රාවයට අවුරුදු 22 යි අතීතය දෙස ආපසු හැරී බැලීමක්

October 29, 2026
Publication:
The longest article in this batch, and the most personal: Ivan looks back over Ravaya's twenty-two years. He explains why he chose publishing over the revolutionary path he had taken before — that forced revolutions are meaningless and destructive, and that the only thing that can be done is to raise public understanding — and works through the name, the early years under the law of the jungle, the parliamentary privileges law, criminal defamation, contempt of court, and the election petition case.

රාවයට වසර 22 කි. එහි නිර්මාපකයා වශයෙන් රාවය මෙතෙක් පැමිණි ගමන ගැන ආපසු හැරී බැලීමක් කිරීමට මෙය සුදුසු මංගල අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.

මා පුවත්පත් කලාව හෝ ප්‍රකාශන කලාව තෝරා ගැනීම කෙරෙහි මා එතෙක් තෝරාගෙන තිබූ විප්ලවකාරී ප්‍රචණ්ඩ දේශපාලන මාවත දෘෂ්ටිමය වශයෙන් ප්‍රතික්ෂේප කිරීම බලපෑවේය. මහජනයා වෙනුවෙන් කරන බලහත්කාරී විප්ලව අර්ථශූන්‍ය හා විනාශකාරීවේයැ”යි මම විශ්වාස කළෙමි. අපට කළ හැක්කේ මහජන අවබෝධය වර්ධනය කිරීමය. විමුක්තිය දිනාගත යුත්තේ මහජනයා විසින්මය. මහජන අවබෝධය වර්ධනය කිරීම සඳහා තිබෙන හොඳම මාර්ගය ජනමාධ්‍ය කලාව වේයැ”යි මම විශ්වාස කළෙමි.

ගතවූ අවුරුදු 22 තුළ වැසීගිය පුවත්පත් සංඛ්‍යාව සේ ම, පුවත්පතක් ආරම්භ කිරීමට උත්සාහ දරා අසාර්ථක වී ඇති උත්සාහයන් සංඛ්‍යාව ද විශාලය. සමහරෙක් පවතින පුවත්පතක් තවදුරටත් පවත්වාගෙන යෑම සඳහා හෝ නව පුවත්පතක් ආරම්භ කිරීම සඳහා වැය කර තිබෙන මුදල් ප්‍රමාණය අතිවිශාලය.

එහෙත් රාවය විශාල මුදල් ප්‍රමාණයක් අත ඇතිව ආරම්භ කළ ප්‍රකාශනයක් නොවේ. ප්‍රකාශනය අලෙවි කොට මුද්‍රණ වියදම ගෙවන පදනමක් මත ආරම්භ කළ ප්‍රකාශනයකි. සඟරාව අලෙවි කොට මුද්‍රණ වියදම ගෙවන පදනමක් මත සඟරාව සිය මුද්‍රණාලයේ මුද්‍රණය කරවා දීමට ආචාර්ය ඒ.ටී. ආරියරත්න කැමති විය. එයින් ඔහුගේ මුද්‍රණාලයට යහපතක් වූවා සේ ම ඒ නිසා මාගේ අරමුණ ඉදිරියට ගෙනයෑමට මට අවස්ථාවක් ලැබුණි. එහෙත් එය අද දක්වා සිය පැවැත්ම ආරක්ෂා කරගැනීම ආශ්චර්යයක් ලෙස සැලකිය හැකිය.

නම හා ගණ

රාවය යන නම මාගේ තේරීමකි. තෝරාගත යුතු නම කුමක්ද යන ප්‍රශ්නය සාකච්ඡාවට ලක් කෙරුණු අවස්ථාවේදී අරිසෙන් අහුබුදු ශූරීන් විසින් එවන ලද නම් වැලක් අප ළඟ තිබුණි. කුමන හේතුවක් නිසා හෝ එකදු නමක්වත් මගේ තෘප්තියට හේතු නොවීය. රාවය යන නම යොදා ගැනීමට මට අවශ්‍ය වුවත්, එම නමේ ගණ පිහිටීම ගැන සොයා බැලිය යුතු බව සාකච්ඡාවට සහභාගි වූ අයගේ මතය විය. ගණ සොයා බලන තැනකට ගියහොත් ඒ නම අත්හරින්නට සිදුවනු ඇතැ”යි කල්පනා කළ මම එම විෂය හොඳින් දන්නා විශාරදයකු මා දන්නා බව ප්‍රකාශ කරමින් ගණ පිළිබඳව කරුණු සොයා බැලීමේ වගකීම ද මා වෙත පවරා ගත්තෙමි.

මට ජ්‍යොතිෂය කෙරෙහි විශ්වාසයක් නොවීය. නමේ ගණ සොයන තැනකට නොගොස් ඒ ගැන උනන්දුවක් දැක්වූ අය සතුටු කරනු පිණිස මා ඒ ගැන කරුණු සොයා බැලූ බවත්, නමේ ගණ පිහිටීම ප්‍රශස්ත තත්ත්වයක පවත්නා බව මා ඒ කරුණු සොයා බලන ලද විශාරදයාගේ මතය වන බවත් ප්‍රකාශ කළ විට “රාවය” යන නමට අන් අයගේ ද අනුමැතිය ලැබුණි.

ඉන් අවුරුදු ගණනාවකට පසුව රාවයේ ගණ පිහිටුම පිළිබඳව අපූරු කතාවක් මට ජ්‍යොතිෂඥයකු ගෙන් අසන්නට ලැබුණි. ඔහු ජනාධිපති ප්‍රේමදාස මහතාගේ ජ්‍යෝතිශාස්ත්‍රඥයා හෝ ජනාධිපති ප්‍රේමදාස මහතා උපදෙස් ලබාගත් ශාස්ත්‍රඥයකු විය. ඔහු මෙම කතාව කියන අවස්ථාව වන විට ජනාධිපති ප්‍රේමදාස මහතා ජීවතුන් අතර නොසිටියේය.

ඔහුට අනුව ජනාධිපති ප්‍රේමදාස මහතා රාවය ගැන කෝපයෙන් කතා කළ අවස්ථා තිබුණද, ඔහු රාවය ප්‍රිය කළේය. ඔහු සිරිතක් වශයෙන් සති අන්ත පුවත්පත්වලින් මුලින්ම කියවූයේ රාවයයි. රාවය වැනිම පුවත්පතක් ආරම්භ කිරීමට ප්‍රේමදාස ජනාධිපතිවරයාට අවශ්‍ය විය. ඔහු ඒ සඳහා විශාල වියදමක් දරා “වේගය” නමින් පුවත්පතක් ආරම්භ කළ ද එය සාර්ථක වූයේ නැත. අවසානයේ ඔහු රාවය යන නමේ ගණ පිහිටීම සොයා බලන තැනකට ගියේය. රාවය යන නම මහපොළවට ගණ පිහිටුවනු ලැබූ බලවත් නමක් බව ඔහු සොයා ගත්තේය. එය දුෂ්කර අභියෝග මැද සිය පැවැත්ම රැකගනිමින් ඉදිරියට යන විනාශ කළ නොහැකි නමක් බව ද ඔහුගේ මතය විය.

රාවය එහි පළමු වසර පහේදී පළවූයේ සතිඅන්ත පුවත්පතක් වශයෙන් නොව, මාසික සඟරාවක් වශයෙනි. මංගල කලාපය මුද්‍රණය කළ යුතු සංඛ්‍යාව පිළිබඳව ද විවාදයක් තිබුණි. එකල මාසික සඟරාවල මුද්‍රණය කෙරෙන පිටපත් සංඛ්‍යාව වූයේ 2000 කි. උපාලි කොළඹගේ ගේ මතය වූයේ මුද්‍රණය කෙරෙන පිටපත් සංඛ්‍යාව 2,000 ක් හෝ වැඩිම වුවහොත් 3,000 ක් විය යුතු බවය. එහෙත් මගේ මතය වූයේ අප අමතන්නේ 2000 කට නම් අප කරන දේ තේරුමක් නැති ක්‍රියාවක් බවය. අඩුම වශයෙන් අපි ආරම්භයේදී 10,000 කටවත් යායුතු බව මගේ මතය විය. ඒ අනුව මංගල කලාපය මුද්‍රණය කරන ලද පිටපත් සංඛ්‍යාව 10,000 ක් විය. ඒ සියල්ල විකිණුනේ නැතත්, පිටපත් 6,000 ත්, 7,000 ත් අතර ගණනක් අලෙවි විය. පසුව සඟරාවේ මාසික අලෙවිය පිටපත් 40,000 ක මට්ටමක පවත්වාගෙන යෑමට අපට හැකිවිය.

ඒ වනවිට ජනමාධ්‍ය පැවතියේ ආණ්ඩුවේ ඍජු හා අනියම් පාලනයකට යටත්ව ක්‍රියා කරන තත්ත්වයකි.

