හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී තිබෙන නඩු තීන්දුවට අනුකූලව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හා ඩී.බී. විජේතුංග මහතා පරිහරණය කරන නිල නිවෙස් වහාම ආපසු බාර දෙන ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් දැනුම් දී ඇති බව ජනමාධ්‍ය වාර්තා කර තිබුණි. ඒ ගැන සතුටු වන පිරිසක් සේ ම දුක්වන පිරිසක් ද රටේ සිටී. සතුටු වන පිරිස් කියන්නේ ජනාධිපති ධුරයේ සිටිය දී නිල බලය වැරදි ලෙස පාවිච්චි කොට කෝටි ගණන් ගසා කා විශ්‍රාම යන ජනාධිපතිවරුන් මහජන මුදලින් නඩත්තු කිරීම අපරාධයක් වන බව ය. දුක්වන අය කියන්නේ එය කැත පළිගැනීමක් බව ය. ඔවුන්ට නිල නිවසක් හිමි නම් දේශපාලන භේදයෙන් තොර ව ඔවුන්ට ඒ ප්‍රතිපාදන ලබාදිය යුතු බව ය.
විශ්‍රාම ගිය ජනාධිපතිවරයෙකුට තමන් හොබවන ලද තනතුරේ ගෞරවයට සරිලන නිවසක් නැති නම් සුදුසු නිල නිවසක් සැපයීම වැරදි නැතත්, ඕනෑවටත් වඩා හොඳ නිවාස එකකටත් වැඩි ගණනක් තිබෙන අයට මහජන මුදලින් නිල නිවෙස් ලබාදීම තේරුමක් නැති නාස්තිකාර ප්රතිපත්තියකි. මේ ප්‍රතිපත්තිය නිර්මාණය කළ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන පවා මියයන තෙක් ම ජීවත් වූයේ වෝඩ් පෙදෙසේ ඇති සිය නිවසේ ය. එහෙත් විශ්‍රාම ගිය ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට එක නිවසකට වැඩි නිවාස ගණනක් ඇත්තේ ය. එක් නිවසක් තිබෙන්නේ කුරුඳුවත්තේ ය. ඇය නිල නිවසේ ජීවත් වූයේ තමන්ගේ කුරුඳුවත්තේ නිවස සෑහෙන මිලකට බදු දී තිබියදී ය.
විශ්‍රාම ගිය ජනාධිපතිවරුන්ට සරල කාර්ය මණ්ඩලයක් වෙනුවට විශාල කාර්ය මණ්ඩලයක් ලබාදීම ද යුක්තිසහගත වන්නේ නැත. විශ්‍රාම ගිය ජනාධිපතිවරයෙකුට අනුමත කාර්ය මණ්ඩලය 20කි. ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ කාර්ය මණ්ඩලයේ ප්‍රමාණයේ 27කි. විශ්‍රාම ගිය ජනාධිපතිවරයෙකුට මහජන වියදමින් විසි දෙනෙකුගේ කාර්ය මණ්ඩලයක් ලබාදීම යුක්තිසහගත වන්නේ කෙසේ ද?
එය විශ්‍රාම යන ජනාධිපතිවරයෙකුට තමන්ගේ කිට්ටු හෙංචයියන් විස්සකට වැඩ කිරීමකින් තොර ව පඩි ලබාගැනීමට ලබාදී තිබෙන ප්රතිපාදනයක් ලෙස සැලකිය හැකි ය. විශ්‍රාම ගිය ජනාධිපතිවරුන් විශ්‍රාම සුවයෙන් කල් ගෙවනවා හැර සමාජ උන්නතිය වෙනුවෙන් කිසියම් වැඩ කොටසක් කර තිබේ ද? ජේ.ආර්. ජයවර්ධන හා ඩී.බී. විජේතුංග යන ජනාධිපතිවරුන් විශ්රාමයෑමෙන් පසු කර තිබෙන විශේෂ වැඩ කොටසක් තිබේද? චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විශ්‍රාම යෑමෙන් පසු ගෙවී ගිය කාලයෙන් වැඩිම කාලයක් ගත කොට ඇත්තේ විදේශ රටවල ය. විදේශ රටක ජීවත් වන විශ්‍රාම ගිය ජනාධිපතිවරියකට මහජන වියදමින් 20 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් ලබාදීම යුක්තිසහගත විය හැක්කේ කෙසේ ද?
අනාථ භාවයට පත් දරුවකු නඩත්තු කිරීමට රට වැය කරන්නේ දිනකට රුපියල් දහයකි. එහෙත් විශ්‍රාම ගිය ජනාධිපතිවරයෙකු නඩත්තු කිරීමට දිනකට රුපියල් ලක්ෂ ගණනක් වැය කරයි.
රටට සේවයක් කළ ජනාධිපතිවරුන්ට විශ්‍රාම ගිය පසු සැලකීමේ යුතුකමක් සමාජයට ඇතත්, තනතුරේ සිටිය දී රට කාබාසිනියා කළ, අයථා ලෙස කෝටි ගණනින් ධනය රැස් කළ ජනාධිපතිවරුන් විශ්‍රාම ගිය පසුත් මහජන මුදලින් නඩත්තු කළ යුත්තේ ඇයි? සිදුවිය යුත්තේ එවැනි තක්කඩි ජනාධිපතිවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවීම ය. ප්‍රශංසා කරනවා වෙනුවට ඔවුන් නින්දාවට ලක් කිරීම ය. සම්ප්රදායක් ඇති කරගැනීමට හැකිවනු ඇත්තේ එවැනි ප්රතිපත්තියක පිහිටා ක්‍රියාකිරීමෙන් මිස, රට කාබාසිනියා කළ ජන නායකයන් හුරතල් කිරීමෙන් නොවේ. •