වැරදුණේ කොතැනද?
දෙමළ ඊළාම් රාජ්‍යයක් දිනාගැනීම සඳහා ශ්‍රී ලංකා දෙමළ කොටි සංවිධානය විසිපස් වසරක් තරම් දීර්ඝ කාලයක් තුළ පවත්වාගෙන ගිය සන්නද්ධ අරගළ ව්‍යාපාරය යුදමය වශයෙන් පරාජය කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව සමත් වී තිබේ. මෙය ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව තුළ පමණක් නොව, ලෝක දෙමළ ජනතාව තුළ ද ආවේගයක්, පුදුමයක් හා කම්පනයක් ඇති කිරීමට හේතුවී තිබේ. කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කළ හැකි ව්‍යාපාරයක් ලෙස ඒ කිසිවකු මීට පෙර විශ්වාස කළේ නැත. එය ඒ තරමටම යුද්ධය තුළ පදනම් වූ ඕනෑම දුෂ්කර යුද්ධයක් තුළ සිය පැවැත්ම ආරක්ෂා කරගැනීමට අපූරු හැකියාවක් තිබුණු ලෝකයේ සියලු බෙදුම්වාදී ත්‍රස්තවාදී ව්‍යාපාර අතරින් අංක එකේ තත්ත්වය හිමිකරගෙන සිටි ව්‍යාපාරය විය. කොතරම් කෲර හා අනුකම්පා විරහිත ව්‍යාපාරයක් වුවත් එය යුදමය තලයේ හිමිකරගෙන සිටි අද්විතීය බව දෙමළ අධ්‍යාත්මය තුළ අභිමානයක් ඇතිකිරිමට හේතුවී තිබුණි.
1972 සිට 2009 දක්වා
ශ්‍රී ලංකාවේ දෙමළ ජාතික ව්‍යාපාරය වෙනම ඊළාම් රාජ්‍යයක් දිනාගැනීමේ අරමුණ සඳහා ආයුධ අතට ගෙන සටන් කරන තැනකට යොමුවන්නේ හැත්තෑව දශකයේ මැද භාගයේදීය. නූතන දෙමළ මිලිටරිවාදය 1972 දී යාපනයේදී සටන්කාමී දෙමළ තරුණයන් කිහිපදෙනෙකුගේ මූලිකත්වයෙන් ආරම්භ වූ දෙමළ කොටි (Tamil New Tigers) සංවිධානයෙන් ආරම්භ වූවේයැ”යි කිව හැකිය. එහෙත් 1983 කළු ජූලිය වන තෙක් ඊළාම් රාජ්‍යයක් දිනාගැනීමේ අරමුණින් ත්‍රස්තවාදී ක්‍රියාවල නිරත වූ දේශපාලන කල්ලි දෙමළ ජනතාවගේ පිළිගැනීමට හේතුවූ ව්‍යාපාර ලෙස සැලකිය නොහැකිය. එහෙත් 1983 කළු ජූලියෙන් පසුව සන්නද්ධ අරගළ මාවත දෙමළ ජනතාවගේ විශ්වාසයට හේතුවූ ඒකායන මාවත බවට පත්විය. දෙමළ තරුණ තරුණියන් දහස් ගණනින් සන්නද්ධ කල්ලිවලට බැඳෙන්නට වූ අතර, ඔවුන්ට ආයුධ සන්නද්ධ පුහුණුවක් ලබාදෙන වැඩපිළිවෙලක් දකුණු ඉන්දියාවේ ක්‍රියාත්මක විය.
එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ 1984 අවසාන වන විට යාපනේ අර්ධද්වීපයේ හමුදා ක්‍රියාකාරීත්වය බැරැක්කවලට සීමාවී ආයුධ සන්නද්ධ කල්ලි එම අර්ධද්වීපය පාලනය කරන තත්ත්වයට පත්වීමය. දෙමළ ඊළාම් රාජ්‍යයක් දිනාගැනීම සඳහා කෙරෙන අරගළය තුළ සන්නද්ධ කල්ලි ගණනාවක් පෙනී සිටින තත්ත්වය අහෝසි කරමින් ප්‍රතිවාදී කල්ලි නායකයන් හා ඔවුන්ගේ අනුගාමිකයන් සිය ගණනක් මරා දමා ඊළම දිනාගැනීම සඳහා කරන සන්නද්ධ අරගළය මෙහෙයවීමේ ඒකාධිකාරී අයිතිය 1985 වන විට තමන් වෙත හිමිකර ගැනීමට දෙමළ කොටි සංවිධානය මෙහෙයවූ ප්‍රභාකරන් සමත් විය. ඉන්දියාවෙන් එල්ල වූ බලපෑම් නිසා කොටි ග්‍රහණයෙන් යාපනය මුදවා ගැනීම සඳහා ආණ්ඩුවේ ආරක්ෂක හමුදා දියත් කරන ලද දැවැන්ත ජයග්‍රාහී මෙහෙයුමක් අතරමග අතහැරීමට ශ්‍රී ලංකා ආණ්ඩුවට සිදුවිය. ඉන්පසු දෙමළ ප්‍රශ්නයට විසඳුමක් ලබාදීම සඳහා ඉන්දියාව සමග ගිවිසුමක් ඇතිකර ගැනීමට ශ්‍රී ලංකාවට සිදුවූ අතර, එම ගිවිසුමට එරෙහිව දකුණේ සිංහල ජවිපෙ ආයුධ සන්නද්ධව නැගී සිටීම හේතු කොටගෙන උතුරේ හමුදා දකුණට ගෙන්වා ගැනීම පිණිස උතුරට ඉන්දියාවෙන් සාම හමුදාවක් ගෙන්වා ගැනීමට සිදුවිය.
