අයවැය හා අයවැයෙන් පසු

October 29, 2026
Publication:
The president survived the second reading, but what saved the government was the JVP's abstention, and the JVP's cleverness and honesty were about itself and not about the country. Ivan then measures the three opposition leaders in turn, and ends on the prediction that once every other leader has evaporated politically, the president will evaporate too, because the public's disgust is now growing faster than it ever has.

යවැය දෙවැනි වර කියවීමේදී තමන් පරාජය කිරීමට බලවත් උත්සාහයක යෙදුණු විරුද්ධ පක්ෂ බලවේගය අභිබවා ජයගැනීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමත් විය. එහෙත් අවසානයේ ආණ්ඩුවේ රැකුණේ ජවිපෙ පිළිවෙත නිසාය.

ජවිපෙ රටට කියන්නට හදන්නේ තම පක්ෂය ඉතා බුද්ධිමත්ව හා අවංකව ක්‍රියාකළ බවය. ඒ සමග එජාප හා ආණ්ඩුව ජාතික ශරීරයේ ලේ උරා බොන කිණිතුල්ලන් දෙදෙනෙකුට සමාන කිරීමට ද අමතක නොකළේය.

ජනතා විමුක්ති පෙරමුණ

ජවිපෙ බුද්ධිමත් වූයේ හා අවංක වූයේ තමා ගැන මිස රට ගැන නොවේ. ජවිපෙට අවශ්‍ය වූයේ තම පක්ෂය ආරක්ෂා කරන්නට මිස, රට ආරක්ෂා කරන්නට නොවේ. ජවිපෙ ආණ්ඩුවට එරෙහිව ඡන්දය පාවිච්චි කළේ නම්, ආණ්ඩුව බිඳ වැටී නැවත මැතිවරණයකට යායුතු තත්ත්වයක් නිර්මාණය වන්නට ඉඩ තිබුණේය. එසේ වී නම් ලොකුම හානිය වන්නට ඉඩ තිබුණේ ජවිපෙටය. චන්ද්‍රිකා පාලන යුගයේදී ශ්‍රීලනිප සමග මැතිවරණ සන්ධානයක් ඇති කරගනිමින් ලබාගත් කෘත්‍රිම බලය වාෂ්ප වී දැන් තිබෙන ආසන 38 ආසන 15ක් හෝ 16ක් දක්වා පහළ වැටෙන්නට ඉඩ තිබුණි. කවර මිලක් ගෙවා හෝ එවැනි තත්ත්වයක් ඇතිවීම වළකා ගැනීම ජවිපෙට අවශ්‍ය වූ අතර, ඒ සඳහා ගත හැකි හොඳම ක්‍රියාමාර්ගය ජවිපෙ අනුගමනය කළ ක්‍රියාමාර්ගය විය. ජවිපෙ කියන ආකාරයටම මෙය ආණ්ඩුවේ ජයග්‍රහණයක් ලෙස සැලකිය නොහැකිය. ආණ්ඩුව පරාජය වීම වැළකුණේ ජවිපෙ ඔවුන්ගේම ආරක්ෂාව සඳහා අනුගමනය කළ ප්‍රතිපත්තිය නිසාය. දැන් ආණ්ඩුවේ පැවැත්ම රැඳී ඇත්තේ ජවිපෙ මතය. තමන්ගේ ද විනාශයට හේතු වන ආකාරයට ආණ්ඩුව පරාජය කිරීමේ වුවමනාවක් ජවිපෙට නැතත්, පාර්ලිමේන්තුවේ පවතින සංයුතිය තුළ ආත්ම විශ්වාසයකින් යුතුව ඉදිරියට යා හැකි තත්ත්වයක් ආණ්ඩුවට නැත. විරුද්ධ පක්ෂයට පනින්නට බලාගෙන සිටින දේශපාලන රිලවුන් පිරිසක් ආණ්ඩුව තුළ සිටි බව හා ඔවුන් නොපැන්නේ ආණ්ඩුවට ආදරය නිසා නොව, ජවිපෙ අනුගමනය කරන්නට නියමිත ප්‍රතිපත්තිය නිසා එවැනි පැනීමකින් වැඩක් නොවන බව දැන සිටීම නිසා බව ද ආණ්ඩුව දන්නේය.

ආණ්ඩුව පරාජය කිරීමට අවශ්‍ය වූයේ කාට ද?

