සිනාසෙමු ද, නැතිනම් හඬමු ද?

October 29, 2026
Publication:
America's Millennium Challenge fund has cut next year's aid, citing political and economic freedom, investment in education and health, civil rights and the rule of law; Congress has cut military aid over human rights. Geneva's answer on the national human rights commission was that it is unconstitutionally appointed and not impartial. No government fighting a war can protect rights perfectly, Ivan writes — that is as true of the West — but we answer by calling every international body a conspirator.

ඇමරිකා එක්සත් ජනපදයේ මිලේනියම් අරමුදල යටතේ ඉදිරි වර්ෂය සඳහා ශ්‍රී ලංකාවට ආධාර ලබාදීම කපා හැරීමට එම අරමුදල තීරණය කර තිබේ. දේශපාලන හා ආර්ථික නිදහස, අධ්‍යාපනය හා සෞඛ්‍යය සේවා සඳහා ආයෝජනය, සිවිල් අයිතිවාසිකම් හා නීතියේ පාලනය යන අංශ කෙරෙහි උනන්දුවෙන් ක්‍රියා නො කිරීම යන හේතු මෙම තීරණය කෙරෙහි බලපෑ බව ද ප්‍රකාශ කර තිබේ.

මේ අතර, මානව හිමිකම්වලට ගරු නො කිරීමේ ප්‍රශ්නය පදනම් කොටගෙන ශ්‍රී ලංකාවට ලබාදෙන මිලිටරි ආධාර කපා හැරීමට ඇමරිකන් සෙනෙට් මණ්ඩලය හා පාර්ලිමේන්තුව ගෙන තිබෙන තීරණය අනුව ඉදිරි දිනවල ශ්‍රී ලංකාවට දෙනු ලබන මිලිටරි ආධාර කපාහැරීමේ අනතුරක් ද පවතී. මේ සඳහා සකස් කර තිබෙන පනත සෙනෙට් මණ්ඩලයේ හා පාර්ලිමේන්තුවේ අනුමත වී ජනාධිපති ධුරය ද ඊට අවසාන වශයෙන් අනුමැතිය දුන හොත් ඇමරිකාවෙන් ලැබෙන සියලු මිලිටරි ආධාර අහිමි වන තත්ත්වයක් ඇතිවීම නො වැළැක්විය හැකි ය. එය යුද්ධය කෙරෙහි තීරණාත්මක බලපෑමක් එල්ල කරන සාධකයක් ලෙස ක්‍රියා කරනු ද නො වැළැක්විය හැකි ය. ගුවන් හමුදාවට හරි ඉලක්කවලට පහරදීමේ හැකියාව ලැබී ඇත්තේ ත්‍රස්ත විරෝධී නිරීක්ෂක වැඩපිළිවෙළ යටතේ ලැබෙන තොරතුරු නිසා ය. එල්ටීටීඊයේ නැව් විශාල ගණනක් විනාශ කළ හැකිවූයේ ද ඒ නිසා ය.

තුන්වැනි නරක පුවත අසන්නට ලැබෙන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙනි. මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ශක්තිය නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ කාර්යාලයක් පිහිටුවීමට ආණ්ඩුවේ අනුමැතිය ඉල්ලා සිටියේ ය. එය ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට අදාළ ප්‍රශ්නයක් ලෙස සලකා ආණ්ඩුව ඊට එකඟවීම ප්‍රතික්ෂේප කළේය. ශ්‍රී ලංකාවට තමන්ගේ ම වන මානව හිමිකම් කොමිසමක් ඇති බැවින් ජිනීවාහි මානව හිමිකම් කොමිසමේ නිරීක්ෂණ කාර්යාලයක් අවශ්‍ය නො වන බව කියා සිටියේ ය. ඒ ගැන ජිනීවාහි මානව හිමිකම් කොමිසම දක්වන ලද ප්‍රතිචාරය වූයේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම පිහිටා ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව නිසාත් මානව හිමිකම් කොමිසමේ ක්‍රියාකාරීත්වය සමබර හෝ දේශපාලන වශයෙන් අපක්ෂපාත නොවන නිසාත්, එය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නොවන බවය. එම විවාදයේ අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ ජාතික මට්ටමේ මානව හිමිකම් සඳහා ගොඩනගා ඇති අන්තර්ජාතික මානව හිමිකම් නිගමන කමිටුවේ සාමාජිකත්වයෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම ඉවත් කොට එය කමිටුවේ නිරීක්ෂණ සාමාජිකයකුගේ තත්ත්වයට පහත හෙළීමය.

ජාත්‍යන්තර තලයේ ඇතිවෙමින් තිබෙන මෙම නැඹුරුව රටේ ජාතික යහපතට හේතුවන්නේ නැත. එය බටහිර ලෝකය ශ්‍රී ලංකාවට එරෙහි ව ක්‍රියාවට නගා ඇති කුමන්ත්‍රණයක් ලෙස විග්‍රහ කොට බාහිර රටවලට හා එක්සත් ජාතීන්ගේ සංවිධානයට එරෙහි ව මහා ඝෝෂාවක් කළ හැකි වුවත්, එවැනි පුහු ඝෝෂා මෙම ප්‍රශ්නයට පිළිතුරක් නො වන බව අවධාරණයෙන් කිව යුතු ය.

යුද්ධයක් පවතින රටක කවර ආණ්ඩුවකටවත් පරිපූර්ණ වශයෙන් මානව හිමිකම් ආරක්ෂා කිරීමේ හැකියාවක් නැත. එම ධර්මතාව අපට පමණක් නො ව, බටහිර ලෝකයට ද අදාළ ය. එහෙත් ඒ ආශ්‍රයෙන් ජාත්‍යන්තර තලයේ සිදුවන ප්‍රශ්න කිරීම්වල දී අප ඉවසීමෙන් කරුණු පහදා දෙන තැනකට යනවා වෙනුවට සියලු ජාත්‍යන්තර ආයතන කුමන්ත්‍රණකරුවන් ලෙස සලකා පහර දෙන තැනකට යා යුතු නැත. එහෙත් අවාසනාවකට දැන් රට වැටී ඇත්තේ එවැනි තැනකට ය. ඒ මගින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාව වෙතින් වෙන් වූ හා කොන් වූ රටක් බවට පත්වෙමින් සිටී.

මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වන්නට ඉඩ නොදීම ආණ්ඩුවේ වගකීමකි. ජාත්‍යන්තර වශයෙන් එල්ල වන විවේචනයන්ට ප්‍රතිචාර දක්වන ආකාරය කොතරම් නිවැරදි ද යන්න රට නැවත සලකා බැලිය යුතු ය. මෙම වැරදි තත්ත්වය මහා නිවැරදි කරගත යුතුව තිබේ. •