රාජ්‍යය ප්‍රතිසංස්කරණය කිරීමෙන් තොරව හුදෙක් මහින්ද රාජපක්ෂ විරෝධී සටන් පාඨවලින් පමණක් ඉදිරියට යා නොහැකි බව ප්‍රමාද වී හෝ රනිල් වික්‍රමසිංහ මහතා තේරුම් ගෙන තිබීම ඉදිරිගාමී ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. එහෙත් අවාසනාවකට මෙන් රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාව තේරුම් ගෙන තිබෙන්නේ දේශපාලන ක්රමයේ පූර්ණ වෙනසකින් තොරව ප්‍රතිසංස්කරණය කළ නොහැකි තරමට එය කුණු වූ තත්ත්වයකට පත්වීමෙන් පසුවය.
සිය ජේ.ආර්. මාමා නිර්මාණය කළ දේශපාලන ක්‍රමය කෙරෙහි ඇති අවිවේචනාත්මක පක්ෂභාවය රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන දෘෂ්ටිය තුළ හැමදාමත් දක්නට තිබුණු පසුගාමී ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා සහ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා වැනි වාමාංශික බුද්ධිමතුන්ගෙන් පසුව විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව බලවත් විවේචන එල්ල වූයේ ලලිත් ඇතුලත්මුදලි සහ ගාමිණී දිසානායක වැනි දක්ෂිණාංශික එජාප බුද්ධිමතුන් වෙතිනි. ඒ.සී. එස්. හමීඩ් පවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටියේය. මේ විවාදයේදී රනිල් වික්‍රමසිංහ, විධායක ජනාධිපති ක්රමයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටි එකම දේශපාලන නායකයා ලෙස සැලකිය හැකිය. ඊට හේතුව ජේ.ආර්. මාමා කෙරෙහි ඇති පක්ෂපාතීත්වය නිසා වූවක් ද නැතිනම් විධායක ජනාධිපති ක්‍රමය කෙරෙහි ඇති පක්ෂපාතීත්වය කෙරෙහි එම හේතු දෙක ම තෘෂ්ණාව නිසා ඇති වූවක් ද යන්න නො පැහැදිලිය.
විධායක ජනාධිපති ක්‍රමය කෙරෙහි ඇති කැමැත්ත
විධායක ජනාධිපති ක්‍රමය ජේ.ආර්. ජයවර්ධන තමාගේ පහසුව සලකා තමා වෙනුවෙන් ඇති කරන ලද ක්‍රමයක් වශයෙන් මිස, රටේ යහපත සලකා ඇති කරන ලද ක්‍රමයක් ලෙස සැලකිය නොහැකිය. ඔහු එහිදී ආදර්ශයකට ගත්තේ ඩිගෝල්ය. ඩිගෝල් ප්‍රංශයට ගැලපෙන තොප්පියක් වෙනුවට තමාගේ ඔළුවට ගැලපෙන තොප්පියක් නිර්මාණය කළේය. ජේ.ආර්. කළේ ද ඒ දේම ය. එහෙත් කාලයාගේ ඇවෑමෙන් ඩිගෝල් ඇති කළ ක්‍රමය ප්‍රංශයට ගැලපෙන ක්‍රමයක් ලෙස ප්‍රතිසංස්කරණය කරගැනීමට ප්‍රංශය සමත් වුව ද එවැනි ඵලදායී වෙනසක් ඇති කරගැනීමට ශ්‍රී ලංකාව අද දක්වා සමත් වී නැත. රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කර තිබෙන ප්‍රතිසංස්කරණ යෝජනාවලින් ද එම අරමුණ ඉටුවන්නේ නැත.
රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කර තිබෙන යෝජනා අලුත් නැත. පැරණිය. ඒ පොදියට ඇතුළත් යෝජනා එකක් දෙකක් හැර අන් සියල්ල මීට පෙර විවිධ පුද්ගලයන් හෝ සංවිධාන විසින් ඉදිරිපත් කරන ලද යෝජනා ලෙස සැලකිය හැකිය. ඊට සමාන යෝජනාවලියක් 2000 වසරේදී ප්රජාතන්ත්රවාදය සඳහා වන සන්ධානය ද (කහපටි ව්‍යාපාරය) රටට ඉදිරිපත් කළේය. එම යෝජනා සාකච්ඡාවට ලක් කරන සර්ව පාක්ෂික සාකච්ඡාවක් ද පාර්ලිමේන්තුවේ කාරක සභා ගොඩනැගිල්ලක පවත්වනු ලැබීය. ඊට අන් පක්ෂ නායකයන් සේ ම, රනිල් වික්‍රමසිංහ මහතා සේ ම මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගි විය. කහපටි ව්‍යාපාරයට ඇතුළත් යෝජනාවලියට රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවලියට ඇතුළත් නොවන ඉදිරිගාමී යෝජනා දෙකක් ද ඇතුළත්ව තිබුණි. බහුපක්ෂ ක්‍රමය ප්රජාතන්ත්රවාදී කිරීමේ අවශ්‍යතාව එය අවධාරණය කර තිබුණා සේ ම, ජනාධිපතිවරයෙකු බරපතළ වැරදි කරන අවස්ථාවකදී ඔහු ධුරයෙන් පහකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පනවා ඇති විධි විධාන ප්‍රායෝගික නොවන නිසා ඒ සඳහා ප්‍රායෝගික විධි විධාන ඇති කරගැනීමේ අවශ්‍යතාව ද එය අවධාරණය කර තිබුණි.
එහෙත් කුමන හේතුවක් නිසා හෝ රනිල් වික්‍රමසිංහ මහතාගේ තියුණු ඇස එම කාරණා දෙක කෙරේ යොමුවී නැත. එය අමතක වීම නිසා සිදුවූවක් ද, නැතිනම් අමතක කිරීම සුදුසු වේ යැයි කල්පනා කළ නිසා සිදුවූවක් ද යන්න නො පැහැදිලි ය.
ඒකාධිපති පක්ෂ ක්‍රමය
දේශපාලන පක්ෂ ක්‍රමය රාජ්‍ය පාලකයන් හා දේශපාලකයන් පුහුණු කරන ආයතන ක්‍රමය ලෙස ක්‍රියා කරයි. ඒ සියලු දෙනා හැදී වැඩෙන්නේ පක්ෂ ක්රමයේ තුරුල්ලේය. රටේ පවතින බහු පක්ෂ ක්‍රමය ඒකාධිපති නම් එය පුහුණු කොට බිහිකරන්නේ ඒකාධිපති නායකයන් නම්, එවැනි ඒකාධිපති නායකයන් කෙරෙන් ප්රජාතන්ත්රවාදී යහපාලනයක් බලාපොරොත්තු විය හැක්කේ කෙසේද?
ප්රජාතන්ත්රවාදී රාජ්‍ය ක්‍රමයක් සඳහා දේශපාලන පක්ෂ ක්‍රමය ප්රජාතන්ත්රවාදී විය යුතුය. ඒකාධිපතියකු වන්නේ රාජ්‍ය නායකයා පමණක් ද? ශ්‍රී ලංකාවේ සියලු දේශපාලන පක්ෂ නායකයන් ද ඒකාධිපති නායකයන් ලෙස සැලකිය හැකිය. මහජනයාට වග කියන පිරිසිදු මූල්‍ය පාලනයක් නැත්තේ රාජ්‍යයට පමණක් නොවේ. එවැන්නක් පක්ෂවලට ද නැත. ඒකාධිපති මහින්ද රාජපක්ෂ හෝ ඔහුගේ පූර්වගාමී ජනාධිපතිවරුන් රාජ්‍යය තුළ රඟපාන ඒකාධිපති