කාලිංගගේ විග්‍රහය
එක්සත් ජාතික පක්ෂයට සිදුවී තිබෙන්නේ ද දෙමළ ජනතාවට සිදුවී තිබෙන දේය. පාක්ෂිකයන් ප්‍රබෝධමත් කොට එයට ජවසම්පන්න ක්‍රියාකාරිත්වයක් ලබාදිය හැකි නව නායකයකු අවශ්‍ය වී ඇතත්, එවැනි හැකියාවක් තිබෙන කිසිවකු පක්ෂය තුළ ඉතිරි වී නැත. හැකියාවක් තිබූ අය සිටියේ නම් සියලුදෙනා පක්ෂ නායකයා අතින් විනාශයට පත්ව තිබෙන අතර, ඒ තත්ත්වය යටතේ, ඉන්නා රනිල් වික්‍රමසිංහ හැර තෝරා ගැනීමට අන් නායකයකු නැති තත්ත්වයකට එම පක්ෂය පත්ව තිබේ.
එම පක්ෂයේ ව්‍යවස්ථාව අනුව (අනෙක් පක්ෂවලට තිබෙන ව්‍යවස්ථාවන්ගේ තත්ත්වය ද ඊට වෙනස් නැත.) නායකයා වෙනස් කිරීමේ හැකියාවක් පක්ෂයට නැත. පක්ෂ නායකයා වෙනස් කරන ක්‍රමයක් පක්ෂ ව්‍යවස්ථාවට ඇතුළත් නැත. පක්ෂ සාමාජිකයන්ගෙන් කොතරම් විශාල බහුතරයක් පක්ෂ නායකයාට විරුද්ධ වුවත්, පක්ෂ නායකයා වෙනස් කිරීමේ බලයක් පාක්ෂිකයන්ට නැත. එම තත්ත්වය තුළ එම පක්ෂය කුණුවීමේ ක්‍රියාවලිය තවදුරටත් වේගවත් වනු නොවැළැක්විය හැකිය.
උතුරුමැද හා වයඹ පළාත් සභා මැතිවරණයට නායකයන් දෙදෙනෙක් ආනයනය කරන්නට පක්ෂයට සිදුවිය. එම පළාත් සභා මැතිවරණ දෙකේදී යහපත් ප්‍රතිඵල ලබාගැනීමට අසමත් වෙතොත්, පක්ෂයේ නායකත්වය පිළිබඳ අර්බුදය උග්‍ර තත්ත්වයක් ගනු නොවැළැක්විය හැකිය. පක්ෂයේ නායකත්වය පිළිබඳ අර්බුදය මෙම පළාත් සභා මැතිවරණ දෙක කෙරෙහි පවා හානිකර ලෙස බලපා තිබෙන බව පැහැදිලිව දැකිය හැකිය.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හිතන්නේ අමාරුවෙන් හෝ අල්ලාගෙන සිටීමට සමත් වෙතොත්, ජේ.ආර්. ජයවර්ධනට සේ තමාට ද වියපත් තත්ත්වයක් යටතේ හෝ බලයට පත්විය හැකි බවය. එහෙත් ජේ.ආර්. ජයවර්ධන බලයට ආවේ දැන් තිබෙන ඡන්ද ක්‍රමයෙන් නොව පැරණි ඡන්ද ක්‍රමයෙනි. ඒ ඡන්ද ක්‍රමය තුළ නියමිත අවුරුදු ගණනක් තුළ බලය ප්‍රධාන පක්ෂ දෙක අතර හුවමාරු විය. දැන් තිබෙන ක්‍රමය තුළ බලය හුවමාරු වන්නට දශකයක් හෝ දශක කිහිපයක් ගතවිය හැකිය. ජේ.ආර්. ජයවර්ධන මෙම දේශපාලන ක්‍රමය සකස් කළේ විරුද්ධ පක්ෂය අතට බලය ලැබෙන ආකාරයට නොව, ආණ්ඩු පක්ෂයට සදා බලයේ ඉන්නට ලැබෙන ආකාරයටය. ප්රතිපක්ෂය අවුරුදු 17කට පසුව බලය ලබාගන්නේ සිය දැනුම හා ශක්තිය නිසා නොව බලයේ සිටි ජනාධිපතිගේ දේශපාලන අඥානකම නිසාය. ඉන්පසු ප්රතිපක්ෂය අතට බලය ලැබී අවුරුදු 15කට ආසන්න කාලයක් ගතවී ඇතත්, බලවත් ලෙස පාලක පක්ෂයට අභියෝග කරන තත්ත්වයක් දිනාගැනීමට එජාපය සමත්ව නැත.
