරීමට හේතු වන කරුණු මත පදනම්වෙමින් පුවත්පත පවත්වාගෙන ගියේය. රාවය සමඟ රාජ්‍ය පාලකයින් ද, දේශපාලන පක්ෂ, ව්‍යාපාරික බලවතුන් ද ගැටුම් ඇති කරගත්තේය. රාවයේ ආර්ථික රැකවරණය සඳහා ප්‍රතිපත්ති විරහිත එකඟතාවක් ඇතිකර ගැනීමේ පහසු හැකියාවක් තිබුණ ද, රාවය සිය පැවැත්ම සඳහා එවැනි මාර්ග තෝරාගත්තේ නැත. වැරදි කරන අවස්ථාවලදී රාවයට රාවයේ මිතුරන් පවා විවේචනය කිරීමට සිදුවිය. ව්‍යාපාරික හෝ දේශපාලන බලවතුන් කණ්ඩායමක් තෝරාගෙන එසේ තෝරාගත් අය මත යැපෙමින් ඔවුන් හැර අන් සියලුදෙනා විවේචනය කරමින් විප්ලවකාරී පෙනුමක් ආරූඪ කරගනිමින් සිය ආර්ථික පැවැත්ම රැකගැනීමේ හැකියාවක් රාවයට තිබුණ ද, රාවය එවැනි මාවතක් තෝරාගත්තේ ද නැත. ආර්ථික අමාරුකම් තිබියදීත් රාවය සිය වියදමෙන් මහජන යහපත පිණිස නඩු කීවේය. උද්ඝෝෂණ ව්‍යාපාරවල නිරත වූවේය. රාවයට මේ හැමදෙයක්ම කරන්නට සිදුවූයේ රාවයේ ගෙළ මිරිකා දමන්නට ඇතැම් බලවේග නොකඩවා දරන උත්සාහයන් මැද්දේය. අවසානයේ 2005 දෙසැම්බර් වන විට තවදුරටත් ඉදිරියට යා නොහැකි තරම් ආර්ථික වශයෙන් දුෂ්කර තැනකට රාවය තල්ලු විය.
එහිදී අපි කුමක් කළයුතු දැයි සාකච්ඡා කළෙමු. රාවය හොඳ මිලකට මිලදී ගැනීමට කැමති පිරිසක් සිටිය ද රාවයේ කීර්තිනාමය ව්‍යාපාරික අරමුණෙන් පාවිච්චි කිරීමට ඉඩදීම යුක්තිසහග වන්නේ කෙසේද යන ප්රශ්නය මතුවිය. එසේ රාවයේ පැවැත්ම සඳහා හිඟාකන තත්ත්වයකට යාම ද රාවයේ ගෞරවයට හේතු නොවන නිසා ගෞරවනීය මරණයකට ඉඩ හැර රාවය වසා දැමීමට තීරණය කළෙමු.
රාවය වසා දමන්නට යන බව දැනගන්නට ලැබී කම්පනයට පත් සමහර රාවයේ මිතුරන් රාවය වසා දමන්නට ගනු ලැබූ තීරණයට සිය බලවත් විරෝධය පළකරන්නට වූහ. ““රාවය වැසුවොත් නැවත රාවයක් ඇතිවිය නොහැකිය. ඒ නිසා රාවය නොවැසිය යුතුය. රාවය සමාජ යහපත වෙනුවෙන් ක්‍රියාකළ ආයතනයක් වේ නම් එය රැකගැනීම සමාජයේ වගකීමකි. සමාජය දැනුවත් කොට ඒ වගකීම සමාජය ලවා ඉටු කරවන අත්හදා බැලීමක නිරතවීමට”” තමන්ට ඉඩ දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියේය.
එම අරමුණ වෙනුවෙන් රාවයේ මිතුරෝ නමින් සංවිධානයක් ඔවුන් විසින්ම ගොඩනගා ගන්නා ලදි. ඊට විවිධ තරාතිරම්වලට අයත් පුද්ගලයින් පනහකට ආසන්න පිරිසක් සම්බන්ධ වූහ. ඔවුන් අතර වෘත්තීයවේදීන් සිටියේය. කලාකරුවන් සිටියේය. ව්‍යාපාරිකයන් සිටියේය. රාවය ආරක්ෂා කරගන්නේ කෙසේද යන ප්රශ්නය ඔවුන් දිගින් දිගට සාකච්ඡා කළේය. අවසානයේ ඔවුන් ඒ සඳහා ඔවුන්ගේම වන වැඩපිළිවෙළක් දියත් කරන ලදි.