භූමිකාව ඒ සමාන ආකාරයකින් රනිල් වික්‍රමසිංහ මහතා ද සිය පක්ෂය තුළ රඟපායි. රාජ්‍යය තුළ දක්නට ලැබෙන අල්ලස් හෝ දූෂණය ඊට සමාන ආකාරයකින් පක්ෂය තුළ ද දැකිය හැකිය. රාජ්‍ය නායකයා රටට ඒකාධිපතියෙකු ලෙස ක්‍රියා කරන විට පක්ෂ නායකයන් පාක්ෂිකයන් ඒකාධිපති නායකයන් ලෙස ක්‍රියා කරයි. රාජ්‍ය නායකයා පාර්ලිමේන්තුවට වග නොකියන ආකාරයටම පක්ෂ නායකයා ද සිය පක්ෂ සාමාජිකයන්ට වග නොකියයි. රාජ්‍ය නායකයා පාර්ලිමේන්තු අනුමැතියෙන් තොරව මුදල් වැය කරන විට පක්ෂ නායකයෝ ද පක්ෂ අනුමැතියකින් තොරව මුදල් වැය කරති. රාජ්‍යයට ඇත්තේ ඒකධිපති ව්‍යවස්ථාවකි. පක්ෂවලට ඇත්තේ ද ඒකාධිපති ව්යවස්ථාවන්ය. විවෘත හා මහජනයාට වගකියන තැනකට ගෙනා යුත්තේ රාජ්‍යය පමණක් නොවේ, රාජ්‍යයට අවශ්‍ය රාජ්‍ය නායකයින් හා දේශපාලනඥයන් පුහුණු කරන පක්ෂ ක්‍රමය ද විවෘත හා පාක්ෂිකයන්ට වගකියන තැනකට ගෙනා යුතුය. බරපතළ වැරදි කරන රාජ්‍ය නායකයින් සාර්ථක ලෙස ඉවත් කළ හැකි ක්‍රමයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් නැත. ඊට සමාන ආකාරයකින් බරපතළ වැරදි කරන පක්ෂ නායකයකු ඉවත් කරන ක්‍රමයක් පක්ෂ ව්‍යවස්ථාවල ද ඇතුළත් නැත. රටේ අධිකරණය විධායකයේ අතකොලුවක් ලෙස ක්‍රියා කරන විට පක්ෂ අධිකරණය ද (විනය මණ්ඩල) පක්ෂ නායකයන්ගේ අතකොලු ලෙස ක්‍රියා කරයි. මේ ආකාරයෙන් කරුණු සලකා බලන විට රටේ පවතින පක්ෂ ක්‍රමය රාජ්‍යයේ පිළිබිඹුවක් ලෙස හෝ රාජ්‍ය රටේ පවතින පක්ෂ ක්රමයේ පිළිබිඹුවක් ලෙස සැලකිය හැකිය.
පක්ෂය තුළ රඟපාමින් සිටින ඒකාධිපති භූමිකාව ආරක්ෂා කරගනිමින් රාජ්‍යය ප්රජාතන්ත්රවාදී කළ නොහැකිය. අනුන් වෙනස් කරන්නට යන පුද්ගලයා එසේ කරන්නට පෙර තමා වෙනස් විය යුතුය.
රනිල් වික්‍රමසිංහ මහතා සිය ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් කළ යුතුව ඇත්තේ දේශපාලන ක්‍රමය තුළ තමන්ට පෙනෙන විෂම ලක්ෂණ පිළිබඳ විග්රහයක ද යෙදෙමිනි. දේශපාලන ක්‍රමයට ආවේණික මූලික විෂමතා අනුපිළිවෙළ අනුව ගෙනහැර දක්වමින් ඊට විසඳුම් ඉදිරිපත් කළේ නම්, රනිල් වික්‍රමසිංහ දේශපාලන චින්තනයට ආවේණික ගැඹුර හෝ නොගැඹුර වඩා හොඳින් තේරුම් ගැනීමේ අවස්ථාව මහජනයාට ලැබෙන්නට ඉඩ තිබුණි. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා සිය ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් කර ඇත්තේ එවැනි විග්රහයකින් තොරවය.