ප්‍රභාකරන් ඉන්දියානු සාම ගිවිසුමට පක්ෂ වූයේ මූනිච්චාවටය. පසුව ඔහුගේ කොටි සංවිධානය ඉන්දියානු සාම හමුදාවට එරෙහිව සටන් කරන තැනකට ගියේය. සාම හමුදාවෙන් එල්ල වූ ප්‍රතිප්‍රහාර ඉදිරියේ කොටි සංවිධානය සිය පැවැත්ම රැකගැනීම සඳහා ප්‍රේමදාස ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කරන තැනකට ගියේය. ඉන්දියානු සාම හමුදාව ඉවත්වීමෙන් පසු ප්‍රේමදාස ජනාධිපතිවරයා සමග කරන සාම සාකච්ඡා අතහැර නැවත ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව සටන් කරන තැනකට ගියේය. ඒ සමග රජිව් ගාන්ධිගෙන් පළිගැනීමට ද ඔවුහු අමතක නොකළෝය. චන්ද්‍රිකා කුමාරතුංග බලයට පත්වන අවස්ථාව වනවිට නැවත යාපනේ ආධිපත්‍යය තමන් වෙත හිමිකර ගැනීමට කොටි සංවිධානය සමත්ව තිබුණි. චන්ද්‍රිකා ආණ්ඩුව සමග පැවති සාම සාකච්ඡා බිඳවැටීමෙන් පසුව යාපනය මුදාගැනීම සඳහා දියත් කරන ලද දැවැන්ත හමුදා මෙහෙයුමක් මගින් නැවත යාපනය අල්ලා ගැනීමට ආරක්ෂක හමුදා සමත් විය.
යාපනය අතහැර කොටි සංවිධානය වන්නියට ඒමෙන් පසුව 1996 දී මුලතිව් කඳවුරට එල්ල කරන ලද විස්මයජනක ප්‍රහාරය මගින් සෙබළු 1400 කගේ පමණ ජීවිත අහිමි කරමින් හා රුපියල් කෝටි 10 ක් පමණ වටිනා ආයුධ තමන් වෙත හිමිකර ගනිමින් හා මුලතිව් කඳවුර අල්ලා ගැනීමට කොටි සංවිධානය සමත් විය. යුදමය අර්ථයෙන් නැවත ඔවුන්ගේ දීප්තිමත් යුගය ආරම්භවන්නේ එතැන් සිටය. මුලතිව් කඳවුර අහිමිවීමෙන් පසු එල්ටීටීඊ ආධිපත්‍යය යටතේ පැවති කිලිනොච්චිය අල්ලා ගැනීම සඳහා දැවැන්ත හමුදා මෙහෙයුමක් දියත් කරන ලද අතර, ඒ මගින් කිලිනොච්චිය නැවත අල්ලා ගැනීමට සමත් වුවත්, සත්ජය මෙහෙයුමට එරෙහිව කොටි සංවිධානය විසින් දියත් කරන ලද ප්‍රති මෙහෙයුමක් මගින් (නොනවතින රැල්ල »») ආරක්ෂක හමුදා අල්ලා ගනු ලැබූ සියලු ප්‍රදේශ නැවත තමන් වෙත දිනාගැනීමට කොටි සංවිධානය සමත් විය. වන්නි පරාජයෙන් (Vanni Debacle) ආරක්ෂක හමුදාවන්ට අහිමි වූ ජීවිත සංඛ්‍යාව 5000 කට අඩු නොවීය.
