ආණ්ඩුව වයඹ, මධ්‍යම පළාත් සභා මැතිවරණයෙන් ලැබූ ජයග්‍රහණය එජාපයේ හා ජවිපෙ අනාගත දේශපාලන පැවැත්ම වාෂ්ප කොට මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ හා එම ආණ්ඩුවේ අනාගත පැවැත්ම ශක්තිමත් කොට ගල් ගැසුණු තත්ත්වයක් ඇති කිරීමට හේතුවී තිබේ. මින්පසු තවත් බොහෝ කලක් යන තෙක් පැවැත්වෙන කිසිදු මැතිවරණයකදී විරුද්ධ පක්ෂය, අප ආණ්ඩුව පරදවනවා කියා වහසි බස් නොකියනු නොඅනුමානය.
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අලුත් ආණ්ඩුවක් නොව, අවුරුදු 04 කට ආසන්න කාලයක් රට පාලනය කළ පරණ ආණ්ඩුවකි. මෙම පළාත් සභා මැතිවරණවලින් ලැබී තිබෙන ජයග්‍රහණයේ පරිමාවෙන් පෙනී යන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පිළිබඳව මහජනතාව අතර විශ්වාසයක් හා ආස්වාදයක් ගොඩනැඟී තිබුණේ නම් අවුරුදු 4 ක පාලනයකින් පසුත් ඒ තත්ත්වය වර්ධනය වී ඇතිවා මිස අඩුවී නැති බවය. සාමාන්‍යයෙන් ආණ්ඩුවක් පරණ වන විට මුලදී ඒ කෙරෙහි ජනතාව ඇතිකර ගන්නා ආස්වාදය ද යම් තරමකට හෝ වාෂ්ප වී යන්නේය.
චන්ද්‍රිකාගේ පළමු නිල කාලය අවසන්වීමෙන් පසු දෙවැනි ධුර කාලය සඳහා පැවති ජනාධිපතිවරණයට ආත්ම විශ්වාසයකින් යුතුව තරග කිරීමේ හැකියාව එජාපයට ලැබී තිබුණි. එහෙත් දැන් එම තත්ත්වය මුළුමනින් කණපිට හැරී තිබෙන අතර, ඊළඟ ජනාධිපතිවරණයට ආත්ම විශ්වාසයකින් එජාපයට තරග කළ නොහැකි තත්ත්වයක් ගොඩනැඟී තිබේ. මෙම දේශපාලන තත්ත්වය මේ දෙපැත්තටම නැතිව ස්වාධීන බලවේගයක් වශයෙන් නැගී සිටින්නට ජවිපෙට තිබුණු හැකියාව ද විශාල ප්‍රමාණයකට අඩපණ කිරීමට ද හේතුවී තිබෙන බව ද පෙනේ.
එජාපයේ හා ජවිපෙ අනාගතය අඳුරුයි
රටේ ජනතාව අතර ඇතිවී තිබෙන මෙම දේශපාලන නැඹුරුව අනුව එජාපයේ හා ජවිපෙ පමණක් නොව, වෙනත් සුළු පක්ෂවල ද අනාගතය යහපත් වීමට ඉඩක් නැත. මැතිවරණ ප්‍රතිඵල අනුව එජාපය හා ජවිපෙ ඉන්නේ ලොකු පිරිහීමකය. එජාපය ජාතික පක්ෂය නඩත්තු-මධ්‍යමලෙස ආසන්න ජයගැනීමෙන් පෙනී යන්නේ ද උතුරට දෙමළ වන මූලධර්ම ජනතාව අතර පවා-ඔවුන්ට තිබෙන පිළිගැනීම දුර්වල වී තිබෙන බවය. මුස්ලිම් කොංග්‍රසය අමාත්‍ය තනතුරු ලබාගනිමින් ආණ්ඩුවට එකතුවී සිටින නායකයින්ගෙන් වෙන්වී තරග කිරීමෙන් පෙනී යන්නේ එම පක්ෂය ද එවැනි අර්බුදයකට මුහුණ දී තිබෙන බවය. වීරවංශ ඉවත් කළ ජවිපෙට අත්විඳින්නට සිදුවී තිබෙන සෝදාපාළුවෙන් පෙනී යන්නේ ජනතා විමුක්ති පෙරමුණ ද දරුණු පිරිහීමකට ලක්වී ඇති බවය. මේ නිසා ඉදිරි කාලයේදී එජාපය හා ජවිපෙ වැනි පක්ෂවලටත් අනාගතයක් නැති බව පෙනෙන්නට තිබේ.
පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වුවහොත් තුනෙන් දෙකකට ආසන්න බලයක් හිමිකර ගැනීමේ හැකියාව ආණ්ඩු පක්ෂයට තිබෙන අතර, ඒ පෙරමුණේ පාර්ලිමේන්තු නියෝජනය ආසන 4-5 ත් අතර ප්‍රමාණයක් දක්වා පහළ බැසිය හැකිය. එජාපයේ මන්ත්‍රී කණ්ඩායමේ සැලකිය යුතු පිරිසක් ආණ්ඩුවට එකතු වී සිටින තත්ත්වයක් යටතේ දැන් තිබෙන එජාප නියෝජනයට වැඩි නියෝජනයක් පාර්ලිමේන්තු මැතිවරණයකින් එජාපයට ලැබෙනු ඇතැයි සිතිය නොහැකිය.
එජාපයට හෝ ජවිපෙට යම් ප්‍රමාණයකට හෝ නවෝදයක් උදා කරගත හැක්කේ නම් ඒ සඳහා පක්ෂයේ නායකත්වය වෙනස් කිරීම අත්‍යවශ්‍ය කරුණකි. එහෙත් එම පක්ෂ දෙකම නායකත්වය වෙනස් කිරීමේ හැකියාවක් නොමැති බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.
ඇඟිලි ගැසීමට උත්සාහ කිරීම
අලුත් ආණ්ඩුවක් බලයට පත්වීමෙන් පසුව එජාපය උත්සාහ කළේ හැම අතින්ම ආණ්ඩුව බිඳවට්ටා ආණ්ඩුව පෙරළා දැමීමටය. යුද්ධයෙන් ජය ලබාගැනීමට යමින් සිටියදී, එනම් ත්‍රස්තවාදී කණ්ඩායම් වලට එරෙහිව යුද්ධ කරමින් ආණ්ඩුවට මුදල් අනුමත නොකර ආණ්ඩුව යටත් කරගැනීමට අසාර්ථක උත්සාහයක් ගත්තේය. ඉන්දියාවට බලපෑම් කරමින් යුද්ධය නතර කිරීමේ උත්සාහයකට ද ඔවුහු සම්බන්ධ වූහ. GSP+ අහිමිවීමට බලපෑම් කරන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. යුද හමුදාපති හා ආරක්ෂක ලේකම් ජාත්‍යන්තර අධිකරණයට ඉදිරිපත් කිරීමට උත්සාහ කළේය. මෙය එජාපය විසින් පමණක් නොව, මෙම දුෂ්කර දේශපාලන ක්‍රමය තුළ ශ්‍රීලනිපය විරුද්ධ පක්ෂය ලෙස ක්‍රියා කළේ නම් එම පක්ෂය ද ඒ සියල්ල ඒ ආකාරයෙන්ම කරනු ඇතැයි සිතිය හැකිය.
