78 ව්‍යවස්ථාව හා රනිල් වික්‍රමසිංහ

October 29, 2026
Publication:
Wickremesinghe says he will table a draft constitution for a law-bound government answerable to parliament. Ivan calls it an important step and doubts the motive, then puts the questions the UNP has never answered about its own record — the referendum, the stripping of the opposition leader's civic rights, the harassment of judges — and names the three faults any new constitution has to remove.

78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට නව ව්‍යවස්ථා මූලධර්ම ඇතුළත් පාර්ලිමේන්තුවට වගකියන නීතියට යටත් පාලනතන්ත්‍රයක් සඳහා වන ව්‍යවස්ථා කෙටුම්පතක් සාකච්ඡා සඳහා ඉදිරි සතියේ ඉදිරිපත් කරන බව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ. එය ඉතා වැදගත් ඉදිරි පියවරක් වුවත්, එහිදී ප්‍රශ්නය විග්‍රහ කර තිබෙන ආකාරයෙන් පෙනීයන්නේ එය අනුන්ගෙන් එල්ල වෙන බලපෑම් නිසා කරන දෙයක් මිස තමන්ගේ වුවමනාව අනුව කරන දෙයක් නොවන බවය.

තට්ටු මාරු ක්‍රමයක් අවශ්‍ය නැති බවත්, මේ මොහොතේ අවශ්‍යව ඇත්තේ සැබෑ වෙනසක් බවත් කුරහන්පාට අඳින මහින්ද රාජපක්ෂ කෙනෙකු වෙනුවට කොළපාට අඳින මහින්ද රාජපක්ෂ කෙනෙකු බලයට පත්කිරීමට අවශ්‍ය නැති බවත්, ඒ නිසා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතු බව ඇතැම් පිරිස් කියා සිටින බවත්, රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කළේය.

විරුද්ධ පක්ෂ නායකයා වශයෙන් තමන් ඒ මතයට ඇහුම්කන් දුන් බව වැඩිදුරටත් කියා ඇති රනිල් වික්‍රමසිංහ මහතා ඒ අනුව පාර්ලිමේන්තු ක්‍රමය ශක්තිමත් කිරීම සඳහා ඉදිරියේදී අනුගමනය කරන ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂ ලිපියක් සකස් කොට බෙදාහරින ලද බවත් ඒ පිළිබඳව කරන ලද සාකච්ඡාවලදී බලය අයුතු ලෙස පාවිච්චි කරන නිසා විධායක ජනාධිපති ක්‍රමයෙන් ඵලයක් නැතැයි සමහරුන් පෙන්වා දුන් බවත්, බහුතරයකගේ මතය අලුත් විකල්පයක් අවශ්‍යය කියන මතය වීම නිසා 78 ව්‍යවස්ථාව වෙනුවට නව මූලධර්ම ඇතුළත් ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට තීරණය කර ඇති බවත් ඔහු එහිදී ප්‍රකාශ කර තිබේ.

78 ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කිරීමට ගෙන තිබෙන තීරණය ඉතා වැදගත් වුවත්, 78 ව්‍යවස්ථාව පිළිබඳව තම අදහස් පළකිරීමෙන් රනිල් වික්‍රමසිංහ මහතා හිතාමතාම වැළකී ඇති බව පැහැදිලිව පෙනේ.

78 ව්‍යවස්ථාවෙන් අයුතු ලෙස බලය පාවිච්චි කළේ පොදු පෙරමුණේ නායකයන් පමණක්ද? එක්සත් ජාතික පක්ෂ නායකයන් එසේ නොකළේද? එම ව්‍යවස්ථාවේ නිර්මාතෘවරයා ලෙස සැලකිය හැකි ජේ.ආර්. ජයවර්ධන එසේ නොකළේද?

විරුද්ධ පක්ෂ නායිකාවගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමට ගනු ලැබූ තීරණය සාධාරණද? එජා පක්ෂයට පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක් තිබූ පාර්ලිමේන්තුවේ නිල කාලය දූෂිත ජනමතවිචාරණයක් මගින් දීර්ඝ කරගැනීම සාධාරණද? ජේ.ආර්. ජයවර්ධන සිය පක්ෂ කණ්ඩායමට පොදු වස්තුව කොල්ලකන්නට ඉඩදෙන ප්‍රතිපත්තියක් අනුගමනය නොකළේද? ජේ.ආර්. ජයවර්ධන යුගයේදී ආණ්ඩුවේ සන්තෝසයට හේතු නොවන නඩු තීන්දු දුන් විනිශ්චයකාරවරුන්ට හිරිහැර නොකළේද? ආණ්ඩුව විවේචනය කරන පුද්ගලයන්ට පහර නුදුන්නේද? ධර්මිෂ්ඨ සමාජය නමැති කෘතිය ලිව් එදිරිවීර සරත්චන්ද්‍රයන්ට පවා මැරයින් යොදවා පහර නුදුන්නේද?

අලුත් දේශපාලන ක්‍රමයක් ගැන සිහින මවන විට ප්‍රතික්ෂේප කර තිබෙන ක්‍රමයේ වැරදි හඳුනා ගැනීම ඉතා වැදගත්ය. එවැනි වැරදිවලට ඉඩක් නැති ක්‍රමයක් ඇති කරගත හැක්කේ එවිටය.

තිබෙන ක්‍රමයට ආවේණික ලොකුම වරද රාජ්‍ය නායකයා නීතියට ඉහළින් සිටීමය. ඊළඟ වරද රාජ්‍යයේ සකලවිධ බලයක් එක් පුද්ගලයෙකු අත කේන්ද්‍ර ගතකර තිබීමය. තුන්වැනි වරද ලෙස සැලකිය හැක්කේ පාලක පක්ෂයට පොදු දේපළ කොල්ලකෑමට ලැබී තිබෙන අයිතියයි. දේශපාලනය මුදල් උපයා ගතහැකි ජනප්‍රිය මාර්ගයක් බවට පත්වන්නේ ජේ.ආර්. ජයවර්ධන ඇති කළ නව ක්‍රමයත් සමගය. රට ඇද වැටී තිබෙන අගාධයෙන් රටට ගොඩ ආ හැකිවනු ඇත්තේ දැන් තිබෙන අශිෂ්ට දේශපාලන ක්‍රමයෙන් වෙන්වී ශිෂ්ටසම්පන්න දේශපාලන ක්‍රමයකට මාරුවීමෙනි.