මහ බැංකුව මව්බිම පුවත්පතේ සියලු බැංකු ගිණුම් අත්හිටුවා තිබේ. බැංකු ගිණුම් තහනමට එරෙහිව මව්බිමේ අයිතිකරුවන් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද විභාගවෙමින් පවතී. “මව්බිම” පුවත්පතට තිබෙන දේශපාලන අභිලාෂය කුමක් වුවත් රාජ්‍ය බලය යොදා පුවත්පතක් මර්දනය කිරීම අනුමත කළ නොහැකිය. එය හෙළා දැකිය යුතු ක්‍රියාවකි.
මව්බිමේ මර්දනයට එරෙහිව කතා කිරීම ඉතා වැදගත් වුවත්, මව්බිමේ ආරම්භය හා පැවැත්ම ජනමාධ්‍ය නිදහසට අදාළව මතු කරන වැදගත් ප්‍රශ්න ගණනාවක් තිබුණි. සම්ප්‍රාප්තියට අදාළව කතා කළ යුතුව තිබුණි. එහෙත් පුවත්පත් නිදහස ගැන උනන්දුවක් දක්වන ආයතන පවා මොන හේතුවක් නිසා හෝ ඒ කරුණු සාකච්ඡාවට ලක් කළේ නැත.
මව්බිම මංගල සමරවීර විසින් සිය දේශපාලන අරමුණු වෙනුවෙන් ඉදිරියට ගෙනා දෙවැනි පුවත්පත් ආයතනය ලෙස සැලකිය හැකිය.
පළමු පුවත්පත් ආයතනය කරළියට ගෙනාවේ චන්ද්‍රිකා බලයේ සිටියදී හා මංගල ජනමාධ්‍ය ඇමතිකමේ සිටියදීය.
එම පළමු අත්හදා බැලීම වෙනුවෙන් කරන ලද ආයෝජන වියදම රුපියල් කෝටි ගණනක් විය හැකිය. දීර්ඝ කලක් පුවත්පත ප්‍රකාශ නොකොට ඒ වෙනුවෙන් වන අත්හදා බැලීමේ ක්‍රියාවලියක යෙදුණේය. කාර්ය මණ්ඩලයට, සාපේක්ෂ වශයෙන් ඉතාමත් හොඳ වැටුප් ගෙවන ලද අතර, පුවත්පත පළකිරීමකින් තොර එම කාර්ය මණ්ඩලයට වැටුප් ගෙවන ලදි. පුදුමයකට මෙන් මෙම අත්හදා බැලීමට මංගල සමරවීර ඇමතිවරයා තමන් යටතේ තිබුණු රජයේ මුද්‍රණාලයේ දෙවැන්නා ද සම්බන්ධ කරගෙන තිබුණේය. ඔහුට රජයේ මුද්‍රණාලයෙන් ලැබෙන වැටුපට අතිරේකව මෙම සමාගම විසින් ද හොඳ දීමනාවක් ගෙවන ලදි. එය රජයේ මුද්‍රණාලයේ තිරිංග අනියම් ලෙස හැසිරවීමට යොදා ගත් සටකපට උපාය මාර්ගයක් ලෙස සැලකිය හැකිය. එය රජයේ මුද්‍රණාලයේ පිළිගත් ප්‍රතිපත්තිවලට පටහැනි වුවත් ඒ අවස්ථාවේදී මංගල සමරවීර මහතාට තිබූ අතිවිශාල බලය නිසා රජයේ මුද්‍රණාලයාධිපතිට ද කටපියාගෙන සිටීමට සිදුවිය.
පුවත්පත් ආයතනය වෙනුවෙන් කරන ලද වියදම අතිවිශාල වුවත්, පුවත්පත්පත බොහෝ කලක් අල්ලාගෙන සිටීමට හැකිවූයේ නැත. සමාගම තම වැටුපෙන් අර්ථසාධක අරමුදලට ගෙවිය යුතු පංගුව කපාගෙන ඇතත්, තමන්ගේ කපාගත් පංගුව හෝ ස්වාමි පක්ෂය ගෙවිය යුතු පංගුව අරමුදලට යවා නැති බව කාර්ය මණ්ඩල සාමාජිකයන් දැනගත්තේ පුවත්පත් ආයතනය වැසීමෙන් පසුවය. පුවත්පත් ආයතනය ආරම්භ කිරීමට අවශ්‍ය අරමුදල්වලින් කිසියම් කොටසක් හිතවත් ව්‍යාපාරිකයන්ගෙන් ලබාගෙන තිබුණ ද, තවත් කොටසක් ලබාගෙන තිබුණේ රාජ්‍ය බැංකුවලිනි. ලබා ගත් ණය මුදල් වෙනුවෙන් ආරක්ෂණ තැන්පත් කිරීමක් සිදු නොවීම හේතු කොටගෙන සමාගමට දෙන ලද ණය මුදල් ආපසු ලබාගැනීමකින් තොරව ණය කපා හැරීමට රාජ්‍ය බැංකුවලට සිදුවිය.