දීර්ඝකාලීන පැවැත්ම
බලයට පත්වන පාලකයාට හා පාලක පක්ෂයට ලැබෙන දීර්ඝකාලීන පැවැත්ම මේ ක්‍රමයට ආවේණික එක් ප්‍රධාන නරක ලක්ෂණයකි. දැනට දකින්නට තිබෙන ප්‍රතිඵල අනුව බලයට පත්වන ජනාධිපතිවරයෙක් එක දිගට ධුර කාල දෙකක් ද, ආණ්ඩු පක්ෂයක් එක දිගට පාර්ලිමේන්තු ධුර කාල තුනක් ද බලයේ රැඳී සිටී.
ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ධුර කාල දෙකක් බලයේ රැඳී සිටියේය. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ජීවතුන් අතර සිටියේ නම් ඔහු ද තවත් ධුර කාලයක් බලයේ රැඳී සිටිනු ඇත. එජාප එක දිගට අවුරුදු 17ක් බලයේ රැඳී සිටියේය. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ද එක දිගට ධුර කාල දෙකක් බලයේ සිටියාය. පොදු පෙරමුණ ද මේ දක්වා අවුරුදු 15කට ආසන්න කාලයක් එක දිගට බලයේ සිටියේය.
බලයට පත්වන පාලක පක්ෂයක දීර්ඝකාලීන පැවැත්ම ආණ්ඩුවල දූෂිත බව හා අධිකාරිවාදී බව වර්ධනය කොට විරුද්ධ පක්ෂ ව්‍යාපාරවල පැවැත්ම දුර්වල කිරීමට හේතුවී තිබේ. මෙම ක්‍රමය රාජ්‍ය නිලධාරීන්, පාලකයා හා පාලක පක්ෂය සමග එකට කල්ලි ගැසී ක්‍රියාකරන තත්ත්වයක් නිර්මාණය කිරීමට හේතුවී තිබේ. අධිකරණය, මැතිවරණ දෙපාර්තමේන්තුව හා විගණකාධිපති දෙපාර්තමේන්තුව යනාදි වඩා ස්වාධීනව ක්‍රියා කළ යුතු ආයතන පවා සිය පැවැත්ම සඳහා පාලක පක්ෂයට පක්ෂපාතීව ක්‍රියා කරන තත්ත්වයකට පත්ව සිටී. බලයට පත්වූ ආණ්ඩුවක් එක දිගට අවුරුදු 18ක් බලයේ සිටිනු ඇති බව පෙනෙන විට රාජ්‍ය නිලධරතන්ත්‍රයට නීතිය කෙරෙහි ඇති කරගන්නා බියකින් තොරව පාලක පක්ෂය සමග කල්ලි ගැසී ක්‍රියාකිරීමට අවශ්‍ය වාසිදායක වටපිටාවක් ලබාදීමට හේතුවී තිබේ. තමන් කරන වරදකට දඬුවම් ලැබේ නම්, ලැබෙනු ඇත්තේ අවුරුදු 17කට හෝ 18කට පසුව බව ඔවුහු දනිති. මේ ක්‍රමය තුළ අධිකරණය හැමවිටමත් තීරණාත්මක වැදගත්කමක් ඇති දේවල දී පාලක පක්ෂයට පක්ෂපාතව ක්‍රියාකර ඇත්තේය. ජනමත විචාරණයක් මගින් පාර්ලිමේන්තුවේ නිල කාලය දීර්ඝ කරගැනීමේ ක්‍රියා පිළිවෙතට අධිකරණයේ අනුමැතිය ලැබුණි. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් වූ ජනාධිපතිවරණ පෙත්සමේදී අධිකරණය බලයේ සිටින ජනාධිපතිවරයාට පක්ෂපාත ආකල්පයකින් ක්‍රියා කළේය. ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් වූ දෝෂාභියෝග ව්‍යාපාරයේ දී ද අධිකරණය ජනාධිපතිවරයා ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කළේය. ඉන්පසු එළඹෙන පොදු පෙරමුණු යුගයේදී ද මන්ත්‍රීවරුන් විරුද්ධ පක්ෂය අතහැර ආණ්ඩු පක්ෂයට එකතුවීමේ ක්‍රියාවලිය හා එළිපිට කරන ලද මැතිවරණ දූෂණ අනුමත කරන පිළිවෙතක් අනුගමනය කළේය.
