මහින්ද රාජපක්ෂ හා වේලුපිල්ලේ ප්‍රහාකරන්

October 29, 2026
Publication:
The country is being pushed to a place where accounts are settled by war and not by talk, which is the government's official view and has always been the LTTE's only one — the difference being that the LTTE has now met an opponent who thinks exactly as it does. Ivan argues that the LTTE's aims were never practical, that Prabhakaran has been an unsuccessful leader, and that the war can end only if he can be brought to accept a settlement.

රට තල්ලු වී සිටින්නේ සාකච්ඡා මගින් නොව, යුද්ධයෙන්ම ගනුදෙනු බේරාගන්නා තැනකටය. එය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ නිල දර්ශනය වනවා සේ ම, එය හැමදාමත් එල්ටීටීඊය විශ්වාස කළ එක ම දර්ශනය ලෙස ද සැලකිය හැකිය. වෙනසකට ඇත්තේ වෙන කවරදාකවත් නැති ලෙස එල්ටීටීඊයට තමන් සිතන ආකාරයට ම සිතන ප්‍රතිවාදී නායකයකු හමු වීමය.

එල්ටීටීඊය උපාය මාර්ගික අර්ථයෙන් සාකච්ඡා මාර්ගය මුළුමණින් ප්‍රතික්ෂේප නොකළ ද තම අරමුණු දිනාගත හැකි ඒකායන මාර්ගය ලෙස එය විසින් හැමදාමත් සලකන ලද්දේ යුද්ධයයි. එල්ටීටීඊ ඉතිහාසය විචාරශීලීව කියවන්නෙකුට එය එක කේන්ද්‍රයක් යටතේ කෙරෙන බලය බෙදාහැරීමක් ගැන විශ්වාස නොකළ සංවිධානයක් බව තේරුම් ගත හැකිය. එය හැමදාමත් විශ්වාස කළේ ආයුධ අත ඇතිව සිටිය හැකි හා තමන්ගේ හමුදා පවත්වාගෙන යෑමේ අයිතිය ලැබෙන වෙන ම රාජ්‍යයක් හෝ සහසන්ධි රාජ්‍යයක් පිළිබඳවය. දෙමළ දුක්ගනැවිලිවලට ප්‍රායෝගික විසඳුම් ලබාදෙන දේශපාලන විසඳුමකට වුව ද ඒ විසඳුම තුළ තමන්ට අවි දැරීමේ අයිතිය නැතිනම් ඔවුන් එකඟ වන්නේ නැත.

එල්ටීටීඊ අරමුණු ප්‍රායෝගික නැත

න්දු – ලංකා ගිවිසුමට ඔවුන් එකඟ වූයේ ආරම්භයේදී ඊට එකඟ නොවී සිටීමේ හැකියාවක් නොතිබුණු නිසාය. ඉන් පසු ඔවුන් සම්මුතියට එරෙහිව යුද්ධ කරන තැනකට ගියේ සම්මුතිය ක්‍රියාත්මක කිරීමේදී ඇතිවූ අඩුපාඩු නිසා නොව, සම්මුතියෙන් ඉවත්වීමට ඔවුන්ට අවශ්‍ය වූ නිසාය. තමන් නිරායුධ කිරීමට හේතුවන විසඳුමක් බාරගැනීමට එල්ටීටීඊය සූදානම් නැත. මෙතෙක් කරන ලද කිසිම සාකච්ඡාවකදී බලය බෙදාහැරීමේ වැඩපිළිවෙළක් අවසානයේ තමන් නිරායුධ වීමට සූදානම් බව එල්ටීටීඊය ශ්ලේෂමාත්‍රයකින් හෝ ප්‍රකාශ කර නැත. ඔස්ලෝ සාකච්ඡාවලදී අභ්‍යන්තර ස්වයං පාලනයක් සහතික කරන පෙඩරල් විසඳුමකට එකඟ වුව ද අභ්‍යන්තර ස්වයං පාලනය යන්නෙන් ඔවුන් අදහස් කරන්නේ කුමක්ද යන්න පැහැදිලි කර නැත.

