ප්‍රභාකරන්ට තුවාල වීම

October 29, 2026
Publication:
D.B.S. Jeyaraj has disclosed in The Nation that Prabhakaran was slightly wounded by an air force bomb while sheltering in a bunker at Kilinochchi, and that the government did not know — had it known, it would have celebrated. Whatever else may be said of the Rajapaksa administration, Ivan writes, it has pushed the LTTE to a place where it is fighting to defend itself, and the credit belongs to the forces.

කිළිනොච්චියේ බංකරයක සැඟවී සිටියදී ගුවන් හමුදාව ගුවනින් එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් ප්‍රභාකරන් සුළු තුවාල ලබා ඇති බව ඩී.බී.එස්. ජෙයරාජ් “ද නේෂන්” පුවත්පතට ලියන තීරු ලිපියකින් අනාවරණය කර තිබේ. ප්‍රභාකරන්ට සුළු තුවාල ලැබීමේ සිද්ධිය ආණ්ඩුව ද නොදැන සිටියේය. දැන සිටියේ නම් එය මහ ඉහළින් සමරණ දෙයක් වනු නොවැළැක්විය හැකිය.

රාජපක්ෂ පාලනයේ හොඳ නරක කුමක් වුවත්, ප්‍රභාකරන්ගේ එල්ටීටීඊය ආරක්ෂාව සඳහා සටන් කරන තැනකට තල්ලු කිරීමට එය සමත් වී තිබෙන බව පෙනේ. එහි ගෞරවය ආරක්ෂක හමුදාවන්ට ලැබිය යුතු වුවත්, ඒ සමග ආරක්ෂක හමුදාවන්ට නිවැරදි තොරතුරු ලබාදීමේ ගෞරවය ලැබිය යුත්තේ ඇමරිකාවට හා ඉන්දියාවටය. නාවික හමුදාවට එල්ටීටීඊයේ ආයුධ නැව් දුසිමකට ආසන්න සංඛ්‍යාවක් විනාශ කළ හැකිවූයේ ද ඇමරිකා එක්සත් ජනපදයෙන් ලැබුණු නිවැරදි තොරතුරු නිසාය.

එහෙත් පුදුමයකට මෙන් ජවිපෙ හා හෙළ උරුමය ඇමරිකාව හා බටහිර ලෝකය විග්‍රහ කරමින් සිටින්නේ ප්‍රභාකරන්ට වෙනම රාජ්‍යයක් තනාගැනීමට ආධාර කරන දුෂ්ට බලවේගයක් ලෙසය. ආණ්ඩුව ද බටහිරට හා බටහිර රටවල නිලධාරීන්ට එල්ල කරන ගොරෝසු වාග් ප්‍රහාර මගින් බාල වර්ගයේ ජනප්‍රියතාවක් දිනාගැනීමට වෙර දරන තත්ත්වයකට තල්ලු වී සිටීම ඛේදජනකය.

ප්‍රභාකරන්ට වෙනම රාජ්‍යයක් ඇති කරදීම මේ කවර රටකටවත් අවශ්‍ය වී නැත. එහෙත් දෙමළ දුක්ගැනවිලි ගැන ඒ හැම රටක්ම සංවේදීය. දෙමළ දුක්ගැනවිලි කෙරෙහි සංවේදී නොවීම ඒ හැම රටක් කෙරෙන්ම ආණ්ඩුවට එල්ල වී තිබෙන දෝෂාරෝපණය වී තිබේ. එය ජයගත යුතුව තිබෙන්නේ ගොරෝසු ස්වරූපයකින් එවැනි රටවල් ප්‍රසිද්ධියේ විවේචනය කිරීමෙන් නොව, දෙමළ දුක්ගැනවිලිවලට සංවේදී වීමෙනි. ආණ්ඩුවට ත්‍රස්තවාදය වඩා පහසුවෙන් ජයගත හැකිවනු ඇත්තේ එවිටය.

සෑම් විජේසිංහගේ

පඩි දෙක

සෑම් විජේසිංහ යනු රටේ ප්‍රමුඛ තනතුරු ගණනාවක් දරන ලද ප්‍රකට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකි. ඔහු නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කළ ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකු වනවා සේ ම, පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම්වරයෙකු ද හිටපු ඔම්බුඩ්ස්මන්වරයෙකු ද වේ. ප්‍රමුඛ පවුල් ගණනාවකට කිට්ටු සම්බන්ධයක් ඇති පුද්ගලයෙකි. පුවත්පත් පැමිණිලි කොමිසමේ හිටපු සභාපතිවරයාය.

සෑම් විජේසිංහ මහතා දීර්ඝ කාලයක් තිස්සේ තමන් විසින් හොබවන ලද තනතුරු දෙකක් වෙනුවෙන් (පාර්ලිමේන්තු මහ ලේකම් හා ඔම්බුඩ්ස්මන් යන තනතුරු දෙක වෙනුවෙන්) විශ්‍රාම වැටුප් දෙකක් ලබා ගත්තේය. රටේ පිළිගත් නීති රීති අනුව පුද්ගලයෙකුට රජයෙන් විශ්‍රාම වැටුප් දෙකක් ලබාගත නොහැකිය.

මෙම තත්ත්වයෙහි ඇති නීති විරෝධීභාවය අනාවරණය වීමෙන් පසු එක් විශ්‍රාම වැටුපක් අත්හිටුවීමට විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂවරයා තීරණය කළේය. ඒ තීරණයට එරෙහිව විජේසිංහ මහතා අභියාචනාධිකරණය ඉදිරියට ගියේය. විශ්‍රාම වැටුප් දෙකක් ලබාගැනීම නීති විරෝධී බව අභියාචනාධිකරණයේ තීරණය විය. නීති විරෝධී ලෙස ලබාගත් එක් විශ්‍රාම වැටුපක් වෙනුවෙන් රජයට අයවිය යුතු මුදල ආපසු ගෙවන ලෙස අභියාචනාධිකරණය සෑම් විජේසිංහ මහතාට නියම කළේය.