එතෙක් පැවති පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය ජේ.ආර්. ජයවර්ධන විසින් විධායක ජනාධිපති ක්‍රමයක් බවට හරවා තිබුණි. ජේ.ආර්. ජයවර්ධනට අනුව විධායක ජනාධිපති කෙනෙකුට කළ නොහැකි වූයේ පිරිමියෙකු ගැහැනියක කිරීමත්, ගැහැනියක පිරිමියෙකු කිරීමත් පමණය. ඔහු සිය ප්‍රතිවාදියාගේ (සිරිමා බණ්ඩාරනායකගේ) ප්‍රජා අයිතිය අහිමි කොට, ශ්‍රීලනිප බෙලහීන කොට තිබුණි. තමන්ට හයෙන් පහක බලයක් තිබූ පාර්ලිමේන්තුවේ නිල කාලය දූෂිත ජනමතවිචාරණයක් මගින් තවත් අවුරුදු හයකට දීර්ඝ කොටගෙන තිබුණි. 1980 වැඩ වර්ජනයට සහභාගි වූ කම්කරුවන් 40,000 ක් රැකියාවලින් දොට්ට දැමීම මගින් වෘත්තීය සමිති ව්‍යාපාරය ද බෙලහීන කොට තිබුණි. 83 කළු ජූලිය හේතුවක් කරගනිමින් ජවිපෙ තහනම් කර තිබූ අතර, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු නියෝජනය ද අහිමි කොට තිබුණි.

දේශපාලන පක්ෂ පළකරනු ලබන පක්ෂ පුවත්පත් හැරුණු විට ප්‍රධාන ධාරාවේ පුවත්පත් ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාකාරකම් ගැන කතා කිරීමෙන් වැළකී සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කළේය.

ජනමාධ්‍ය විෂය කෙරෙහි ඇති කර තිබුණු සීමා උපරිම ලෙස තරණය කිරීම රාවයේ එක අභිලාසයක් විය. ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය නොබියව විවේචනය කරන අතර, බෙලහීන කොට තිබූ විරුද්ධ පක්ෂ ව්‍යාපාරවලට ශක්තිය ලබාදීම තවත් අරමුණක් විය.

නෙස්ප්‍රේ වැටී ඇන්කර් නැගීම

රාවය විසින් කරන ලද පළමු ආන්දෝලනාත්මක සිද්ධිය වශයෙන් සැලකිය හැක්කේ චර්නොබිල් බලාගාර කාන්දුවෙන් පසුව යුරෝපයෙන් ආනයනය කරන කිරිපිටි පරිභෝජනයට එරෙහිව දියත් කරන ලද ව්‍යාපාරයයි. යුරෝපයෙන් කිරිපිටි ආනයනය කරන බොහෝ රටවල් ආනයනය කරන කිරිපිටි සඳහා දැඩි ආරක්ෂණ පියවර ගෙන තිබුණද, ශ්‍රී ලංකාව නිශ්ශබ්දව බලා සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. විකිරණවලින් දූෂණය වූ කිරිපිටි තොගයක් අල්ලා ගැනීමෙන් පසුත්, පරමාණු බලශක්ති අධිකාරය ආනයනය කරන කිරිපිටි සඳහා යොදා ගැනෙන බෙකරල් මට්ටම ඉහළ දමා එම කිරිපිටි තොගය වෙළෙඳපොළට මුදාහැරීමට ඉඩ දුන්නේය. පාරිභෝගික අවධානය මේ ප්‍රශ්නය කෙරෙහි යොමු කරනු පිණිස නෙස්ලේ සමාගම පාවිච්චි කරමින් තිබුණු වෙළෙඳ දැන්වීමක එන වදන් විකෘති කොට වෙළෙඳ දැන්වීමක් ලෙස රාවයේ පළ කිරීමට අපට සිදුවිය. එම වෙළෙඳ දැන්වීමේ ඡායාරූපයට යොදාගෙන තිබුණේ පාසල් ඇඳුමින් සැරසී ආශාවෙන් කිරිබොන කුඩා දරුවකුගේ ඡායාරූපයකි. ““අම්මි හරිම හරි රසයි”” යන පාඨය මුල් දැන්වීමට ඇතුළත් කර තිබුණි. ඡායාරූපය එලෙසම තිබෙන්නට හැර ““අම්මි හරිම රසයි”” යන යෙදුමට ““විකිරණත් තිබෙනවාලු”” කියන කොටස එකතු කළෙමු.

රාවයේ චිත්‍ර ශිල්පියා මෙම දැන්වීම සකස් කරමින් සිටි අවස්ථාවේදී කොළඹ හිල්ටන් හෝටලයේ ඉදිකිරීම් කටයුතුවල නිරතවෙමින් සිටි මගේ මිත්‍රයෙකු වූ ජපන් ඉංජිනේරුවෙකු මා සොයාගෙන රාවය කාර්යාලයට පැමිණියේය. මෙම දැන්වීම ඔහුට පෙන්වන ලදුව ඔහු විස්මයෙන් ඔළුවට අත ගසාගනිමින් මට කීවේ ““එල්ල කරන චෝදනාව ඔප්පු කිරීමට අවශ්‍ය පරීක්ෂණ වාර්තාවක් අත නැතිව මෙවැනි දැන්වීමක් පළකළහොත් එම කිරිපිටි සමාගම්වලට විශාල වන්දියක් ගෙවන්නට සිදුවනු ඇති බව””ය. ඔහු මට අනතුරු ඇඟවූයේය. යුරෝපයෙන් ආනයනය කෙරෙන කිරිපිටි විකිරණවලින් දූෂිත වී ඇති බව නිගමනය කරන්නට සාධාරණ හේතු ඇතත්, ඒ බව ඔප්පු කරන්නට මා අත පරීක්ෂණ වාර්තාවක් නැති බව ප්‍රකාශ කරමින්, පරීක්ෂණ වාර්තාවක් ලබාගැනීමට සුදුසු තැනක් සොයා ගත්ත ද ඒ සඳහා කිසියම් කාලයක් ගතවිය හැකි බැවින්, ඒ දක්වා යුරෝපයෙන් ආනයනය කරන කිරිපිටි බොන්නට ඉඩ හැරීම අපරාධයක් බව මම ඔහු සමග තර්ක කළෙමි.

අවසානයේ මගේ ජපන් මිතුරා (හගියෝ) යුරෝපයෙන් ආනයනය කරන කිරිපිටි පැකට් ගණනාවක් වෙළෙඳපොලෙන් මිලදී ගෙන එම සාම්පල් තොගය තෝකියෝ විශ්වවිද්‍යාලයේ පරමාණු බලශක්ති ඒකකයේ සේවය කරන ඔහුගේ මිත්‍ර විද්‍යාඥයකු වෙත යැවීය. හගියෝගේ මිත්‍රයා (පරමාණු විද්‍යාඥයා) මම ද සුළු වශයෙන් දැන සිටියෙමි. වරක් ලංකාවට පැමිණි අවස්ථාවක ඔහු හගියෝ සමග මා බලන්නට ගාල්ලේ නිවසට පැමිණ තිබුණි.

විකිරණ පිළිබඳ තත්ව වාර්තාව ලැබෙන තෙක් බලා නොසිට මම විකෘති කොට නිර්මාණය කරන ලද වෙළෙඳ දැන්වීම පළ කළෙමි. එය ශ්‍රී ලංකාවේ කිරිපිටි වෙළෙඳපොළේ මහත් ආන්දෝලනයක් ඇති කිරීමට හේතුවිය. ඒ වනවිට දේශීය කිරිපිටි වෙළෙඳ පොළේ ලොකුම පංගුව හිමි කරගෙන තිබුණේ නෙස්ලේ සමාගමය. ඊළඟට ලක්ස්ප්‍රේ සමාගමය. ඇන්කර් හිටියේ පුංචි තැනකය. එහෙත් ඇන්කර් කිරිපිටි ආනයනය කෙරුණේ යුරෝපයෙන් නොව නවසීලන්තයෙනි. ඔවුන් තමන්ගේ තත්ත්වය ශක්තිමත් කරගැනීම සඳහා මේ අවස්ථාව දක්ෂ ලෙස ප්‍රයෝජනයට ගත්තේය. රාවයේ පළ කළ වෙළෙඳ දැන්වීමේ ඡායාපිටපතක් රටේ සියලු කිරිපිටි වෙළෙන්දන් අතට පත්කිරීම නිසා එම වෙළෙඳ දැන්වීම කිරිපිටි වෙළෙඳපොළ කෙරෙහි විශාල ලෙස බලපෑවේය. ““නවසීලන්තයෙන්ම පමණයි”” යන සටන් පාඨය ඇන්කර් සමාගම කරළියට ගත්තේ ද ඒ අවස්ථාවේය. යුරෝපයෙන් ආනයනය කරන කිරිපිටිවලට තිබූ ඉල්ලුම ශීඝ්‍ර ලෙස පහත වැටීම නිසා යුරෝපයෙන් කිරිපිටි ආනයනය කරන සමාගම් රාවයට එරෙහිව තමන්ට සිදුවී තිබෙන අතිවිශාල අලාභයට වන්දි ගෙවන ලෙස ඉල්ලා එන්තරවාසි එවන්නට වූහ.

