මෙම කතුවැකිය ලියන්නේ ප්රභාකරන්ගේ වීර දිනය කතාව කෙරෙන දිනයේදී වුවත්, එම කතාව ප්‍රකාශ වන්නට පෙරය.
කිලිනොච්චිය අල්ලා ගැනීමට ආරක්ෂක හමුදාවන්ට ඉඩ නොදෙන බවටත්, කිලිනොච්චියට එන්නේ නම් ලේ විලක පිහිනන්න බලාගෙන ආයුතු බවටත් ප්රභාකරන් මීට සති කිහිපයකට පෙර ඉන්දියාවේ ජනමාධ්‍යයකට ප්‍රකාශ කර තිබුණි. ප්රභාකරන්ගේ අනාවැකිය බොරුවී ඇතත්, යුදමය වශයෙන් ලබන ජයග්‍රහණයන්ගෙන් පමණක් මෙම අවුල ජයගත නොහැකි බව ආණ්ඩුව සේ ම රටේ ජනතාව ද තේරුම් ගත යුතුය.
මෙම කතුවැකිය ලියන මොහොත වන විට අතීතයේදී බොම්බාය ලෙස හැඳින්වුණු මුම්බායි නගරයේ ටාජ් හෝටලයට දැවැන්ත ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වී තිබේ. එම ප්‍රහාරය නිසා මේ මොහොතේ ඉන්දියාවෙන් ලංකාවට එල්ලවිය හැකි පීඩනය අඩුවී එය අංක එකේ ප්රශ්නය ලෙස සලකා ගනුදෙනු කිරීමට ඉන්දියාවට සිදුවනු ඇතත්, තව ටික දිනකින් නැවත ලංකාව අංක 1 ට ආ හැකි බව අප අමතක නොකළ යුතුය.
ශ්‍රී ලංකාවේ අර්බුදය කෙරෙහි ඉන්දියාවට දක්වන්නට සිදුවී තිබෙන අධි සංවේදීතාව කෙරෙහි බලපා ඇති ඇත්ත හේතු රටක් වශයෙන් අප හොඳින් තේරුම් ගත යුතුය. අතීතයේදී එය තමිල්නාඩුවට පමණක් ඈඳුණු ප්‍රශ්නයක් විය. තමිල්නාඩුව මධ්‍යම ආණ්ඩුවට එරෙහිව යෑම වළකා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් හා ලංකාවෙන් තමිල්නාඩුවට ඇදී එන අනාථයන් පිළිබඳ ප්‍රශ්නයට සීමාවූ ප්‍රශ්නයක් විය. එහෙත් වර්තමානයේ එම ප්රශ්නය තිබෙන්නේ ඊට වෙනස් තැනකය. ශ්‍රී ලංකාවේ ප්රශ්නය විසඳා ගැනීමට අසමත්වෙතොත්, එල්ටීටීඊ ත්‍රස්තවාදය නමැති පිළිකාව ඉන්දියාවේ ද පැතිරෙන තත්ත්වයක් ඇතිවේය කියන අපමණ බියක් ඉන්දියාව තුළ පවතී. මේ ප්‍රශ්නයට කල්පවත්නා ඉක්මන් විසඳුමක් ඔවුන් අපේක්ෂා කරන්නේ ඒ නිසාය.
මෙය අපේ රටේ පවතින, අපට විසඳාගත නොහැකි වෙතොත්, අසල්වැසි ඉන්දියාවේ ද පැතිර යා හැකි රෝගයක් ලෙස සලකා අප මෙම ප්රශ්නය බුද්ධිමත් ලෙස විසඳාගත යුතුය. එසේ නොවෙතොත්, මේ රෝගය ඔවුන්ගේ රටේත් පැතිරීම ඇතිවීම වළකා ගැනීම සඳහා අපේ රටේ කටයුතුවලට ඇඟිලි ගසන තත්ත්වයක් ඇතිවිය හැකිය.
නැගෙනහිර එල්ටීටීඊ ග්රහණයෙන් මුදාගෙන ඇතත්, එහි පවතින තත්ත්වය ඉතා යහපත් නොවන බව ද අපි අමතක නොකළ යුතුය. නැගෙනහිරට දෙමළ මහ ඇමතිවරයෙකු සිටියත් ඔහු සිටින්නේ ද අනාරක්ෂිත හා අතෘප්තිමත් තත්ත්වයකය. ඔහුට එල්ටීටීඊයෙන් එල්ල වී තිබෙන අභියෝගය ජයගත හැකිවනු ඇත්තේ වැඩ කිරීමට අවශ්‍ය බලය හා සම්පත් අවශ්‍ය තරමින් ඔහුට ලබාදෙන්නේ නම් පමණය.
දෙමළ ජනතාවට විකල්ප නායකත්වයක් නැතිකමේ ප්‍රශ්නයක් ද පවතී. එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කරන විට ඔවුන් අලුත් මාවතකට කැන්දාගෙන යන විකල්ප දේශපාලන නායකත්වයක් ඔවුන්ට තිබීම අවශ්‍ය වුවත්, ඒ අඩුව පිරවීමේ හැකියාවක් දෙමළ සන්ධානයකට ඇති බවක් පෙනෙන්නට නැත. දෙමළ ජනතාව සිටින්නේ ඔවුන්ගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන නායකයන් නැති දේශපාලන කාන්තාරයකය. දෙමළ ජනතාවට මේ මොහොතේ එවැනි දේශපාලන රික්තයක් ඇති බව තේරුම් ගනිමින් දෙමළ ජනතාව කෙරෙහි මේ මොහොතේ දයාබරිත විශේෂ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ආණ්ඩුවේ වගකීමකි.
මේ මොහොතේ ජාතීන් තුළ හිත් වේදනාවක් ඇති කරන හා ආවේගාත්මක කතාවලට ඉඩ නොතැබිය යුතුය. ඉන්දියානු විරෝධී කතාබහට ද ඉඩ නොතැබිය යුතුය. රටේ දෙමළ ජනතාව විපතට හා දුකට පත් ජනතාවක් ලෙස සලකා සිංහල ජනතාව ද ඔවුන් කෙරෙහි කරුණාවෙන් හා දයාවෙන් කරුණු සලකා බලන තැනකට යා යුතුය.
ආණ්ඩු පක්ෂය පමණක් නොව, විරුද්ධ පක්ෂ හා සියලු දේශපාලන ධාරා මේ මොහොතේ මෙම ආරාවුල සාධාරණ ලෙස විසඳා ගැනීමේ අවංක අරමුණකින් එකට එකතු වී ක්‍රියා කරන තැනකට යා යුතුය. අපට අභිමානවත් රටක් ලෙස නැවත නැගී සිටිය හැකිවනු ඇත්තේ එවිටය.