රනිල් වික්‍රමසිංහගේ අසමත්භාවය කෙරෙහි බලපා ඇත්තේ පුද්ගලයාගේ අසමත්භාවය පමණක් නොවේ. ඒ කෙරෙහි දේශපාලන ක්‍රමය ද බලපා තිබේ. ඔහු වැඩියෙන්ම ඇලුම් කරන දේශපාලන ක්‍රමය විසින් ඔහු දේශපාලන විහිළුකාරයෙකු බවට පත්කර ඇතත්, ක්‍රමයට ඇති කෑදරකම තවමත් ඔහු අත්හැර නැත.
දේශපාලන නායකයකු වශයෙන් රනිල් වික්‍රමසිංහ කෙරෙන් ප්‍රකාශ වූ ලොකුම දුර්වලතාව වනුයේ ප්‍රධාන කොට පක්ෂය මත නොයැපී බාහිර බලවේගයන් මත රැඳී පැවතීමය. ඔහු පක්ෂයේ සතුරන් පක්ෂයට බාරගත්තේ පක්ෂයේ පැවැත්මට උරදුන් මිතුරන් බිලිදෙමිනි. හැමදාමත් එජාපයට පළමු නායකයා හැරුණු විට දෙවැනි තුන්වැනි හා සමහරවිට හතරවැනි නායකයෙක් සිටියේය. එහෙත් රනිල් වික්‍රමසිංහ නායකත්වයට පත්වීමෙන් පසු තමන් හැර පක්ෂයට අතිරේක නායකයන් නැති තත්ත්වයක් ඇති කළේය.
අද එජාප දේශපාලන කාන්තාරයක් බවට පත්ව තිබෙන අතර, එහි ජරාජීර්ණ වීම වැළකිය නොහැකි තත්ත්වයක් බවට පත්ව තිබේ. එජාපයට ජාතික ලැයිස්තුවෙන් ආසන දුසිමක් ලැබුණ ද අද එම පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් ඉතිරි වී සිටින්නේ එක මන්ත්‍රීවරයෙකු පමණය.
එක්සත් ජාතික පක්ෂය, චන්ද්‍රිකා, මංගල හා ජවිපෙ යන සියලුදෙනා එකට එකතු කොට ගොඩනගන්නට හැදූ මහා සන්ධාන සිහිනය ද බොඳවී ඇත්තේය.
එජාපයට ශක්තිමත් විරුද්ධ පක්ෂයක් ලෙස නැගී සිටීමට අවශ්‍ය නම්, ඒ සඳහා අවශ්‍ය ජීවය එම පක්ෂයට ලැබෙනු ඇත්තේ එම පක්ෂය විසින්ම නිර්මාණය කළ ඒකාධිපති දේශපාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා අවංකවම නැගී සිටීමෙනි. එවැනි විපර්යාසයක් සඳහා පෙනී සිටීමට අවශ්‍ය ශක්තිය ලැබෙනු ඇත්තේ පක්ෂය තුළ තිබෙන ඒකාධිපති ව්‍යුහය වෙනස් කිරීමෙනි. පක්ෂ අභ්‍යන්තරය ප්රජාතන්ත්රවාදී නිදහස ඇති පක්ෂයක් බවට හැරවීමෙනි.
