ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන වාර්ගික අර්බුදය තුළ සන්සුන්ව හා තර්කානුකූලව කරුණු සලකා බැලීමේ හැකියාව සිංහල සමාජය සේ ම දෙමළ සමාජය ද අහිමි කරගෙන තිබෙන බවක් පෙනී යයි.
රටේ පවතින යුද්ධ වාතාවරණය තුළ කොළඹ නගරයේ ජීවත් වන දෙමළ ජනතාවට ඉතාමත් පීඩාකාරී වටාපිටාවක් තුළ ජීවත් වන්නට සිදුවී තිබේ. ආරක්ෂක හමුදා ඔවුන් දෙස බලන්නේ සැකයෙනි. සැකයට හේතුවන අය අත්අඩංගුවට ගැනේ. සැකයට හේතුවී අත්අඩංගුවට ගන්නා අය අතර අහිංසකයන් ද සිටිනවා විය හැකිය.
මෙම පීඩාකාරී තත්ත්වය කොළඹ වෙසෙන දෙමළ ජනතාවට පෙනෙන්නේ තමන් දෙමළ වීම නිසා පමණක් මුහුණ දෙන්නට සිදුවී තිබෙන විශේෂ තත්ත්වයක් ලෙසය. ජවිපෙ දෙවැනි කැරැල්ලේදී සිංහල මිනිසුන්ට ද මේ හා සමාන තත්ත්වයක් බලපෑ බව ඔවුහු අමතක කරති.
පසුගිය 23 වැනිදා කළු ජූලියේ 25 වැනි සංවත්සරය සැමරීම සඳහා කොළඹ පැවති සම්මන්ත්‍රණයකදී ප්‍රධාන කතාවලින් පසුව සභාව අමතා කතා කළ දෙමළ ජාතිකයකු අපූරු විවරණයක් කළේය. වේදිකාවේ අසුන් ගෙන සිටි මා වෙත ඇඟිල්ල දිගු කරමින්, වික්ටර් අයිවන් එක්තරා කාලයක කැරලිකාර තරුණයෙකු බව අප සියලු දෙනා දන්නා බවත්, ඔහුට කැරැල්ලෙන් පසු පුනරුත්ථාපනය වී තවදුරටත් ජීවත්වීමේ අයිතිය ලැබුණු බවත් ප්‍රකාශ කරමින්, ඒ අයිතිය දෙමළ තරුණයන්ටත් ලැබිය යුතු නේදැයි ඔහු ප්‍රශ්න කළේය. ඔහු කතා කළේ වේදනාවෙනි. එහෙත් වර්තමානයේ රටේ පවතින තත්ත්වය විග්රහ කිරීම සඳහා ඔහු තෝරාගත් නිදර්ශනය වැරදිය. ඒ නිසා ඒ ගැන කෙටි කරුණු පැහැදිලි කිරීමක් කිරීමට මට සිදුවිය.
දකුණේ සිංහල තරුණ කැරලි එකක් නොව දෙකක් ඇතිවූ බව පීඩාකාරී වාතාවරණය නිසා ඔහුට අමතක වී තිබුණි. මා නියෝජනය කළේ 1971 දී ඇතිවූ පළමු කැරැල්ල මිස 1987 දී ඇතිවූ දෙවැනි කැරැල්ල නොවේ.
1971 කැරැල්ල මාසයකට අඩු කාලයක් තුළ මුළුමණින් පරාජය කිරීමට ආණ්ඩුව සමත් විය. කැරැල්ලේ පරාජයත් සමග නැවත සාමකාමී වටපිටාවක් රටේ ඇතිවිය. එම කැරැල්ලේදී මුදා හැරුණු ප්රචණ්ඩත්වයේ පරිමාව විශාල නොවීම නිසාම කැරැල්ල පරාජය කිරීම සඳහා යොදා ගැනෙන ප්රචණ්ඩත්වයේ පරිමාව ද විශාල නොවීය. ඒ අවස්ථාවේදී අත්අඩංගුවට ගනු ලැබූ අය මරා දමනු ලැබුවේ ඉතාමත් කලාතුරකින් අවස්ථාවකදී පමණය. විජේවීර ඇතුළු කැරැල්ලේ නායකයන් බහුතර පිරිසකට ජීවත්වීමේ වාසනාව ලැබුණි.