මේ වනවිට හගියෝ යවන ලද සාම්පල් තොගය තෝකියෝ විශ්වවිද්‍යාලයේ සකුරා අතට ලැබී එම පිටි සාම්පල් පිළිබඳ පරීක්ෂණය ඔවුන් ආරම්භ කර තිබුණි. සකුරා දින දෙකකට වරක් රාත්‍රි කාලයේදී දුරකතනයෙන් මා අමතා කතා කරමින් කෙරෙන පරීක්ෂණයේ ප්‍රගතිය මට විස්තර කළේය. කිසියම් දිනක ඔහු මට රාත්‍රියේ කතා කොට මාගේ නිගමනය නිවැරදි බවත්, ඒ බව පරීක්ෂණයෙන් සනාථ වී තිබෙන බවත්, පරීක්ෂණ වාර්තාව හැකි ඉක්මණින් මා වෙත එවන බවත් දැනුම් දුන්නේ මහත් උද්දාමයකින් යුතුවය. ඒ සමග ඔහු මට විශේෂ පණිවුඩයක් ද දුන්නේය. මහලුවියේ සිටින තමාගේ ප්‍රධානියා පරමාණු විෂය පිළිබඳව දැනට ලෝකයේ සිටින හොඳම විද්‍යාඥයන් දෙතුන් දෙනාගෙන් කෙනෙකු බවත්, මා පිළිබඳව සියලු තතු හා මා මුහුණ දී තිබෙන අවදානම පිළිබඳව ඔහුට විස්තර දන්නා බවත්, පරීක්ෂණය අවසානයේදී මට එරෙහිව නඩු පැවරීමක් සිදුවුවහොත්, මා වෙනුවෙන් සාක්ෂි දීමට ඔහුගේ වියදමෙන් ශ්‍රී ලංකාවට එන බවත් එය මට දැනුම් දෙන ලෙස ඔහු ඉල්ලා සිටි බවත් මට කියා සිටියේය.

මේ අතර සිවිල් නඩුකාර විෂයෙහි ඒ වනවිට රටේ සිටි ලොකුම නීතිඥයා ලෙස සැලකිය හැකි බී.ජේ. ප්‍රනාන්දු මහතා, පැමිණ තමා හමුවන ලෙස මට දැනුම් දුන්නේය. ඔහු ලංකා සමසමාජ පක්ෂයේ ආරම්භක සාමාජිකයෙකි. ඔහු සමසමාජ පක්ෂය පළකළ සමසමාජ පුවත්පතේ ආරම්භක කතුවරයා ද විය. එහෙත් ඔහු මට හමුවන අවස්ථාව වනවිට වාම මතධාරියෙක් නොවීය. 1977 මැතිවරණයේදී ජේ.ආර්. ජයවර්ධනගේ සමීප ආධාරකරුවෙක් විය. යූඑන්පී ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති වූයේ ද ඔහුය. මා ඔහු හමුවීමට ඔහුගේ නිවසට ගියවිට ඔහු මට හොඳින් සංග්‍රහ කොට මට දොස් පැවරීය. කිරිපිටි සමාගමකට මට එරෙහිව නඩු පවරන්නට අවශ්‍ය වී ඔහු හමුවූ බවත්, නඩුව භාරගැනීම දින කිහිපයකට කල් දමා මා කැඳවූයේ මා එල්ල කරන චෝදනාවේ සත්‍ය පදනමක් ඇත්දැ”යි දැනගැනීම සඳහා බවත්, මා එල්ල කර තිබෙන චෝදනාවල පිළිගත හැකි සත්‍ය පදනමක් ඇත්නම් මාගේ ආරක්ෂාව වෙනුවෙන් ගාස්තු අය කිරීමකින් තොරව පෙනී සිටින බවත් කියා සිටියේය. ඉන්පසු මා කරන කතාවට ඇහුම්කන්දී ඉදිරිපත් කරන ලද තර්ක සනාථ කෙරෙන ලිපිගොනුවක් සාදා ගෙන පසුදිනම තමා වෙත භාරදෙන ලෙස හා ඒ සමග කිරිපිටි සමාගම් දෙක වන්දි ඉල්ලා එවා තිබෙන එන්තරවාසි දෙක ද රැගෙන එන ලෙස ඉල්ලා සිටියේය. එන්තරවාසි දෙකට පිළිතුරු යවන ලද්දේ ඔහුය. ඒ සමග කිරිපිටි සමාගම් දෙකෙන් එල්ල වන නෛතික තර්ජන අවසන් වූ අතර, බලශක්ති අධිකාරියේ සභාපති ආචාර්ය ග්‍රුන්විල් ධර්මවර්ධන මහතා පමණක් රාවයට එරෙහිව පුවත්පත් මණ්ඩලය ඉදිරියේ නඩු පැවරීය. පැමිණිල්ල විභාගයට ගත් පුවත්පත් මණ්ඩලයේ සියලු සාමාජිකයන්ගේ පොදු මතය වූයේ මෙම අර්බුදයේදී රාවය අනුගමනය කළ ප්‍රතිපත්තිය නිවැරදි බවය. ඒ අනුව ධර්මවර්ධන මහතාගේ පැමිණිල්ල නිෂ්ප්‍රභ කෙරිණ.

කැලේ නීතිය රජ කළ යුගය

කිරිපිටි ආරාවුල ජයගැනීමෙන් පසු ජීවිතය හෝ මරණය තෝරා ගැනීමට බලකෙරුණු කැලේ නීතිය රජ කරන යුගයක් එළඹෙයේය. රට නැවත දකුණේ තරුණ කැරැල්ලකට මුහුණ දෙන්නට නියමිතව තිබෙන බව රාවය කල්තියා දැන සිටියේය. එය රාවයේ පැවැත්ම තීරණාත්මක ලෙස උරගා බැලීමකට ලක් කෙරුණු බිහිසුණු අවස්ථාවක් විය.

ජවිපෙ කැරැල්ල ආරම්භයේදී පළමු කැරැල්ලේ ප්‍රසිද්ධ සගයකු මා හමුවන්නට පැමිණ මේ කැරැල්ලේදී ජවිපෙ තමන්ට අවනත නොවන කැරැල්ලේ පැරණි සගයන් සියලුදෙනා මරා දමනු ඇති බැවින් ආරක්ෂාව සඳහා ආයුධ අතට ගැනීමට තමන් ඇතුළු පිරිසක් තීරණය කර ඇති බැවින් මට ද ඔවුන් සමග එකතු වන ලෙස ඉල්ලා සිටියේය. මා ඔහුට දෙන ලද පිළිතුර වූයේ එළඹෙන යුගය බිහිසුණු යුගයක් බව මා දන්නා මුත්, මා ප්‍රතිපත්තියක් වශයෙන් ආයුධ සමග කරන අරගළවලට ආයුබෝවන් කියා ඇති බැවින් නිරායුධව නපුරට එරෙහිව සටන් කරන පිළිවෙත මෙම බිහිසුණු යුගය තුළ ද අත්හදා බලන්නට මා අධිෂ්ඨානය කරගෙන සිටින බවය. කැරැල්ල හා මර්දනය ජනමාධ්‍යවේදීන්ගේ ජීවිත පැවැත්ම අභියෝගයට ලක්කර තිබුණි. සියලු ජනමාධ්‍යවේදීන් එක්කෝ කට වසාගන්නා ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. නැතිනම් ආරක්ෂාව සඳහා ජවිපෙ සමග හෝ ඔවුන්ට එරෙහිව සටන් කළ ආරක්ෂක හමුදා හා අතුරු හමුදා සමග රහසේ සහයෝගයෙන් ක්‍රියාකරන්නන් බවට පත්වූහ. ඒ මගින් ජවිපෙ අතින් හෝ ආරක්ෂක හමුදා අතින් මැරුම් කන්නන් බවට පත්වූහ.

මෙම අර්බුදයේදී කිසිම පාර්ශ්වයක පැත්තක් නොගෙන දෙපැත්තේම සීමාන්තික ක්‍රියා විවේචනය කරන පිළිවෙතක පිහිටා රාවය ක්‍රියා කළේය. මේ නිසා රාවය දෙපාර්ශ්වයේම විටෙක ගෞරවයටත්, තවත් විටෙක කෝපයටත් හේතුවිය. දෙපාර්ශ්වයම තරගකාරී ලෙස රාවයට එවන නියෝග නොසලකා ක්‍රියාකරන ප්‍රතිපත්තියක් රාවය අනුගමනය කළේය. කැරැල්ල ඉදිරියට ගමන් ගනිමින් තිබෙන අවස්ථාවක ජවිපෙ නියෝජිතයෝ තිදෙනෙක් කිසියම් දිනක මා හමුවීම සඳහා රාවය කාර්යාලයට පැමිණියෝය. ඒ වනවිට කාර්යාලය තිබුණේ ගල්කිස්සේ පරණ ගල්වල පාරේ නිවසක උඩ තට්ටුවේය. ඔවුන් පැමිණෙන විට රාවයේ දෙවැනියා ලෙස ක්‍රියා කළ උපාලි කොළඹගේ ද රාවයේ සිටියේය. අප දෙදෙනාම වැඩ කරන මේස දෙක තිබුණේ ළඟ ළඟය. පැමිණෙන අමුත්තන්ට වාඩිවීම සඳහා වේවැල් පුටු 06 ක් අප ඉදිරිපස තිබුණි.