මෙවැනි මෝඩ හා විනාශකාරී ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා වෙනුවට එල්ටීටීඊය පරාජය කිරීමේ ප්‍රශ්නයට ලැබෙන ජාතික වැදගත්කම සලකා මෙම දේශපාලන ක්‍රමය තුළ ඉක්මනින් බලය ලබාගැනීමට ඉඩක් නැති බව තේරුම් ගනිමින් ආණ්ඩුවට අභියෝග කරන ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා වෙනුවට ජාතික වැදගත්කමක් ඇති මෙම ප්‍රශ්නය විසඳා ගැනීම පිණිස ආණ්ඩුවට විවේචනාත්මකව සහාය දෙන පිළිවෙතක් අනුගමනය කළේ නම්, යුද්ධයෙන් ලබන ජයග්‍රහණය රාජපක්ෂ ආණ්ඩුවේ ඒක පුද්ගල ජයග්‍රහණයක් නොවී, එය සියලු දේශපාලන පක්ෂවල දායකත්වයෙන් ලබන පොදු ජයග්‍රහණයක් බවට පත්වන්නට ඉඩ තිබුණි. එය එසේ වී නම් එජාපයට මහජනතාව අතර තිබෙන පිළිගැනීම මීට වඩා ශක්තිමත් වන්නට ඉඩ තිබුණි.
එජාපයට යුද්ධය පිළිබඳ හරි ඉදිරි දැක්මක් නොතිබුණි. ඔවුන් සිතුවේ යුද්ධය විසින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ මළගම ඇති කරනු ඇති බවය. ඒ බව සලකා ඊට ගැළපෙන ප්‍රතිපත්තියක් තමන් අනුගමනය කළ යුතු බවය.
එජාපය තුළ මතුවී තිබුණු නායකත්වය පිළිබඳ අර්බුදය විසඳා ගැනීමකින් තොරව කුණුවන්නට ඉඩහැරීමෙන් සිදුවූයේ ද එම පක්ෂයේ පරිහානිය වේගවත් වීමය. පැරණි නායකයාගේ කාලය අවසන් බව තේරුම් ගනිමින් නව නායකයෙක් කරළියට ගනිමින් ඔහුට නැගී සිටීමට අවශ්‍ය ශක්තිය ලබාදුන්නේ නම්, පක්ෂය හිතන මතන විදිය සේ ම වැඩ කරන ශෛලිය ද වෙනස් වී අනාගත සටනක් සඳහා අල්ලාගෙන සිටිය හැකි තත්ත්වයක් දිනාගත හැකිවන්නට ඉඩ තිබුණි.
දේශපාලන ක්‍රමයට බිලිවීම
එක්සත් ජාතික පක්ෂයේ පරිහානිය කෙරෙහි බලපෑ තවත් වැදගත්ම සාධකයක් වූයේ එම පක්ෂය තමන් නිර්මාණය කළ විෂම දේශපාලන ක්‍රමයේ ගොදුරක් ලෙස ක්‍රියා කිරීමය. ජේ.ආර්. ජයවර්ධන මෙම දේශපාලන ක්‍රමය නිර්මාණය කළේ තමන්ගේ ධුර කාල දෙක අවසන්වීමෙන් පසුවත් දේශපාලන බලහුවමාරුවක් ඇති නොවී එජාපයට දීර්ඝ කාලයක් බලයේ රැඳී සිටිය හැකි ආකාරයටය. ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ මරණයෙන් පසුව අහම්බෙන් ජනාධිපති ධුරයට පත් ඩී.බී. විජේතුංග රඟපෑ මෝඩ භූමිකාව නොවන්නට 1994 මැතිවරණයෙන් ද පොදු පෙරමුණ අතට බලය හුවමාරු නොවන්නට ඉඩ තිබුණි.