ආයුධ සන්නද්ධව සිටීමේ අයිතිය ලැබෙන හා තමන්ගේ සන්නද්ධ හමුදා පවත්වාගෙන යෑමේ අයිතිය ද ලැබෙන විසඳුමක් ඔවුන් ඉල්ලා සිටිනුයේ නිරායුධ කෙරෙන තත්ත්වයක් ඉදිරියේ තමන් නැවත පාගා දමනු ඇති බවට ඔවුන් තුළ පවතින සාධාරණ බිය නිසා විය හැකි බවට කෙනෙකුට තර්ක කළ හැකිය. මොන ම ගරිල්ලා ව්‍යාපාරයක්වත් වහාම ආයුධ අත්හැරීමට එකඟ නොවන බව සැබෑවකි. එහෙත් එල්ටීටීඊය හැර බලය විමධ්‍යගත කිරීමක් ඉල්ලා සිටින මොන ම ගරිල්ලා ව්‍යාපාරයක්වත් අවසන දේශපාලන විසඳුමකින් පසුත් අවි අතැතිව සිටීමට අපේක්ෂා කරන්නේ නැත. දකුණු අප්‍රිකානු ගරිල්ලෝ ආයුධ බාර දුන්හ. අයර්ලන්තයේ අයි.ආර්.ඒ. ගරිල්ලෝ ද ආයුධ බාර දුන්හ. ඉන්දුනීසියාවේ අචේ ගරිල්ලන් ද ආයුධ බාර දුන්හ. නිරායුධ වන මොහොත පිළිබඳව කඹ ඇදීම් තිබිය හැකි වුවත්, ඒ හැම ව්‍යාපාරයක් ම තමන් අපේක්ෂා කරන දේශපාලන විසඳුම දිනාගැනීමෙන් පසු නිරායුධ වීමට ඇති කැමැත්ත ප්‍රකාශ කර තිබුණි. එහෙත් එල්ටීටීඊය මේ දක්වා එවැනි හැඟීමක් ප්‍රකාශ කර නැත.

දෙමළ දුක්ගැනවිලි ගැන ඉතාමත් සංවේදී ආණ්ඩුවකට වුවද දේශපාලන විසඳුමකින් පසුත් එල්ටීටීඊයට ආයුධ සන්නද්ධව සිටීමේ අයිතිය ලබාදෙන හා සිය සන්නද්ධ හමුදා පවත්වාගෙන යෑමේ අයිතිය ලබාදෙන විසඳුමකට එකඟ විය නොහැකිය. ඒ නිසා බලයේ සිටින රාජ්‍ය නායකයා කවරෙකු වුවත්, ගනුදෙනු බේරා ගැනීම සඳහා ඉක්මණින් හෝ ප්‍රමාද වී එල්ටීටීඊයට එරෙහිව යුද්ධ කරන තැනකට යන්නට අනිවාර්යයෙන් ම සිදුවන්නේය. ඒ අර්ථයෙන් දැන් තිබෙන යුද්ධය ඓතිහාසික අර්ථයෙන් තේරුම් ගත යුතුව තිබෙන්නේ ඉතාමත් අප්‍රසන්න විය හැකි වුවත්, අනාගතයේ රඟදැක්වීමට නියමිත රංගනයක් කල්තියා වර්තමානයේ රඟ දැක්වෙමින් තිබෙන බවය.

මේ යුද්ධයේදී සමස්ත චිත්‍රය එල්ටීටීඊයේ වාසියට හේතුවන ලෙස කැරකුණ ද ශ්‍රී ලංකා රාජ්‍යයේ ගරාහැලීම වේගවත් කරන්නට මිස, ශ්‍රී ලංකා රාජ්‍ය අකා මකා දමන්නට හෝ වෙන ම රාජ්‍යයක් ඇති කරගන්නට එල්ටීටීඊයට හැකිවන්නේ නැත. එහෙත් යුද්ධයෙන් එල්ටීටීඊය වඩා බලවත් වීම, දුර්වල වීම හෝ වැනසී යෑම යන තුනෙන් ඕනෑම එකක් සිදුවිය හැකිය.

ප්‍රභාකරන් ද අසාර්ථක නායකයෙකි

තිහාසික අර්ථයෙන් එල්ටීටීඊ සිටින්නේ විජයග්‍රාහී තැනක නොව, අගාධයට යන තැනකය. යුද්ධමය අර්ථයෙන් එල්ටීටීඊය එවැනි සංවිධානයකට යා හැකි උපරිම දුර ගියේය. දැවැන්ත හමුදා සංකීර්ණයක් වූ අලිමංකඩ ද අල්ලා ගත්තේය. කටුනායක ගුවන් හමුදා කඳවුරට හා ජාත්‍යන්තර ගුවන් තොටුපළට පහර දී රටේ ආර්ථික ක්‍රියාකාරීත්වය ඍණ අගයක් ඇති තත්ත්වයකට පත් කරනු ලැබීය. එල්ටීටීඊය දක්ෂ සංවිධානයක් නම්, සිය දේශපාලන ඉලක්ක ජයගත යුතුව තිබුණේ අද හෝ හෙට නොව, එදා ය. එවැනි දුරක් ගිය පසුත්, කිසිවක්ම දිනාගැනීමට අසමත් වීමෙන් පෙන්නුම් කෙරෙන්නේ යුදමය වශයෙන් කොතරම් දක්ෂ විය හැකි වුවත්, එය දේශපාලන වශයෙන් අඳ බාල සංවිධානයක් බවය.