ඊළඟ වටයේ කොටි සංවිධානය හිමි කරගත් ආශ්චර්යමත් ජයග්‍රහණය වූයේ සෙබළුන් 12,000 කගෙන් සමන්විත අලිමංකඩ හමුදා සංකීර්ණය අල්ලා ගැනීමයි. එම සිද්ධිය ආරක්ෂක හමුදාවල චිත්ත ධෛර්යය පහළම තත්ත්වයකට ඇද දැමීමට හේතුවිය. ඔවුන්ගේ ඊළඟ ඉලක්කය වූයේ යාපනය නැවත අල්ලා ගැනීම වුවත්, ඒ අරමුණ සාර්ථක කරගත හැකිවූයේ නැත. එහෙත් ඒ වෙනුවට කටුනායක ගුවන් හමුදා කඳවුරට හා ජාත්‍යන්තර ගුවන් තොටුපළට සාර්ථක ලෙස එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයක් මගින් එතෙක් ඔවුන් ලබාගත් යුද ජයග්‍රහණයන් කූටප්‍රාප්ත තත්ත්වයට ගෙන ආවේය. අගමැති රනිල් වික්‍රමසිංහට සාම සාකච්ඡා ආරම්භ කිරීම සඳහා සටන් විරාමයක් ඇතිකර ගන්නට සිදුවූයේ යුද්ධයේ බලතුලනය එල්ටීටීඊයේ වාසියටත්, ශ්‍රී ලංකා ආණ්ඩුවේ අවාසියටත් හේතුවී තිබුණු තත්ත්වයක් යටතේය. සටන් විරාමයේ කොන්දේසි සකස් වී තිබුණේ ද කොටි සංවිධානයේ වාසියට හේතුවන ලෙසය.
සාම සාකච්ඡා මගින් රනිල් වික්‍රමසිංහගේ අපේක්ෂාව වූයේද ස්ථිරසාර සාමයට වඩා ඊළඟ ජනාධිපතිවරණය තෙක් බලය ආරක්ෂා කරගැනීමය. සාම සාකච්ඡා බිඳ වැටීමෙන් පසු වෙනදා මෙන් නැවත කොටි සංවිධානය යුද්ධ කරන තැනකට නොගියද, ජනාධිපතිවරණයේදී රනිල්ට ජයගත නොහැකි තත්ත්වයක් ඇති කොට ඔහු දේශපාලන වශයෙන් ඝාතනය කළේය. රනිල් වෙනුවට මහින්ද තෝරා ගන්නා විට ඔහු තමන්ගේ මිනීවල හාරන්නා වනු ඇති බව ප්‍රභාකරන් කිසිවිටෙකත් අපේක්ෂා කරන්නට නැත. ප්‍රභාකරන් මහින්ද දැක්කේ ශක්තිමත් ඉදිරි දැක්මක් හෝ වැඩපිළිවෙලක් නැති පහසුවෙන් සිය ඉලක්ක දිනාගැනීම සඳහා යොදාගත හැකි වැඩකට නැති නායකයකු ලෙසය. එහෙත් එතෙක් විජයග්‍රාහී තත්ත්වයක සිටි ප්‍රභාකරන් ඔහුගේ ව්‍යාපාරය ආපසු හැරවිය නොහැකි ලෙස විනාශ කළ, පරාජය කළ පුද්ගලයා වන්නේ ද මහින්දය.
ආපසු හැරී බැලීමේ වැදගත්කම
මෙම ලිපියේ අරමුණ ශ්‍රී ලංකාවේ දෙමළ ජාතික අරගළයට වැරදුණේ කොතැනද යන්න සොයා බැලීමය. ප්‍රභාකරන් හා ඔහුගේ ව්‍යාපාරය පරාජය කරන තෙක් එවැන්නක් සිදුවනු ඇතැ”යි ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව පමණක් නොව, ලෝක දෙමළ ජනතාව ද විශ්වාස නොකළහ. තාමත් ඒ සියලුදෙනා සිටින්නේ ඇතිවී තිබෙන පරාජය විශ්වාස කළ නොහැකිව අන්දමන්ද වූ තත්ත්වයකය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කෙරෙහි පමණක් නොව, සමස්ත සිංහල ජනතාව කෙරෙහි ද ආවේගයෙන් හා කෝපයෙන් බලන තත්ත්වයකය. මෙම ප්‍රවේශය පොදු යහපතට හේතු නොවන අතර, දෙමළ ජනතාව සන්සුන්ව හා තර්කානුකූලව කරුණු සලකා බලන තැනකට යායුතුය. වැරදි සිදුවී ඇත්තේ සිංහලයන් අතින් පමණක් ද? තමන් අතින් වැරදි සිදුවී නැද්දැ”යි සොයා බලන තැනකට යා යුතුය. ශ්‍රී ලංකාවේ දෙමළ ජාතික ව්‍යාපාරය අසාමාන්‍ය තරම් ධෛර්යයක් තිබුණු ව්‍යාපාරයක් වුවත්, සන්නද්ධ අරගළ මාවතට මාරුවූ පසුත්, ඊට පෙරත් හරි ඉදිරි දැක්මක් තිබුණු ව්‍යාපාරයක් ලෙස සැලකිය නොහැකිය.