මා හමුවීමට ඔවුන් පැමිණියේ දේශපාලන මණ්ඩලයේ ඉල්ලීමක් අනුව බව පැමිණි නියෝජිතයන් තිදෙනාගෙන් කෙනෙක් මා සමග කීවේය. කැරලි ගසන ජේවීපීය සඟරාව සිය ආධාරකරුවකු බවට පත්කර ගැනීමේ අරමුණින් ඔවුන් එවන්නට ඇති බව මාගේ විශ්වාසය විය. ජවිපෙ මා දේශපාලන විරුද්ධවාදියෙකු ලෙස සැලකුවද ජනතාව අතර විශාල ලෙස අලෙවි වන රාවය සිය ග්‍රහණයට ගැනීමේ වැදගත්කම ඔවුන් සිතුවා විය යුතුය. ජවිපෙට තිබුණු විශාල බලය තුළ ජීවිතාරක්ෂාව සඳහා ද ඔවුන්ට අවනතව ක්‍රියාකරන තැනකට එනු ඇතැ”යි ඔවුන් කල්පනා කළා විය හැකිය.

මම ඔවුන්ට වාඩිවෙන්නට කියා මා වාඩිවී සිටි ස්ථානයෙන් නැගිට ඔවුන් වාඩිවී සිටි අසලින්ම වේවැල් පුටුවක හිඳගත්තෙමි. ඔවුන් මට කතා කරන්නට පෙර මම ඔවුන්ට කතා කළෙමි.

මා පළමු කැරැල්ලේ සගයෙකු බව ඔවුන්ට මතක් කරදෙමින් තරුණ පරපුරට විසඳා ගැනීමට සාධාරණ දුක්ගැනවිලි ඇති බව මා පිළිගන්නාමුත්, ඒ දුක්ගැනවිලිවලට තිබෙන විසඳුම ප්‍රචණ්ඩ අරගළ නොවන බව ප්‍රකාශ කරමින් මම ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචණ්ඩ ක්‍රියාකාරීත්වය අනුමත නොකරන බව ද ප්‍රකාශ කළෙමි.

ඔවුන් මා කියන දේවලට උනන්දුවෙන් සවන් දුන්නේය. මා අදහස් පළකිරීමෙන් පසු “එහෙනම් තවදුරටත් මා සමග කතාකිරීමෙන් වැඩක් නැති බව” ප්‍රකාශ කරමින් ඔවුහු තිදෙනා එම ස්ථානයෙන් යන්න ගියහ. මා එහිදී අනුගමනය කළ ප්‍රතිපත්තිය අනතුරුදායක වියහැකි වුවත්, එසේ නොකර ඔවුන් සතුටු කිරීම පිණිස කතා කරන තැනකට ගියේ නම්, නිසැක වශයෙන්ම මා ඔවුන්ගේ සිරකරුවකු බවට පත්වන්නට ඉඩ තිබුණේය.

ඉන්පසුවද ජවිපෙ තරුණයෝ දෙදෙනෙක් කාර්යාලයට පැමිණ තමන් ජවි පෙරමුණේ බව ප්‍රකාශ කරමින් තමන්ට අවශ්‍ය කරන පත්‍රිකා දස දහසක් මුද්‍රණය කරදිය යුතු බව කියා සිටියහ. ඔවුන් එහි එනවිට මා සිටියේ චිත්‍ර ශිල්පියා (අශෝක) වැඩ කරන කාමරයේය. අශෝක ද එහි සිටියේය.

පැමිණි දෙදෙනාගෙන් කෙනෙකු මා වාඩිවී සිටි තැනට ඉදිරියේ ඇති පුටුවක වාඩිවී මා සමග කතා කරමින් සිටි අතර, අනෙක් පුද්ගලයා කාමරයට ඇතුළු වන දොර ඉදිරියේ සිටගෙන සිටියේය. ඔහුගේ කරේ කර බෑගයක් තිබූ අතර, එහි ගිනි අවියක් තිබෙන්නට ඇති බව අශෝකගේ මතය විය.

මා අනුමත නොකරන දේශපාලන ව්‍යාපාරයකට පත්‍රිකා දසදහසක් මුද්‍රණය කරදීමෙන් අනුග්‍රහය දක්වන්නට මා සූදානම් නැති බව ප්‍රකාශ කළවිට මා සමග කතා කරමින් සිටි තරුණයා කුතුහලයෙන් මා සමග ඒ ගැන තර්ක කරන තැනකට ආවේය. අප දෙදෙනාගේ සංවාදය දොර අසල සිටගෙන සිටි තරුණයා අසාගෙන සිටියේ කෝපයෙනි. ඉන්පසු කවදාවත් ඔවුන් රාවයට එවැනි ඉල්ලීම් ඉදිරිපත් කළේ නැත.

රාවය චිත්‍ර ශිල්පියා ලෙස ක්‍රියා කළ අශෝක හම්බන්තොට හුංගම කෙනෙකු වීම නිසා ඔහු දන්නා හඳුනන මිත්‍රයන් ඒ බිහිසුණු යුගයේදී රාවයට ආවා ගියේය. අශෝක ජවිපෙ ආධාරකරුවෙකු නොවූවත් ඔහුගේ මිත්‍රයන් අතර ජවිපෙ අය ද සිටියෝය. කැරැල්ල උච්චතම තත්ත්වයකට වර්ධනය වී තිබුණු කාලයේදී දිනක් අශෝක හමුවීමට හම්බන්තොටින් පැමිණි පුද්ගලයෙකු ඔහු විසින් මට හඳුන්වා දුන්නේය. ඔහු ජවිපෙ රන්න ප්‍රදේශයේ නායකයා විය.

ඔහු නැවත තනිව මා හමුවන්නට පැමිණ වෙන්න යන්නේ කුමක්දැ”යි ප්‍රශ්න කළේය. මම විජේවීර විවේචනය කිරීමට එය අවස්ථාවක් කරගත්තෙමි. ““ඔයාගේ නායකයාට හොඳටම පිස්සු. තරුණ පරපුර විනාශ කිරීමෙන් නොනැවතී ඔහු රටම විනාශ කරන බව ද මම කීවෙමි. ඔහු විස්මයෙන් හා අසරණව මා කරන කඨෝර විවේචනයට ඇහුම්කන් දුන්නේය. ඉන්පසු නැවත පැය කිහිපයකට පසුව මා වෙත පැමිණ කැරැල්ලෙන් ඉවත්වීමට තමන්ට අවශ්‍ය බවත්, කොළඹ මොකක් හෝ රැකියාවක් සොයා දෙන්නේ නම්, නැවත හම්බන්තොටට යෑමෙන් වැළකී සිටින බවත් කියා සිටියේය. මම මිතුරෙකුට දුරකතනයෙන් කතා කොට ඔහු පිළිබඳ තතු කියා ඔහු ළඟ මොකක් හෝ රැකියාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියෙමි. මෙම තරුණයා ආයතනයේ ආරක්ෂක සේවයට බඳවා ගැනීමට ඔහු එකඟවිය. ඒ මගින් කැරැල්ලෙන් ඉවත් වී සිය ජීවිතය ගලවා ගැනීමට ඔහු සමත් විය.

චම්පික රණවක

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙකු ලෙස ක්‍රියාකරන චම්පික රණවකගේ ද ජීවිතාරක්ෂාව සඳහා මැදිහත්වීමට මට හැකිවිය. එක්සත් පෙරමුණක් ඇති කරගනිමින් 1988 ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ අරමුණින් ජවිපෙ හා ශ්‍රීලනිප ඇතුළු තවත් පක්ෂ හතරක් සමග පැවති සාකච්ඡාවලට ජවිපෙ ශිෂ්‍ය නියෝජිතයෙකු ලෙස චම්පික රණවක ද සහභාගි වී තිබුණි. ජනතා විමුක්ති පෙරමුණ ද ගොඩනගන දේශපාලන සන්ධානයට ඇතුළත් කරගනිමින් ජවිපෙන් එල්ල වන බාධාවකින් තොරව ජනාධිපතිවරණය ජයගැනීමේ අරමුණෙන් බණ්ඩාරනායක මැතිනිය මෙම සාකච්ඡා පවත්වාගෙන ගිය අතර, එම සාකච්ඡාමය ක්‍රියාවලියේ කොටස්කරුවකු බවට පත්වී ජනාධිපතිවරණයට කිසිම අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන තත්ත්වයක් ඇති කොට කැරැල්ල ජයග්‍රාහී ලෙස ඉදිරියට ගෙනයෑම ජවිපෙ උපාය මාර්ගික අරමුණ විය. ජනාධිපතිවරණයට තරග කිරීමෙන් වැළකී සිටිය යුතුයි කියන ජවිපෙ ස්ථාවරය ප්‍රතික්ෂේප කරමින් මැතිනිය ජනාධිපතිවරණයට තරග කරන බව ප්‍රකාශ කර සිටියාය. ඒ සමග ජවිපෙ සාකච්ඡා ද බිඳ වැටුණි. එහිදී ජවිපෙ අනුගමනය කළ ප්‍රතිපත්තිය සමග උරණ වූ චම්පික ජවිපෙ සමග සහයෝගයෙන් ක්‍රියා කිරීම අත්හැරියේය. ඒ කාලයේ චම්පික නිතර නිතර රාවය කාර්යාලයට ආවා ගියේය. කිසියම් දිනක ඔහු ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් ඇති බව දැනගන්නට ලැබුණේ චම්පිකගේ සහෝදරියක මගිනි. ඔහු පැහැර ගෙන ගියේ ආරක්ෂක හමුදා බව ඇගේ මතය විය. කෙසේ හෝ ඔහුගේ ජීවිතය ආරක්ෂා කර දෙන ලෙස ඇය මගෙන් ඉල්ලා සිටියාය.