මෙය සිංහල අප සම්බන්ධයෙන් පමණක් අනුගමනය කළ ප්‍රතිපත්තියක් නොවීය. මැගසින් බන්ධනාගාරයේ රඳවා තබාගෙන සිටියදී උතුරේ දෙමළ තරුණයන් කිහිපදෙනෙකු ද අප සමග රඳවා තබාගෙන සිටියේය. හයදෙනෙකු පමණ වූ එම කණ්ඩායමට දෙමළ අරගලයේ කවියා ලෙස සැලකුණු කාසිආනන්දන් ද, දෙමළ ශිෂ්‍ය ලීගයේ නිර්මාතෘවරයා වූ පොන්නදුරේ සත්‍යශීලන් ද අයත් වූහ. ඔවුහු සියලුදෙනා ඒ වන විට ගොඩ නැගී තිබුණු දෙමළ තරුණ සන්නද්ධ ව්‍යාපාරයේ උද්යෝගීමත් සාමාජිකයෝ වූහ. ඒ සියලු දෙනාට ද අපට මෙන්ම ජීවත්වීමේ අයිතිය හිමිවී තිබුණි.
එහෙත් ජවිපෙ දෙවැනි කැරැල්ලට නායකත්වය දුන් හා ඊට ක්‍රියාකාරී ලෙස සම්බන්ධ වූ පිරිසකට කැරැල්ලෙන් පසු ජීවත්වීමේ වාසනාව ලැබුණේ නැත. එම කැරැල්ලේදී ජවිපෙ මුදාහළ ප්රචණ්ඩත්වයේ පරිමාව ඉතාමත් විශාල වීම නිසාම ප්‍රති ප්රචණ්ඩත්වයේ පරිමාව ද ඉතා විශාල විය. එය සතුරන් ලෙස පෙනෙන සියලු දෙනා මරා දමා රටේ බලය අල්ලා ගැනීමට දරන ලද සාහසික උත්සාහයක් විය. ජවිපෙ එහිදී කරළියට ගෙනා සටන් පිළිවෙත මුලදී ආණ්ඩුව හා ආරක්ෂක හමුදා අන්දමන්ද කිරීමට හේතුවී තිබුණ ද, ජවිපෙ අනුගමනය කරන සටන් පිළිවෙතට සමාන සටන් පිළිවෙතක් ඔවුන්ට එරෙහිව යොදාගැනීම මගින් ජවිපෙ මර්දනය කළ හැකි බව ආණ්ඩුව හා ආරක්ෂක හමුදා තේරුම් ගත්තේය. ඉන්පසු දෙපක්ෂයම එකිනෙකාට එරෙහිව කුරිරු සටන් පිළිවෙතක් අනුගමනය කරන තත්ත්වයක් තුළ විප්ලවය හා මර්දනය තරගකාරී ලෙස මිනිසුන් මරා දමන ක්‍රියාමාර්ගයක් බවට පත්වූවේය. සටන කෙළවර වන විට පරාජිත පක්ෂය අතර ජීවත්වීමේ වාසනාව හිමි කරගෙන තිබුණේ ඉතාමත් සුළු පිරිසක් පමණය.