අඩුම තරමින් තමන් අතින් බරපතළ වැරදි සිදුවූ පසුවවත් ඒවා නිවැරදි කරගැනීමේ සංයමයක් එයට නොතිබුණි. එය යථාර්ථවාදී නොවන ලස්සණ සිහින දකින ව්‍යාපාරයක් විය. ලෝකය සසල කිරීමට අවශ්‍ය ශක්තිය තිබුණ ද වෙනස්කම් දිනාගැනීමට අවශ්‍ය ප්‍රඥාව නොතිබුණු ව්‍යාපාරයක් විය. එයට තිබුණු ඉලක්ක මනෝරාජිකය. තමන්ගේ ඉලක්ක මනෝරාජික බව පෙනෙන්නට වූ පසුත්, ඒවා වෙනස් කරගැනීමට අවශ්‍ය සුඛනම්‍යතාවක් එයට නොතිබුණේය. ඒ අර්ථයෙන් එය කවදා හෝ කවරෙකු අතින් හෝ විනාශවීමට හා පරාජයවීමට නියමිත ව්‍යාපාරයක් විය. පිරිසිදු අර්ථයෙන් ශ්‍රී ලංකාවේ දෙමළ ජාතික අරගළය දෙමළ ජනතාවට සිංහල ජනතාව අතින් සිදුවූ අයුක්තීන් නිසා, එම අයුක්තීන් ජයගැනීම පිණිස ඇතිවී ඉදිරියට ගිය ව්‍යාපාරයක් ලෙස සැලකිය නොහැකිය. සිංහලයන් අතින් සිදුවූ අයුක්තීන් දෙමළ අරගළයට අතිරේක ශක්තියක් දෙන සාධකයක් පමණක් විය.
අරගළයට හේතුව සිංහල අසාධාරණකම් පමණක්ද?
සිංහල රාජ්‍ය භාෂා පනත සිංහලයන් අතින් දමිළයන්ට සිදුවූ පළමු හා ලොකුම අසාධාරණය ලෙස සැලකිය හැකිය. 58 ජාතිවාදී කෝලාහලයෙන් පසුව දෙමළ භාෂාවේ සාධාරණ පාවිච්චිය සහතික කරන සංශෝධනයක් සම්මත කරගනු ලැබුවත්, එය ප්‍රායෝගික කිරීම සඳහා අවශ්‍ය විධිවිධාන ක්‍රියාවට නැගීමක් සිදු නොවීය. සිංහල රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය උතුරු නැගෙනහිර ප්‍රදේශවල දෙමළ ජනතාවට තමන් දන්නා දෙමළ භාෂාවෙන් රාජ්‍ය ආයතන සමග ගනුදෙනු කිරීමට තිබෙන අයිතිය අහිමි කළා පමණක් නොව, ඔවුන්ට රාජ්‍ය සේවයට එකතුවීමට තිබෙන ඉඩකඩ ද සීමා කළේය. 1972 සිට ක්‍රියාත්මක වූ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගැනීමේදී යොදාගත් ප්‍රමිතිකරණ ප්‍රතිපත්තිය රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියටත් වඩා දෙමළ තරුණ පරපුරේ කෝපයට හේතුවිය. ප්‍රමිතිකරණ ප්‍රතිපත්තිය නිසා විශ්වවිද්‍යාලවල විද්‍යා හා වෘත්තීය පාඨමාලා සඳහා වන දෙමළ සහභාගීත්වයේ කැපී පෙනෙන අඩුවීමක් සිදුවිය.
ඒ තත්ත්වයට එරෙහිව දෙමළ තරුණයන් සිය විරෝධය පළකරන ශිෂ්‍ය පෙළපාලිවලින් එකල උතුරු නැගෙනහිර පළාත් ඇළලී ගිය තත්ත්වයක් තිබුණි. වෙනම රාජ්‍යයක් සඳහා දෙමළ ජනතාව අතර, ගොඩනැගෙමින් තිබූ දේශපාලන නැඹුරුව සන්නද්ධ අරගළ ක්‍රියාමාර්ගයක් දක්වා පරිවර්තනය වීම කෙරෙහි බලපෑ පළමු සාධකය වන්නේ එයයි. මෙම සාධකවලට අතිරේකව දෙමළ ජාතික අරගළය කෙරෙහි බලපෑ වෙනත් සාධක ද තිබුණි. දේශපාලන නියෝජනයේදී තමන්ට ලැබිය යුතු පංගුව කුමක්ද යන ප්‍රශ්නය සිංහල දෙමළ මතභේද කෙරෙහි බලපෑ පළමු සාධකය විය. ආණ්ඩුකාරයාට තිබුණු ඒකාධිපති බලය සීමාකිරීම පිණිස විධායක හා ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභා ක්‍රමයක් පළමුවරට රටේ ඇති කරන ලද්දේ කෝල්බෘෘක් ප්‍රතිසංස්කරණ අනුව 1834 දීය. ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාව ආණ්ඩුකාරයා විසින්ම තෝරාගනු ලබන නිල ලද්දන් නවදෙනෙකුගෙන් හා නිල නොලද්දන් සයදෙනෙකුගෙන් සමන්විත විය.