එජාපයේ නායක රනිල් වික්‍රමසිංහට හෝ “ම” පාර්ශ්වයේ නායක මංගල පාර්ශ්වයට ජවිපෙ ප්‍රහේළිකාව හරිහැටි අවබෝධ කරගැනීමට හැකි නොවීය. ජවිපෙ අයවැය පළමුවර කියවීමේදී ආණ්ඩුවට එරෙහිව ඡන්දය පාවිච්චි කළ නිසා දෙවැනි වර කියවීමේදී එම ප්‍රතිපත්තියෙන් බැහැරව ක්‍රියාකිරීමේ ඉඩක් නැති බව සලකා දෙවැනි වර කියවීමේදී ආණ්ඩුව පෙරළීමේ වැඩපිළිවෙළ ජයගැනීම සඳහා උපරිම ශක්තිය යොදා ඔවුහු ක්‍රියා කළහ. ජවිපෙ හා මංගල සමරවීර අතර අතීතයේ පැවති කිට්ටු සම්බන්ධතාව නිසා ම ජවිපෙ පිළිබඳව මංගල කියන කතා කෙරෙහි රනිල් වික්‍රමසිංහ උපරිම විශ්වාසයක් තබා ක්‍රියා කළ බව ද පෙනේ.

තමන්ට එරෙහිව අනුකම්පා විරහිත යුද්ධයක යෙදී සිටින මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මේ මොහොතේ පරාජය වනවා දකින්නට ප්‍රභාකරන්ගේ කැමැත්තක් තිබුණා විය හැකි වුවත්, ආණ්ඩුව පරාජය කිරීමට එජාප දියත් කළ වැඩපිළිවෙළ ප්‍රභාකරන්ගේ වුවමනාව මත ප්‍රභාකරන්ගෙන් ලබා ගන්නා මුදල් මත පිහිටා දියත් කරන ලද ව්‍යාපාරයක් බවට ආණ්ඩුව ගෙන ගිය ප්‍රචාරයේ කිසිම ඇත්තක් නොපවතී. ආණ්ඩුව පෙරළා දැමීමේ කුමන්ත්‍රණයට විදේශීය බලවේගයක සම්බන්ධයක් ඇති බවට කෙරුණු කථා ද විකාරයකි.

ඉක්මන් ආණ්ඩු පෙරළියක් අවශ්‍ය වී තිබුණේ රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර හා චන්ද්‍රිකා කුමාරතුංග යන ත්‍රිත්වයටය. රනිල් වික්‍රමසිංහගේ පක්ෂයෙන් තේරී පත්වූ මන්ත්‍රී කණ්ඩායමෙන් වැඩි පිරිසක් දැන් ඉන්නේ ආණ්ඩු පක්ෂයේය. මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වන්නට පෙර බලයට පත්වන්නට රනිල් වික්‍රමසිංහ අපේක්ෂා කරයි. ආණ්ඩු බලය නැතිව ජීවත් වන්නට මංගල සමරවීර පුරුදු නැත. තමන්ගේ මන්ත්‍රීකම අහිමිවන්නට පෙර ආණ්ඩුව පෙරළීම මංගලගේ අපේක්ෂාව වී තිබේ. තමන් හිරේ දමන්නට පෙර ආණ්ඩුව පෙරළා දැමීම චන්ද්‍රිකාගේ අපේක්ෂාව වී තිබේ.

එහෙත් දඩිබිඩියේ කෙරෙන ආණ්ඩු පෙරළියක් සඳහා වන කෑදරකමක් හැරුණු විට රටේ පවතින දේශපාලන තත්ත්වයක් පිළිබඳව යථා අවබෝධයක් හෝ හරි තක්සේරුවක් මෙම දේශපාලන ත්‍රිත්වයටම ඇති බවක් පෙනෙන්නේ නැත.