ජවිපෙ කැරැල්ල මර්දනය කිරීමේ ක්‍රියාන්විතය තුළ සිටි ඒ ක්‍රියාවලියේදී කැපී පෙනෙන තැනක් හිමි කරගෙන සිටි පුද්ගලයෙකු මම දැනගෙන සිටියෙමි. අප දෙදෙනා හමුවූයේ අහම්බෙනි. පළමු හමුවේදී අප දෙදෙනාම ඇස් රතු වන තෙක් එකිනෙකාට එරෙහිව වාද කළෙමු. ඒ මගින් අපි දෙදෙනා වඩා හොඳින් එකිනෙකා හඳුනා ගත්තෙමු. ඔහු ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ හමුදා නිලධාරියෙක් විය. ඔහුට ජේවීපී කැරැල්ල ගැන දාර්ශනික මතයක් තිබුණි. ජේවීපීය අලුත් ආකාරයක ෆැසිස්ට්වාදයක් කරා වර්ධනය වන විනාශකාරී ව්‍යාපාරයක් බව ඔහුගේ මතය විය. රටේ පොදු යහපත සඳහා කැරැල්ල අනුකම්පා විරහිතව මර්දනය කළයුතු බව ඔහුගේ මතය විය. මා පසුව ඔහු ගැන කරුණු සොයා බැලීමේදී ඔහු කැරැල්ලේ නායකයන් සොයා ගියේ තනිව බවත්, පළමු පෙළ නායකත්වය කොටු කරගැනීමෙහිලා ඔහු කැපී පෙනෙන කාර්යභාරයක් ඉටුකර තිබෙන බවත් දැනගත හැකිවිය.

මා චම්පික වෙනුවෙන් ඔහුට කතා කොට චම්පිකගේ අතේ ලේ නැති බව මට විශ්වාස බවත්, ඔහු දක්ෂ තරුණයෙකු බව පෙනෙන නිසා පුළුවන්කමක් ඇතොත් ඔහුගේ ජීවිතය ආරක්ෂා කරදෙන ලෙසත් ඉල්ලා සිටියෙමි. ඔහු මට සවන් දුන්නා මිස කිසිදු පිළිතුරක් දුන්නේ නැත.

චම්පික පැහැරගෙන යෑමෙන් කිසියම් කාලයකට පසුව කිසියම් දිනක රාත්‍රියකදී ඔහුගේ ඇස් බැඳ ඔහු රාවය කාර්යාලය අසල දමා ගොස් තිබුණි. ඔහු රාවය කාර්යාලයට ඇතුළු වන විට හඳුනාගත නොහැකි තරමට ඔහුගේ හිස කෙස් ද රැවුලද වැවී තිබුණි. පසුදින රාවය කාර්යාලයෙන් පිටවී යන්නට පෙර ඔහුගේ දිගට වැවුණු රැවුල කපාගත්තේ රාවය කාර්යාලයෙනි. ඔහු නිදහස් කරන්නට පෙර ඔහු රඳවාගෙන සිටි කඳවුරට පැමිණි නිලධාරියෙකු ඔහු අමතා (තමාගේ ඇස් බැඳ තිබූ බැවින් නිලධාරියා දැකීමේ හැකියාවක් තමන්ට නොතිබුණු බව ඔහු කියා සිටියේය.) ඔහුව නිදහස් කරන්නේ රාවය කර්තෘ නිසා බව ඔහුට කියන ලද බව චම්පික කීවේය.

හර්මන් ගුණරත්න

කැරැල්ල පිළිබඳව මා ඇති කරගත් නිරීක්ෂණ සනාථ කරන මට අමතක නොවන තවත් අත්දැකීමක් මෙහි කෙටියෙන් සඳහන් කළ යුතුය. කැරැල්ල උච්චතම තත්ත්වයකට වර්ධනය වී තිබුණු අවස්ථාවක වැවිලිකරුවකු වූ හර්මන් ගුණරත්න මා හමුවන්නට රාවය කාර්යාලයට ආවේය. ඔහු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ එකම පුත් රවි ජයවර්ධනගේ සමීප මිත්‍රයෙක් විය.,ඔයැ ඡක්බඒඑසදබ ඍ්ව, හා For ් ිදඩැරුසටබ ීඒඑැ, නමැති කෘතිවල කතුවරයාය.

ඔහුගේ වත්ත තිබුණේ අහංගමය. ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ කණ්ඩායමක් සිය නිවසට කඩා වැදී නිවස සෝදිසි කොට තමාගේ පිස්තෝලය රැගෙන ගිය බවත්, දැන් ඔවුන් තමන්ට මරණ තර්ජන එල්ල කරමින් තිබෙන බවත් කියා සිටියේය. ජවි පෙරමුණෙන් එල්ල වන තර්ජන මගහරවා ගැනීමේ මගක් සොයා ගැනීමට ඔහුට අවශ්‍ය විය. ඒ සමග ඔවුන් තමන් සතුරකු ලෙස සලකන්නේ ඇයිද යන ප්‍රශ්නයට පිළිතුරක් සොයාගැනීමට ද ඔහුට අවශ්‍ය විය.

තමන්ගේ දුක්ගැනවිල්ල ලිඛිතව විජේවීර අතට පත් කරන ක්‍රමයක් සොයා ගන්නා ලෙස මම ඔහුට කියා සිටියෙමි. ඒ සමග කැරැල්ල කෙරෙහි කුල සාධකය බලපා තිබෙන ආකාරය ඔහුට විස්තර කරදීමට මට සිදුවිය.

ඔහු මා හමුවන්නට පැමිණි ඊළඟ අවස්ථාවේදී මට කීවේ කුලය පිළිබඳව මා කරන ලද විග්‍රහය ඉතාමත් නිවැරදි බවය. ෆැක්ටරියේ වැඩ කරන සේවකයන්ගේ නිවෙස් පරීක්ෂා කිරීමේදී පීඩිත කුලයකට අයත් පුද්ගලයන් ගණනාවකගේම නිවෙස්වල තිබී ආයුධ සොයා ගත් බව ඔහු කියා සිටියේය.

ඔහු මෙම අත්දැකීම ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට ද විස්තර කර තිබුණි. එවිට ජනාධිපති කියා ඇත්තේ ඒ කරුණ ගැන (කුල ප්‍රශ්නය) තමා ද දන්නා බවත්, එහෙත් රාවය කතුවරයාට ඒ ගැන ප්‍රසිද්ධියේ කතා කිරීමේ හැකියාවක් ඇතත්, තමාට ඒ ගැන කතා කිරීමේ හැකියාවක් නැති බවත්ය.

හර්මන් ගුණරත්න 2004 වසරේදී ලියා පළකළ ඔහුගේ අලුත්ම පොත වන ඔදරඑමරුා ෂික්බා නමැති කෘතියේ මා හඳුන්වා තිබෙන්නේ ඔහුගේ කුල ගුරුවරයා (ඵහ එැ්ජයැර දබ ජ්ිඑැ) ලෙසය. ඔහු මෙම කෘතියෙන් කුල සාධකයට වෙන්කළ පරිච්ඡේදයක් මගින් මේ රටේ පවතින පුපුරන සුළු සමාජ ප්‍රශ්න කෙරෙහි කුල සාධකය බලපා තිබෙන ආකාරය ඉතාමත් දක්ෂ ලෙස හා තර්කානුකූල ලෙස විග්‍රහ කර තිබේ.

රටේ කෙළවරක් නැති තරමට ලේ වැගිරෙන තත්ත්වයක් පැවති එම බිහිසුණු යුගයේදී වරක් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මා ඔහු වෙත කැඳවා සඟරාව තවදුරටත් පළකිරීමට අවශ්‍ය නම් “කාලිංගගේ දේශපාලන විග්‍රහය” නමින් මා ලියන දේශපාලන විවරණයෙන් තොරව එය පළකළ යුතු බව මට නියෝග කළේය. මාගේ අරමුණ තුවක්කුකටවලින් කෙරෙමින් තිබෙන විවාදය ශිෂ්ට සම්පන්න රාමුවකට ගැනීම බව මා කියා සිටි විට ඔහුගේ දැඩි මුහුණේ මෘදු බවක් ඇතිවූ බව මට පෙනුණි. ජනාධිපතිගේ ශරීරාක්ෂකයා වශයෙන් ක්‍රියා කළ සුමිත් පෙරේරා හමුවූ අවස්ථාවකදී “ඔබ අපේ ලොක්කත් දපනේ දාගත්තා නේදැ”යි කියමින් මට විහිළු කළේය. මා ඒ ගැන කරුණු විමසීමේදී ඔහු කියා සිටියේ ජනාධිපති සමග කතා කොට මා ගිය පසු ““ඔහු නරක මිනිසෙක් නොවන බව”” ජනාධිපති ඔහු හා මැණික්දිවෙල සමග කී බවය.