රනිල් වික්‍රමසිංහ, ආණ්ඩුව සමග කෙරෙන සාම සාකච්ඡා අවස්ථාවක් කරගනිමින් ආයුධවලට ආයුබෝවන් කියා ප්‍රධාන ප්‍රවාහයට එකතු වීමේ හැකියාව එල්ටීටීඊයට තිබුණි. ඒ සඳහා අවශ්‍ය කරන මුහුකුරා ගිය බව එල්ටීටීඊය සතුවී නම්, ආයුධ සන්නද්ධ එල්ටීටීඊයට වඩා එම නිරායුධ එල්ටීටීඊය බලවත් වන්නට ඉඩ තිබුණි. අඩුම වශයෙන් එම සාම සාකච්ඡාවලදී මනුෂ්‍ය ඝාතනවලට ආයුබෝවන් කියන්නටවත් එල්ටීටීඊය සමත් වී නම්, ඔවුන්ට එරෙහිව යුද්ධ කරන තැනකට යන්නට මෙතරම් පහසු වන්නේ නැත.

දැවැන්ත ඉලක්කවලට පහර දුන් සංවිධානයක් දැන් නැවත සිය ඓතිහාසික ගමන් මගේ ආරම්භක අවධියේ අනුගමනය කළ සටන් පිළිවෙත් අනුගමනය කිරීමෙන් පෙනී යන්නේ එය පහළ සිට ඉහළට නොව, ඉහළ තැනක සිට පහළ තැනකට ගමන් ගන්නා තැනකට යමින් තිබෙන බවය.

වරද කාගේද?

තිවී තිබෙන මෙම විනාශකාරී යුද්ධයට වගකිවයුත්තේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඇතුළු පූර්වගාමී ආණ්ඩු පමණක් ද? නැත. ඒ ආණ්ඩු තරමට ම දෙමළ සන්නද්ධ ව්‍යාපාරය ද ඊට වගකිව යුතුය.