මැතිවරණ කොමසාරිස්වරුන්ගේ හා මැතිවරණ නිලධාරීන්ගේ ක්‍රියාපිළිවෙත තුළ ද මෙම ලක්ෂණය හොඳින් දැකිය හැකිය. යාපනේ පැවති දිස්ත්‍රික් සභා මැතිවරණයේ දූෂිත ස්වභාවය මැතිවරණ කොමසාරිස් ධුරයේ සිටි පියසෝම මහතාට පිළිගන්නට සිදුවිය. ඒ නිසා වහාම ඔහුට තනතුර අත්හැර යන්නට සිදුවිය. එහෙත් එහිදී ඔහු ඒ ගැන ඊට වැඩි කිසිවක් කතා නොකොට ආණ්ඩුවෙන් පිරිනමන ලද තානාපති ධුරය පිළිගත්තේය. ඒ නිසා ඇතිවූ පුරප්පාඩුව පුරවන ලද්දේ දෙපාර්තමේන්තුවේ සිටි දෙවැනියාගෙන් නොව, පිටස්තරින් ගෙනා චන්දානන්ද ද සිල්වා මහතාගෙනි. මැතිවරණ දෙපාර්තමේන්තුවේ දෙවැන්නා ලෙස ක්‍රියා කළ ජයසේකර මහතා විරෝධය ප්‍රකාශ කොට ගෙදර ගියේය. එහෙත් තමන්ට වූ අසාධාරණයට එරෙහිව ඔහු සටන් නොකළේය. සටන් කරන්නට ගොස් ඔලුව පොඩි කරගන්නවා වෙනුවට නිශ්ශබ්දව ඉඳීම ආරක්ෂකදායක වේ යැයි ඔහු කල්පනා කළා විය හැකිය. එහෙත් චන්දානන්ද ද සිල්වා මහතාට හොඳ දේශපාලන ඉවක් තිබුණේය. ඔහු 82 ජනමත විචාරණ වැඩපිළිවෙළ පතුරු ගසන වාර්තාවක් පළ කිරීම මගින් රටේ වීරයකු බවට පත්විය. එහෙත් පුදුමයකට මෙන් ඔහු විසින් එම වාර්තාව පළ කරන ලද්දේ ජනමතවිචාරණයට පසු වහාම නොව, අවුරුදු 05කට පසුවය. 88 පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පාලනතන්ත්රයේ වෙනසක් ඇතිවනු ඇති බව ඔහුගේ කල්පනාව වූවා විය යුතුය. එහෙත් රටේ පැවති කැරලිකාරී තත්ත්වය නිසා එම ජනාධිපතිවරණයේදී පාලක පක්ෂයේ වෙනසක් ඇති වූයේ නැත. එහෙත් තවත් කලකට පසුව එනම් 1994දී පාලක පක්ෂයේ වෙනසක් ඇතිවූ අතර, විශ්‍රාම ගිය මැතිවරණ කොමසාරිස චන්දානන්ද ද සිල්වා මහතා පොදු පෙරමුණේ ආරක්ෂක ලේකම් බවට පත්විය. ජේ.