ජනතා විමුක්ති පෙරමුණ 1988 ජනාධිපතිවරණය තහනම් කරමින් ඊට කවර ආකාරයකින් හෝ සම්බන්ධවීම හෝ ඡන්දය පාවිච්චි කිරීම මරණ දඬුවම ලැබිය හැකි වරදක් බව ප්‍රකාශ කළ විට, රාවය ඊට එරෙහිව යමින් ජවිපෙ තර්ජන ගර්ජන නොසලකා ඡන්දය පාවිච්චි කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය. එදා රටේ පැවති බිහිසුණු වටාපිටාව හා ජවිපෙ හිමිකරගෙන සිටි අතිවිශාල ආධිපත්‍යය තුළ එවැනි ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීම සරල හෝ පහසු දෙයක් නොවීය. කැරැල්ල පැවති යුගයේ රාවය රඟපෑ භූමිකාව අනුව එම කැරැල්ල අවසන් වනවිට රාවයේ කිසිවකු දෙපාර්ශ්වය අතින් මරණයට පත් නොවීම ආශ්චර්යයක් ලෙස සැලකිය හැකිය. කැරැල්ල පරාජය කිරීම ඔස්සේ බිහිවන ප්‍රේමදාස යුගය තුළ එතෙක් මාසික සඟරාවක් වශයෙන් පවත්වාගෙන ගිය රාවය ටැබ්ලොයිඩ් සතිඅන්ත පුවත්පතක් බවට හරවන ලදි. ප්‍රේමදාස ජනාධිපතිවරයාට තිබුණු මුරණ්ඩු දේශපාලන ප්‍රතිරුපය නොසලකා තවදුරටත් රාවය සිය විවේචනාත්මක ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන ගියේය.

පාර්ලිමේන්තු වරප්‍රසාද නීතිය

ජනමාධ්‍යවේදීන්ගේ නිදහස සීමා කරමින් ඔවුන් බියගැන්වීමට හේතුවී තිබූ පාර්ලිමේන්තු වරප්‍රසාද නීතියට එරෙහිව අභියෝග කරන තැනකට යන්නට සිදුවූයේ ප්‍රේමදාස පාලන යුගයේදීය. එය රාවය නෛතික තලය තුළ ජයග්‍රහණයක් හිමිකරගත් පළමු අරගළය විය.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හතරදෙනෙකු ඔවුන්ට අදාළව රාවයේ පළවූ වාර්තාවන්ට එරෙහිව වරප්‍රසාද ප්‍රශ්න මතුකර තිබුණි. ඒ ජනාධිපතිගේ නීති උපදේශක කේ.එන්. චොක්සි, නියෝජ්‍ය කතානායක ගාමිණී ෆොන්සේකා, පොල් ඇමති ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි හා කාලිංග ඔබේවංශ යනාදීහුය.

සංශෝධිත පාර්ලිමේන්තු වරප්‍රසාද නීතිය යටතේ පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව විසින් නඩු අසා වරදකරුවකු කරනු ලැබූ ජනමාධ්‍යවේදියෙකුට එරෙහිව දඩ නියම කිරීමට පමණක් නොව, සිරදඬුවම් පැමිණවීමේ බලය ද පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව සතුවිය.

මට එරෙහිව පළමුවෙන්ම විභාගයට ගැනීමට නියමිතව තිබුණේ චොක්සිගේ පැමිණිල්ලයි. එම පරීක්ෂණය සඳහා කැඳවීමේ ලිපිය ලැබීමෙන් පසු පරීක්ෂණය නියම කර තිබූ දිනට සතියකට පමණ පෙර මම ප්‍රවෘත්ති කර්තෘ නිව්ටන් සෙනෙවිරත්න සමග වරප්‍රසාද කමිටුවේ වටාපිටා තොරතුරු දැනගැනීම සඳහා පාර්ලිමේන්තුවට ගියෙමි. වරප්‍රසාද කමිටුවේ ලේකම්වරයා හමුවී මට තිබෙන අයිතිවාසිකම් දැනගැනීම ගමනේ එක් අරමුණක් විය. එදින ද වරප්‍රසාද කමිටු රැස්වන දිනයක් විය. වරප්‍රසාද කමිටු රැස්වීම් ශාලාවේ පිටත ලංකාදීප කර්තෘ සිරි රණසිංහ හා එම පුවත්පතේ මාධ්‍යවේදියෙකු වූ චූලවංශ සිරිලාල් අසුන් ගෙන සිටියෝය. මා ඔවුන් වෙත ගොස් වරප්‍රසාද කමිටුවේ කටයුතු සිදුවන ආකාරය ඔවුන්ගෙන් විමසා බැලුවෙමි.

ඔවුන් කතා කළේ වරප්‍රසාද කමිටු ක්‍රියාකාරීත්වය පිළිබඳව ඇති කරගත් මහත් කළකිරීමකින් යුතුවය. කමිටුවේ සභාපතිවරයා වගඋත්තරකාර ජනමාධ්‍යවේදීන්ට කතා කරන විලාසය පවා අවමන්සහගත බව ඔවුන්ගේ මතය විය. ඉන්පසු අපි වරප්‍රසාද කමිටුවේ ලේකම් හමුවීමට ගියෙමු. පරීක්ෂණයකදී චූදිතයකුට තිබෙන අයිතිවාසිකම් මොනවාදැ“යි මම ඔහුගෙන් ප්‍රශ්න කළෙමි. මාගේ ප්‍රශ්න කිරීම ඔහුගේ පුදුමයට හේතුවූ බව පෙනෙන්නට තිබුණි. චූදිතයෙකුට හරස් ප්‍රශ්න ඇසීමේ අයිතිය, සාක්ෂිකරුවන් කැඳවීමේ අයිතිය ඇත්දැ”යි මම තවදුරටත් ඔහුගෙන් අසා සිටියෙමි. “නැත” යන්න ඔහු ඊට දෙන ලද පිළිතුර විය. ඔහු සාඩම්බර ස්වරූපයකින් දෙන ලද කෙටි පිළිතුර මා තුළ ඇති කළේ හාස්‍යයකි.

සාධාරණ නඩු විභාගයකින් තොරව පුද්ගලයන්ට දඬුවම් කිරීමේ බලය කවර ආයතනයකටවත් තිබිය නොහැකිය. එහෙත් පාර්ලිමේන්තුව සාධාරණ නඩු විභාගයකින් තොරව ජනමාධ්‍යවේදීන්ට දඬුවම් කළේය. එම තත්ත්වයට අභියෝග කිරීමට මා තීරණය කළේ නිව්ටන් සමග පාර්ලිමේන්තුවේ සිට ආපසු කාර්යාලයට එමින් සිටියදීය.

පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳ මා දරන අදහස් මාගේ හිතවත් නීතිඥයෙකු වූ ගාල්ලේ ඒ.පී.ජී. සරත්චන්ද්‍ර සමග සාකච්ඡා කළ විට සාධාරණ නඩු විභාගයකින් තොරව පුද්ගලයෙකුට දඬුවම් පැමිණවීමේ බලය මොනම ආයතනයකටවත් තිබිය නොහැකි බව ඔහු ද පිළිගත්තේය. ඔහු වැඩිදුරටත් කීවේ පාර්ලිමේන්තු වරප්‍රසාද නීතියක් තිබූ පමණින් නඩු අසා පුද්ගලයන්ට දඬුවම් කිරීමේ බලය පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට නොලැබෙන බවත්, ඒ සඳහා නීතියෙන් නියම කළ නඩු පටිපාටියක් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව සතුව තිබිය යුතු බවත්ය. එවැන්නක් නැතිව දඬුවම් කිරීම නීතියට පටහැනි බව ඔහු කියා සිටියේය.

පරීක්ෂණය පැවැත්වෙන පළමු දිනයට එහි නොගොස් ලිඛිත විරෝධයක් යැවීමට මා තීරණය කොට සුදුසු ලිඛිත විරෝධයක් ලියා දෙන ලෙස මම සරත්චන්ද්‍රගෙන් ඉල්ලා සිටියෙමි. මට එම කරුණ ඇතුළත් කොට ලිඛිත විරෝධයක් ලියා දුන්නේය.

වරප්‍රසාද කමිටුවෙන් ලැබෙන කැඳවීමකට එහි නොගොස් ලිඛිත විරෝධයක් ඉදිරිපත් කිරීම සරල ක්‍රියාවක් නොවීය. අවශ්‍ය නම් තමන්ට අවනත නොවීම මගින් පාර්ලිමේන්තුවට අපහාසයක් කළේ යන පදනම මත මට දඬුවම් කිරීමේ හැකියාව වරප්‍රසාද කමිටුව සතුව තිබුණි.

මාගේ මූලික විරෝධය පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව වෙත යැවීමෙන් නොනැවතී එය මහජනතාවගේ දැනගැනීම සඳහා පුවත්පතේ ද පළ කළෙමි. එම විරෝධයේ ඉංග්‍රීසි පරිවර්තනයක් අදහස් පළකිරීමේ නිදහස ගැන උනන්දුවක් දක්වන ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර ආයතන වෙත ද යවන ලදි.