නිල නොලද්දන් සයදෙනාගෙන් තිදෙනෙකු යුරෝපීයන් වන විට අනෙක් තිදෙනා තෝරා ගැනුණේ බර්ගර්, සිංහල හා දෙමළ යන ලාංකික සමාජය නියෝජනය කළ වර්ග තුනෙනි. මෙම රාජ්‍ය මන්ත්‍රණ සභාව පසුකලෙක පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් බවට විකාශනය වූ ආයතන ක්‍රමයේ ප්‍රාථමික අවස්ථාව ලෙස සැලකිය හැකිය. ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාව තුළ ජනවර්ග අනුව නිල නොලත් මන්ත්‍රීන් සංඛ්‍යාව තීරණය කිරීමේදී සැලකිල්ලට ගත්තේ ඒ වන විට ජනවර්ග වශයෙන් හඳුනාගෙන සිටි ප්‍රධාන ජනවර්ග තුනට එම මන්ත්‍රණ සභාව තුළ නියෝජනයක් ලබාදීම මිස, එම ජනවර්ගවලට අයත් ජනගහනයේ ප්‍රමාණය අනුව නියෝජනයක් ලබාදීම නොවේ.
1901 වර්ෂයේදී ජනවර්ග අනුව ශ්‍රී ලංකාවේ ජනගහනය බෙදී ගොස් තිබුණේ මෙසේය.
පහතරට සිංහල 1,458,320 – 40.9%
උඩරට සිංහල 872,487 – 24.5%
ලංකා දෙමළ හා ඉන්දියානු දෙමළ 951,740 – 26.7%
ලංකා මරක්කල හා ඉන්දීය මරක්කල 228,034 – 6.4%
මැලේ 11,902 – 0.3%
බර්ගර් 24482 – 0.7%
යුරෝපීය 6300 – 0.26
වැදි 5971 – 0.1%
වෙනත් 9718 – 0.2%
සියලු 3565954
එකල මුළු දෙමළ ජනගහනයෙන් 49% ක් ලංකා දෙමළ ද, 51% ක් ඉන්දියානු දෙමළ ද විය.
මරක්කල ජනගහනයෙන් 91% ක් ලංකා මරක්කල වන විට, 9% ක් ඉන්දියානු මරක්කල විය. ඒ අනුව දෙමළ ජනගහනයෙන් 485,387 ක් ලංකා දෙමළ වූ අතර, ඔවුන්ගේ ජාතික අනුපාතිකය 13.61% ක් විය. ලංකා මරක්කල ජනගහනය 207510 ක් හෙවත් රටේ මුළු ජනගහනයෙන් 5.81% ක් විය. ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාව කාලයාගේ ඇවෑමෙන් වෙනස්විය යුතුව තිබුණි. මුලදී දේශීය ජනවර්ග තුනකට පමණක් සීමාවූ එය පසුව 1889 දී උඩරට, සිංහල නියෝජිතයකු හා මුස්ලිම් නියෝජිතයකු ඇතුළත් කරගන්නා ලෙස පුළුල් විය. 1917 වන විට ස්වදේශීය ජනවර්ග සඳහා ලැබී තිබූ නිල නොලත් නියෝජිත සංඛ්‍යාව මෙසේය. පහතරට සිංහල 02, උඩරට සිංහල 1, දෙමළ 02 යි. මුස්ලිම් 01 යි, බර්ගර් 01 යි. මෙම ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාව තවදුරටත් පුළුල් විය යුතු බව ලංකා ජාතික සංගමය ඇති කරන අවස්ථාව වන විට සියලු ජනවර්ග නියෝජනය කළ නායකයන්ගේ පොදු මතය වුවත්, වඩා විශාල නියෝජනයක් ලැබෙන ආකාරයට ප්‍රතිසංස්කරණය විය යුතු ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාව සඳහා නියෝජිතයන් පත් කරගත යුතු මූලධර්මය පිළිබඳව සිංහල නායකයන් හා දෙමළ නායකයන් අතර එකඟතාවක් නොතිබුණි.
