අගවිනිසුරුගේ අලුත්ම රංගනය

October 29, 2026
Publication:
Sirasa and MTV broadcast a speech by the chief justice at the registrars' annual conference, and the speech, its tone and the laughing that broke into it amount to a grotesque performance that shows the whole country how far one of the main pillars of the political system has rotted. Two impeachment motions against him carry very serious charges, Ivan writes, and letting him stay in office without clearing him has made the judiciary ridiculous abroad as well as at home.

රටේ දේශපාලන ආයතන ක්‍රමයේ එක් ප්‍රධාන කුලුනක් කුණුවී තිබෙන තරම මුළු රටට ම ප්‍රදර්ශනය කරන දර්ශනයක් සහිත කතාවක් සිරස හා එම්ටීවී යන රූපවාහිනී සේවා මගින් පසුගිය සෙනසුරාදා විකාශය කරන ලදි.

කථිකයා රටේ අගවිනිසුරුවරයාය. කතාව පවත්වන ලද්දේ රෙජිස්ට්‍රාර්වරුන්ගේ වාර්ෂික සම්මේලනයේදිය. ඔහු එහිදි කරන ලද කතාව, කතාවේ ස්වරය හා කතාව අතරමග විටින් විට කරන ලද සිනහසීම් ඉතාමත් කලාතුරකින් අවස්ථාවක ලැබෙන ආකාරයේ විකාරරූපී රංගනයක් ලෙස සැලකිය හැකිය.

ඔහු විටින් විට කතා කරන කතාව මැද සිනහසුණේ මළගිය ප්‍රාණකාරයෙකුගේ අවතාරයක් සේය. ඔහු සාමාන්‍ය පොලිස් නිලධාරීන්ට පමණක් නොව, පොලිස්පතිට ද පහර දුන්නේය. පොලිසියෙන් ආරක්ෂාව ලබාගන්නවා වෙනුවට පොලිසියෙන් ආරක්ෂා විය යුතුව තිබෙන බව කීවේය. ආදායම් බදු දෙපාර්තමේන්තුව, රේගුව, මෝටර් රථ දෙපාර්තමේන්තුව සේම නීතිඥයින්ට දිගින් දිගට පහර දුන්නේය. රටේ අගවිනිසුරුවරයාට අනුව ඒ සියලු දෙනා පට්ටපල් බොරුකාරයෝය. තක්කඩියෝය. පගාකාරයෝය. ඔවුන් කිසිවකු ස්වාභාවිකව නොමැරෙන අතර, මැරෙන්නේ කුණුවී පණුවන් ගසන තත්ත්වයකය. ඔවුන්ගේ දරුවන්ට ද වගතුවක් වන්නේ නැත.

රටේ අධිකරණයේ ප්‍රධානියා මහජනයාගේ විනෝදයට, පිළිකුලට හා හාස්‍යයට හේතුවන මෙවැනි රගපෑමක යෙදුණු දෙවැනි අවස්ථාව මෙය ලෙස සැලකිය හැකිය.

පළමු රංගනයේ ස්වභාවය මීට වෙනස් විය. එය දැවැන්ත ලිංගික රංගනයක් ලෙස සැලකිය හැකිය. රටේ අගවිනිසුරුවරයා විවාහක තරුණ නීතිඥවරියක් සමග, දියවන්නාඔය අසල රාත්‍රියේ අඳුරු තැනක නවතා තිබෙන වාහනයක් තුළ අඩනිරුවතින් අනග රංගනයක යෙදෙමින් සිටින අවස්ථාවක ජංගම මුර සේවයේ යෙදෙන පොලිස් කණ්ඩායමකගේ පරීක්ෂාවට ලක්විය.

මෙම සිද්ධිය ජනමාධ්‍යවල වාර්තා වන්නටත් ප්‍රථම අගවිනිසුරුවරයා ඒ ගැන පොලිස්පතිවරයාට ලිඛිතව කරන ලද පැමිණිල්ලක් අගවිනිසුරුවරයා විසින්ම පුවත්පත් වලට යැවීම නිසා එම සිද්ධිය රටේ උණුසුම් කතාබහට ලක්වූ සිද්ධියක් බවට පත්වූයේය.

සිද්ධියේ ඇත්ත නැත්ත ජනාධිපතිනියගේ සිට පාර්ලිමේන්තුව දක්වා වන දේශපාලන ආයතන දැන සිටියේය. සිද්ධිය වාර්තා වූ වහාම පොලිස්පතිවරයා ඒ ගැන ජනාධිපතිනියට දැනුම් දුන්නේය. එහෙත් ඒ පුවත ඇගේ විශ්මයට හෝ කම්පනයට හේතුවී නැත. ඒ වෙනුවට ඇය ඒ මොහොතේ වඩා වැදගත් කොට සලකා ඇත්තේ අගවිනිසුරු සමග එවැනි රංගනයක යෙදුණු කාන්තාව කව්දැයි සොයා දැනගැනීමටය.