රනිල්

රනිල් වික්‍රමසිංහ පොත්පත් කියවා ඇති නායකයෙකු විය හැකි වුවත්, දක්ෂ දේශපාලන නායකයෙකු ලෙස සැලකිය නොහැකිය. තමාගේ පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගෙන් වැඩි පිරිසක් පක්ෂය තුළ රඳවා ගැනීමට අසමත් වූ නායකයකු දක්ෂ නායකයකු ලෙස සැලකිය නොහැකිය. ආණ්ඩුවට එකතු වී සිටින එම පිරිසේ දේශපාලන අනාගතය දීප්තිමත් නොවිය හැකි වුවත්, රනිල් වික්‍රමසිංහ අහිමි කරගත් ඒ පිරිස එජාපයේ සිටි හොඳම සාරය ලෙස සැලකිය හැකිය. පක්ෂය අතහැර ගිය ඒ අය වෙනුවට එම තැන ගැනීමට අලුත් පිරිස සිටිය හැකි වුවත්, දෙපිරිසේ තත්ත්වය එක සමාන නැත. ආණ්ඩුවට එකතු වූ පිරිස් ආත්මාර්ථකාමීන් පිරිසක් ලෙසට චෝදනා කළ හැකි වුවත්, සිය නායකයා කෙරෙහි පැවති අතෘප්තිය ද ඔවුන්ගේ පලා යාම කෙරෙහි තීරණාත්මක ලෙස බලපෑවේ ය. මෙම ගති ලක්ෂණ වෙනස් කරගැනීමේ හැකියාවක් රනිල් වික්‍රමසිංහට නැත. ඒ නිසා අනාගතයේ හෝ එම පක්ෂයට ශක්තිමත් නායකත්වයක් ලබාදීමට රනිල් වික්‍රමසිංහ සමත් වේ ද යන්න සැකසහිතය.

මංගල සමරවීර මෙම ත්‍රිත්වය තුළ සිටින දක්ෂයෙකි. එහෙත් ඔහුගේ දක්ෂතාවලට ද බරපතළ සීමාසහිතකම් පවතී. ඔහු දක්ෂයකු වන්නේ රාජ්‍ය බලය ඇති විට මිස, නැති විට නොවේ. රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු ආණ්ඩුව අස්ථාවර කොට පරාජය කිරීමේ සැලැස්ම ඔහුගේය. එහෙත් එහිදී ඔහුට එම වැඩපිළිවෙළ සාර්ථක ලෙස ඉදිරියට ගෙන යා හැකි වූයේ ඔහුට ආධාර කරන්නට විධායක බලය ඇති ජනාධිපතිවරයෙකු ද, සංවිධානාත්මක බලයක් ඇති ජවිපෙ වැනි සංවිධානයක් ද සිටි නිසා පමණක් නොව, ඔහු අභියෝග කළ නායකයා දක්ෂ නායකයෙකු නොවීම නිසාය. එහෙත් දැන් මංගලට වන්දි ගෙවන්නට සිදුවී තිබෙන්නේ ද මංගල සමරවීර විසින් ම කූට ලෙස නිර්මාණය කරන ලද තත්ත්වය වෙනුවෙනි. ජවිපෙට කූට බලයක් ලබා දුන්නේ මංගලය. රටේ දේශපාලන ගමන් මග අන්ත ජාතිවාදී තැනකට තල්ලු කළේ ද මංගලය. රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ප්‍රතිරූපය නැවත ප්‍රතිසංස්කරණය කළ නොහැකි තරමට විනාශ කළේ ද මංගලය. මහින්ද රාජපක්ෂ සිංහාසනයේ ඉන්දුවේ ද මංගලය. දැන් ඒ සියල්ල වෙනුවෙන් වන්දි ගෙවන්නට සිදුවී තිබෙන්නේ ද මංගලටය. දැන් මංගලට දේශපාලන රැකවරණය ලබාගන්නට සිදුවී තිබෙන්නේ ද තමන් විසින්ම නැවත නැගී සිටීමට බැරි තරමට විනාශ කළ රනිල් වික්‍රමසිංහගෙනි. තමන් සිංහාසනයට ගෙනා මහින්ද රාජපක්ෂ පරාජය කිරීමට බැරවී තිබෙන්නේ ද තමන්ගේ කූට බුද්ධියෙන් ජනතා විමුක්ති පෙරමුණට ලබාදෙන ලද කෘත්‍රිම බලය නිසාය.