සිංහල නායකයන්ට අවශ්‍ය වූයේ සුළු ජාතීන්ට බර තබන ලද ප්‍රාදේශීය නියෝජන ක්‍රමයකි. එහෙත් දෙමළ නායකයන් ඒ අදහසට කැමති නොවීය. ඔවුන්ට අවශ්‍ය වූයේ එතෙක් පැවතියාක් මෙන් තුනට දෙකේ අනුපාතිකයට ආසන බෙදී යන ක්‍රමයකි. මෙම නිශ්චිත ප්‍රශ්නයේදී සිංහල නායකයන් කල්පනා කරන ලද ආකාරය සාධාරණ වන අතර, දෙමළ නායකයන් කල්පනා කරන ලද ආකාරය අසාධාරණය. නවීන පාර්ලිමේන්තුවක් බවට පරිවර්තනය වෙමින් තිබුණු ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවක මහජන නියෝජිතයන් තේරී පත්විය යුත්තේ ඡන්දදායකයන්ගේ අනුපාතික අගයන්ට අනුකූලවය. එවැනි ක්‍රමයක් තුළ මහජාතියට ඔවුන්ගේ ප්‍රමාණය අනුව බහුතර නියෝජිත පිරිසක් ලැබීම නොවැළැක්විය හැකිය. ඒ නිසා මහ ජාතියේ ආධිපත්‍යයක් ඇතිවී තමන්ට සාධාරණය ඉටු නොවන තත්ත්වයක් ඇතිවනු ඇතැ”යි කියන බියක් සුළු ජාතික නායකයන් තුළ වී නම් කළ යුතුව තිබුණේ ඔවුන්ට ලැබෙන නියෝජනයේ ප්‍රමාණය සීමා කරන ක්‍රමවේදයක් වෙනුවෙන් පෙනී සිටීම නොව, ඔවුන්ට බහුතර බලයක් ලැබෙන තත්ත්වයක් යටතේ පවා සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් සීමා කිරීමට ඉඩක් නැති ක්‍රමවේදයක් ඇති කරගැනීම වෙනුවෙන් පෙනී සිටීමය.
එහෙත් එවැනි ඉදිරි දැක්මක් දෙමළ නායකයන්ට නොවූ අතර, ඔවුන් දිගින් දිගට පෙනී සිටියේ සිංහල නියෝජනය තමන් ඉක්මවා යා නොහැකි උපරිම මට්ටමට සීමා කිරීමය.
සෝල්බරි කොමිසමේ සිට
1921 න් පසු සෝල්බරි කොමිසම දක්වාම දෙමළ නායකයන්ගේ ඉල්ලීම වූයේ ආසන ගණනින් තුනට දෙකේ අනුපාතිකයක් තමන්ට හිමිවිය යුතු බවය. මේ නිසා ඩොනමෝර් කොමිසම ඉදිරියේ පවා දෙමළ නායකයන් පෙනී සිටියේ ස්වයං පාලනයට එරෙහිවය. මෙම අවස්ථාවේදී ආණ්ඩුකාරවරයාගේ බලය මොනම ආකාරයකින්වත් වෙනස් නොකළ යුතු බවත්, ඇමති පදවි තුනක් පමණක් ප්‍රදානය කිරීම ප්‍රමාණවත් බවත්, ප්‍රාදේශීය නියෝජනය යුක්තිය ඉටු නොකරන නිසා වාර්ගික නියෝජනය පවත්වාගෙන යායුතු බවත් පොන්නම්බලම් රාමනාදන් කියා සිටියේය. යාපනයේ සංගමයේ නායක ඩබ්ලිව්. දොරේසාමි සාක්ෂිදෙමින් කියා සිටියේ ද ““වාර්ගික නියෝජනය ආරක්ෂා කරගත යුතු අයහපත් උපාය මාර්ගයක්” වන බවය. එහෙත් වර්ගය අනුව නියෝජනයක් තෝරා පත්කරන ක්‍රමයකට ඩොනමෝර් කොමිසමේ කොමසාරිස්වරු තරයේ විරුද්ධ වූහ. එම ක්‍රමය දේශපාලන ශරීරයේ ඇතිවී තිබෙන දරුණු පිළිකාවක් ලෙස හඳුන්වමින් එය ආත්මාර්ථය, අවිශ්වාසය හා ද්වේෂය ඇති කරමින් එක්සත් ජාතියක් ඇතිවීම වළකන ක්‍රමයක් ලෙස සලකා ඒ ක්‍රමය වහාම අවලංගු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළෝය.
