ජනමාධ්‍යවලින් තොර ශ්‍රී ලංකාවක් රටට අවශ්‍ය ද?

October 29, 2026
Publication:
The attacks on journalists are increasing and growing crueller, and the attacks on Keith Noyahr and on Namal Perera appear to come from the same place. Ivan notes that the second came the day after the government appointed a ministerial sub-committee on threats to the media, says journalists are not beyond fault either, and asks the government to understand that they face a real security problem.

ජනමාධ්‍යවේදීන් වෙත එල්ල කෙරෙන පහරදීම් වෙන කවරදාවත් නොවූ තරමට වර්ධනය වෙමින් තිබෙන අතර, එල්ල කෙරෙන ප්‍රහාරයන්ගේ ස්වභාවය ද ඉතාමත් කෘෘර මුහුණුවරක් ගනිමින් තිබෙන බව පෙනෙන්නට තිබේ. නේෂන් පුවත්පතේ කීත් නොයාර්ට එල්ල කෙරුණු ප්‍රහාරය සහ පුවත්පත් ආයතනයේ නාමල් පෙරේරාට එල්ල කෙරුණු ප්‍රහාරය එකම තැනකින් සිදුවී තිබෙන බව ද පෙනෙන්නට තිබේ.

මෙම පහරදීම් ජනමාධ්‍යවේදීන් අතර මහත් කම්පනයක් ඇති කිරීමට හේතුවී තිබෙන අතර, මීට පෙර කවදාවත් දක්නට නොලැබුණු ආකාරයට කර්තෘ සංසදය හා පුවත්පත් ප්‍රකාශකයන්ගේ සංගමය ද ප්‍රසිද්ධියේ සිය ස්ථාවරය පළ කරන තත්ත්වයකට තල්ලු කිරීමට හේතුවී ඇත්තේ ය.

කීත් නොයාර් හා නාමල් පෙරේරා වෙත එල්ල කෙරුණු ප්‍රහාර, ආණ්ඩුවෙන් එල්ල කෙරෙන පහරදීම් ලෙස සැලකිය නොහැකි වුවත්, මොන මොන හේතු නිසා හෝ පහර දෙන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව අසමත්ව තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.

නාමල් පෙරේරා හා ඔහු සමඟ ගමන් ගත් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරියාට පහරදීම සිදු කෙරුණේ මාධ්‍යවේදීන් වෙත එල්ල වී තිබෙන තර්ජන ගැන සොයා බැලීමට ආණ්ඩුව ඇමති අනු කමිටුවක් පත් කළ පසුදින ම ය. මෙම සිද්ධියෙන් අනුකමිටුවේ සාමාජිකයන් ලැජ්ජාවට ද, කම්පනයට ද පත්ව සිටින බව ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කර තිබේ.

ජනමාධ්‍යවේදීන් සර්වතෝබදු පිරිසක් වේ යැයි අපි නො කියමු. ඔවුන් අතින් ද වැරදි විය හැකි ය. මතුවී තිබෙන මෙම කෘෘර පහරදීම් ඔවුන් අතින් සිදුවී තිබෙන කිසියම් වරදක් නිසා සිදුවූවක් ද නැත්නම් වෙනත් හේතුවක් නිසා සිදුවන්නක් ද යන්න පැහැදිලි නැත. එහෙත් නැවත මෙවැනි තත්ත්වයක් ඇති නොවීමට වගබලා ගැනීම සේ ම, මෙම කෘාර පහරදීම්වලට වගකිවයුතු අය නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීම ජනාධිපතිවරයාගේ වගකීමකි. මෙවැනි නොහොබිනා සිද්ධීන් ඇතිවීම වැළැක්වීමට ආණ්ඩුවට නොහැකි නම් ඉන් පෙනී යන්නේ ආණ්ඩුවට පාලනයක් නැති බව නො වේ ද?

කීත් නොයාර් හා නාමල් පෙරේරා වෙත එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරවලට වගකිවයුත්තන් නීතිය ඉදිරියට පමුණුවාලීම පිණිස ක්‍රියා කරන අතර, මෙම පහරදීම්වලට බලපා තිබෙන හේතු පිළිබඳව සොයා බැලීමේ වගකීමක් ජනමාධ්‍ය සංවිධානවලට ඇත්තේය. කීත් නොයාර් දැන් විදේශගතව ජීවත් වේ. මෙම ප්‍රහාරය කෙරෙහි බලපා තිබෙන ඇත්ත හේතු පිළිබඳව ඔහුගේ පැත්තෙන් කියන කතාව අසා ගැනීමට බැරිකමක් තිබිය නොහැකි ය. මෙම කෘෘර පහරදීම් දෙක ජනමාධ්‍ය නිදහස මර්දනය කිරීමේ අරමුණින් කරන ලද්දක් ද නැතිනම් ඒ කෙරෙහි බලපා තිබෙන වෙනත් හේතුවක් ද ඒ මොනවාද යන්න සොයා බැලිය යුතු ය.

ජනමාධ්‍යවේදීන් ආරක්ෂාව පිළිබඳ ඇත්ත ගැටලුවකට මුහුණ දී සිටින බව ආණ්ඩුව ද තේරුම් ගත යුතු ය. ඊට ඉක්මන් විසඳුමක් දීමට ආණ්ඩුවට පුළුවන්කමක් තිබිය යුතු ය. ජනමාධ්‍යවලින් තොර ශ්‍රී ලංකාවක් දක්වා තත්ත්වය වර්ධනය වීමට ඉඩ නො තැබිය යුතු ය.