ආර්. ජයවර්ධන යුගයේදී මහවැලියේ කටයුතු කෙරෙහි පරීක්ෂාවෙන් සිටි විගණන නිලධාරියෙකු ආරක්ෂා කිරීමේ වරදට විගණකාධිපතිට සිය තනතුර අත්හැර යන්නට සිදුවිය. ඔහු ජනාධිපතිගේ පෞද්ගලික ලේකම් හා පසුව ජනාධිපතිගෙන් එල්ල වූ බලපෑම් නොසලකා සිය හිතට එකඟව විගණන නිලධාරියා ආරක්ෂා කළේය. අවසානයේදී ඔහු ඒ වෙනුවෙන් සිය පදවිය ද පූජා කළේය. එහෙත් තනතුර අත්හැර යෑමෙන් පසු නිශ්ශබ්දව සිටින පිළිවෙතක් අනුගමනය කළා විනා, ඔහු තමන්ට සිදුවූ අසාධාරණයට එරෙහිව කතා නොකළේය. ක්‍රියා නොකළේය. මේ ක්‍රමය තුළ තමන්ට යා හැකි ඉහළම දුර ඔහු හඳුනාගෙන සිටි බව පෙනේ. චන්ද්‍රිකා කුමාරතුංග පාලන යුගයේ දී ද ඇගේ ඇල්ස්කම් දුම්රිය කට්ටල් ගනුදෙනුවට එරෙහි වීම නිසා භාණ්ඩාගාර ලේකම් බී.සී. පෙරේරාට සිය තනතුර අත්හැර යන්නට සිදුවිය. එහෙත් ඔහු ද තනතුර අතහැර ගියා මිස කිසිවක් කතා නොකළේය. චන්ද්‍රිකා පාලන යුගයේ පැවති සමහර මැතිවරණවලදී සමහර තේරීම් භාර නිලධාරීන් පාලක පක්ෂය සමග කල්ලි ගැසී ක්‍රියා කරන බවක් පැහැදිලිව පෙනෙන්නට තිබුණි. 1999 ජනාධිපතිවරණය මුවවිට තිබියදී ඇය තේරීම් භාර නිලධාරින්ට රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වූවාය. තමා ද තරග කරන මැතිවරණයක් ප්‍රකාශ කර තිබියදී, මැතිවරණ දෙපාර්තමේතුවට පිටස්තරින් වැඩ බලන මැතිවරණ කොමසාරිස්වරයකු පත් කළාය. 1999 ජනාධිපතිවරණයේදී ව්‍යාජ ඡන්ද පත්‍රිකා පාවිච්චි කළ බවට පැහැදිලි සාක්ෂි තිබුණි. ජනාධිපතිවරණයෙන් පසුව මම මැතිවරණ කොමසාරිස්වරයා හමුවන්නට ගොස් ඒ බව ඔහුට පැහැදිලි කොට දී දැන් පාවිච්චි කළ සියලු ඡන්ද පත්‍රිකා තිබෙන්නේ ඔහු භාරයේ නිසා නියැදියක් තෝරාගෙන අව්‍යාජ ඡන්ද පත්‍රිකා අතර ව්‍යාජ ඡන්ද පත්‍ර තිබේදැයි සොයා බලන ලෙසත්, තෝරාගත් නියැදියේ සැලකිය යුතු තරම් ව්‍යාජ ඡන්ද පත්‍රිකා තිබේ නම් පමණක්, පූර්ණ පරීක්ෂණයකට යන ලෙසත් ඉල්ලා සිටියෙමි. ඔහු ඒ මොහොතේ දෙන ලද පිළිතුර වූයේ තමන් හා දරුවන් ජීවත්ව සිටීමට කැමති බවත්, නිකරුණේ මැරුම් කෑමට කැමති නැති බවත්ය. මේ ක්‍රමය තුළ රාජ්‍ය නිලධාරීන් හිතට එකඟව අවංකව ක්‍රියාකරනවාට වඩා වංකව ක්‍රියාකිරීමට කැමතිය. අවංක නිලධාරීහු පවා ජීවිතයට ඇති බිය නිසා සිය යුතුකම් ඉටු කිරීමට මැලිවෙති.
රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කර තිබෙන යෝජනා තුළ මේ ක්‍රමය තුළ බලයට පත්වන පාලකයෙකුට ලැබී තිබෙන දීර්ඝකාලීන බව කෙටි කිරීමට හේතුවන කිසිම යෝජනාවක් ඉදිරිපත් කර නැත. රනිල් වික්‍රමසිංහ මහතා තවමත් ජනාධිපති සිහිනය අතහැර නැත. ඒ නිසා මේ ක්‍රමය යටතේ පාලකයාට ලැබෙන දීර්ඝකාලීන පැවැත්මට ඔහු ද කැමතිය. ජේ.ආර්. ජයවර්ධන හා චන්ද්‍රිකා කුමාරතුංග යන පාලකයන් එක දිගට අවුරුදු 11ක් රට පාලනය කළේ නම්, ඒ අයිතිය මටත් ලැබිය යුතුය යැයි සිතන නිසා මේ ක්රමයේ වෙනසක් ඇති කිරීම අවශ්‍ය නොවේ යයි රනිල් වික්‍රමසිංහ මහතා කල්පනා කරනවා විය හැකිය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම
පාලකයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට තිබෙන හැකියාව මේ ක්‍රමය තුළ දකින්නට ලැබෙන තවත් නරකම ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. පාලකයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට අවශ්‍ය අවස්ථාවලදී ව්‍යවස්ථාව වෙනස් කරවා ගැනීමට අවශ්‍ය තරම් පාර්ලිමේන්තු බලයක් ඇති විට පාලකයා පාර්ලිමේන්තුවේ තමන්ට තිබෙන වැඩි බලය ප්‍රයෝජනයට ගනිමින් ද, පාර්ලිමේන්තුවේ එවැනි වැඩි බලයක් නැති පාලකයෝ අධිකරණයේ අනුග්‍රහය ලබාගනිමින් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරති. ජේ.ආර්. ජයවර්ධන පාලන යුගයේදී ඔහුට පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක් තිබුණේය. ඒ නිසා ඔහුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා එහි එන මූලධර්මවලට පටහැනිව ක්‍රියාකිරීමට අවශ්‍ය වූ අවස්ථාවලදී ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළේය. ඒ යුගයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් වූ සංශෝධනවලින් වැඩි හරියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෘෂ්ටියට පටහැනිව යන පටු අරමුණු වෙනුවෙන් නීතිගත කෙරුණු සංශෝධන බව හඳුනාගත හැකිය. ඉන්පසු බලයට පැමිණි කිසිම පාලකයකුට තුනෙන් දෙකක බලයක් නොලැබීම නිසා ඔවුන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට අවශ්‍ය අවස්ථාවල ඔවුන් එසේ කළේ අධිකරණයේ සහාය ලබාගනිමිනි. චන්ද්‍රිකා යුගයේ සිට අද දක්වා දක්නට ලැබෙන මන්ත්‍රීවරුන්ගේ පක්ෂ මාරුව ඒ සඳහා දැක්විය හැකි හොඳම නිදර්ශනය ලෙස සැලකිය හැකිය.
දේශපාලකයන් ඉඩම් හිමියන් බවට පත්වීම
ජාතියේ පොදු ධන සම්පත් කොල්ලකෑමට පාලකයාට හා පාලක පක්ෂයට ලැබී තිබෙන බලය ද මේ ක්‍රමයට ආවේණික තවත් නරක ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. මේ ක්‍රමය තුළ තමන්ට තම කණ්ඩායමේ අය ද ආර්ථික වශයෙන් ශක්තිමත් තත්ත්වයක සිටීම අවශ්‍ය යැයි ද ඒ අරමුණ සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාගැනීම වරදක් නැතැයි සිතන ආකල්පයක් සියලු දේශපාලන පක්ෂවල මුල් බැස තිබෙන බවක් දැකිය හැකිය. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමෙන් තමන්ට ලැබිය යුතුව තිබුණු ඉඩම් ප්‍රමාණයක් වෙනුවෙන් රටේ තිබුණු හොඳම පොල්වත්තක් තමන් සතු කරගත්තේය. ඒ සමගම තම කණ්ඩායමේ සෙසු සාමාජිකයන්ට ද වාසිදායක ඉඩම් හුවමාරුවල යෙදීමට ඉඩ දුන්නේය. ඒ අනුව සමහරුන් තමන්ගේ නොවටිනා ඉඩම්, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට දී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම සතුව තිබූ වටිනා ඉඩම් තමන් සතු කොට ගත්හ. ඊට අතිරේකව සිය කණ්ඩායමේ ඉඩම් නැති අයට ද තුට්ටුවට දෙකට රජයේ ඉඩම් ලබාදෙන ප්‍රතිපත්තියක් මගින් ඔහු සියලු ඇමතිවරුන් ද නියෝජ්‍ය ඇමතිවරුන් හා ආණ්ඩු පක්ෂය මන්ත්‍රීවරුන් ද ඉඩම් හිමි වැවිලිකාර පන්තියක් බවට පත් කළේය. මෙම කැත සම්ප්රදාය චන්ද්‍රිකා පාලන යුගය තුළ ද වර්තමානයේ ද ක්‍රියාත්මක වේ.