එකවරම විපර්යාසයක් ඇතිවීම වැළකීම සඳහා ඇති කරන ලද නව ක්‍රමයට යුරෝපීන් ඇතුළුව සුළු ජාතීන් සඳහා නම් යෝජනා කිරීමෙන් පත් කරනු ලබන ආසන 12 ත් වෙන් කළෝය. සෝල්බරි කොමිසම ඉදිරියේ ද්‍රවිඩ සංගමයේ නායක ජී.ජී. පොන්නම්බලම් පෙනී සිටියේ සමතුලිත නියෝජනයක් වෙනුවෙනි. ව්‍යවස්ථාදායක මණ්ඩලය සකස් විය යුත්තේ එක් ජාතියකට තවත් ජාතියක් අභිබවා යෑමට ඉඩ නොලැබෙන ආකාරයට බව ඔහුගේ මතය විය. ව්‍යවස්ථාදායක මණ්ඩලයේ ආසනවලින් හරි අඩක් සිංහලයන්ට ලැබෙන විට ඉතිරි අඩ සුළු ජාතීන්ට ලැබිය යුතු බව ඔහු කියා සිටියේය. පොන්නම්බලම් ඉදිරිපත් කළ අදහස් ජාතිවාදී විෂබීජවලින් කිලිටි වී තිබෙන බව සෝල්බරි කොමිසමේ මතය විය. එසේම සුළු ජාතීන්ට එරෙහිව මහ ජාතිය වෙනස්කම් කර ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි ඇතිව ඔප්පු කර නැති බව ද කොමිසමේ මතය විය. කොමිසම ජාතිවාදී නියෝජන ක්‍රමයකට ඉඩ නොදී සුළු ජාතීන්ට බර තබන නියෝජන ක්‍රමයක් ලබා දුන්නේය.
සිංහල නායකයන් හැමදාමත් පෙනී සිටියේ ද එවැනි ක්‍රමයක් සඳහාය. ඒ අනුව දමිළ ජනතාවට තමන්ගේ ජන අනුපාතිකයේ ප්‍රමාණය ඉක්මවා ගිය නියෝජනයක් ලැබුණි. අවසානයේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දෙමළ නියෝජිතයන් සෝල්බරි ප්‍රතිසංස්කරණවලට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ ද (ව්‍යවස්ථාවට විරුද්ධව ඡන්දය පාවිච්චි කළේ ඉන්දියානු දෙමළ නියෝජිතයන් දෙදෙනෙකු හා එක සිංහල නියෝජිතයකු පමණය.) දෙමළ නායකයන් අතර පැවති අතෘප්තිය මුළුමනින් සංසිඳුණේයැ”යි කිව නොහැකිය.
ස්වයං පාලනයක් ඉල්ලා සිටීම
චෙල්වනායගම්ගේ නායකත්වයෙන් පෙඩරල් පක්ෂය බිහිවූයේ රාජ්‍ය භාෂා නීතිය එන්නට වසර හයකට පෙර 1949 දීය. 1951 පවත්වන ලද එම පක්ෂයේ පළමු සම්මේලනයේදී ““මධ්‍යම ආණ්ඩුව යටතේ, එකිනෙකට වෙන්වූ ව්‍යවස්ථාදායක සභාවක් සහිතව භාෂාමය ප්‍රාන්ත දෙකක් ඇති කළයුතු බව”” කියා සිටියේය. එම ව්‍යවස්ථාදායක මණ්ඩල දෙකට අධ්‍යාපනය, සෞඛ්‍යය, කෘෂිකර්ම, කර්මාන්ත, නීතිය හා සාමය රැකීම වැනි කටයුතු සඳහා පාලන බලය ලබාදිය යුතු බව”” ද කියා සිටියේය. ඉන් පෙනීයන්නේ දෙමළ නායකයන් ස්වයං පාලනයක් ඉල්ලා සිටියේ සිංහලයන් අතින් සිදුවූ අකටයුතුකම්වලින් පසුව නොව, ඊට පෙර බවය. එහි වරදක් ඇතැ”යි මම නොකියමි. එහෙත් ස්වයං පාලනයක් සඳහා පෙනී සිටින්නට වූයේ සිංහලයන් අතින් සිදුවූ අසාධාරණකම් නිසා බව කීම වැරදිය. දෙමළ නායකයන් තුළ ස්වයං පාලනයක් සඳහා පැවති අධ්‍යාශය දෙමළ ජනතාව අතර පිළිගැනීමට හේතුවීමට සිංහලයන් අතින් පසුව සිදුවූ අසාධාරණකම් බලපෑවේය.
