යුද හමුදාපතිවරයා ඉලක්ක කොටගෙන එල්ටීටීඊය විසින් එල්ල කරන ලද ප්‍රහාරය ජනවාර්ගික අර්බුදයට අදාළව මෙතෙක් පැවති දේශපාලන චිත්‍රයේ ගැඹුරු වෙනසක් ඇති කිරීමට හේතුවී තිබෙන බව පෙනේ.
එල්ටීටීඊය පසුගිය මැතිවරණයේදි රනිල් වික්‍රමසිංහ බලයට පත්වීම වළකන දැඩි ක්‍රියාමාර්ගයක පිහිටා ක්‍රියා කළේය. ඉන්පසු පැවති වීර දින සමරු කතාවේදි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රායෝගික නායකයකු ලෙස විස්තර කරමින්, තමන්ගේ ප්‍රශ්නවලට ඉක්මන් විසඳුමක් ලබා නොදෙයි නම් එළඹෙන වසරේ (2006) යුද්ධයක් ඇතිවීම නොවැළැක්විය හැකි බව ද ප්‍රකාශ කළේය.
ඉන්පසු යුද්ධ හමුදාව ඉලක්ක කොට එල්ල කරන ලද ක්ලේමෝ බෝම්බ ප්‍රහාර නිසා නැවත ඉක්මන් යුද්ධයක් ඇතිවීම නොවැළැක්විය හැකි වන බව පෙනෙන්නට තිබුණුත්, දැඩි මතභේද මැද වුවත්, සාකච්ඡා ආරම්භ කිරීමට දෙපක්ෂය සමත් විය. එහෙත් සාකච්ඡාවේදි ඇති කරගත් මුලික එකගතාවන් මත පිහිටා ක්‍රියාකරන්නට දෙපක්ෂයම අසමත්ව තිබුණි.
කරුණා පාර්ශ්වයෙන් එල්ල වන්නට වූ ප්‍රහාර හා කරුණා පාර්ශ්වය නිරායුධ නොකිරීම එල්ටීටීඊයේ දැඩි විරෝධයට හේතුවී තිබුණු අතර, ඊළග සාකච්ඡා සඳහා දෙපැත්තම කඹ අදින තත්ත්වයකින් ක්‍රියාකරන බවක් ද පෙනෙන්නට තිබුණි.
ඉන්පසු කැනඩාව විසින් එල්ටීටීඊය තහනම් කරන ලද අතර, යුරෝපා සංගමයෙන් ද එල්ටීටීඊය තහනම් කෙරෙන තර්ජනයක් එල්ල විය. ජාත්‍යන්තර ප්‍රජාවගේ හැසිරිම එල්ටීටීඊයේ දැඩි විවේචනයට හේතුවී තිබුණු අතර, සාකච්ඡාවලට අවතීර්ණ වීමෙන් පසුව එල්ටීටීඊයේ අවාසියට බල සමබරතාව වෙනස් කිරීමට හේතුවන ලෙස ජාත්‍යන්තර ප්‍රජාව කටයුතු කරමින් සිටින බවට එල්ටීටීඊය ජාත්‍යන්තර ප්‍රජාවට චෝදනා කරන්නට විය. මේ අතරතුර කාලයේ දෙපක්ෂයටම චෝදනා කළ හැකි සාහසික හා අශෝභන ක්‍රියාකාරකම් රැසක් උතුරු නැගෙනහිර පළාත්වල සිදුවිය. යුද හමුදාපති ඉලක්ක කොට ගෙන එල්ල වූ ප්‍රහාරය ඒ සියලු සිද්ධීන් අතරින් පැවති චිත්‍රයේ මහා වෙනසක් ඇති කිරීමට හේතු වූ බරපතළම හා බිහිසුණුම සිද්ධිය ලෙස සැලකිය හැකිය. ආණ්ඩුව ඊට ප්‍රතිචාර වශයෙන් එල්ටීටීඊ පාලනය යටතේ පැවති ප්‍රදේශයකට ගුවනින් බෝම්බ හෙළීය.
නිල වශයෙන් තවමත් යුද්ධය ආරම්භ වී නැතත්, නිල නොවන ආකාරයකින් එය ආරම්භ වී තිබෙන බව පෙනේ. යුද හමුදාපතිවරයා ඉලක්ක කොට එල්ල කරන ලද ප්‍රහාරයෙන් එල්ටීටීඊය ශ්‍රී ලංකා ආණ්ඩුවට සංකේතාත්මක වැදගත්කමක් ඇති පණිවුඩයක් දිමට උත්සාහ කර තිබෙන බව ද පෙනේ. ඔබලා ඉතාමත් ආරක්ෂිත යැයි සිතන ඕනෑම තැනකට පහරදිමේ හැකියාව අපට තිබේ යන්න ඔවුන් ආණ්ඩුවට දී තිබෙන පණිවුඩයයි. මරාගෙන මැරෙන බෝම්බකාරිය හමුදාපතිවරයා පැමිණි වාහනය ඉලක්ක කොට ගත්තේ මහමග නොව, යුද හමුදා මූලස්ථානය ඇතුළේය. මොන ක්‍රමයකින් හෝ සිය ඉලක්කය සපුරා ගැනීම සඳහා ඇය යුද හමුදා මූලස්ථානයට ඇතුළුවීමට සමත් වී තිබෙන බව පෙනේ. එයින් පෙනෙන්නේ ආරක්ෂක සංවිධාන තුළ පහසුවෙන් රිංගා යා හැකි හිල් තිබෙන බවය. එය මේ ස්ථානයට පමණක් නොව තීරණාත්මක වැදගත්කමක් ඇති අන් තැන්වලට ද පොදුවිය හැකිය.
ඊළග යුද්ධයක් මුහුණට මුහුණලා කෙරෙන යුද්ධයක් වීමේ ඉඩක් නැත. එය බොහෝ දුරට කෙටිකාලීන නවීන තාක්ෂණික යුද්ධයක් විය හැකි අතර, වාර්ගික වැදගත්කමක් ඇති තැන්වල තිබෙන හිල් නිසා දකුණේ අතිවිශාල විනාශයක් කිරීමේ හැකියාව එල්ටීටීඊය සතු බව ද පෙනෙන්නට තිබේ. සමහරවිට ඔවුන් දකුණට එල්ල කරන බිහිසුණු ප්‍රහාරවලින් දකුණත් උතුරක් බවට පත්විය හැකි අතර, එම තත්ත්වය ඉවසිය නොහැකිව ජාත්‍යන්තර ප්‍රජාව එල්ටීටීඊයට පහර දෙන තැනකට ද යා හැකිය. බොහෝ විට විය හැකිව තිබෙන දේ ජයග්‍රහණයකින් තොරව ප්‍රතිපක්ෂ දෙකම බොහෝ දුරට විනාශවීමය.