ආධාර කණ්ඩායමේ නව ස්ථාවරය රටට යහපත්ය

February 8, 2009
Publication:
Reading the Co-Chairs' call on the LTTE to lay down its arms, Ivan notes that the European Union, Japan, the United States and Norway — the parties most opposed to the war — now accept that the LTTE has been militarily defeated and say nothing of political talks with it, and argues that their duty is to release the promised aid and help the country with what follows.

ශ්‍රී ලංකාවට ආධාර කරන රටවල් කණ්ඩායමේ සම සභාපති මඬුල්ල නිකුත් කර තිබෙන නිවේදනයක් මගින් ආයුධ බිම තබා යටත් වන ලෙස එල්ටීටීඊයෙන් ඉල්ලා තිබුණි. ඔවුන් නිකුත් කර තිබෙන නිවේදනය සංකේතාත්මකව වැදගත්කමකින් යුතුය. යුරෝපා සංගමය, ජපානය, ඇමරිකා එක්සත් ජනපදය පමණක් නොව, නෝර්වේ රාජ්‍යය ද එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය වී ඇති බව ඉන් පිළිගනී. යටත්වීමට අදාළ පොදු සමාවක් ගැන සාකච්ඡාවක් මිස, එල්ටීටීඊය සමග දේශපාලන විසඳුමක් ගැන කරන සාකච්ඡා කිරීමක් ගැන එහි සඳහන් නොවන නිසා තවදුරටත් එල්ටීටීඊයට කිසිම කාර්ය භාරයක් නැති බව ඔවුන් පිළිගන්නවා පමණක් නොව, එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කිරීම ද අවසානයේ ඔවුන් අනුමත කරන බව ද පෙනේ. මෙය රටට ඉතා වැදගත් නව වර්ධනයක් ලෙස සැලකිය හැකිය. එල්ටීටීඊය සමග කරන යුද්ධයකට වැඩියෙන්ම විරුද්ධ වූයේ ඔවුන්ය. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ පැරණි සාකච්ඡා වැඩපිළිවෙලට ආධාර කළෝද ඔවුහුය.

ඔවුන් එල්ටීටීඊයට එරෙහිව කරන යුද්ධයකට විරුද්ධ වූයේ එල්ටීටීඊය ආරක්ෂා කිරීමට තිබෙන සැඟවුණු වුවමනාව නිසාය කියන මතයක් සමහර අංශවල තිබුණද, එසේවීමට හේතුව එම රටවල් එල්ටීටීඊයට තිබෙන කැමැත්ත නිසා නොව, එල්ටීටීඊයට එරෙහිව කරන යුද්ධයක් ජනතාව විශාල වශයෙන් පීඩාවට ලක්කිරීමට හේතුවීමෙන් නොනැවතී එල්ටීටීඊය තවදුරටත් ශක්තිමත් කිරීමට හේතුවනු ඇති බවට ඔවුන් තුළ පැවති බිය නිසා බව කිව හැකිය. මොන මොන විශ්වාස නිසා හෝ ඔවුන් එල්ටීටීඊයට එරෙහිව කරන යුද්ධයට විරුද්ධ වූවා පමණක් නොව, සමහර රටවල් ශ්‍රී ලංකාවට දෙන ආධාර ද සීමා කළේය. මේ නිසා ශ්‍රී ලංකා ආණ්ඩුව ද මෙම රටවල්වලට කෝපයෙන් ප්‍රතිචාර දක්වන තැනකට ද ගියේය. ප්‍රමාද වී හෝ ජාත්‍යන්තර ප්‍රජාව තමන් දරන ස්ථාවරයේ යහපත් වෙනසක් ඇති කරගැනීම රටට යහපත්ය. දැන් ශ්‍රී ලංකාවට ද නැවත ඔවුන් සමග ඉදිරි ප්‍රශ්න විසඳා ගැනීම සඳහා අන්‍යොන්‍ය සහයෝගයෙන් ක්‍රියා කරන තැනකට යා හැකිය.

එල්ටීටීඊය සිටියේ යුද්ධයෙන් මිස සාකච්ඡා මගින් ප්‍රශ්න විසඳාගත හැකි ස්ථාවරයක නොවේ. වෙනම රාජ්‍යයකින් හෝ කොන්ෆෙඩරේෂන් තත්ත්වයකින් මෙපිට කිසිවක් ඔවුහු බලාපොරොත්තු නොවූහ. ඔවුන්ට එරෙහිව දැඩි පිළිවෙතක් අනුගමනය නොකොට තවදුරටත් ඔවුන් සමග සාකච්ඡා කරන තැනකට ගියේ නම්, ඔවුන්ගේ පැවැත්ම තව තවත් ශක්තිමත් වන්නට ඉඩ තිබුණා පමණක් නොව, රටේ පැවැත්ම ද අවුල් ජාලාවකට යන්නට ඉඩ තිබුණි. යුදමය වශයෙන් පරාජය කළ නොහැකි බව පෙනුණු එල්ටීටීඊය දැන් පරාජය කර තිබෙනවා පමණක් නොව, ජයග්‍රාහකයා දෙමළ ජනතාවගේ සාධාරණ දුක්ගැනවිලිවලට විසඳුමක් ලබාදෙන බවට ද සහතික වී තිබේ. දැන් ජාත්‍යන්තර ප්‍රජාවගේ යුතුකම වන්නේ කුහකත්වයෙන් තොරව යුද්ධය ලබා තිබෙන ජයග්‍රහණයෙන් පසුව ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ප්‍රශ්න විසඳා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ආධාර කිරීමය. ආධාර කණ්ඩායම ශ්‍රී ලංකාව සඳහා ලබාදීමට පොරොන්දු වී තිබෙන ඩොලර් බිලියන 4.5 ක ආධාර පොදිය දැන් ශ්‍රී ලංකාවට ලබාදිය හැකිය.

ත්‍රස්තවාදයට එරෙහිව ලබා තිබෙන යුදමය ජයග්‍රහණය ආරක්ෂා කරගැනීම වැදගත්වන්නේ ශ්‍රී ලංකාවට පමණක් නොවේ. එය මුළු ලෝකයටම ද වැදගත්ය.