එක් පුද්ගලයෙකුට රජයෙන් විශ්‍රාම වැටුප් දෙකක් ලබාගත නොහැකි බව ඉහළම පරිපාලන තනතුරු ගණනාවක් දැරූ විජේසිංහ මහතා දැන නොසිටියේද? තමන්ට තිබෙන බලවත්කම හා තිබෙන බලවත් පවුල් සම්බන්ධකම් නිසා එවැනි විශේෂ අයිතියක් භුක්ති විඳීමේ වරදක් නැතැයි ඒ මහතා කල්පනා කළේ ද?

මෙය අපේ රටේ මුදුනත කුණුවී තිබෙන තරම පෙන්නුම් කරන තවත් එක් උදාහරණයක් පමණය.

විශ්‍රාම වැටුප් විෂයේදී වහා නිවැරදි කළ යුතු තවත් තැනක් තිබේ. විශේෂ අවස්ථාවලදී හැර රජයේ සේවකයන් පූර්ණ විශ්‍රාම වැටුපක් ලැබීම සඳහා අවුරුදු 55 තෙක් සේවය කළ යුතුය. එහෙත් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පූර්ණ විශ්‍රාම වැටුප සඳහා සේවය කළ යුත්තේ වසර 05ක් පමණය. එම පුදුම සහගත අයිතිය ඇමතිවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට ද ලබාදී තිබේ. අවුරුදු පහක් සම්පූර්ණ කළ මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් ලබාදීම වැරදි නැත. එහෙත් සිදුවිය යුතුව තිබෙන්නේ පූර්ණ විශ්‍රාම වැටුපක් සඳහා අවශ්‍ය සේවා කාලය අවුරුදු 25ක් නම් අවුරුදු 5ක් සම්පූර්ණ කිරීම වෙනුවෙන් ලැබිය යුත්තේ පූර්ණ විශ්‍රාම වැටුපෙන් පහෙන් එකක් පමණ ගෙවීම ය. ඇමතිවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට ද මෙම වෙනස අදාළ විය යුතුය. ජනතා විමුක්ති පෙරමුණ වැනි විප්ලවකාරී යයි කියා ගන්නා පක්ෂ පවා මෙවැනි විශ්‍රාම වැටුප් ක්‍රමයකට නිහඬව එකඟවීමෙන් පෙනෙන්නේ ද ඔවුන් ද දැනුවත්ව හෝ නොදැනුවත්ව ජාතික ශරීරයේ වසා සිටින කිනිතුල්ලන් පිරිසක් බවට පත්ව සිටින බවය.

ශබ්ද ඝෝෂාව

ශබ්ද දූෂණය පාලනය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය ඇති කර තිබෙන නියමයක් සියලු ආගමික ආයතනවලත්, වෘත්තීය නායකයන්ගෙත් දැඩි විරෝධයට හේතුවී තිබේ.

ආගම් මහජනයාට වැදගත් වුවත්, ආගමික ආයතනය මහජනතාවගේ පෞද්ගලිකත්වයට ගරු කළ යුතුය. යාඥා හෝ පිරිත් මහජනයාට බලහත්කාරයෙන් අසන්නට සලස්වන ක්‍රමයක් සාධාරණ විය නොහැකිය. බණ, පිරිත් පින්කම් හෝ යාඥා අසන්නට කැමති සැදැහවතුන් පන්සලට, පල්ලියට හෝ කෝවිලට යා යුතුය. ආගම්වල නාමයෙන් කෙරෙන ඝෝෂාවලට කැමති මහජනයා සේ ම අකමැති මහජනයා ද සිටිති. එවැනි ඝෝෂා අසන්නට කැමති නැති ජනයාට සිත් සේ නිදාගන්නට ඉඩ දී අසන්නට කැමති අයට පමණක් අසන්නට ඉඩ දෙන ක්‍රමයක් තිබිය යුතුය. ඒ සඳහා තිබෙන හොඳම ක්‍රමය එවැනි සැදැහැවතුන් පූජා ස්ථානවලට කැඳවා ගැනීමය.

සංගීත ප්‍රසංගවලදී ක්‍රියාත්මක විය යුත්තේ ද එම ධර්මතාවයයි. රාත්‍රී සංගීත ප්‍රසංගයක් ඇසීමට කැමති රසිකයන් ප්‍රසංග භූමියට යා යුතුය. ප්‍රසංග භූමියට සීමා වන ලෙස හඬ පාලනයක් තිබිය යුතුය.

එහෙත් දැන් සිදුවන්නේ ප්‍රසංග භූමියට එන අයට පමණක් ගීත ඇසෙන්නට සැලැස්වීම නොව, ඉතා ඈත ප්‍රදේශවල පවා නින්දේ සිටින මිනිසුන්ට පවා ඇසෙන ලෙස හඬ නැගීමය. එය යහපත් තත්ත්වයක් නොවන බව අමුතුවෙන් කිවයුතු නැත.

එජාපය වැනි පක්ෂයක් කළ යුතුව තිබුණේ මෙවැනි ඉදිරිගාමී නීතිවලට ප්‍රසිද්ධියේ පක්ෂවීම කළ නොහැකි නම්, නිහඬව බලා සිටීම මිස, ඒවාට විරුද්ධවීම නොවේ. රට ඉදිරියට ගෙනයා හැක්කේ නූතන අවශ්‍යතාවන්ට ගැලපෙන ලෙස අපේ පැවැත්ම වෙනස් කරගැනීමෙනි. •