එල්ටීටීඊයට එරෙහිව ආරම්භ කළ යුද්ධයේ ඉක්මන් අවසානයක් දැකිය හැකි තැනකට පැමිණ තිබේ. දැන් ඉතිරි වී තිබෙන ලොකුම ප්රශ්නය පුංචි භූමි තීරයක කොටු වී සිටින සිවිල් ජනයා ඉන් මුදාගන්නේ කෙසේද යන ප්රශ්නයයි. සිරවී සිටින සිවිල් ජනයා ගෙන්වා ගැනීම සඳහා යුද මුක්ත කලාපයක් ආණ්ඩුව විසින් ප්‍රකාශ කර ඇතත් එම සිවිල් ජනයා පලිහක් කොටගෙන සිටින එල්ටීටීඊය එම ජනයාට තමන්ගෙන් වෙන්වී යුද මුක්ත කලාපයට යන්නට ඉඩ දෙනු ඇතැයි සිතිය නොහැකිය. මෙම සංකීර්ණ ප්රශ්නය ඉක්මනින් ජයගැනීමට හැකි වෙතොත් එල්ටීටීඊයට කළ හැක්කේ කැලයට පලායාම පමණය. ඔවුන්ට යන්නට ඉතිරි වී තිබෙන කැලය ඝන වුවත් තොප්පිගල තරම් විශාල නැත. කැලෑවේ නිදහසේ ජීවත්වීමට ඔවුන්ට ඉඩ නොලැබෙන අතර ආරක්ෂක හමුදාව එම ඝන කැලෑවද තරණය කරනු ඇත. එල්ටීටීඊය නැවත ගරිල්ලා ව්‍යාපාරයක් බවට මාරුවනු ඇති බවට පතළ විශ්වාසයක් ඇතත් උච්චතම තත්ත්වයකට වර්ධනය වූ එල්ටීටීඊය වැනි ව්‍යාපාරයකට නැවත සංවර්ධනයේ පළමු අදියරයට මාරුවීම හිතන තරම් සරල හෝ පහසු නැත.
එල්ටීටීඊ ව්‍යාපාරයේ අවසානයක් ඇති කිරීම ශ්‍රී ලංකාව නව ගමන් මගකට තල්ලුකරන ඉතාමත් වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකිය. එය රටේ සංවර්ධන අවකාශ සේම ප්රජාතන්ත්රවාදී අවකාශද පුළුල් කරයි. එක් අතකින් අනාථභාවයට පත් උතුරේ දෙමළ ජනයා නැවත සිය ගම්බිම්වල පදිංචි කිරීම, විනාශ වී තිබෙන ගොඩනැගිලි හා පාරවල් ඉදිකිරීමට උතුරේ පළාත් සභා හා පළාත් පාලන මැතිවරණ පැවැත්වීම වැනි ප්‍රශ්න රාශියකට විසඳුම් ලබාදීමට ආණ්ඩුවට සිදුවනු ඇත්තේය. ඒ සියලු දේ අතරින් විසඳිය යුතුව තිබෙන වඩාත්ම විවාදාත්මක ප්රශ්නය බවට පත්වනු ඇත්තේ දෙමළ දුක්ගැනවිලිවලට දෙන්නට යන විසඳුම කුමක්ද යන්නය. ඒ සඳහා වන සාර්ථක විසඳුමක් ඇති කර ගැනීමට හැකිවනු ඇත්තේ ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂය අවබෝධයකින් ක්‍රියාකරන තැනකට එන්නේ නම් පමණය. මෙම තීරණාත්මක මොහොතේ මෙම දේශපාලන බලකණ්ඩායම් දෙක දෙපැත්තට අදින ප්‍රතිපත්තියක් රටේ වර්තමාන යහපතට සේම අනාගත යහපතටද හේතුවන්නේ නැත.
තීන්දු ගැනීමේ අයිතිය ඇත්තේ ආණ්ඩුවට වුවත් ජාතික වැදගත්කමක් ඇති මෙවැනි සංකීර්ණ ප්රශ්නවලදී විරුද්ධ පක්ෂයේ සහාය ලබා ගැනීම ආණ්ඩුවේ වගකීමකි. විරුද්ධ පක්ෂය බලතරගය මොහොතකට අමතක කොට මෙම සංකීර්ණ ප්රශ්නය විසඳාගැනීමට ආණ්ඩුවට ආධාර කරන ප්රතිපත්තියකට යා යුතුය. දේශපාලන බලතරගයක් තිබීම අවශ්‍ය වුවත් රටේ පැවැත්ම ඊට වඩා රටට වැදගත්ය. සුළු ජාතීන්ගේ දුක්ගැනවිලිවලට සාධාරණ විසඳුමක් සොයා ගන්නවාට අතිරේකව රටේ ගෞරවයට හේතුවන යහපත් දේශපාලන ක්‍රමයක් ඇති කර ගැනීම පිළිබඳව ප්‍රශ්නයක්ද රටට ඇත්තේය. යුද්ධයේ අවසානයත් සමග විවර වනු ඇති ප්රජාතන්ත්රවාදී ඉඩකඩ ප්‍රයෝජනයට ගනිමින් නව දේශපාලන ක්‍රමයක් ගැන ද සිහින දකින තැනකට යොමුවන්නට රටට හැකි වේ නම් රටක් වශයෙන් අපට යා හැකිව තිබෙන දුර සීමාරහිතය. රට ඉදිරියේ ඇත්තේ ජනවර්ග කළමනාකරණය පිළිබඳ ප්‍රශ්නයක්ම පමණක් නොවේ.
අධ්‍යාපනය, රජයේ සේවක වැටුප්, ආණ්ඩුකරණය වැනි අනෙක් අංශවලද බරපතළ අවුල් ඇති බව අමතක නොකළ යුතුය. පුංචි වෙනසක් වෙනුවට රටට අවශ්‍ය වනුයේ සෑම අතටම විහිදුණු ලොකු වෙනසකි. රටේ යහපත වෙනුවෙන් එවැනි වෙනසක් ආරම්භ කළ හැකි වනු ඇත්තේ එකට එකතුවී විසඳාගතයුතු ගැටලු ඇති බව තේරුම් ගනිමින් සියලු දේශපාලන පක්ෂ ඒ වෙනුවෙන් එකට එකතුවී ක්‍රියාකරන තැනකට එන්නේ නම් පමණය.
Editor’s Note
Published on 25 January 2009. The civilians Ivan describes as trapped were those held in the shrinking territory of the Vanni during the final months of the war; the no-fire zones declared during that period, and the number of civilian deaths within them, later became the subject of international inquiry. Thoppigala, in the Eastern Province, was the LTTE’s last eastern stronghold, taken by the army in July 2007.