ආණ්ඩුවේ ආරක්ෂක හමුදා හා කොටි සංවිධානය අතර කෙරෙන යුද්ධය ගමන් ගනිමින් තිබෙන්නේ ද එදා දෙවැනි කැරැල්ලේදී ජවිපෙ හා ආරක්ෂක හමුදා අතර කෙරුණු අවසන් සටනට සමාන ආකාරයකටය. ආරක්ෂක හමුදා සටන් කරන්නේ අනුකම්පා විරහිතවය. අනෙක් අතට කොටි සංවිධානය සටන් කරන්නේ ද අනුකම්පා විරහිතවය. දෙවැනි කැරැල්ලේදී හැම සිංහල තරුණයෙක්ම ආරක්ෂක හමුදාවල සැකයට හේතුවිය. ඒ නිසා සිංහල තරුණයන් වන සියලුදෙනාට ජීවත්වන්නට සිදුවූයේ බියෙනි. එහෙත් ඒ බිහිසුණු යුගයේදී සිංහල නොවන තරුණයෝ ආරක්ෂක හමුදාවල සැකයට හේතු නොවූහ. අද ඒ තත්ත්වය දෙමළ තරුණයන්ගේ අවාසියට හේතුවන ලෙස වෙනස් වී තිබේ.
අත්අඩංගුවට ගන්නා තරුණ තරුණියන්ට නැවත පුනරුත්ථාපනය වී යහපත් අලුත් ජීවිතයක් ගත කිරීමේ අයිතිය අහිමි වී ඇත්තේ ආරක්ෂක හමුදා නිසා පමණක්ද? නැතිනම් අත්අඩංගුවට පත්වන්නට පෙර සයනයිඩ් කා දිවි නසාගත යුතු බවට කොටි සංවිධානය පනවා තිබෙන නියමය බලපා ඇත්ද?
සිංහල අපට කෙළවරක් නැති තරමට තර්ක කළ හැකිය. එහෙත් මේ මොහොතේ එම තර්කවලින් ඔවුන්ගේ ආත්මවල ඇති තුවාල තවදුරටත් පෑරෙනවා මිස ඒ තුවාල සුවවන්නේ නැත. යුද්ධය අපට නතර කළ නොහැකිය. යුද්ධය නතර කළ ද එල්ටීටීඊය සිය ගමන්මග වෙනස් කරන බවට කිසිවකුට සහතික විය නොහැකිය. හොඳට හෝ නරකට දැන් දෙමළ ජනතාව නියෝජනය කිරීමට ඉතිරි වී තිබෙන එකම සංවිධානය වී තිබෙන්නේ එල්ටීටීඊය පමණය. තිබුණු අනිකුත් සියලු සංවිධාන එල්ටීටීඊය විසින් විනාශ කොට තිබෙන අතර, එම විනාශකාරී ව්‍යාපාරය සිය ගැලවුම්කරුවා ලෙස තෝරා ගැනීමට දෙමළ ජනතාවට සිදුවී තිබේ. එහෙත් එල්ටීටීඊයට තව තවත් දෙමළ ජනතාව විනාශ මුඛයට ගෙනයනවා හැර ඔවුනට ගැලවීම ලබාදීමේ හැකියාවක් ඇති බවක් පෙනෙන්නට නැත. මොනම ජනතාවක් හෝ සිය අයිතිවාසිකම් දිනාගැනීම සඳහා ප්රචණ්ඩ මාවත තෝරා ගත් විට එම ප්රචණ්ඩ මාවත අත්හැරීමට බැරි තරමට ප්‍රචණ්ඩත්වයට යොමුවූ විට එම ජනතාවගේ ඉරණම ඛේදජනක වනු නොවැළැක්විය හැකිය.