පොදු පෙරමුණ අතට බලය මාරුවීමෙන් පසුව නැවත බලය ලබාගැනීමට නම්, තමන් ඇති කළ දේශපාලන ක්‍රමය වෙනස් කළ යුතු බව සිතන පිරිසක් එජාපය තුළ සිටියේය. ඒ.සී.එස්. හමීඩ් ඒ අදහස වෙනුවෙන් පෙනී සිටි බලවත්ම ප්‍රකාශකයා විය. එහෙත් රනිල් වික්‍රමසිංහ ගණන් බැලුවේ ඊට වෙනස් ආකාරයකටය. චන්ද්‍රිකාගේ පළමු ධුර කාලය අවසන්වීමෙන් පසුව නොවේ නම්, දෙවැනි ධුර කාලය අවසන්වීමෙන් පසුව හෝ තමන් ජනාධිපති ධුරයට පත්වීම නොවැළැක්විය හැකිවනු ඇති බව රනිල් වික්‍රමසිංහගේ විශ්වාසය විය. ඒ මොහොතේ චන්ද්‍රිකා තමන්ට වඩා ආකර්ෂණීය විය හැකි වුවත්, චන්ද්‍රිකාගෙන් පසුව තමන් වඩාත්ම බැබළෙන පුද්ගලයා බවට පත්වනු ඇති බව රනිල්ගේ ගණන් බැලීම විය. ඒ විශ්වාසය නිසා දේශපාලන ක්‍රමය වෙනස් කරගැනීම සඳහා විවර වන ඉඩ ප්‍රස්ථා හිතාමතා වසා දමන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. එහෙත් චන්ද්‍රිකාගේ දෙවැනි ධුර කාලය අවසන්වීමෙන් පසු ඒ තැන ලබාගැනීමට ඔහු සමත් වූයේ නැත.
තමන් පරාජය කොට මහින්ද ජයගත්තා වුවත්, මහින්ද තමා මෙන් ගෙදරදී ඉංග්‍රීසියෙන් කතා කළ යුතු පන්තියේ කෙනෙකු නොවන නිසා මහින්දට රට පාලනය කිරීමේ දැනුමක් තිබිය නොහැකි බවත්, ඒ නිසා මහින්ද ඉක්මනින් අසාර්ථක ඇති නිසා ඉක්මනින් තමාට බලය ලබාගැනීමේ අවස්ථාව ලැබෙනු ඇති බවත් රනිල් විශ්වාස කළේය. ඒ අරමුණ ජයගැනීම සඳහා මහින්දට අභියෝග කරන හා ඔහුගේ ගමනට උගුල් අටවන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. එහෙත් ඒ කිසිවක් නිසා මහින්ද දුර්වල වූයේ නැත. ඒ වෙනුවට වැඩි වැඩියෙන් ශක්තිමත් වූයේය. අවසානයේ රනිල් වික්‍රමසිංහ කිසිදු අනාගත වටිනාකමක් නැති නායකයෙකුගේ තත්ත්වයට ඇද වැටුණි. තමන්ට දේශපාලන අනාගතයක් නැති බව හා ඊළඟ ජනාධිපතිවරණය කෙරෙහි පවා කිසිදු බලාපොරොත්තුවක් තැබිය නොහැකි බව දැන් රනිල්ට නොපෙනෙනවා විය නොහැකිය. එහෙත් ඔහුට තෝරා ගැනීමට මොනම විකල්පයක්වත් ඇති බවක් ද පෙනෙන්නට නැත.
අවසාන විග්‍රහයේදී රනිල්ට දේශපාලන වශයෙන් විනාශ වෙන්නට සිදුවී තිබෙන්නේ තමන්ගෙන් පසු වගකීම බාරගැනීමට ඊළඟ නායකයකු ද ඇති කිරීමෙන් තොරවය. රනිල් වික්‍රමසිංහ සිය මාමා විසින් ඇති කළ දූෂිත හා විෂම දේශපාලන ක්‍රමය අතින්ම විනාශයට පත් අවාසනාවන්ත නායකයෙකු ලෙස සැලකිය හැකිය. එම දේශපාලන ක්‍රමය විනිවිද දැකීමේ හැකියාවක් ඔහුට තිබුණේ නම් තේරුමක් නැති බොරු සටන්වලින් ඈත්වී සැබෑ වෙනසක් වෙනුවෙන් පෙනී සිටින නායකයෙකු ලෙස මතුවීමේ හැකියාව ඔහුට ලැබෙන්නට ඉඩ තිබුණි.