එජාපයට හෝ ජනතා විමුක්ති පෙරමුණට මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව ජවසම්පන්න විකල්පයක් බවට පත්වීමට නොහැකි වී ඇත්තේ ශක්තිමත් ප්රජාතන්ත්රවාදී විකල්පයක් ඉදිරිපත් කිරීමට ඔවුන් අසමත්වීම නිසාය. ඒකාධිපති දේශපාලන ක්‍රමයකට එරෙහිව තවත් ඒකාධිපති ක්‍රමයක් ආකර්ශනීය දේශපාලන විකල්පයක් වන්නේ නැත. අද රට මුහුණ දී තිබෙන සංකීර්ණ ප්‍රශ්නවලට හේතුවී තිබෙන්නේ දේශපාලන ක්‍රමය බව මහජනතාව ක්‍රම ක්‍රමයෙන් තේරුම් ගනිමින් සිටින අතර, ඒ නිසාම එම දේශපාලන ක්‍රමය වෙනුවෙන් පෙනී සිටින පක්ෂය කෙරෙහි ඔවුන් අතර තිබෙන පිළිගැනීම ද වාෂ්පවෙමින් පවතී.
දෙමළ සන්ධානය හා සර්ව පාක්ෂික සමුළුව
සර්ව පාක්ෂික සමුළුව සර්ව පාක්ෂික සමුළුවක් ලෙස සැලකිය හැකිවනු ඇත්තේ ඊට දෙමළ සන්ධානයේ ද සහභාගිත්වයක් ඇත්නම් පමණක් බවට ශ්‍රී ලංකාවට පැමිණි යුරෝපා සංගම් නියෝජිතයන් කර තිබෙන ප්‍රකාශය ඉතා වැදගත්ය.
සර්ව පාක්ෂික සමුළුවේ අරමුණ ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් සොයා ගැනීම නම් සර්ව පාක්ෂික සමුළුව දෙමළ සන්ධානයේ නියෝජිතයන්ගෙන් ද සමන්විත සමුළුවක් විය යුතුය. සර්ව පාක්ෂික සමුළුව දෙමළ සන්ධානයෙන් තොර සමුළුවක් බවට පත්වූයේ එම සමුළුව දෙමළ සන්ධානය සහභාගි කරවා ගැනීම ප්‍රතික්ෂේප කළ නිසා නොව දෙමළ සන්ධානය එම සමුළුවට සහභාගිවීම ප්‍රතික්ෂේප කළ නිසාය. එය ඔවුන් ගනු ලැබූ ස්වාධීන තීරණයකට වඩා එල්ටීටීඊ බලපෑම මත ගනු ලැබූ තීරණයක් ලෙස සැලකිය හැකිය.
කලක් දෙමළ ජාතික දේශපාලනය මෙහෙයවන ප්‍රධාන දේශපාලන ව්‍යාපාරය බවට පත්ව තිබුණේ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණය. චෙල්වනායගම්ගේ මරණයෙන් පසු එය උතුරේ බිහිව තිබූ සන්නද්ධ කණ්ඩායම්වල බලපෑමට නතුවූ දේශපාලන ව්‍යාපාරයක් බවට පත්විය. මනා තක්සේරුවකින් තොරව ඊළාම් රාජ්‍යයක් පිළිබඳ අදහස කරළියට ගෙනාවේ ද එම ව්‍යාපාරයයි.
ඊළාම් රාජ්‍යයක් සඳහා කරන අරගලයේ ධජය කොටි සංවිධානය තමන් අතට ගැනීමෙන් පසු අමිර්තලිංගම් ඇතුළු දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායකයන් විශාල සංඛ්‍යාවකට කොටි සංවිධානය අතින් මැරුම් කන්නට සිදුවිය. අවසානයේ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණට සිය ජීවිත ආරක්ෂාව සඳහා කොටි සංවිධානයේ වුවමනාවන්ට අනුකූලව ක්‍රියා කරන ව්‍යාපාරයක් බවට පත්වන්නට සිදුවූ අතර, අද දෙමළ සන්ධානයට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පාර්ලිමේන්තුව තුළ නියෝජනය කරන්නට සිදුවී තිබෙන්නේ එල්ටීටීඊයයි. එය ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නැත.
දෙමළ සන්ධානය සර්ව පාක්ෂික සමුළුවට සහභාගි කරවා ගැනීම ඉතා අවශ්‍ය වුවත්, එහිදී ඔවුන්ට ස්වාධීන භූමිකාවක් රඟපෑමේ ඉඩක් ලැබෙනු ඇතැයි සිතිය නොහැකිය. දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොටි සංවිධානයේ නියෝජිතයන් නොවන මුත් කොටි සංවිධානයේ දේශපාලන අපේක්ෂාවන්ට වෙනස්ව පෙනී සිටීමේ අයිතියක් ඔවුන්ට නැත. එම තත්ත්වය තුළ ඔවුන් සර්ව පාක්ෂික සමුළුවට එකතු කරගැනීමට හැකි වුවත්, ඔවුන්ට එහිදී කළ හැකි දේ ඉතාමත් සීමිතය.
