තමන්ගේ ආණ්ඩු පාලනයක් තුළ යහපාලනයක් සහතික කිරීම සඳහා වන යෝජනාවලියක් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රකාශයට පත් කර තිබේ. එජාප ආණ්ඩුවක් යටතේ මේ යෝජනා වහාම සම්මත කොට පාර්ලිමේන්තුව නියෝජනය කරන අන්පාර්ශ්වයන්ගේ ද සහාය ඇතිව ඒවා නීතිගත කරන බවට ඔහු සහතික වී තිබේ.
දේශපාලන ක්‍රමය කුණුවී තිබෙන තරම අනුව බලන විට රාජ්‍යය මුහුණ දී තිබෙන අර්බුදයෙන් එය ගොඩගැනීමට මේ යෝජනා ප්‍රමාණවත් නොවේය යන්න අපේ මතය යි. එහෙත් එම යෝජනාවලියට අපට ද එකඟ විය හැකි, අප විසින් අවස්ථා ගණනාවක දී අවධාරණය කර තිබෙන වැදගත් එක් යෝජනාවක් ඇතුළත් ය. එනම් දකුණු අප්‍රිකාවේ මෙන් වර්ගය, ආගම, කතා කරන භාෂාව හෝ කුලය නො සලකා සියලු පුරවැසියන්ගේ අයිතිවාසිකම් සමාන ආකාරයකින් රකින මානව හිමිකම් ප්‍රඥප්තියක් ඇති කරගැනීමේ අවශ්‍යතාවයි.
බලය බෙදාහැරීමේ විසඳුමක් විවාදයට තුඩු දේ. එහෙත් සියලු දෙනා සමාන ලෙස පිළිගන්නා, සියලු දෙනාගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කරන ප්‍රඥප්තියක් විවාදයට හෝ මතභේදයට තුඩු දෙන්නේ නැත. එවැනි ප්‍රඥප්තියකට ජවිපෙ හා හෙළ උරුමය වැනි පක්ෂවලට විරුද්ධ විය නො හැකි ය. විවාදයට හේතුවන ලොකු විසඳුම්වලට යන්නට පෙර පොදු එකඟතාවකින් යුතුව ක්‍රියාවට නැගිය හැකි මෙවැනි ක්‍රියාමාර්ග ඔස්සේ වාර්ගික, ආගමික හා කුල වශයෙන් ජනතාව අතර පවතින පරතරය තුනී කරමින් අනෝයන්‍ය විශ්වාසයකින් හා ගෞරවයකින් ක්‍රියාකළ හැකි පරිසරයක් ගොඩනැගිය හැකි ය.
එහෙත් මෙවැනි මානව හිමිකම් ප්‍රඥප්තියක් නීතිගත කිරීම සඳහා රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවක් බලයට පත්වන තෙක් රට බලා සිටිය යුත්තේ ඇයි? එම ඉලක්කය තමන්ගේ නො වන ආණ්ඩුවක් යටතේ වුවත්, දිනා ගැනීමට උත්සාහ කිරීමේ යුතුකමක් හා වගකීමක් රනිල් වික්‍රමසිංහ මහතාට ඇත්තේ ය. මානව හිමිකම් ප්‍රඥප්තියක් සඳහා විරුද්ධ පක්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන කෙටුම්පතක් නීතිගත කිරීමේ වගකීම ආණ්ඩුව බාර ගනිමින් පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ එකට එකතු වී එය නීතිගත කරන්නේ නම්, එය අඳුර පලවා හැරීමට දල්වන ලද වැදගත් එක් ඉටිපන්දමක් ලෙස සැලකිය හැකි ය. එවැනි ප්‍රඥප්තියක් නීතිගත කළ හැකි නම් එය පොදුවේ අන්තර්ජාතික ප්‍රජාවගේ ද සතුටට හේතුවන වැදගත් සංසිද්ධියක් වනු නො අනුමානය.
මීට අතිරේකව සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් සහතික කිරීම සඳහා කළ හැකි තවත් බොහෝ දේ තිබේ. දෙමළ ජනතාවට තමන් ජීවත් වන ප්‍රදේශවල දී ආණ්ඩුවේ ආයතන සමග දෙමළ භාෂාවෙන් ගනුදෙනු කිරීමට හැකි තත්ත්වයක් සහතික කිරීම සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගත හැකි ය. ඒ සඳහා අලුත් නීති අවශ්‍ය නොවන අතර, එවැනි ප්‍රතිපත්තියක් ජනතා විමුක්ති පෙරමුණේ හෝ හෙළ උරුමයේ විරෝධයට හේතුවන්නේ නැත. දෙමළ ජනයාගේ අයිතිවාසිකම් ලබාදීමේ අවශ්‍යතාව විමල් වීරවංශ මහතා ද ප්‍රසිද්ධ කතාවක දී අවධාරණය කර තිබුණි.
බරපතළ මතභේදයට හේතුවන ප්‍රශ්න විසඳීම මොහොතකට කල් දමා පොදු එකඟතාවකින් විසඳා ගත හැකි මෙවැනි සරල ප්‍රශ්න කඩිනමින් විසඳා ගන්නා තැනකට යන්නේ නම් එවැනි ක්‍රියාමාර්ගයක් සුළු ජාතීන්ගේ ද ගෞරවයට හා විශ්වාසයට හේතුවනු නො අනුමාන ය. එවැනි සරල ක්‍රියාමාර්ග සඳහා අලුත් ආණ්ඩුවක් බලයට පත්වන තෙක් බලා සිටිය යුතු නැත.
ආණ්ඩුව රට පාලනය කළ යුත්තේ විරුද්ධ පක්ෂයේ ද සහාය ඇතිව ය. අනෙක් අතට විරුද්ධ පක්ෂය ආණ්ඩුවක් කරන වැරදිවලට විරුද්ධ විය යුත්තේ ආණ්ඩුවක් කරන හොඳ දේට පක්ෂ වෙමින් හා හොඳ දේවල් කිරීමට අනුබල දෙන අතර ය. අවාසනාවකට අපේ රටේ දේශපාලන සංස්කෘතියේ කවදාවත් නො තිබුණු ලක්ෂණය වන්නේ ද එය යි. එහෙත් එවැනි තැනකට මාරුවීමට දේශපාලන පක්ෂ අසමත් වෙතොත්, මහජනයා මෙම සියලු දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කරන හා පිළිකුල් කරන තැනකට යොමුවිය හැකි ය. •