ජවිපෙ විනාශය කෙරෙහි ද මෙම සාධකය බලපෑවේය. එම පක්ෂය ආරම්භයේදී විධායක ජනාධිපති ක්‍රමයේ වෙනසක් සඳහා පෙනී සිටියේය. පසුව එම සටන් පාඨය අතහැර විධායක ජනාධිපති ක්‍රමයට ශක්තිය දෙන ඒ ක්‍රමයේ කීකරු සුරතලුන් පිරිසක් බවට පත්විය. ඒ මගින් අර්ථවත් විකල්පයක් වීමට තිබෙන ඉඩකඩ නැති කරගත්තේය.
මහින්ද යෝධයකු වීම
දැන් සියලුදෙනා අභිබවා මුදුනේම සිටින නායකයා බවට පත්ව සිටිනුයේ මහින්දය. ඔහුට බලවත් ලෙස අභියෝග කළ හැකි කිසිවකු නැති තරම්ය. වේලුපිල්ලේ ප්‍රභාකරන්, රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා කුමාරතුංග, සෝමවංශ අමරසිංහ යන සියලු දෙනා මහින්ද ඉදිරියේ අඟුටුමිට්ටන් බවට පත්ව සිටින්නෝය.
රටේ සියලු නායකයන් අඟුටු මිට්ටන් බවට පත් කොට මහින්ද රාජපක්ෂ පමණක් යෝධයකු බවට පත් කළේ අන් කවරකු විසින්වත් නොව, මෙරට මහජනතාව විසිනි. දැන් ඒ ලැබී තිබෙන බලය හොඳට සේම අවශ්‍ය නම් නරකට ද පාවිච්චි කළ හැකිය. දැන් තමන්ට අභියෝග කරන්නට කිසිවකුත් නැතැයි සිතා හිතුවක්කාරී ඒකාධිපතියකු ලෙස ද ක්‍රියාකළ හැකිය.
බලය ඇති විට බලයෙන් මත්වී ඒ බලය පීඩාකාරී ලෙස පාවිච්චි කරන්නේ ශක්තිමත් නායකයන් නොව, දුර්වල නායකයන්ය. දීර්ඝ කාලයක් බලයෙන් පිටස්තරව සිට හැත්තෑ වියේදී අතිවිශාල බලයක් හිමි කරගත් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ද ලැබුණු බලයෙන් මත්වී ඒ බලය අනවශ්‍ය ලෙස ප්‍රදර්ශනය කරන්නට ගොස් අවසානයේදී ඉතිහාසයේ කසළ ගොඩට එකතු වූ නායකයෙක් බවට පත්විය. ඔහු හැසිරෙන්නට උත්සාහ කළේ ඔටුනු පැලඳි රජකු ලෙසය. තමන්ට ගැහැනියෙකු මිනිහෙකු හෝ මිනිහෙකු ගැහැනියකු කරන්නට හැර අන් හැම දෙයක්ම කරන්නට බලය තිබෙන බවට ඔහු වහසි බස් කීවේය. මහාචාර්යවරයෙකුගේ දියණියක දූෂණය කොට සිරබත් කමින් සිටි තමන්ගේ ආධාරකාර අපරාධකරුවෙකුට සමාව දුන්නේය. තමන්ගේ දේශපාලන හෙංචයියන් යොදාගෙන තමන්ගේ වාසියට හේතු නොවන තීන්දු දෙන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ නිවෙස්වලට ගල් ගැස්සුවේය. සිය දේශපාලන ප්‍රතිවාදීන්ගේ ප්‍රජා අයිතිය අහිමි කළේය. ගණන්කාරයන් යොදවා ජාතියේ මහා කලාකරුවා වන එදිරිවීර සරත්චන්ද්‍රයන්ට පහර දුන්නේය. හයෙන් පහේ බලය යොදා ගනිමින් පාර්ලිමේන්තුවේ නිල කාලය දීර්ඝ කර ගත්තේය.