අවසානයේ මේ සිද්ධියේ ඇත්ත නැත්ත සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු කාරක සභාවක් ඉල්ලා සිටින යෝජනාවක් එජාප මන්ත්‍රීවරයෙකු ඉදිරියට ගෙනාවේය.

අධිකරණයේ සිදුවන, පෙනෙන්නට තිබෙන වැරදි ඉදිරියේ පාර්ලිමේන්තුව ක්‍රියාකර තිබෙන ආකාරය ව්‍යවස්ථාදායකය වශයෙන් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව කුණුවී තිබෙන තරම පෙන්නුම් කරන කදිම නිදර්ශනයක් ලෙස සැලකිය හැකිය.

එජාප ඒ මොහොතේ ඇග බේරාගැනීම සඳහා සිද්ධියේ ඇත්ත නැත්ත සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවක් ඉල්ලා සිටියත්, ඒ ඉල්ලීම ක්‍රියාවට නගා ගැනීම සඳහා කිසිදු බලවත් උත්සාහයක නොයෙදුණේය. එය අගවිනිසුරුට එරෙහිව ඊට පෙර අවස්ථා දෙකකදි ඉදිරිපත් කරන ලද දෝෂාභියෝග යෝජනා දෙක මෙන් පුස්කන්නට ඉඩ හැර බලා සිටියේය.

දියවන්නාඔය සිද්ධියේදි අගවිනිසුරුගේ ක්‍රියාකලාපය අධිකරණයේ ගෞරවයට බලපාන බරපතළ ප්‍රශ්නයක් බව තේරුම් ගැනීමට පාර්ලිමේන්තුව අසමත් විය. වගකිවයුතු පාර්ලිමේන්තුවක් එවැනි ප්‍රශ්නවලදි නිහඬව නොසිට ඒවා සාකච්ඡාවට ලක් කළ යුතුය. හරි වැරදි සොයා බැලිය යුතුය. එහෙත් රටේ කිසිම වැදගත් ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ලක්වන්නේ නැත. රටේ සිදුවන කිසිම වරදක් නිවැරදි කිරීම සඳහා පාර්ලිමේන්තුව ක්‍රියාකරන්නේ ද නැත. රටේ සිදුවන හැම වැදගත් ප්‍රශ්නයක් ඉදිරියේම දූෂණයෙන් කුණුවී ඇතැයි කියන සම්ප්‍රදායික දේශපාලන පක්ෂ පමණක් නොව, දූෂිත නොවේ යැයි කියන නව පක්ෂ ද නිහඬව බලා සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. අධිකරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව අනුගමනය කළ එම වැරදි ප්‍රතිපත්තිවල ප්‍රතිඵලය වී ඇත්තේ ප්‍රතිසංස්කරණය කිරීමට ඉඩක් නැති තරමට අධිකරණය කුණුවීමය.

අගවිනිසුරුවරයාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන දෝෂාභියෝග දෙකට ඇතුළත් චෝදනා ඉතා බරපතළය. එම චෝදනා වලින් ඔහු නිර්දෝෂී කිරීමකින් තොරව ඔහුට එම තනතුරේ ඉන්නට ඉඩ හැරිමෙන් පාර්ලිමේන්තුව කර ඇත්තේ ශ්‍රී ලංකාවේ අධිකරණය මහජනතාව ඉදිරියේ පමණක් නොව, ලෝක ප්‍රජාව ඉදිරියේ ද හාස්‍යජනක තත්ත්වයකට ඇද දැමීමය.

අධිකරණය තුළ දක්නට ඇති මේ කුණුවීම අධිකරණයට පමණක් සීමාවී නැති බව ද කිවයුතුය. සමස්ත දේශපාලන ආයතන ක්‍රමයම තිබෙන්නේ අධිකරණය තරමටම කුණුවූ තත්ත්වයකය. ඒ තත්ත්වයට දේශපාලනඥයින් පමණක් නොව, ආගමික නායකයින් ද, බුද්ධිමතුන් ද පොදු මහජනතාව ද එක ලෙස වගකිව යුතුය. ශ්‍රී ලංකාව තමන් පාලනය කරගැනීමට නොදත් ජනතාවගෙන් යුතු රටක් ලෙස සැලකිය හැකිය.