ආරම්භයේදී අනවශ්‍ය තරමට සිංහල භාෂාවට බර තැබූ ආණ්ඩුව අතින් හෝ සිංහල ජනතාව අතින් දෙමළ ජනතාවට බලවත් අසාධාරණයක් සිදු විය. තමන්ගේ මව් භාෂාවෙන් ගනුදෙනු කිරීමට දෙමළ ජනතාවට තිබෙන සාධාරණ අයිතිය පිළිගැනීමට අපි අසමත් වූයෙමු. භාෂා ප්‍රතිපත්තිය රැකී රක්ෂා ඇතුළු වෙනත් අංශ කෙරෙහි ද ඔවුන්ගේ අවාසියට හේතු වන ලෙස බලපෑවේය. ඔවුන් යුක්තිය ඉටු කර ගැනීම සඳහා සාමකාමී ආකාරයකින් කරන ලද අරගල පවා අපේ ඇස් ඇරවීමට සමත් නොවීය. 83 කළු ජූලිය සිංහල ජාතියේ නිර්මාණයක් ලෙස සැලකිය නොහැකි වුවත්, දෙමළ ජනයා තමන්ගේ රාජ්‍යයක් ඉල්ලා ආයුධ අතට ගෙන සටන් කරන තැනකට තල්ලු කළේය. දෙමළ සන්නද්ධ ව්‍යාපාරයට වෛරයෙන් කරුණු සලකා බලා සාහසිකව ක්‍රියා කරන ප්‍රතිපත්තියක් මිස කරුණු සන්සුන්ව සලකා බලා තර්කානුකූලව ක්‍රියා කරන ප්‍රතිපත්තියක් නොතිබුණේය. තමන්ගේ ඉලක්කවල ඇති මනෝරාජික බව තේරුම් ගැනීමට ඔවුහු අසමත් වූහ. වෙන ම රාජ්‍යයක් දිනා ගැනීමට සන්නද්ධ අරගලයක් අවශ්‍ය වූවා සේ ම, එම දෙමළ රාජ්‍යයේ භූමි කලාපය ලෙස සැලකුණු ප්‍රදේශවල අන්‍ය ජාතීන් ජීවත් වීම නිසා ඔවුන් එම භූමියෙන් බිය ගන්වා පලවා හැරීම සඳහා එහි වෙසෙන සිංහල ජනයා කෙරෙහි අනුකම්පා විරහිත කෘෘර පිළිවෙතක් අනුගමනය කිරීම ද අත්‍යවශ්‍ය විය. දෙමළ ජාතික බලවේගයක් උතුරට අතිරේකව මුළු නැගෙනහිර පළාතට ම අයිතිවාසිකම් කීවේ පිරිසිදු අර්ථයෙන් එය ඈත ඉතිහාසයේ තබා මෑත ඉතිහාසයේවත් මුළුමණින් දෙමළ නිජ භූමියක් වූ නිසා නොව, තමන් ගොඩනගන්නට අපේක්ෂිත රාජ්‍යයට විශාල භූමි ප්‍රමාණයක් ලබා ගැනීම අවශ්‍ය වූ නිසාය. එම අයිතිවාසිකම් කීම පැහැදිලි සත්‍යයක් නොවීම නිසාම එම ඉල්ලීම සිංහල ජනයා දැක්කේ තමන්ගේ සතුටට හේතුවී නැති 12%ක් තරම් වන ජනවර්ගයක් රටේ මුළු භූමියෙන් 33%ක් තරම් වන විශාල කොටසක් අත්පත් කරගැනීමට දරන සටකපට උත්සාහයක් ලෙසය. අනෙක් අතට, දෙමළ ජාතිකවාදී බලවේග අයිතිවාසිකම් කියන ඊනියා දෙමළ නිජබිමේ ජීවත් වන සිංහලයන් සම්බන්ධයෙන් දෙමළ සන්නද්ධ කණ්ඩායම් අනුගමනය කළ කෘෘර පිළිවෙත් දෙමළ ජනයාට තමන් අතින් සිදුවී තිබෙන අසාධාරණය දැකීමට තිබෙන හැකියාව සිංහල ජනයාට අහිමි කොට දෙමළ සන්නද්ධ අරගලය කෙරෙහි වෛරසහගත හා පිළිකුල් සහගත ආකල්පයකින් බලන තත්ත්වයක් සිංහල ජනයා තුළ ඇති කළේය.

දෙමළ ජනයා වෙනම රාජ්‍යයක් සඳහා අයිතිවාසිකම් ඉදිරිපත් කරන තැනකට නොගොස් සම අයිතිවාසිකම් සඳහා අවිහිංසාවාදී අරගලයක නිරත වී නම්, කිසියම් කාලයක් තුළ සිංහල පරිකල්පනයේ මහා වෙනසක් ඇතිවන්නට ඉඩ තිබුණේ යැයි මම විශ්වාස කරමි. ආයුධ සන්නද්ධ අරගලයකට යොමු වීමෙන් පසුත් වෙන ම රාජ්‍යයක් වෙනුවට සම අයිතිවාසිකම් සඳහා හෝ බලය බෙදාහරින වැඩපිළිවෙළක් වෙනුවෙන් පෙනී සිටින අතර, සාමාන්‍ය සිංහල මිනිසුන්ට පහර නොදෙන පිළිවෙතක පිහිටා එම සන්නද්ධ අරගලය පවත්වාගෙන යෑමට දෙමළ සන්නද්ධ කණ්ඩායම් සමත් වී නම්, සිංහල ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාරය මීට වඩා වෙනස් වන්නට ඉඩ තිබුණේ යැයි මම විශ්වාස කරමි.

එකට එක කිරීම හරි ද?