ගතයුතු මග කුමක්ද?
ජනාධිපති මහින්ද රාජපක්ෂ තෝරාගත යුතුව තිබෙන්නේ ජේ.ආර්. ජයවර්ධන ගිය අශීලාචාර මග නොව, සියලුදෙනාගේ ගෞරවයට හා අභිමානයට හේතුවන සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදී රටක් ගොඩනැගීමේ ශීලාචාර මාවතය.
එහෙත් ඒ මාවත ජේ.ආර්. ජයවර්ධන තෝරාගත් අශීලාචාර මාවතට වඩා සංකීර්ණ සේම දුෂ්කරය.
යුද්ධය මුළුමනින් සම්පූර්ණ කර නැතත් දිනාගෙන තිබෙන ජයග්‍රහණයන් ආපසු හැරවිය නොහැකි තැනකට ගෙනෙමින් තිබෙතැයි කිව හැකිය. එල්ටීටීඊ ත්‍රස්තවාදය අවසාන වශයෙන් පරාජය කිරීම ඉතා වැදගත් වුවත්, ඒ සඳහා කෙරෙන යුද්ධය ජයගැනීමෙන් පමණක් මෙම ප්‍රශ්නය විසඳිය නොහැකිය. දෙමළ නායකයන් ඉල්ලා සිටින හැමදෙයක්ම නොවුවත් දෙමළ ජනතාවගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන හා සිංහල ජනතාවට ද පිළිගත හැකි දේශපාලන විසඳුමක් ලබාදිය යුතුය.
මෙම ප්‍රශ්නය විසඳීමෙන් පමණක් ද රටට සාර්ථක ඉදිරි ගමනක් යා නොහැකිය. ජේ.ආර්. ජයවර්ධන විසින් රටට උරුම කර දී තිබෙන විෂම දේශපාලන ක්‍රමය කරණා ගෙන රට යහපත් හා දියුණු රටක් බවට පත් කළ හැක්කේ කෙසේද? මෙම දූෂිත ක්‍රමය තුළ මහා භාණ්ඩාගාරයට ලැබිය යුතු ආදායමෙන් වැඩි කොටසක් යන්නේ ගජමිතුරන්ගේ සාක්කුවලටය. බලයට පත්වන හැම ආණ්ඩුවකටම සුදුසුකම් නොසලකා පාක්ෂිකයන්ට තනතුරු දෙන්නට සිදුවී තිබෙන්නේ ද මේ දේශපාලන ක්‍රමය නිසාය. ආණ්ඩු පක්ෂයට හා විරුද්ධ පක්ෂයට වෛරයෙන් මිස අන්‍යෝන්‍ය වශයෙන් ක්‍රියාකළ නොහැකි තත්ත්වයක් ඇති කර තිබෙන්නේ ද මෙම දේශපාලන ක්‍රමයයි. මෙම දේශපාලන ක්‍රමයට ආවේණික නරකම ලක්ෂණයක් වන්නේ ආයතනවලට පත් කරන ප්‍රධානීන් තමන්ගේ සාක්කුවලට මුදල් උපයා ගැනීම පිණිස මිස, ආයතන දියුණු කිරීම සඳහා ක්‍රියා නොකිරීමය. අනෙක් අතට තනතුරුවලට පුද්ගලයන් තෝරා ගැනීමේදී වැඩියෙන්ම සැලකිල්ලට ගැනෙන්නේ දේශපාලන පක්ෂපාතිත්වය මිස තනතුර දැරීමට තිබෙන සුදුසුකම් හෝ පළපුරුද්ද නොවේ. අධ්‍යාපනය, සෞඛ්‍යය, ගමනාගමනය, විද්‍යාව හා තාක්ෂණය, බලශක්ති, පරිසරය වැනි මොනම වැදගත් අංශයක් සඳහාත් පිළිගත් ජාතික ප්‍රතිපත්තියක් නැත. ආණ්ඩු වෙනස් වන විට පමණක් නොව, ඇමතිවරුන් වෙනස් වන විට පවා ප්‍රතිපත්ති වෙනස් කළ හැකි විනාශකාරී ක්‍රමයක් රටේ ක්‍රියාත්මක වේ. පරිගණකවලින් කෙරෙන