අධිකරණය හා ව්‍යවස්ථාව

October 29, 2026
Publication:
Two citizens have petitioned the Supreme Court to declare that the failure to appoint the Constitutional Council violates their fundamental rights, and the chief justice has said in open court that nobody can be above the law — naming the president as a respondent. Ivan welcomes the change and says its suddenness is unexplained, because the 17th Amendment has been violated for years and the court knew it.

17 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටුවිය යුතු ව්‍යවස්ථා සභාවට සාමාජිකයන් පත් නොකිරීමෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමනසිරි ලියනගේ හා ආසියානු සාම කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රවි ජයවර්ධන විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ. මෙම පෙත්සම පිළිබඳව කරුණු සලකා බැලෙන අවස්ථාවේදී ජනාධිපතිවරයා පෙත්සමේ පළමුවන වගඋත්තරකරුවා ලෙස නම් කර තිබීම ගැන නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා විරෝධය පළ කළ අවස්ථාවේදී අගවිනිසුරුවරයා කිසිවකුට නීතියට ඉහළින් සිටිය නොහැකි බව ප්‍රකාශ කරමින් හා සියලු වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙස නියම කරමින් පෙත්සම සැප්තැම්බර් 22 වැනිදා විභාගයට ගැනීමට නියම කළ බව පුවත්පත් වාර්තා කර තිබුණි.

තරාතිරම කුමක් වුවත්, කිසිම පුද්ගලයෙකුට නීතියට ඉහළින් සිටින්නට ඉඩ නොදෙන තත්ත්වයක් ශ්‍රේෂ්ඨාධිකරණය සහතික කරන්නේ නම්, එය යහපත් තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නැත. නීතියේ පාලනයක් සඳහා සියලු දෙනා නීතියට යටත් තත්ත්වයක තබා ගැනීම අවශ්‍ය වුවත්, රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කර ඇත්තේ ජනාධිපතිවරයා පමණක් නීතියට ඉහළින් තැබෙන ආකාරයටය. මැතිවරණ පෙත්සම්වලදී හැර ජනාධිපති වගඋත්තරකරුවකු කරමින් පවරන කිසිම නඩුවකට මීට පෙර ඉඩදී නැත. ශ්‍රේෂ්ඨාධිකරණයේ නව ප්‍රවේශය ඉතා යහපත් වුවත්, එම ප්‍රවේශය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අතර පරස්පරයක් පවතී.

අනෙක් අතට මෙම පෙත්සම්කරුවන් ව්‍යවස්ථා සභාව පත් නොකිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගිය පළමුවැන්නන් ලෙස සැලකිය නොහැක. ඒ අරමුණ වෙනුවෙන් මීට පෙර පෙත්සම්කරුවන් ගණනාවක්ම අධිකරණය ඉදිරියට ගියමුත් ඒ සියලුදෙනාට ආපසු එන්නට වූයේ හිස් අතිනි. මැතිවරණ කොමසාරිස්වරයා සම්බන්ධයෙන් පවා අනුගමනය කෙරුණ ප්‍රතිපත්තිය එය විය. මේ ප්‍රශ්නයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය එතෙක් අනුගමනය කළ ප්‍රතිපත්තියේ ඇතිවී තිබෙන හදිසි වෙනස රටට යහපත් වුවත්, ඇතිවී තිබෙන එම හදිසි වෙනසට බලපා තිබෙන හේතු නොපැහැදිලි ය.

17 වැනි ව්‍යවස්ථා සංශෝධනය උල්ලංඝනය කිරීම අද ඊයේ සිදුවූවක් නොවේ. එම ව්‍යවස්ථා සංශෝධනය නීතිගත කළ වහාම ව්‍යවස්ථා සභාව නිර්දේශ කළ සාමාජිකයන් මැතිවරණ කොමිෂන් සභාවට පත් නොකිරීමෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ව්‍යවස්ථාව උල්ලංඝනය කළාය. එහෙත් එහිදී එම ව්‍යවස්ථා උල්ලංඝනයට එරෙහිව යුක්තිය ඉටු කරවා ගැනීම සඳහා අධිකරණය ඉදිරියට ගිය කිසිවකුට යුක්තිය ඉටුකර ගැනීමට ඉඩ ලැබුණේ නැත. ඉන්පසුව ඇතිවූ උල්ලංඝනයන්හිද දැනුවත් පුරවැසියන් විටින් විට අධිකරණය ඉදිරියට ගිය ද ඒ සියලු දෙනාට ද ආපසු යන්නට වූයේ හිස් අතිනි. එසේ අධිකරණය ඉදිරියට පැමිණි දැනුවත් පුරවැසියන් අධිකරණය විසින් දෝෂ දර්ශනයට ලක් කෙරුණු අවස්ථා ද තිබුණි.

ප්‍රමාද වී හෝ ඒ ප්‍රවේශයේ දැන් ඇතිවී තිබෙන වෙනස යහපත්ය. එහෙත් එය විධායකය හා අධිකරණය අතර ගැටුමක් ඇති කිරීමට හේතුවිය හැකිය. ව්‍යවස්ථාව අනුව නම් ජනාධිපතිට එරෙහිව නඩු පැවරිය නොහැකිය. ව්‍යවස්ථාව සකස් කර ඇත්තේ විධායක ජනාධිපතිට පරම බලය ලැබෙන ආකාරයටය. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් වඩා ජනාධිපති බලවත් ය. එය නොමනා තත්ත්වයක් වුවත්, ඒ තත්ත්වය අධිකරණයට තිබෙන අර්ථනිරූපණ බලයෙන් පමණක් වෙනස් කළ හැකි ද යන්න ප්‍රශ්නයකි.