වැරදි දැක්මක් ඇති විමුක්ති ව්‍යාපාරයක් හැම විටම එකට එක කරන පිළිවෙතක් අනුගමනය කරන්නේ නැත. ඉන්දියානු කොංග්‍රසය බ්‍රිතාන්‍යයත් ඉන්දියාවේදී කරන දේවලට ඒ සමාන ආකාරයකින් ප්‍රතිචාර දක්වන තැනකට ගියේ නැත. වේල්ස් කුමාරයාගේ ඉන්දියානු සංචාරයට විරෝධය පළ කළේ කුමාරයාට හූ කීමෙන් හෝ ගල් ගැසීමෙන් නොව, කුමාරයා සංචාරය කළ නගර ජනශූන්‍ය කිරීමෙනි. ගාන්ධි සිය පීඩකයාගේ දේශයට ගිය විට ගාන්ධි පිළිගන්නට ඉදිරියට ආවේ එහි ජීවත් වන ඉන්දියානුවන් පමණක් නොවේ. දස දහස් ගණන් ඉංග්‍රීසීහු ද ඔවුන් අතර වූහ. ගාන්ධි ඉන්දියාවේ අධිකරණය ඉදිරියට ඉදිරිපත් කළ හැම අවස්ථාවකදී ම නඩු අසන ඉංග්‍රීසි නඩුකාරයා සිරිතක් වශයෙන් ඉබේ නැගී සිටියේය. ඒ ගාන්ධි කෙරෙහි ඇති කරගත් බිය නිසා නොව, ගෞරවය නිසාය.

දකුණු අප්‍රිකාවේ වර්ගභේද වාදයට එරෙහිව සටන් කළ නෙල්සන් මැන්ඩෙලා සිය ප්‍රතිපක්ෂය කම්මුතු කොට සිය ජයග්‍රහණය අපේක්ෂා නොකළේය. ඔහු සිය වර්ගයාගේ අයිතිවාසිකම් සඳහා සටන් කළේ සිය ප්‍රතිපක්ෂයේ පැවැත්ම ද පිළිගනිමිනි. ඒ නිසා ඔහුට පක්ෂපාත විශාල ජනතාවක් පීඩක පක්ෂය අතර ද සිටියේය. අවසානයේදී මැන්ඩෙලා වීරයෙකු ලෙස සැලකුවේ පීඩිත කල්ලන් පමණක් නොවේ, පීඩක සුද්දන්ට ද ඔහු වීරයෙකු විය.

ඇල්ජීරියානු විමුක්ති අරගලයේදී, ප්‍රංශය බිහිකළ දැවැන්තම ජනාධිපතිවරයා වන ඩිගෝල්ට එරෙහිව ඇල්ජීරියානු විමුක්ති අරගලයට පක්ෂපාතව පීඩක ජාතිය ලෙස ක්‍රියා කළ ප්‍රංශ ජනතාව අතර දැවැන්ත මහජන මතයක් ගොඩනැගී තිබුණි. ඇල්ජීරියානු අරගලයේ ජයග්‍රහණය කෙරෙහි එම සාධකය ද තීරණාත්මක ලෙස බලපෑවේය. පීඩිත ජාතියක් කරන අරගලය පීඩක ජාතියේ ද ගෞරවයට හේතු විය යුතුය. අවසාන ජයග්‍රහණය කෙරෙහි එම සාධකය ද තීරණාත්මක ලෙස බලපායි. එහෙත් දෙමළ ජාතිය සිංහල ජාතියේ ගෞරවයට හේතුවන ආකාරයේ අරගලයක් පවත්වාගෙන යෑමට සමත් වී නැත. සිංහල ජාතියේ ද ගෞරවයට හේතුවන ආකාරයේ අරගලයක් කිරීමට දෙමළ ජාතිය සමත් වී නම්, කවදා හෝ සිංහල ජාතිය ද දෙමළ අයිතිවාසිකම් වෙනුවෙන් තීරණාත්මක ලෙස මැදිහත් නොවනු නොවැළැක්විය හැකිය.

මහින්ද රාජපක්ෂ ප්‍රවේශය

හින්ද රාජපක්ෂ ආණ්ඩුව ප්‍රභාකරන්ට හා එල්ටීටීඊයට එරෙහිව යුද්ධ කරන තැනකට යෑම ඓතිහාසික අර්ථයෙන් නිවැරදිය. සාම සාකච්ඡා මගින් යුද්ධයක් ඇතිවීම ප්‍රමාද කළ හැකි වුවත්, යුද්ධයක් ඇතිවීම වැළකිය නොහැකිය. තමන් සටන් කරන්නේ යුක්තිසහගත නොවන හා දිනාගත නොහැකි මනෝරාජික අරමුණක් වෙනුවෙන් බව තිබෙන අත්දැකීම්වලින් තේරුම් ගැනීමට ප්‍රභාකරන් සමත් නොවේ නම්, ඒ කටුක යථාර්ථය ඔහු කවදා හෝ ඉගෙන ගන්නවා ඇත්තේ ඔහුගේ තෘප්තියට හේතුවී තිබෙන යුද්ධයෙන්මය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ප්‍රභාකරන්ට හා එල්ටීටීඊයට එරෙහිව යුද්ධයකට අවතීර්ණ වීම වැරදි නැතත්, මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යුද්ධයට ප්‍රවේශ වී සිටින්නේ දෙමළ ජනතාවට දෙන්නට වැදගත් කොට සැලකිය හැකි කිසිවක්ම අත නැතිවය. නැතිනම් සාමාන්‍ය දෙමළ ජනතාව ප්‍රභාකරන්ගෙන් හා එල්ටීටීඊයෙන් වෙන් කරන උපාය මාර්ගික වැඩපිළිවෙළක් නැතිවය.