සර්ව පාක්ෂික සමුළුවට ප්රභාකරන් ඉල්ලා සිටින ආකාරයේ වෙනම රාජ්‍යයක්, කොන්ෆෙඩරේෂනයක් හෝ ඔවුන්ට ආයුධ ළඟ තබා ගැනීමේ අයිතිය ඇති පෙඩරල් ක්‍රමයක් දිය නොහැකිය. ප්රභාකරන්ගේ ආධිපත්‍යය තිබෙන තෙක් ඉදිරිපත් කරන වෙන මොනම විකල්පයක්වත්, එම විකල්පය කොතරම් සාධාරණ වුවද එය බාරගැනීමේ හැකියාව දෙමළ ජනතාවට නැත. ප්රභාකරන් වෙනුවට තෝරා ගත හැකි ශක්තිමත් විකල්ප නායකයන් ද දෙමළ ජනතාවට නැත. උතුරු නැගෙනහිර තනි ඒකකයක් ලෙස සැලකිය යුතුයි කියන අදහස ද යථාර්ථයට පටහැනිය. පවතින විධායක ජනාධිපති ක්‍රමය සියලු බලය එක් පුද්ගලයෙකු අත කේන්ද්‍රගත කළ ක්රමයකි. එවැනි ක්‍රමයක් තුළ බලය බෙදාහැරීමකට ඇත්ත ඉඩක් නැත. ජනවාර්ගික අර්බුදයට දේශපාලන විසඳුමක් දිය හැක්කේ තිබෙන දේශපාලන ක්‍රමය ද වෙනස් කිරීමෙනි. මහා වෙනස්කම් ඇති කිරීමට සුදුසු වටාපිටාවක් ඇති වන තෙක් දෙමළ ජනතාවට ව්‍යවස්ථාවෙන් ලබාදී තිබෙන අයිතිවාසිකම් ප්‍රායෝගිකව ලබාදෙන තත්ත්වයක් ඇති කළ හැකිය. දෙමළ ජනතාවට සිය භාෂාවෙන් අධ්‍යාපනයේදී පරිපාලනයේදී හා උසාවි කටයුතුවලදී ගනුදෙනු කිරීමේ අයිතිය ප්‍රායෝගිකව සහතික කිරීම සඳහා අවශ්‍ය පියවර ක්‍රියාත්මක කළ හැකිය. රාජ්‍ය සේවයට පුද්ගලයන් බඳවා ගැනීමේදී ඔවුන්ට සුදුසු අනුපාතිකයක් ලබාදෙමින් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කෙරෙන තත්ත්වයක් ඇති කළ හැකිය. වඩාත්ම වැදගත් දේ පවතින යුද වටපිටාව තුළ අහිංසකයන් පීඩාවට ලක් නොවන තත්ත්වයක් සහතික කිරීම සඳහා අවශ්‍ය යාන්ත්‍රණයක් ගොඩනැගීමය.
රට මුහුණ දී තිබෙන අර්බුදය පිරිසිදු අර්ථයෙන් ජනවාර්ගික අර්බුදයක් ලෙස අර්ථ දැක්විය නොහැකිය. ජනවාර්ගික අර්බුදය පවතින සමස්ත අර්බුදයේ පුපුරනසුළු පැතිකඩක් පමණය. සංවාදයක් ඇත්තේම නැතත්, මෙම අර්බුදය තුළ කුල අර්බුදයක් ද පවතී. ජවිපෙ ආයුධ අතට ගෙන නැගී සිටියේ ඔවුන් සුළු ජාතිකයන් වූ නිසා නොවේ. මේ සියල්ලට අතිරේකව මේ අර්බුදය තුළ දේශපාලන කළමනාකරණ අර්බුදයක් ද පවතී. ඒ අර්බුදය පවතින දේශපාලන ක්රමයේ ඵලයක් ලෙස සැලකිය හැකිය.