අප්‍රේල්වලදී රජවීම

October 29, 2026
Publication:
By the political prophecies of Chandrika Kumaratunga, Ranil Wickremesinghe and Sripathi Sooriyarachchi, the Rajapaksa government falls in April — and April has thirty days. Ivan counts them, asks who exactly becomes king afterwards, and notes that each of the three expects it to be himself or herself. He ends on S.B. Dissanayake, whose imprisonment earned sympathy but no heroism.

චන්ද්‍රිකා, රනිල්, ශ්‍රීපති යන අය විටින් විට පළකර තිබෙන දේශ පාලන අනාවැකි අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග රාජපක්ෂ ආණ්ඩුව කම්බස්වන්නේ අප්‍රේල් වලදීය. අප්‍රේල් මාසය ලබන්නට ඇත්තේ තව දින හත අටක් පමණය. අප්‍රේල් මාසයට ඇති දින ගණන දින තිහකි. ඒ මහා දේශපාලන පෙරළිය සිදුවිය යුත්තේ ඒ දින තිහ තුළය.

අප්‍රේල්වලදී මහින්ද රාජපක්ෂ හා ඔහුගේ ආණ්ඩුව කම්බස්වීමෙන් පසු ඊළඟට රජවන්න යන්නේ කවුරුන්ද යන්න නොපැහැදිලිය. තමන් අප්‍රේල්වලදී නැවත රජවන බව චන්ද්‍රිකා කීවාය. අප්‍රේල්වලදී තමන් රජ වන බව සමහර දෛවඥයින් ප්‍රකාශ කරන බව රනිල් කීවේය. ශ්‍රීපති කීවේ මංගලට රජකමට සමාන තැනක් ලැබෙන ආණ්ඩුවක් තුළ තමන්ට ද එම ආණ්ඩුවේ කැපී පෙනෙන තත්ත්වයක් හිමි වන බවය.

එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ සන්ධානය හා ආණ්ඩුව තුළ සිටින චන්ද්‍රිකාගේ මංගලගේ ආධාරකරුවන් එක පෙරමුණට එන තත්ත්වයක් ඇතිවේ නම් ආණ්ඩු පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමිවීමේ ඉඩක් ඇතත්, මේ සියලු දෙනා එකට ඒකරාශි කිරීම හිතන තරම් සරල හෝ පහසු නැත.

ජේවීපීයට ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග ඉහවහා ගිය ක්‍රෝධයක් ඇතත්, මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරළාගෙන ඉක්මන් පාර්ලිමේන්තු මැතිවරණයකට යෑමේ වුවමනාවක් ජේවීපීයට නැත. තමන්ට දැන් තිබෙන පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව තම ශක්තියේ ප්‍රමාණයට ලැබුණු බලයක් නොව, ශ්‍රීලනිප සමග ඇති කරගත් සන්ධානය නිසා ලැබුණු කෘතිම බලයක් බව ජේවීපීය දනී. ඒ නිසා ඉක්මන් මැතිවරණයකට යාමේ වුවමනාවක් ජේවීපීයට නැත. සමහරවිට මැතිවරණයක් ආසන්නයේ යූඑන්පියට බලයට එන්නට ඉඩ නොදෙමුයි කියන තේමාව යටතේ නැවත ශ්‍රීලනිප සමග සන්ධාන ගතවන තැනකට ද ජේවීපීය තල්ලු විය හැකිය. යූඑන්පිය, ජේවීපීය හා දෙමළ සන්ධානය යන සියලු බලවේග ඒකරාශි කොට ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් ඇති කරගනිමුයි කියා මංගල කියන විට එජාපයට නැවත රජවීමට තම පක්ෂය ඉඩ නොදෙන බවට ටිල්වින්ට කියන්නට සිදුවී තිබෙන්නේ ඒ නිසාය.

