පාසල් ක්‍රමයේ ඇති ගුරු විෂමතා වහා අහෝසි කළ යුතු ය

October 29, 2026
Publication:
Ravaya reported 2,510 surplus teachers across 325 national schools, costing 37 crores a year in salaries for work that is not there — Dharmaraja with 167 where 147 are needed, Mahamaya 172 against 165, Kingswood 129 against 109 — while non-national schools are short of teachers and village schools close for want of them. Ivan asks who in the ministry made this happen, and for them to be found and punished.

පසුගිය රාවය කලාපයේ පළවූ වාර්තාවකට අනුව ජාතික පාසල් 325 ක සිටින අතිරික්ත ගුරුවරුන් සංඛ්‍යාව 2510 කි. නිසි රාජකාරියකින් තොර ඒ පිරිස වෙනුවෙන් වැටුප් ගෙවීමට රජය වසරකට දරන වියදම රුපියල් කෝටි 37 කි.

එම වාර්තාවේ එන තොරතුරු අනුව මහනුවර ධර්මරාජ විද්‍යාලයේ සිටිය යුතු ගුරුවරුන් සංඛ්‍යාව 147 කි. එහෙත් එහි සිටින ගුරු සංඛ්‍යාව 167 කි. මහාමායා විද්‍යාලයේ සිටිය යුතු ගුරුවරුන් සංඛ්‍යාව 165 කි. සිටින ගුරුවරුන් සංඛ්‍යාව 172 කි. උසස් බාලිකා විද්‍යාලයේ සිටිය යුත්තේ 153 ක් වුවත්, එහි සිටින ගුරුවරුන් සංඛ්‍යාව 168 කි. කිංග්ස්වුඩ් විද්‍යාලයේ සිටිය යුතු ගුරුවරුන් සංඛ්‍යාව 109 කි. සිටින ගුරුවරුන් සංඛ්‍යාව 129 කි. පුෂ්පදාන බාලිකා විද්‍යාලයට සිටිය යුතු ගුරුවරුන් සංඛ්‍යාව 70 කි. සිටින ගුරුවරුන් සංඛ්‍යාව 97 කි. කටුගස්තොට රාහුල විද්‍යාලයට සිටිය යුතු ගුරුවරුන් සංඛ්‍යාව 108 කි. සිටින ගුරුවරුන් සංඛ්‍යාව 125 කි. බෝපිටිය රාජසිංහ විදුහලේ සිටිය යුතු ගුරුවරුන් සංඛ්‍යාව 44 ක් වුවත්, සිටින ගුරුවරුන් සංඛ්‍යාව 54 කි. මාරස්සන මහ විදුහලේ සිටිය යුතු ගුරුවරුන් සංඛ්‍යාව 24 ක් වුවත්, සිටින සංඛ්‍යාව 35 කි.

ජාතික පාසල් සඳහා ගුරු අතිරික්තයක් ඇතත්, ජාතික නොවන පාසල්වල විශාල ගුරු හිඟයක් පවතී. අවශ්‍ය තරම් ගුරුවරුන් නැතිකම නිසා ගම්බද පාසල්වලට තිබෙන පිළිගැනීම නැතිවෙමින් ගම්බද පාසල් වැසී යමින් පවතී.

මේ විෂම තත්ත්වයෙන් වහා වෙනසක් ඇති කිරීම අධ්‍යාපන ඇමතිවරයාගේ වගකීම වේ. ජාතික පාසල්වල පවතින ගුරු අතිරික්තයට අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් සිය ගුරු සේවයේ නිරත පිරිසක් හෝ ඥාතීන් සිය නිල බලය යොදා ජාතික පාසල්වලට යොමු කරවීමට මේ තත්ත්වයට හේතුවී තිබේ නම් එය ඉතාමත් ඛේදජනක තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නැත.

ජාතික පාසල්වල පවතින ගුරු අතිරික්තයට බලපා තිබෙන ඇත්ත හේතු සොයා බලා ඒ විෂම තත්ත්වය කෙරෙහි අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය බලපා තිබේ නම් නැවත එවැනි වැරදි ඇති නොවීම පිණිස නිල බලය අයුතු ලෙස ප්‍රයෝජනයට ගෙන ඇති නිලධාරීන් හඳුනාගෙන ඔවුන්ට දඬුවම් කළ යුතු ය.

ජාතික මට්ටමෙන් සමස්ත ගුරු සංඛ්‍යාව ද අතිරික්තයක් තිබිය දී ජාතික නොවන පාසල්වල ගුරු හිඟයක් ද පවතී නම් ගුරු කළමනාකරණ ක්‍රියාවලිය තුළ බරපතළ දෝෂ ඇති බව තේරුම් ගැනීම අමාරු නැත.

අද අප ජීවත් වන්නේ තොරතුරු තාක්ෂණය උපරිම මට්ටමෙන් දියුණු තත්ත්වයක් අත්පත් කරගත් ලෝකයක ය. සාධාරණ ගුරු මාරු ක්‍රමයක් සාධාරණ ලෙස ගුරුවරුන් බෙදා හැරෙන ක්‍රමයක් පරිගණක වැඩසටහනකින් වුවද සාර්ථක ලෙස ක්‍රියාවට නැගිය හැකි ය. ගුරු අතිරික්තයක් තිබෙන පාසල් හා ගුරු හිඟයක් පවතින පාසල් හඳුනා ගැනීම ඉතා දුෂ්කර දෙයක් විය නො හැකි ය. මෙම විෂමතාව අහෝසි කිරීම ආණ්ඩුවේ වගකීමකි. •