එයින් සිදුවූ වැරදි වනුයේ සිදුවූ නිශ්චිත අසාධාරණකම් ජයගැනීම සඳහා ක්‍රියාකරනවා වෙනුවට ස්වයං පාලනයක් දිනාගැනීම සඳහා සටන් කරන තැනකට යෑමය. ඒ මගින් නියපොත්තෙන් කපා ඉවත් කළහැකි දෙයක් පොරවෙන් කපා ඉවත් කළයුතු දුෂ්කර දෙයක් බවට හරවා ගත්තේය. මීට දස වසරකට පමණ පෙර කොටින්ගෙන් තොර ඊළාම් රාජ්‍යයක් ගැන සිහින දකින තරුණ දෙමළ නායකයකු සමග සාකච්ඡා කිරීමේ අවස්ථාව මට ලැබුණි. එහිදී අපි භාෂා ප්‍රශ්නය ගැන ද කතා කළෙමු. දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට ජේ.ආර්. ජයවර්ධන සිය ව්‍යවස්ථාවෙන් විසඳුම් ලබාදී ඇති බවත්, නීතියෙන් නියම කර ඇති එම තත්ත්වය ලැබී නැති නම් එම තත්ත්වය දිනාගැනීම සඳහා සන්නද්ධ අරගළයක් අවශ්‍ය නොවන බවත්, සමහරවිට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන මූලික අයිතිවාසිකම් පෙත්සමකින් එය දිනාගත හැකිවනු ඇති බවත් එම සහනය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාගත නොහැකි නම්, පමණක් ඊට පසු කරන්නේ කුමක්දැ”යි කල්පනා කරන ලෙස මම ඔහුගෙන් ඉල්ලා සිටියෙමි.
මා කියන ලද දේ ඔහුගේ පුදුමයට හේතුවිය. සිංහල රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියට එරෙහිව අවිහිංසාවාදී සටන් ප්‍රතිපත්තියක් අනුගමනය කළ ද, ඒ සඳහා නිශ්චිත ඉදිරි වැඩපිළිවෙලක් දෙමළ නායකයන්ට නොතිබුණේය. තමන් දිනාගත යුතු ඉල්ලීම් ගැන පවා ස්ථිර අදහසක් ඔවුන්ට නොතිබුණේය. දකුණේ සිංහල නායකයන් දෙමළ විරෝධී ජාතිවාදී අදහස් වපුරා ඔවුන් සිංහලයන් අතර සිය බලය තහවුරු කරගන්නට උත්සාහ කළා සේ, උතුරේ දෙමළ නායකයන් ද කළේ සිංහල විරෝධී ජාතිවාදී අදහස් සිය ජනයා අතර, වැපිරීම මගින් දෙමළ ජනතාව අතර බලය තහවුරු කරගැනීමට උත්සාහ කිරීමය. සිංහල නායකයන්ට යහපත් ඉදිරි දර්ශනයක් නොතිබුණා සේ ම දෙමළ නායකයන්ට ද යහපත් ඉදිරි දර්ශනයක් නොතිබුණි. දෙමළ නායකයන් බණ්ඩාරනායකගෙන් ඉල්ලා සිටි ස්වයං පාලනය හා ඩඩ්ලිගෙන් ඉල්ලා සිටි ස්වයං පාලනය එක සමාන නොවීය. බණ්ඩාරනායකගෙන් ඉල්ලා සිටියේ පළාත් සභා ක්‍රමයකි.
ඩඩ්ලිගෙන් ඉල්ලා සිටියේ දිස්ත්‍රික් සභා ක්‍රමයකි. 58 ජාතිවාදී කෝලාහලය කෙරෙහි සිංහල නායකයන්ගේ අමන ක්‍රියාකාරකම් පමණක් නොව, දෙමළ නායකයන්ගේ අමන ක්‍රියාකාරකම් ද බලපෑවේය. බණ්ඩාරනායක සමග ගිවිසුමක් ඇති කරගැනීමෙන් පසු උතුරට යවන ලද ලංගම බස් රථවල ඇති ශ්‍රී අකුරේ තාර ගා ඒ මත දෙමළ ශ්‍රී අකුර ආදේශ කරන ව්‍යාපාරයක් සඳහා නායකත්වය දෙන ලද්දේ චෙල්වනායගම්ය. දකුණේ කඩ සාප්පුවල නාමපුවරුවල ඇති දෙමළ අකුරුවල තාර ගාන ව්‍යාපාරයක් ඇතිවූයේ ඊට දක්වන ප්‍රතිචාරයක් වශයෙනි.
Editor’s Note
Published in March 2009, as the LTTE faced its final military collapse, this article takes a step back from the immediate battleground to question “where did it go wrong?” It provides a balanced, critical look at the historical missteps of both Sinhalese and Tamil political leaderships over nearly a century.