එජාප නායක රනිල් වික්‍රමසිංහ ද මහින්ද රාජපක්ෂගේ පාර්ලිමේන්තු ආණ්ඩුව හදිසි ප්‍රහාරයක් මගින් බිඳ දමා එජාපයට බර තබන පාර්ලිමේන්තු ආණ්ඩුවක් ගැන සිහින දකින තැනක නැත. මීට පෙර එවැනි ආණ්ඩුවක් ගොඩනගා ගැනීමට ඉක්මන්වීමෙන් තමන්ට සිදුවූ හානිය රනිල්ට පහසුවෙන් අමතක කළ නොහැකිය. අනෙක් අතට එහිදී මංගල හා ශ්‍රීපති ජවිපෙ සමග එකට එකතු වී ක්‍රියා කළ ආකාරය ද රනිල් පහසුවෙන් අමතක නොකරනු ඇත්තේය.

රනිල්ගේ එකම අපේක්ෂාව ඊළඟ ජනාධිපති වරණයේදී ජනාධිපතිවරණයෙන් ජය ලබා රජවීමය. රට කුණුවෙන්නට ඉඩහැර රජවීම ඔහුගේ අභිලාෂය වී තිබේ.

දෙමළ සන්ධානය හා ජවිපෙ යන ව්‍යාපාර දෙක එක පෙරමුණකට ගෙන ඒම දුෂ්කරය. ඒකීය වාදයක් වෙනුවෙන් පෙනී සිටින ජවිපෙ සමග පෙඩරල් වාදයක් වෙනුවෙන් පෙනී සිටින දෙමළ සන්ධානයට එකට එකතු වී ක්‍රියාකිරීමේ හැකියාවක් නැත.

පාර්ලිමේන්තුවේ සිටින ආණ්ඩු විරෝධී පක්ෂවල සංඛ්‍යා බලය දෙස පමණක් බලන්නෙකුට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරාජය කිරීම කිරිකජු මෙන් සරල දෙයක් ලෙස පෙනෙනවා විය හැකි වුවත්, පවතින දේශපාලන යථාර්ථය ඊට වෙනස්ය.

ලලිත් හා ගාමිණී ජනාධිපති ප්‍රේමදාසට එරෙහිව වහා නැගී සිටීමකට ගියේ නැත. ගාමිණී දිසානායකට එරෙහිව ජනාධිපති ප්‍රේමදාස එළව එළවා පහර දුන්නේය. ගාමිණීගේ උපන් දිනය සැමරෙන දිනයකදී මළගෙදරකට යවන මල් කළඹක් ගාමිණීගේ නිවසකට යවනු ලැබීය. ගාමිණී කලක් විදේශගතව සිටියේය. ගාමිණී, ලලිත් තවත් දීර්ඝ කලක් රහසේ නැගී සිටින්නට අවශ්‍ය වටපිටාව සංවිධානය කළේය.

එහෙත් ඔවුන් කෙරෙන් පළවූ එම ඉවසීම මංගල හෝ ශ්‍රීපති කෙරෙන් දැකිය නොහැකිය. ඔවුන්ගේ කැරැල්ල විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ නිසි තක්සේරුවකින් තොරව කරන ලද දඩිබිඩි කැරැල්ලක් ලෙස සැලකිය හැකි අතර, එවැනි කැරැල්ලකට රඟපෑ හැක්කේ බිලිබෝයි භූමිකාවක් පමණය.

ශ්‍රීපතිට එරෙහිව ආණ්ඩුව අනුගමනය කරමින් තිබෙන මර්දන පිළිවෙත අනුමත කිරීමේ හැකියාවක් නැතත් එවැනි දේවල් සිදුවූ පළමු අවස්ථාව මෙය නොවන බව ද අමතක කළ නොහැකිය.

තමාට ද්‍රෝහිවීම නිසා චන්ද්‍රිකා එස්.බී. ව හිරේ යැව්වාය. එස්.බී. හිරේ යවන වැඩපිළිවෙළේ මංගල හා ශ්‍රීපති ද වැදගත් භූමිකාවක් රඟපෑවේය. එස්.බී. හිරේ යවන මොහොතේ ඔහු කෙරෙහි විශාල මහජන අනුකම්පාවක් ගොඩනැගී තිබුණ ද හිරේ ගොස් ආපසු එළියට එන එස්.බී. ට මහජනයා අතර පිදුම් ලබන වීරයෙකුගේ තත්ත්වය හිමිකර ගැනීමට හැකිවූයේ නැත. එම ධර්මතාව ශ්‍රීපතිට ද අදාළ විය හැකිය.