විපක්ෂ නායිකා සිරිමා බණ්ඩාරනායක මැතිනිය මාගේ සහායට නිවේදනයක් නිකුත් කරමින් ආණ්ඩුවේ කටයුතු විවේචනය කරන ජනමාධ්‍යවේදීන් නිහඬ කිරීම පිණිස සංශෝධිත පාර්ලිමේන්තු වරප්‍රසාද නීතිය යොදා ගැනීම හෙළා දැක්කේය. ජාත්‍යන්තර ආයතනවලින් ලැබුණු ප්‍රතිචාර ද යහපත් විය. පසු අවස්ථාවක භාණ්ඩාගාර ලේකම් පාස්කරලිංගම් මහතාගෙන් දැනගන්නට ලැබුණු පරිදි ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර සංවිධාන ගණනාවක් පාර්ලිමේන්තු වරප්‍රසාද නීතිය යටතේ ජනමාධ්‍යවේදීන්ට එරෙහිව දඬුවම් පමුණුවන ප්‍රතිපත්තියට විරෝධය පළකරමින් එවන ලද පෙත්සම් ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පුදුමයට හේතුවිය. මේ මිනිසාට මෙතරම් විශාල ජාත්‍යන්තර සහායක් ලැබුණේ කෙසේදැ”යි ජනාධිපතිවරයා පාස්කරලිංගම්ගෙන් විමසා තිබේ. අවසානයේ මේ නීතිය යටතේ නඩු අසා ජනමාධ්‍යවේදීන්ට දඬුවම් පමුණුවන ප්‍රතිපත්තිය අත්හිටුවන ලෙසට වරප්‍රසාද කමිටුවේ සභාපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත උපදෙස් දී ඇත්තේ ජනාධිපතිවරයාය.

පරීක්ෂණය පැවති දෙවැනි දිනයේ මම වරප්‍රසාද කමිටුව ඉදිරියේ පෙනී සිටියෙමි. මා පළමු දිනයේ අනුගමනය කළ හිතුවක්කාරී ක්‍රියාකලාපය නිසා වරප්‍රසාද කමිටුවේ සාමාජිකයන් මූලික විරෝධයට අදාළව මා විසින් කරන ලද කරුණු ඉදිරිපත් කිරීමට සන්සුන්ව සවන් දුන්නේය. මාගේ කරුණු ඉදිරිපත් කිරීම අවසන් වූ පසු තීන්දුවක් දීම සඳහා පරීක්ෂණය දින නියමයක් නොමැතිව කල් දැමීය. එය එම උසාවි ක්‍රමයේ අවසානයේ ආරම්භය විය. ඉන්පසු ජනමාධ්‍යවේදීන්ට එරෙහිව පාර්ලිමේන්තු වරප්‍රසාද නීතිය යටතේ නඩු අසන ක්‍රමය ද අහෝසි විය. පාර්ලිමේන්තුව එවැනි නඩු ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ යුතු ආකාරයට සංශෝධනය කළ නීතිය නැවත සංශෝධනය කළේය. එය ජයග්‍රාහී අරගළයක් ලෙස සැලකිය හැකිය.

සාපරාධී අපහාස නීතිය

එහෙත් ඉන්පසු එම ජයග්‍රහණය වෙනුවෙන් ගෙවන්නට සිදුවූ වන්දිය අතිවිශාලය. පාර්ලිමේන්තු වරප්‍රසාද නීතිය යටතේ නඩු පැවරීමේ පිළිවෙත අත්හැරීමෙන් පසු මට එරෙහිව සාපරාධී අපහාස නීතිය යටතේ දිගින් දිගට නඩු පවරන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක විය. එජාප පාලනය යටතේ එම නීතිය යටතේ මට එරෙහිව නඩු පහක් ද, පොදු පෙරමුණු පාලනය යටතේ නඩු 06 ක් ද පවරන ලදි.

ඉන්පසු මට එම නීතියට එරෙහිව හා එම නීතිය භාවිත කෙරෙන ආකාරයට එරෙහිව දිග්ගැස්සුණු වියදම් අධික හා වෙහෙසකර නෛතික අරගළයකට තල්ලුවීමට සිදුවිය. එම සමස්ත නෛතික අරගළය මා වෙනුවෙන් කරගැසූ පුද්ගලයා වූයේ මාගේ නීතිඥයා වූ ඊටත් වඩාත් මාගේ ගෞරවයට හේතුවූ මිත්‍රයා වූත් සුරංජිත් හේවාමන්න මහතාය.

එහිදී මෙම නීතිය යටතේ පවරනු ලබන නඩුවලට එරෙහිව හුදෙක් පෙනී සිටිමින් නිදහස වෙනුවෙන් සටන් කරන පිළිවෙතක් අනුගමනය නොකළෙමු. නඩුවලට පෙනී සිටින අතර, සාපරාධී අපහාස නීතියට හා ඒ නීතිය යටතේ නඩු පවරන පිළිවෙතට අභියෝග කරන පිළිවෙතක පිහිටා ක්‍රියා කළෙමු. එය නෛතික තලයේ එම නීතියට හා එම නීතිය යටතේ නඩු පවරන ප්‍රතිපත්තිය බලවත් ලෙස අභියෝගයට ලක් කරන ක්‍රියාමාර්ගයක් වූ අතර, එය එම නීතියේ පවුරු පදනම් සේ ම, එම නීතිය යටතේ නඩු පවරන ප්‍රතිපත්තියේ පවුරු පදනම් දෙදරුම් කැවීමට හේතුවූ දැවැන්ත හා සංකීර්ණ නෛතික ක්‍රියාවලියක් ලෙස වර්ධනය විය. අවසානයේ එතෙක් පවරා තිබූ නඩු ගණනක් එක පොදියකට ගෙන නීතිපතිගේ නඩු පවරන ප්‍රතිපත්තිය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගියෙමු. එය ඓතිහාසික නඩු විභාගයක් විය. නීතිපති ඉදිරියට ගෙනා විරෝධය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේය. එහෙත් පීඩා කිරීමේ අරමුණින් තමන්ට ලැබී තිබෙන අභිමත බලය නිතියට පටහැනිව නීතිපති පාවිච්චි කර තිබෙන බවට අප එල්ල කරන ලද චෝදනාව ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගත්තේ නැත. ශ්‍රේෂ්ඨාධිකරණය දෙන ලද එම තීන්දුවට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියෙන් ලැබී තිබුණු අයිතිය ප්‍රයෝජනයට ගනිමින් ජිනීවාහි මානව හිමිකම් කමිටුව වෙත අපි ගියෙමු. අප ඉදිරිපත් කළ තර්ක හා ශ්‍රී ලංකා ආණ්ඩුව ඉදිරිපත් කළ තර්ක සලකා බලකා දීර්ඝ පරීක්ෂණයකින් පසුව මානව හිමිකම් කමිටුව අපට පක්ෂපාත තීන්දුවක් ප්‍රකාශයට පත් කරන ලදි. එම දිග්ගැස්සුණු නෛතික අරගළය අවසන් වන්නට ප්‍රථම සාපරාධී අපහාස නීතිය දණ්ඩ නීති සංග්‍රහයෙන් ඉවත් කරගැනීමට ආණ්ඩුවට සිදුවිය.

උසාවි අපහාස නීතිය

හරි නෛතික අර්ථකථනයකින් තොරව උසාවි අපහාස නීතිය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක හිතුවක්කාරී ස්වභාවයට එරෙහිව ද උසාවි අපහාස නීතිය යටතේ දඬුවම් ලැබීමට තිබෙන හැකියාව ද නොසලකා අපි ඊට හඬ නගා කතා කරන ප්‍රතිපත්තියක් අනුගමනය කළෙමු. උසාවි අපහාස නීතිය යටතේ අධිකරණය පුද්ගලයන්ට දඬුවම් කරන අවස්ථාවලදී එම දඬුවම් දීමේ ක්‍රමයට එරෙහිව නොබියව අදහස් පළ කරන ලද එකම පුවත්පත ද රාවය විය.

මෙම අරගළවල සැබෑ අරමුණ ජනමාධ්‍යවේදීන්ගේ නිදහසට හා ජනතාවගේ නිදහසට බලපෑ සීමා ජයගැනීම වුවද, එම අරගළයන්ට ලැබෙන වැදගත්කම රටේ ජනමාධ්‍යවේදීන් හෝ සමාජය හරියාකාරව තේරුම් ගත්තා ද යන්න සැකසහිතය.

මෙම ලිපිය අනවශ්‍ය තරමට දිග්ගැස්සෙමින් තිබෙන නිසා හා චන්ද්‍රිකා යුගයේ සිට සිදුවූ දේවල් මීට පෙර ලියා ඇති බැවින් ප්‍රේමදාස යුගයේ සිදුවූ තවත් එක සිද්ධියකට පමණක් සීමාවීම සුසුදුයැ”යි සිතමි.

රණසිංහ ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය ජයගත්තේ දකුණේ ලේ වැගිරෙමින් තිබූ වටාපිටාවක් තුළය. රටේ පැවති එම බිහිසුණු වටාපිටාව තමන්ගේ ජයග්‍රහණය සඳහා දක්ෂ ලෙසත්, සියුම් ලෙසත් යොදාගැනීමට ප්‍රේමදාස මහතා සමත් විය. තමන්ගේ ජයග්‍රහණය සඳහා ඡන්දය පාවිච්චි කරන්නන්ගේ අනුපාතිකය පහළ මට්ටමකින් හෝ ඉහළ මට්ටමකින් තිබිය යුතු දිස්ත්‍රික්ක මොනවාද යන්න පිළිබඳව හරි තක්සේරුවක් ප්‍රේමදාස මහතා වෙනුවෙන් එම ඡන්ද ව්‍යාපාරය මෙහෙයවූ මැතිවරණ යාන්ත්‍රණයට තිබුණි. ඡන්දය පාවිච්චි කරන්නන්ගේ අනුපාතිකය පහළම මට්ටමක තබා ගතයුතු දිස්ත්‍රික්කවල ඒ ඉලක්කය ජයගනු පිණිස ජනතා විමුක්ති පෙරමුණෙන් එල්ල වන තර්ජනයන්ට අතිරේකව තුන්වැනි පිරිසක් ද ඡන්දදායකයන් බියගන්වන ව්‍යාපාරයක් පවත්වාගෙන ගියෝය. අවසානයේ ජනාධිපතිවරණයේ ජය ප්‍රේමදාස මහතාට හිමිවිය.