චන්ද්‍රිකා

චන්ද්‍රිකාගේ තත්ත්වය ද අද ඉතාමත් අසරණය. බලය අහිමිවීමෙන් පසු චන්ද්‍රිකා පිස්සු වැටී ඉබාගාතේ ඇවිදින ගැහැනියක් බවට පත්වනු ඇති බවට එස්.බී. කියා ඇති අනාවැකිය සැබෑවී නැතත්, දේශපාලන අවතාරයක භූමිකාව හැර අද ඇයට රඟපාන්නට අන් භූමිකාවක් ඉතිරි වී නැත. ඇය වෙනුවෙන් ජීවිතය වුවත් පූජා කරන්නට තරම් සූදානම් අනුගාමික පිරිසක් අතීතයේ පක්ෂය තුළ සිටියත්, ඇය කියන දේවල් කරන්නට සූදානම් කිසිවෙක් අද ශ්‍රීලනිපය තුළ නැත. ජනාධිපති මහින්ද රාජපක්ෂ පිළිබඳ අතෘප්තියෙන් සිටින පිරිස් පක්ෂය තුළ සිටින නමුත් ඒ කිසිවෙක් තමන්ට වාසිදායික අවස්ථාවල කරණම් ගසන්නට මිස, චන්ද්‍රිකා කියන කියන ආකාරවලට කරණම් ගසන්නට සූදානම් නැත. අවසාන විග්‍රහයේදී ඇගේ අණකිරීම් බාරගැනීමට පක්ෂය තුළ ඉතිරි වී සිටියේ ඇගේ මෝඩ මල්ලා පමණය. ජවිපෙ ගන්නට යන තීන්දුව නොදැන ඔහු විරුද්ධ පක්ෂයට එකතු වුවත්, ජවිපෙ තීන්දුව ප්‍රකාශ කිරීමෙන් පසුව ඔහු ඡන්දය පාවිච්චි කිරීමෙන් තොරව හොරගොල්ලට පළා ගියේය. ඔහු ද රාජ්‍ය බලය නැතිව හුස්ම ගැනීමට නොදන්නා පුද්ගලයෙකි. එම තත්ත්වය යටතේ ඔහු නැවත රාජපක්ෂ ජනාධිපතිගෙන් සමාව ගෙන නැවත තනතුරක් ලබාගනු නොඅනුමානය.

ආණ්ඩුවේ අනාගතය

රාජපක්ෂ ජනාධිපතිවරයාට රට පාලනය කරන්නට සිදුවී තිබෙන්නේ තමාගේ විශ්වාසවන්ත කණ්ඩායමක් සමග නොව, චන්ද්‍රිකාගේ කණ්ඩායමක් සමගය. ජනාධිපතිවරණය ජයගත් වහාම පාර්ලිමේන්තු මැතිවරණයට ගියේ නම්, මෙම පරස්පරය ජයගන්නට හැකිවන්නට ඔහුට ඉඩ තිබුණේය. එහෙත් ජවිපෙ හා හෙළ උරුමයේ ආරක්ෂාව පතා මැතිවරණයකට යෑමෙන් ඔහු වැළකී සිටියේය. තාමත් මැතිවරණයකට යෑම ප්‍රමාද නැත. මැතිවරණයකට යන්නට අපේක්ෂා කරන්නේ ප්‍රභාකරන් පරාජය කිරීමෙන් පසුව නම්, එහිදී සිදුවන ප්‍රමාදය වෙනුවෙන් විශාල වන්දියක් ගෙවන්නට සිදුවනු නොවැළැක්විය හැකිය.

දේශපාලනයේ මතුපිට තලයේ සිදුවන හැලහැප්පීම්වල ස්වභාවය කුමක් වුවත්, ජනාධිපති මහින්ද රාජපක්ෂ, විරුද්ධ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ සිට සියලු දේශපාලන නායකයෝ ද, සියලු දේශපාලන පක්ෂ ද දේශපාලන ක්‍රමය සමග පාලනය කළ නොහැකි අර්බුදයට තල්ලු වී සිටිති. මෙම අර්බුදය තුළ රාජ්‍ය බලය ඇති මහින්ද රාජපක්ෂ පමණක් ඉතිරි වී අන් සියලු දේශපාලන නායකයන් දේශපාලන වශයෙන් වාෂ්ප වී අවසන්වීමෙන් පසු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ද දේශපාලන වශයෙන් වාෂ්ප වී යනු ඇත්තේය. මහජනතාව අතර සියලු දේශපාලන පක්ෂ නායකයන් කෙරෙහි හා පක්ෂ කෙරෙහි ඇති කලකිරීම වෙන කවරදාකවත් දක්නට නොලැබුණු තරම් වේගයක් වර්ධනය වෙමින් පවතී. දේශපාලන ක්‍රමයේ අවශ්‍ය ව්‍යුහමය වෙනස්කම් ඇති කිරීමේ වැදගත්කම අවබෝධ කරගැනීමට දේශපාලන පක්ෂ නායකයන් හා දේශපාලන පක්ෂ අසමත් වෙතොත්, ඒ සියලු දෙනාට ඒ වෙනුවෙන් විශාල වන්දියක් ගෙවන්නට සිදුවනු නොවැළැක්විය හැකිය. •