ඇත්තටම විය යුතුව තිබුණේ මේ ඉඩම් රජයට අවශ්‍ය නොවේ නම්, වෙළෙඳපොළ මිලට මිලදී ගැනීමට කැමති මහජනයාට හා ව්‍යාපාරිකයන්ට විකුණා ඒ ලැබෙන මුදල් රට සංවර්ධනය කිරීම සඳහා ඵලදායී ලෙස යොදාගැනීමය. සිදුවී තිබෙන්නේ රට සංවර්ධනය කරනවා වෙනුවට දේශපාලකයන් හා ඔවුන්ගේ හෙංචයියලා සංවර්ධනය වීමය. දේශපාලකයන් හා ඔවුන්ගේ ගජ මිතුරන් පසුගිය දශක තුන තුළ කොල්ලකාගෙන තිබෙන ඉඩම්වල ප්‍රමාණය අක්කර 20,000 ක් ලෙස සලකා පර්චසයක වටිනාකම රුපියල් දස දහසක් ලෙස සලකා ගණන් බැලීමක කළහොත් දේශපාලකයන්ගේ මේ ඉඩම් කොල්ලය නිසා පමණක් රටට අහිමි වී තිබෙන ධනයේ ප්‍රමාණය රුපියල් කෝටි 7200කි. එම මුදල රටේ දුම්රිය සේවය හා මගී බස් රථ සේවය නවීන හා කාර්යක්ෂම කිරීමට ප්‍රමාණවත් වන්නට ඉඩ තිබුණි.
මෙම කැත සම්ප්රදාය ක්‍රියාත්මක වන්නේ ඉඩම් විෂයේ පමණක් ද? නැත එය වෙනත් ක්ෂේත්‍ර රාශියක ද ක්‍රියාත්මක වේ. මත්පැන් බලපත්‍රවල සිට ලුණු බලපත්‍ර දක්වා වන වානිජ වටිනාකමක් ඇති සියලු බලපත්‍ර සඳහා මේ ක්‍රමය ක්‍රියාත්මක වේ. මත්පැන් බලපත්‍රයක් විශාල මිලකට විවෘත වෙළෙඳපොලේ විකිණිය හැකිය. එහෙත් විවෘත වෙළෙඳපොළේ විකුණන ක්‍රමයක් වෙනුවට රටේ ක්‍රියාත්මක වන්නේ නාමික මුදලකට දේශපාලන අනුග්‍රහය මත බලපත්‍ර ලබාදෙන ක්රමයකි. බලපත්‍ර නිර්දේශ කිරීමේ වගකීම පැවරී ඇත්තේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ටය. මේ ක්‍රමය යටතේ මන්ත්‍රීවරු ද තම බිරිඳගේ, දරුවකුගේ වෙනත් කාගේ නමකට හෝ මත්පැන් බලපත්‍රයක් ලබාගෙන මත්පැන් අලෙවි සැල් පවත්වාගෙන යන ව්‍යාපාරිකයන් බවට පත්ව සිටිති. අද සමහර මන්ත්‍රීවරුන් ඉඩම් හිමි වැවිලිකරුවන් වනවාට අතිරේකවත් මත්පැන් අලෙවි සැල් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෝ ද වෙත්. චන්ද්‍රිකා කුමාරතුංග පාලන යුගයේදී ඇය ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන්ට ද මත්පැන් බලපත්‍ර ලබා දුන්නාය. •
(ඉතිරි කොටස
ලබන සතියේ)