අලුතෙන් හිතන්නට කාලය පැමිණ තිබේ

February 1, 2009
Publication:
Sri Lanka is close to winning one of the two decisive questions before it. Where every previous approach had failed and the country was stuck with no end in sight, Rajapaksa made a reckless attempt, staking his own survival and the country's on fighting the LTTE to a military defeat, and went on down that road against opposition at home and abroad. The world thought he would destroy the country and himself; instead he reached the post he aimed at. The world is changed by those who swim upstream, and until they arrive they are taken for madmen rather than heroes. Military defeat will not settle the ethnic question by itself, but it creates conditions in which it can be settled — and doing so is the shared responsibility of everyone, with the opposition's duty being to help rather than obstruct. The second question, replacing a disordered political system, needs the same cooperation.

ශ්‍රී ලංකාව රටක් වශයෙන් තමන් ඉදිරියේ තිබුණු තීරණාත්මක ප්‍රශ්න දෙකින් එකක් ජයගැනීමට ආසන්න තැනකට පැමිණ තිබේ. එල්ටීටීඊය දශක එකහමාරකට ආසන්න කාලයක් තිස්සේ වෙනම රාජ්‍යයක් දිනාගැනීම සඳහා පවත්වාගෙන ගිය ප්‍රචණ්ඩ වැඩපිළිවෙල යුදමය වශයෙන් පරාජය කරන තත්ත්වයක් දිනාගැනීමට රටක් වශයෙන් අපි සමත්ව සිටිමු. මෙම අභියෝගය ජයගත යුතු ආකාරය පිළිබඳ විවිධ මතවාද සේ ම විවිධ අත්හදා බැලීම් ද සිදුවිය. එහෙත් ඒ සියලු අසාර්ථක තත්ත්වයන්ට පත්ව ශ්‍රී ලංකාව මෙම ප්‍රශ්නයේ කෙළවරක් නොපෙනෙන තැනක හිරවී තිබුණු අවස්ථාවකදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙම ප්‍රශ්නය ජයගැනීම සඳහා ඉතාමත් හිතුවක්කාරී අත්හදා බැලීමක යෙදුණේය. ඔහු තමන්ගේ ජීවිත පැවැත්ම සේ ම රටේ ජීවිත පැවැත්ම ද පරදුවට තබා මුළු වැර යොදා එල්ටීටීඊයට එරෙහිව යුද්ධ කරන පිළිවෙතක් තෝරා ගත්තේය. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මෙම වැඩපිළිවෙල දෙස මුළු ලෝකයම බැලුවේ සැකයෙනි.

ඔහු මුළු රටම විනාශ මුඛයට තල්ලු කිරීමෙන් නොනැවතී සිය ජීවිතය ද විනාශ කරගනු ඇති බව බොහෝ දෙනෙකුගේ විශ්වාසය වී තිබුණි. ඔහු දේශීය වශයෙන් සේ ම ජාත්‍යන්තර වශයෙන් ද එල්ල වූ විරෝධතා නොසලකා තමන් තෝරාගත් මාවතේ ඉදිරියටම ගියේය. අවසානයේ මුළු ලෝකයම විස්මයට පත්කරමින් තමන් අපේක්ෂා කළ ජයකණුව වෙත ළඟා විය. ලෝකය වෙනස් කරන්නේ පහළට පීනන්නන් නොව, ඉහළට පීනන්නන්ය. එහෙත් ඉහළට පීනන්නන් ජය කණුව වෙත ළඟාවන තෙක්ම සැලකෙන්නේ වීරයෙකු වශයෙන් නොව, පිස්සකු වශයෙනි. එහෙත් ජය කණුව වෙත ළඟාවීමත් සමග එතෙක් පිස්සකු ලෙස සැලකුණු පුද්ගලයා වීරයෙකු බවට පත්වන්නේය. එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කිරීමත් සමග ජනවර්ග ප්‍රශ්නය ඉබේ විසඳෙන්නේ නැතත්, ප්‍රශ්නය පහසුවෙන් විසඳා ගතහැකි වටාපිටාවක් ඒ නිසා ඇතිවේ. මෙම ජයග්‍රහණය දිනාගැනීම සඳහා රටට සැලකිය යුතු තරම් ජීවිත පූජාවක් ද කරන්නට සිදුවූ බව අප අමතක නොකළ යුතුය.

ඒ නිසා ප්‍රශ්නය විසඳා ගැනීමට ලැබී තිබෙන මෙම මහඟු අවස්ථාව අවංක හා ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගනිමින් එක්සත් ජාතියක් ඇති කරගැනීම අපි සියලුදෙනාගේ වගකීමකි. මෙම තීරණාත්මක සංධිස්ථානයේදී විරුද්ධ පක්ෂ ව්‍යාපාරවල වගකීම විය යුත්තේ ආණ්ඩුවට අවහිර කිරීම නොව, ජාතික වැදගත්කමක් ඇති මෙම මූලික ප්‍රශ්නය විසඳා ගැනීමට අවංක ලෙසත්, හිතට එකඟවත් ආණ්ඩුවට ආධාර කිරීමය. රට ඉදිරියේ තිබෙන ජනවර්ග ප්‍රශ්නය පමණක් නොව, රටේ කටයුතු අවුල් කිරීමට හේතුවී තිබෙන විසම දේශපාලන ක්‍රමය වෙනුවට යහපත් හා ඵලදායී ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් ඇති කරගැනීම පිළිබඳ ප්‍රශ්නය ද ජයගැනීමට හැකිවනු ඇත්තේ ආණ්ඩුව හා විරුද්ධ පක්ෂ පසමිතුරු ආකල්පයකින් ක්‍රියාකරන පිළිවෙතින් ඉවත් වී අන්‍යොන්‍ය අවබෝධයෙන් හා සහයෝගයෙන් ක්‍රියාකරන පිළිවෙතකට ඒමෙනි. ත්‍රස්තවාදී අභියෝග ජයගැනීමෙන් පසු ජනවර්ග ප්‍රශ්නයට ද සාධාරණ විසඳුමක් ලබාදෙමින් ඵලදායී හා යහපත් දේශපාලන ක්‍රමයක් ඇති කරගැනීමේ ප්‍රශ්නය ද ජයගැනීමට හැකිවේ නම්, රටට අත්පත් කරගත හැකි දියුණුවේ පරිමාව අතිවිශාලය.

අපේ දියුණුවේ සීමාව අහස තරම් උසවිය හැකිය. එය රටක් වශයෙන් අපට ජයගත හැකි ඉලක්කයක් නම්, භේදයෙන් තොරව සියලු රටවැසියන් එකට එකතු වී රටක් වශයෙන් අපට හිමිතැන වෙත අපි ළඟා නොවිය යුත්තේ ඇයි?

Editor’s Note

Published on 1 February 2009, three and a half months before the end of the war. Ivan writes here of a settlement of Tamil grievances and a reformed political system as the tasks following military victory; he returns to both repeatedly in the articles that follow, and by 2010 is writing that neither has been attempted.