හැම ගනුදෙනුවක්ම නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කළ හැකි දියුණු තාක්ෂණ ක්‍රමයක් තිබියදී පරීක්ෂාවට ලක්කිරීමකින් තොරව එවැනි ගනුදෙනු සිදුවන්නට ඉඩහැර බලා සිටින තත්ත්වයක් රටේ පවතී. රේගු බදු බිලියන කර තිබෙන සමහර අධ්‍යයනයන්ට අනුව රේගු බදු මගින් ලැබිය යුතු ආදායමෙන් 25% ක් වත් භාණ්ඩාගාරයට ලැබෙන්නේ නැත. දේශපාලන ක්‍රමය විසින් ඇති කර තිබෙන මෙම විෂම තත්ත්වය ජය නොගෙන ශ්‍රී ලංකාව දියුණු රටක් බවට පත්කළ හැක්කේ කෙසේද?
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තීන්දු ගැනීමට බිය නොවන ජනාධිපතිවරයෙකු බව දැනටමත් සනාථ කර තිබේ. ඔහු එල්ටීටීඊයට එරෙහිව යුද්ධ කරන්නට තීන්දු කොට ඊට එරෙහිව එල්ල වූ බලපෑම් නොසලකා එම තීන්දුව මත පිහිටා ක්‍රියා කළේය. දීර්ඝ කාලයක් තිස්සේ තීන්දු නොගැනීම නිසා ආරම්භ කළ නොහැකි තත්ත්වයක තිබූ විදුලි යෝජනා ක්‍රම ගණනාවක් ආරම්භ කළේය. එහෙත් මේ රට යහපත් අතට වෙනස් කිරීමට නම්, තීන්දු ගැනීම එකක් දෙකක් නොව, විශාල ගණනාවක් කළ යුතුය. නොබියව පෞද්ගලික විශ්වවිද්‍යාල ක්‍රමයකට ඉඩ දිය යුතුය. වර්ග භේද, ආගම් භේද, කුලභේද නීති විරෝධී කළ යුතුය. දේශපාලන ක්‍රමයට ද නිර්භීත ලෙස අත ගැසිය යුතුය. එසේ කරන්නේ නම් මේ රට විදේශ ආධාරවලින් තොරව වුවත්, ලෝකයේ දියුණුම රටක් බවට පත් කළ හැකිය.
මහින්ද රාජපක්ෂ පාලනය වහා පෙරළා දැමීමේ ඉඩක් නැති බව හා ඊට දීර්ඝකාලීන පැවැත්මක් ඇති බව තේරුම් ගනිමින් මෙම ලැබී තිබෙන ඓතිහාසික අවස්ථාව රටේ යහපත සඳහා වෙනස්කම් දිනාගත යුතු අවස්ථාවක් බව තේරුම් ගනිමින් එවැනි වැඩසටහනක් සඳහා ආණ්ඩුව සමග සහයෝගයෙන් ක්‍රියාකරන තැනකට ඒ විරුද්ධ පක්ෂවලට ද යා හැකිය. විරුද්ධ පක්ෂවලට ද රටේ ජනතාව අතර යහපත් පිළිගැනීමක් ලැබෙනු ඇත්තේ එවිටය.
Editor’s Note
Written during the peak of Mahinda Rajapaksa’s popularity just months before the end of the civil war. It offers a critical look at the collapse of Sri Lanka’s political opposition (UNP and JVP) while delivering a prescient warning about the dangers of absolute executive power, directly comparing the political environment to the dictatorial era of J.R. Jayewardene.