ආණ්ඩුවට එල්ටීටීඊය සමග යුද්ධ කිරීමේ අයිතියක් ඇතත්, මැතිවරණ යුද්ධයක් බවට හරවා ගැනීමේ අයිතියක් ආණ්ඩුවට නැත. පළාත් සභා මැතිවරණ පැවැත්වෙන පළාත් දෙකෙහිම පවතින්නේ ඉහවහා ගිය ප්රචණ්ඩත්වයක් බව පැෆරල් ආයතනය වාර්තා කර තිබෙන ආකාරයට මෙම පළාත් දෙකෙන් වාර්තා වී ඇති පූර්ව මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා සංඛ්‍යාව 96 කි. ඉන් 62 ක් වාර්තාවන්නේ උතුරුමැද පළාතෙනි. 34 ක් වාර්තාවනුයේ සබරගමුව පළාතෙනි. ප්රචණ්ඩ ක්‍රියා බහුලව වාර්තා වී ඇති ප්‍රදේශවලට යුද්ධ හමුදාව යොදන බව මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබේ. මතුවී තිබෙන ගැටුම්වලදී අපක්ෂපාතීව ක්‍රියාකිරීමට පොලිසිය අසමත් වී ඇති බවට ද චෝදනා එල්ල වී තිබේ. නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා වන ව්‍යාපාරය වාර්තා කර තිබෙන ආකාරයට මැතිවරණ ප්රචණ්ඩත්වය වඩාත්ම බලපා තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහි ය. හැම ප්‍රධාන පක්ෂයක් ම පාහේ අඩු වැඩි වශයෙන් ප්රචණ්ඩ ක්‍රියාකාරකම්වලට බර තබා ක්‍රියා කරන බව ද ඔවුන්ගේ මතය වී තිබේ.
මැතිවරණ ප්රචණ්ඩත්වය හැමදාමත් මැතිවරණවල දී දකින්නට ලැබෙන තත්ත්වයක් වුවත්, මෙම අශෝබන තත්ත්වයට ආණ්ඩුව වගකිව යුතු ය. ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්‍රමයක් තුළ (අපේ රටේ පවතින්නේ ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්‍රමයක් ද?) මහජනතාව තමන් වෙත ඇති පරමාධිපත්‍යය බලය අධ්‍යාශ කරන්නේ මැතිවරණවලදී ය. මැතිවරණ නිදහස් හා සාධාරණ නොවේ නම්, මහජනයාට සිය පරමාධිපත්‍යය බලය අධ්‍යාශ කරන්නට සිදුවන්නේ ප්රචණ්ඩ වටාපිටාවක් තුළ නම් එය ඉතාමත් නරක හා අයහපත් තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නැත.
මෙම පළාත් සභා මැතිවරණයෙන් පසු අන් සියලු පළාත් සභා මැතිවරණ පවත්වනු ලබන බවත්, ඉන්පසු ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇති බවත් කියනු ලැබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මෙම සියලු මැතිවරණ පැවැත්විය යුත්තේ මැතිවරණ කොමිසමක් යටතේය. එහෙත් සියලු මැතිවරණ පැවැත්වෙන්නේ මැතිවරණ කොමිසමක් නැතිව ය. ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, මැතිවරණ කොමිසමක් පත් කිරීමෙන් වැළකී සිටින බව ඒ ඉදිරියේ සියලු දේශපාලන පක්ෂ බකංනිලාගෙන බලාගෙන සිටියේ ය. අවසානයේ තමන්ට විශ්‍රාම යෑම අවශ්‍ය වී තිබෙන බව ප්‍රකාශ කරමින් නීතිය අනුව මැතිවරණ කොමිසම පිහිටුවන තෙක් තමන්ට විශ්‍රාම යෑමේ හැකියාවක් නොමැති නිසා තමන්ගේ විශ්‍රාම යෑමේ අරමුණ සඳහාවත්, මැතිවරණ කොමිසම පිහිටුවන නියෝගයක් ලබාගැනීම සඳහා අධිකරණය ඉදිරියට යන්නට මැතිවරණ කොමසාරිස්වරයාට සිදුවුවත්, එම ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමට අධිකරණය ද අසමත් විය. අවසානයේ මැතිවරණ කොමසාරිස්වරයා පසුගිය ජනාධිපතිවරණයේ දී ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රකාශ කළ අවස්ථාවේදීත් සිය දුක්ගැනවිල්ල මහජනතාවට පෙනෙන ලෙස අභිනවයෙන් තේරී පත්වූ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළේ ය. එම ප්‍රශ්නයට ඉක්මන් විසඳුමක් ලබාදෙන බවට ඒ අවස්ථාවේ දී ජනාධිපතිවරයා පොරොන්දු වුවත්, අද දක්වා මැතිවරණ කොමිසමක් පිහිටුවා නැත.
මැතිවරණ පැවැත්වීම අවශ්‍ය ය. එහෙත් පවත්වන මැතිවරණ නිදහස් හා සාධාරණ නොවේ නම්, මැතිවරණ පැවැත්වීමේ ඇති ඵලය කුමක් ද?