ආචාර්ය කුමාර් රූපසිංහ රාවය මිලදී ගෙන ඇත්තේය කියන කතාවක් දැන් මාස 06ක පමණ කාලයක් තිස්සේ රටේ පැතිරෙමින් තිබුණි. එහි කිසිම ඇත්තක් නැත. සිදුවූ එකම දේ රාවය ආරක්ෂා කරගැනීම සඳහා ගොඩනගනු ලැබූ ව්‍යාපාරයේ ඔහු සජීවී කොටස්කරුවකු වීමය. රාවයේ කාර්ය මණ්ඩලයේ එකම පුද්ගලයෙකුටවත් ගෙදර යෑමට සිදු නොවන ලෙස රාවයේ ආදායම් තර කිරීම මගින් රාවය ඉදිරියට ගෙන යායුතු බව රාවයේ මිතුරන්ගේ තීරණය විය. ඔවුන් ඒ සඳහා කළමනාකරණ කමිටුවක් ගොඩ නගන ලද අතර, ආචාර්ය කුමාර් රූපසිංහ, ආචාර්ය ගොඩ්ෆ්‍රි ගුණතිලක, ආචාර්ය ෆායිස් උල් රහමාන්, ලාල් පියසේන හා විජය උඳුපිටිය යන අය එම කමිටුවේ සාමාජිකයෝ වූහ. කමිටුව රාවයේ දෛනික කටයුතු කළමනාකරණය පිණිස පුද්ගලයින් තිදෙනෙකු පත් කරන ලද අතර, ඒ අයට වැටුප් ගෙවන ලද්දේ රාවය විසින් නොව රාවයේ මිතුරන් ඇති කොට තිබුණු අරමුදලෙනි. කළමනාකරණ කමිටුවට හෝ රාවය මිතුරන්ට සැඟවුණු න්‍යාය පත්‍ර නොතිබුණි. ඔවුන්ගේ පරම හා එකම අභිලාෂය වූයේ රාවය නගා සිටුවීමය. ඒ වෙනුවෙන් තමන්ට කළහැකි උපරිමය කිරීමය. ඔවුන්ගේ අත්හදා බැලීම ඉතා වැදගත් වුවත්, එය සාර්ථක නොවීය. ඒ තත්ත්වය ඉදිරියේ හත් මාසයක කාලයට පසුව දැන් කුමක් කළ යුතුද යන ප්රශ්නය නැවත බැ?රුම් ලෙස සලකා බලන්නට අපට සිදුවිය.
ආදායම හා වියදම අතර විශාල පරතරයක් තිබුණි. එක්කෝ ආයතනය වැසිය යුතු විය. නැතිනම් ලැබෙන ආදායමට සරිලන ලෙස වියදම් සීමා කළ යුතුවිය. වියදම් සීමා කිරීමට තිබුණු එකම මග සේවා නියුක්තිය 50%කට ආසන්න ප්‍රමාණයකින් අඩු කිරීමය.
ඒ දෙකින් කුමක් කළයුතු ද යන්න රාවය අභ්‍යන්තරයේ සාකච්ඡාවට ලක්විය. කොපමණ ප්‍රමාණයකට රැකියා අහිමි වුවත් රාවය ආරක්ෂා කරගත යුතු බව සියලු දෙනා දරන ලද පොදු මතය විය. තවදුරටත් තබාගත යුතු අය කව්ද යන්න තීරණය කිරීමේ බලය මා වෙත පවරන ලදි.
අවසානයේ රාවයේ කාර්ය මණ්ඩලයේ අඩකට ආසන්න ප්‍රමාණයක් රාවය ආරක්ෂා කරගැනීම සඳහා සිය රැකියා පරදුවට තැබුවේය. ඉන්පසු සියල්ල සිදුවූයේ විස්තර කිරීමට පහසු නැති හැඟීම්බර ස්වරූපයකිනි. කොහේ ගියත් රාවය අත්නොහරින බව හා රාවයට ලියන බව ජයසිරි, මංජුල හා ආනන්ද කීවේය. පිටත සිට රාවයට ඡායාරූප එවන බව අජිත් කීවේය. චිත්‍ර ශිල්පීන් දෙදෙනා එක පවුලේ අයියා මලෝ විය. එක් අයෙකු තෝරා ගැනීම පහසු වීම පිණිස අශෝක තනතුරෙන් ඉවත් විය. ඔහු රාවයේ ආරම්භක සාමාජිකයෙකි. ඒ සියලු දෙනා එහිදී පළ කරන ලද පරාර්ථකාමී බව රාවයට සදානුස්මරණීයය. රාවයට නැවත සාර්ථක ගමනක් යන්නට ඉඩ ලැබී ඒ සියලු දෙනාම නැවත රාවයට එකතු වන්නට ඉඩ ලැබේවායි ප්‍රාර්ථනා කරමි.
දැන් ආදායම හා වියදම අතර පරතරයක් නැත. එහෙත් ණයගැතිභාවයක් පවතී. මෙතෙක් සියලුදෙනා වැඩ කළේ වැටුපකටය. ලාබ ඩැහැ ගැනෙන මුදලාලි ක්‍රමයක් රාවයේ නොතිබුණි.
අලුත් අත්හදා බැලීමේ ප්‍රතිඵල කුමක් වනු ඇත්ද යන්න දැන්ම කිව නොහැකිය. හැම දෙයක්ම අනිත්‍යය. නැසෙන සුළුය. සමහර අභාවයන් වඩා ශක්තිමත් අලුත් උත්පත්තියට මුල පිරීමක් කරයි. රාවය ද සදාකාලික නැත. එය ද නැසෙන සුළුය. එහෙත් මරණය එන්නේ කවදා වුවත් මැරෙන තෙක් ගෞරවයෙන් ජීවත් වී ගෞරවනීය මරණයක් අත්පත් කරගැනීම රාවයේ අපේක්ෂාවයි. මේ තීරණාත්මක මොහොතේදී වෛරයෙන්, ක්‍රෝධයෙන් හෝ දෝෂාරෝපණය කිරීමෙන් තොරව රාවයේ පැවැත්ම සඳහා රැකියා පරිත්‍යාග කළ සියලු දෙනා (කෙටි හෝ දීර්ඝ) රාවයේ ඊළඟ ජීවිතය ලස්සන කළ මිනිසුන් ලෙස රාවයේ ඉතිහාසයට එකතු විය යුතුය.