අවසානය කුමක්ද?

February 22, 2009
Publication:
Written during the critical final phase of the civil war in February 2009, this article analyzes the LTTE's strategy of using civilians as a human shield to force a political settlement. The author addresses the outrage from the global Tamil diaspora, pointing out the LTTE's own history of violence against Tamils. By comparing the military offensive to the much harsher state suppression of the JVP youth insurrection in the late 1980s, the author argues that the government has a duty to defeat the armed rebellion while minimizing civilian casualties, without abandoning its primary objective.

කොටි සංවිධානයේ පාලන අධිකාරිය වර්ග කිලෝමීටර් 100 කටත් අඩු ප්‍රමාණයකට සීමා කිරීමට ආරක්ෂක හමුදා සමත් වී තිබේ. කොටි සංවිධානය තමන්ගේ අවසාන මොහොතේ සිය අවසාන පැවැත්ම ආරක්ෂා කරගැනීමට පළිහක් කොටගෙන ඇත්තේ සිය පාලන කලාපය තුළ සිටි ජනතාවගෙන් කොටසකි. ඔවුන් සමග සිටින ජනතාව කොටි සංවිධානයට ඇති බිය නිසා හෝ සිය නායකයන් අත්හැර ඒමට ඇති අකමැත්ත නිසා හෝ අනතුරුදායක බව නොසලකා එහි රැඳී සිටින බව පෙනේ. තමන් සමග සිටින ජනතාවගේ ආරක්ෂාව ගැන කැක්කුමක් ඇති නම් ඔවුන් ඉවත් කිරීමේ හැකියාවක් කොටි සංවිධානයට ඇතත්, ඔවුන් එසේ කරන්නේ නැත. ආයුධ බිම තබා යටත්වන ලෙසට ශ්‍රී ලංකා ආණ්ඩුව පමණක් නොව, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඉන්දියාව හා ආධාර කණ්ඩායමේ සමසභාපති මණ්ඩලය වැනි ආයතන ඉල්ලා ඇතත්, ඔවුන් ආයුධ බිම තබා යටත් වන්නට ද සූදානම් නැත. ඔවුන්ට අවශ්‍යව ඇත්තේ මිනිස් පළිහක් කොට ගෙන සිටින ජනතාව අවසාන තුරුම්පුව ලෙස පාවිච්චි කරමින් දේශපාලන විසඳුමක් සඳහා තමන් සමග සාකච්ඡා කරන තැනකට ආණ්ඩුව පොළඹවා ගැනීමය.

යුද බිමේ පවතින මෙම සංකීර්ණ තත්ත්වය ලෝක දෙමළ ජනතාව ආවේගයෙන් ක්‍රියා කරන තැනකට තල්ලු කිරීමට හේතුවී තිබේ. විරෝධතා, පෙළපාලි, ගිනි තබාගැනීම් හා උපවාස ගැන ලෝකයේ නන්දෙසින් අසන්නට ලැබේ. මෙම ආවේග තරග වඩාත්ම බලපා තිබෙන්නේ තමිල්නාඩුව කෙරෙහිය. ඒ සියලුදෙනා එල්ටීටීඊයේ සැබෑ ස්වභාවය අමතක කර තිබෙන බවක් ද පෙනේ. සියලු ප්‍රමුඛ දෙමළ නායකයන් ඝාතනයට ලක්වූයේ ශ්‍රී ලංකා ආණ්ඩුව හෝ ශ්‍රී ලංකා ආණ්ඩුවේ සන්නද්ධ හමුදා අතින් නොව, එල්ටීටීඊය අතිනි. එල්ටීටීඊය අතින් ඝාතනයට ලක්වී ඇති සාමාන්‍ය දෙමළ ජනයාගේ ගණන ද දහස් ගණනකි. ඒ සමග එල්ටීටීඊය සිවිල් ජනයා ද දහස් ගණනක් ඝාතනය කර තිබේ. සංසන්දනාත්මකව බලන විට සිංහල තරුණයන්ගේ ආයුධ සන්නද්ධ නැගීමක් ලෙස සැලකිය හැකි ජවිපෙ කැරැල්ල සන්නද්ධ හමුදා විසින් මර්දනය කළ ආකාරය දෙමළ තරුණ කැරැල්ල මර්දනය කළ ආකාරයට වඩා දැඩිය.