දැන් තිබෙන තත්ත්වය තුළ එල්ටීටීඊය තිබෙන තෙක් ඊට විකල්ප ව්‍යාපාරයක් දෙමළ ජනතාව අතරින් බිහිවීමේ හැකියාවක් නැත. ඒ සඳහා පුරෝගාමී ශක්තියක් ඇති අය ජීවතුන් අතර නොසිටිනවා ද විය හැකිය. ඒ අය අතරින් වැඩි පිරිසක් මරණයට පත්වන්නට ඇත්තේ ද ආණ්ඩුවේ ආරක්ෂක හමුදාවන් අතින්ටත් වඩා එල්ටීටීඊය අතින් විය හැකිය. දෙමළ ජනතාවගේ පරම බලය සියතට ගැනීම පිණිස ප්රභාකරන් තමන්ට අවනත නොවන දෙමළ නායකයන් හැම කෙනෙකුම අනුකම්පා විරහිතව මරා දැම්මේය. ප්රභාකරන්ගේ එම ක්‍රියාවලිය එදා දුරදැක්මක් ඇති සමහර දෙමළ බුද්ධිමතුන්ගේ බලවත් කම්පනයට හේතුවී තිබුණ ද, ඒ තත්ත්වය වැළක්වීමේ හැකියාවක් ඔවුන්ට නොතිබුණි. අනෙක් අතට ප්රභාකරන්ට එරෙහිව යුද්ධ කරන ආණ්ඩුවකට ප්රභාකරන්ට එරෙහිව විකල්ප නායකයකු ගොඩනැගීමේ හැකියාවක් ද තිබිය නොහැකිය. එසේ ආණ්ඩුව විසින් ගොඩනගන විකල්ප නායකයකු දෙමළ ජනතාව තමන්ගේ නායකයකු ලෙස තෝරාගනු ඇතැයි”ද සිතිය නොහැකිය. දෙමළ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව සංවේදීව ක්‍රියා කරන හා ජාතිවාදී නොවන ආණ්ඩුවකට පවා ප්රභාකරන් සමග සාකච්ඡා මගින් සාධාරණ විසඳුමක් ඇති කරගැනීමේ ඇත්ත හැකියාවක් නොපවතී. ඒ තත්ත්වය ඉදිරියේදී පවා වෙනස්විය හැකි යැයි සිතිය නොහැකිය. අනෙක් අතට ආයුධ අත ඇතිව සිටින ප්රභාකරන්ට තිබෙන ආධිපත්‍යයේ තරම අනුව ප්රභාකරන් නොසලකා දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට දේශපාලන විසඳුමක් ලබාදීමේ හැකියාවක් ද නොපවතී.
දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විකල්ප විසඳුමක් දෙන අතර ප්රභාකරන්ට එරෙහිව යුද්ධ කළ යුතුයි කියන මතයේ ගාම්භීර බවක් ඇතත්, ප්රභාකරන්ට එරෙහිව යුද්ධයක යෙදී සිටින අතර, දෙමළ ජනතාවට ඉදිරිපත් කරන විකල්ප විසඳුමක් දෙමළ ජනතාවගේ ආකර්ශනයට හේතුවනු ඇතැයි සිතිය නොහැකිය. දෙමළ ජනතාවට මේ මොහොතේ වැදගත් වනුයේ අනාගතයේ දෙන විසඳුමකට වඩා මේ මොහොතේ සිදුවන යුද්ධය විසින් ඔවුන් මත පටවා ඇති පීඩනයයි. ප්රභාකරන් පුනරුත්ථාපනය කොට, ඔහු ත්‍රස්තවාදී මාවතෙන් ඉවත් කරගැනීමේ හැකියාවක් දෙමළ ජනතාවට නැත. අනෙක් අතට ප්රතිප්රචණ්ඩත්වයකින් ඔහු පරාජය කරන වැඩපිළිවෙලක ක්‍රියාකාරී කොටස්කරුවන් වීමේ හැකියාව ද දෙමළ ජනතාවට නැත. ප්රභාකරන්ට හා කොටි සංවිධානයට එරෙහිව කරන යුද්ධයේ අරමුණ කුමක් විය හැකි වුවත්, ඒ යුද්ධය දිග් නොගැසී ප්රභාකරන් පරාජයට පත්වන්නේ නම් එය රටේ ජනතාවගේ සේ ම දෙමළ ජනතාවගේ ද යහපතට හේතුවනු ඇත්තේය.