දෙවැනි අත්හදා බැලීම ඊටත් වඩා සුවිශේෂය. මව්බිම කියන නමේ අයිතිය තිබුණේ කොමියුනිස්ට් පක්ෂයටය. කොමියුනිස්ට් පක්ෂය කලක් නොකඩවා ද, තවත් කලක් විටින් විට ද ඒ නමින් පුවත්පතක් පළ කළේය. සමාගම මව්බිම යන නම සිය පුවත්පත සඳහා යොදා ගැනීමට තීරණය කළේ එය කොමියුනිස්ට් පක්ෂයේ පුවත්පතේ නම බව දැන දැනය. අපට තිබෙන බලය අනුව අනුන්ට අයිති නමක් වුවද තමන්ට ලබාගත හැකියි කියන උද්ධච්ච ආකල්පයකින් ක්‍රියාකර තිබෙන බව පෙනේ. පුවත්පතේ ප්රචාරක කටයුතු සඳහා අතිවිශාල මුදලක් වැය කිරීමෙන් පසුව මව්බිමේ නමේ අයිතිය වෙනුවෙන් කොමියුනිස්ට් පක්ෂය අධිකරණය ඉදිරියට ගියේය. තමන්ට රාජ්‍ය බලය ඇති නිසා නමේ ආරාවුල තමන්ගේ වාසියට බේරුම් කරගත හැකි බව සමාගම දැන සිටියේය. අවසානයේදී සිදුවූයේ ද සමාගම අපේක්ෂා කළ දේමය. එය මූල්‍ය බලය හා රාජ්‍ය බලය යොදා වෙනත් කෙනෙකුට අයිති ඇති නමක් තමන් වෙත බලහත්කාරයෙන් අත්පත් කරගත් ක්‍රියාවකට සමානය.
පුවත්පත ක්‍රියාවට නගන ලද වැඩපිළිවෙළ ද පුවත්පත් ලෝකයට නවමු අත්දැකීමක් විය. තතු දත් සමහර අයගේ මතය අනුව එක කලාපයක් නිපදවීම සඳහා ගිය නිෂ්පාදන වියදම රුපියල් 200කට වැඩිය. පුවත්පතේ වෙළෙඳ පොළ මිල රුපියල් 25කි. ඉන් ද පුවත්පත විකුණන වෙළෙන්දාට ගෙවන ලද කොමිස් මුදල රුපියල් 12.50කි. වෙනත් පුවත්පත් ආයතන වෙළෙඳුන්ට ගෙවන සම්මත කොමිස් මුදල 20%කි. එහෙත් මේ සමාගම සියලු පුවත්පත්කරුවන් විශ්මයට පත් කරමින් 50%ක කොමිස් මුදලක් ගෙවයි. පුවත්පතක් නිෂ්පාදනය කිරීමට රුපියල් 200ක් වියදම් කරන සමාගමට ආපසු ලැබුණු මිල රුපියල් 12.50කි. අනෙක් පුවත්පත් විකිණීම අධෛර්යමත් කොට, තම පුවත්පත විකිණීමට වෙළෙඳුන් පොළඹවාලීම සමාගමේ අරමුණ වූවා විය යුතුය.
සමහර වෙළෙඳුන්ගෙන් අසන්නට ලැබෙන තවත් අපූරු කතාවක් පවතී. එනම් නොකඩවා පුවත්පත තොග ගණනින් තමන්ට ලැබෙතත් අයවිය යුතු මුදල් ලබාගැනීමට හෝ ඉතිරි පුවත්පත් ලබාගැනීමට සමාගම උනන්දුවක් දක්වන්නේ නැත. සමහර වෙළෙඳුන් කියන්නේ එක දිගට දීර්ඝ කාලයක් මුදල් එකතු නොකරන තත්ත්වයක් යටතේ දැන් ඒ සියලු මුදල් එකවර ගෙවීමේ හැකියාවක් තමන්ට නැති බවය. සාමාන්‍යයෙන් පුවත්පත් ආයතනයක් හැම මසකටම වරක් වෙළෙඳ නියෝජිතයින් වෙත ගොස් ඉතිරි පුවත්පත් සමග ලැබිය යුතු මුදල් අයකර ගනී.
මව්බිම පුවත්පතේ ආරම්භය හා පැවැත්ම පුවත්පත් විෂයට අදාළව ඉතා වැදගත් මූලික ප්‍රශ්න කිහිපයක් මතු කරයි. මෙම පුවත්පත් ආයතනය ආරම්භ කොට පවත්වාගෙන යෑම සඳහා වැය කර තිබෙන ධනස්කන්ධය ඉතා විශාලය. පුදුමයකට මෙන් සමාගම එම දැවැන්ත ධනස්කන්ධය ආයෝජනය කර ඇත්තේ ප්‍රමාණවත් ලාභයක් සමග ආපසු ලබාගැනීමේ අරමුණින් නොව ආපසු ලබා නොගැනීමේ අරමුණිනි.
එක සතියකට පළ කෙරෙන පිටපත් සංඛ්‍යාව 30,000ක් ලෙස සැලකුව ද සමාගමේ මාසික වියදම රුපියල් මිලියන 24කි. සියලුම පිටපත් විකුණුව ද සමාගමට ලැබෙන ආදායම රුපියල් මිලියන 1.5කි. මාසික අලාභය රුපියල් මිලියන 22.5කි. එවිට වාර්ෂික අලාභය රුපියල් මිලියන 270කි.
මෙම පුවත්පත් ආයතනයට කෙටි දේශපාලන අරමුණු ඇතිව කාගේ හෝ අතිවිශාල ධනස්කන්ධයක් වැය කොට ආරම්භ කරන ලද දේශපාලන ව්‍යාපෘතියක් ලෙස සැලකිය හැකිය. •