අවුරුදු තුනකට අඩු කාලයක් තුළ ඝාතනයට ලක්වූ හෝ අතුරුදහන්වූ අයගේ සංඛ්‍යාව පනස් දහසකටත් වඩා වැඩිය. ඒ සංඛ්‍යා සමග සසඳන විට එල්ටීටීඊ සන්නද්ධ ව්‍යාපාරය මර්දනය කිරීම සඳහා රජයේ හමුදා වඩා පරෙස්සම් සහගත හා මානුෂික ප්‍රතිපත්තියක් අනුගමනය කර තිබෙන බව කිව හැකිය. යුද්ධයකදී ඝාතනයට ලක්වීම හා සිවිල් වැසියන්ට හානි සිදුවීම නොවැළැක්විය හැකිය. එල්ටීටීඊයට එරෙහිව කෙරෙන යුද්ධයේදී ද සීමාන්තික ක්‍රියා සිදුවූවා විය හැකි වුවත් එහි මට්ටම අවම තත්ත්වයක මිස ඉහළ මට්ටමක නොතිබුණු බව ද කිව හැකිය. විදේශ රටවල සිටින දෙමළ ජනතාව ද මෙම ප්‍රශ්නය දෙස ආවේගයෙන් නොව තුලනාත්මකව කරුණු සලකා බැලීමක් කළ යුතුය. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට අසාධාරණකම් සිදුවී තිබෙනවා විය හැකි වුවත්, ඒ අසාධාරණකම් ජයගැනීම සඳහා තෝරා ගත් මාර්ගය ඉතාමත් සාහසිකය. දැන් ඒ වෙනුවෙන් දෙමළ ජනතාවට ද වන්දියක් ගෙවන්නට සිදුවී තිබේ.

කිසියම් පුද්ගල කණ්ඩායමකට අසාධාරණයක් සිදුවූ පමණකින් දිගින් දිගට සාහසික ක්‍රියාවල යෙදෙන්නට කවර සමාජයකටවත් ඉඩදිය නොහැකිය. එල්ටීටීඊය සාමකාමී ලෙස ප්‍රශ්න විසඳා ගැනීමට තමන්ට ලැබුණු ඉඩ ප්‍රස්තාවකටම පයින් ගැසුවේය. ජවිපෙ සන්නද්ධ කැරැල්ල පරාජය කිරීමේ වගකීමක් ආණ්ඩුවට තිබුණා සේ ම, එල්ටීටීඊ සන්නද්ධ කැරැල්ල ද පරාජය කිරීමේ වගකීමක් ආණ්ඩුවට ඇත්තේය. කැරැල්ලක් පරාජය කෙරෙන්නේ ප්‍රතිසන්නද්ධ බලයකින් නම් ඒ ක්‍රියාව තුළ ලේ තිබීම නොවැළැක්විය හැකිය. දැන් රට හා ආරක්ෂක හමුදා ඉදිරියේ තිබෙන තීරණාත්මක ප්‍රශ්නය වනුයේ මිනිස් පළිහක් කොටගෙන සිය පැවැත්ම රැකගැනීම සඳහා වියුරු උත්සාහයක යෙදී සිටින එල්ටීටීඊය ඔවුන් වට කරගෙන සිටින මිනිසුන්ට සිදුවන හානිය අවම කරමින් එල්ටීටීඊය අවසාන වශයෙන් පරාජය කරන්නේ කෙසේද යන ප්‍රශ්නයයි. මිනිසුන්ට විය හැකි හානිය සලකා මූලික අරමුණ අත්හරින ප්‍රතිපත්තියක් රටේ පොදු යහපතට හේතුවන්නේ නැත.

Editor’s Note

This article captures the intense geopolitical and humanitarian complexities of February 2009. It provides a historically significant perspective by drawing a direct comparison between the state’s military response in the Vanni and the brutal suppression of the Sinhalese youth during the second JVP insurrection, arguing for the unfortunate but unavoidable realities of defeating an armed rebellion.