ඡන්ද පෙත්සම් නඩුව

ප්‍රේමදාස මහතාගේ තේරීපත්වීමට එරෙහිව සිරිමා බණ්ඩාරනායක මහත්මිය ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කළාය. මෙම ඡන්ද පෙත්සමෙන් තමන්ට වාසිදායක තීන්දුවක් ලබාගැනීම සඳහා ඉතාමත් සියුම් ලෙස අධිකරණ කටයුතුවලට අතපොවන ප්‍රතිපත්තියක් ප්‍රේමදාස ජනාධිපතිවරයා අනුගමනය කළේය. ජනාධිපතිවරණ ඡන්ද පෙත්සමක් නීතිය අනුව හයමාසයක කාලයක් තුළ විභාග කොට අවසන් කළ යුතුය. මෙම ඡන්ද පෙත්සම් විභාගයට වසර 3 කුත් දින 107 ක් ගතවිය. නඩුව දිග් ගැස්සෙන විට විශ්‍රාම යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වෙනුවෙන් විනිසුරුවරුන් පත් කරන ලද්දේ ප්‍රේමදාස ජනාධිපතිවරයාය. සමහර ජ්‍යෙෂ්ඨ විනිසුරුවරු එම පෙත්සම් විභාගයට සම්බන්ධවීමෙන් වැළකී සිටියෝය. පෙත්සම් විභාගය සඳහා ගත කෙරුණු දීර්ඝ කාලය නිසා පෙත්සම විභාග කෙරුණේ එකම විනිශ්චය මණ්ඩලයක් විසින් නොව, දිගින් දිගට වෙනස් වන විනිශ්චය මණ්ඩලයක් මගිනි. ඒ අතර ක්‍රමයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පත් කරන අලුත්ම විනිසුරුවරුන් පවා මෙම පෙත්සම විභාග කරන විනිශ්චය මණ්ඩලයට ඇතුළත් වන තත්ත්වයක් නිර්මාණය විය. අවසානයේ ප්‍රේමදාස ජනාධිපතිවරයා තමන්ගේ වාසියට හේතුවන තීන්දුවක් ලබාගැනීමට සමත් විය.

ප්‍රකාශ කරන්නට නියමිත තීන්දුව ප්‍රේමදාස ජනාධිපතිවරයා කල්තියා දැන සිටියා සේ ම, ඒ බව රාවය ද දැන සිටියේය.

මම සිරිමා බණ්ඩාරනායක මැතිනිය හමුවී මෙම තත්ත්වය ඇයට දැනුම් දුන්නෙමි. තීන්දුව ප්‍රකාශ කරන්නට පෙර තීන්දුව භාර නොගන්නා බව ප්‍රකාශ කරන ලෙස ඇයගෙන් ඉල්ලා සිටියෙමි. එය අධිකරණයට කරන ලද අපහාසයක් ලෙස සලකා අධිකරණය ඇය හිරේට යවයිද කියන ප්‍රශ්නයක් ඇයට තිබුණි. දෙන්නට යන තීන්දුව සාධාරණ නඩු විභාගයකින් පසුව දෙනු ලබන සාධාරණ තීන්දුවක් නොවේ නම්, එය ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ඇයට තිබෙන බව හා දේශපාලන නායිකාවක ලෙස ඇය එම අභියෝගය භාරගත යුතු බව ද මම ප්‍රකාශ කළෙමි. අවසානයේදී ඇය මගේ මතය පිළිගත්තාය. තීන්දුව ප්‍රකාශ කරන්නට පෙර තීන්දුව ප්‍රතික්ෂේප කරන නිවේදනයක් නිකුත් කරන බව ඇය කියා සිටියාය.

එහෙත් ඒ මතය ඇගේ නීති උපදේශකයන් විසින් පරාජය කර තිබුණි. ඇය මට ප්‍රකාශ කරන ලද ආකාරයට අධිකරණය ඇයගේ වාසියට තීන්දුවක් දීමට නියමිතව තිබෙන අවස්ථාවක ඇය කල්තියා එම තීන්දුව ප්‍රතික්ෂේප කරයි නම් එම ස්ථාවරය ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ වාසියට හේතුවනු ඇති බව ඔවුන් ප්‍රකාශ කර තිබුණි. අවසානයේ ඇය ඔවුන්ගේ මතය පිළිගත්තාය.

වෙන්නට යන දේ හා දෙන්නට යන තීන්දුවේ පසුබිම් විස්තර මා හොඳින් දැන සිටි බැවින් කුමක් කළ යුතුද යන ප්‍රශ්නය මගේ හිතට වද දුන්නේය. තීන්දුව ප්‍රකාශ කරන්නට දින දහයක පමණ කාලයක් තිබියදී මේ ගැන මම තවත් කිහිපදෙනෙකු සමග සාකච්ඡා කළෙමි. එම සාකච්ඡාවට මැකී රත්වත්ත, අනුරුද්ධ රත්වත්ත හා එයාර් වයිස් මාර්ෂල් හැරී ගුණතිලක යන අය සහභාගි වූහ.

බණ්ඩාරනායක මැතිනිය අනුගමනය කරන්නට යන නිහඬ පිළිවෙත ඉදිරියේ දැන් මා ඉදිරියේ ඉතිරි වී තිබෙන එකම විකල්පය තීන්දුව ප්‍රකාශ කරන්නට පෙර එම තීන්දුව පුවත්පත මගින් ප්‍රකාශ කිරීම බව මම කියා සිටි විට ඔවුන් අන්දමන්ද වූහ.

මැකී රත්වත්ත (බණ්ඩාරනායක මැතිනියගේ සහෝදරයා) මට තරයේ කියා සිටියේ ඒ නිසා සිරබත් කන්නට ද සිදුවිය හැකි බැවින් එවැනි දෙයක් කිරීම නුසුදුසු බවය. විශේෂයෙන්ම පුද්ගලයෙකු අමාරුවේ වැටුණු පසු තමාගේ සහෝදරිය වුවත් අහක බලාගනු ඇති බවත්, එය රටේ ක්‍රියාත්මක වන සාමාන්‍ය ක්‍රමය වන නිසා එවැනි අවදානමක් බාර නොගන්නා ලෙස ඔහු මගෙන් ඉල්ලා සිටියේය. අනුරුද්ධගේ ස්ථාවරය වූයේ ද එයමය. හැරී කීවේ කුමක් කළ යුතු ද යන්න තීරණය කළ යුත්තේ මා බවය.

අවසානයේදී නඩු තීන්දුව ප්‍රකාශ කරන්නට නියමිත දින තුනකට පෙර පළවන්නට නියමිත පුවත්පතේ මුල් පුවතක් ලෙස ප්‍රකාශ කරන්නට නියමිත තීන්දුවේ හරය පළකරන්නට මම තීන්දු කළෙමි. එය මොනම ජනමාධ්‍යවේදියෙකුවත් ආදර්ශයට නොගත යුතු, නොකළයුතු හිතුවක්කාරී හා බිහිසුණු ක්‍රියාවකි.

තීන්දුව ප්‍රකාශ කළ දිනයේ රට පුරා රතිඤ්ඤා පත්තු කොට ජයගොස නැංවීමට ප්‍රේමදාස ජනාධිපතිවරයා කටයුතු සූදානම් කර තිබුණද, ප්‍රකාශ කරන්නට නියමිත තීන්දුව කල්තියා රාවය විසින් ප්‍රකාශ කිරීමත් සමග ජයඝෝෂා නැංවීමේ වැඩපිළිවෙල අත්හිටුවන්නට ඔහු නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මා සොයාගෙන ආවේ අධිකරණය විසින් සිය තීන්දුව ප්‍රකාශ කිරීමෙන් පසුවය. මම කිසිම වරදක් කර නැති බවත්, අධිකරණයට අපාහසයක් වන්නේ මා තීන්දුව විකෘති කෙරෙන ආකාරයට පළකිරීමක් කර තිබුණේ නම් පමණක් බවත් මම කියා සිටියෙමි. මෙම හිතුවක්කාරී ක්‍රියාවට එරෙහිව එදා මා අධිකරණය ඉදිරියට ගෙන නොයන්නට ඇත්තේ දුරදිග යන නඩු විභාගයකදී අධිකරණයේ ගෞරවයට හේතු නොවන දේවල් හෙළිදරව් විය හැකිය යන බිය නිසා විය හැකිය.

මෙම දේශපාලන ක්‍රමය තුළ ජනාධිපතිවරයෙකුට තමන්ට වාසිදායක අධිකරණ තීන්දුවක් ලබාගැනීමට තිබෙන හැකියාව මා පළමුවරට තේරුම් ගත්තේ මෙම අත්දැකීමෙනි.