දෙමළ ජනතාවගේ දුක්ගැනවිලි විසඳන්නට අලුත් ව්‍යවස්ථාමය ප්‍රතිපාදන අවශ්‍ය වුවත්, තිබෙන ව්‍යවස්ථාමය ප්‍රතිපාදන යටතේ වුවත්, ඔවුන්ගේ ඇත්ත දුක් ගැනවිලි බොහොමයක් විසඳිය හැකිය.

දෙමළ භාෂාවේ සාධාරණ පාවිච්චිය සඳහා නීති ඇතත්, එය ප්‍රායෝගික කිරීම සඳහා ගත යුතු පියවර ගෙන නැත. දෙමළ ජනතාව රාජ්‍ය ආයතන සමග කරන ගනුදෙනුවලදී දෙමළ භාෂාවෙන් කටයුතු කළ හැකි තත්ත්වයක් ඇතිකර දිය හැකිය. රාජ්‍ය සේවයට පුද්ගලයන් බඳවා ගැනීමේදී ඔවුන්ගේ ජනගහනයේ අනුපාතිකයට ගැලපෙන පංගුවක් දෙමළ ජනතාව සඳහා වෙන් කළ හැකිය. දෙමළ ජනතාව ඇතුළු සියලු සුළු ජාතිකයන්ට සමාන අයිතිවාසිකම් සහතික කරන හා මූලික මානව අයිතිවාසිකම් සහතික කරන මානව හිමිකම් ප්‍රඥප්තියකට කිසිම දේශපාලන පක්ෂයකට විරුද්ධ විය නොහැකිය. දකුණු අප්‍රිකාවේ මෙන් එවැනි මානව හිමිකම් ප්‍රඥප්තියක් නීතිගත කිරීම මගින් ඔවුන් තුළ පවතින ආතෘප්තිය බොහෝ දුරට තුනී කළ හැකිය.

යුද්ධය නතර කළ හැක්කේ කෙසේ ද?

න් යුද්ධය නතර කිරීමේ හැකියාව තිබෙන්නේ මහින්ද රාජපක්ෂට නොව ප්‍රභාකරන්ටය. දෙමළ ජනතාව ආවේගයන්ගෙන් තොරව ආපසු හැරී බැලීමකට යා යුතුය. දෙමළ සන්නද්ධ අරගලයට පෙර දෙමළ ජනතාවට සිංහල ජනතාවගෙන් සිදුවූ අසාධාරණකම් තිබුණා වුවත්, ඒ අසාධාරණකම් මැද පවා දෙමළ ජනතාව අදට වඩා හොඳ ජීවිතයක් ගත කළේය. ජාතිවාදී කලකෝලහාල වැනි විශේෂ අවස්ථාවලදී හැර ඔවුන් මරණ බියෙන් තොරව දේපළ අහිමි වීම පිළිබඳ බියෙන් තොරව සාමකාමී වටපිටාවක සමහර විට දකුණේ සිංහල ජනතාවට වඩා සමෘද්ධිමත් ජීවිතයක් පවත්වාගෙන ගියේය. එහෙත් දෙමළ සන්නද්ධ අරගලය ආරම්භ වීමෙන් පසු ඔවුන් එතෙක් හිමි කරගෙන සිටි යහපත් ජීවිතය ඔවුන්ට මුළුමණින් අහිමි විය. රටින් පලායාමට හැකියාවක් ඇති හැම කෙනෙක්ම රටින් පලාගිය අතර, කොළඹට ඒමට හැකි හැම කෙනෙකුම කොළඹට පලා ආහ. අවසානයේ උතුරු නැගෙනහිර සම්ප්‍රදායික දෙමළ ගම් බිම්වල ඉතිරි වුණේ රට අතහැර යාමට හෝ කොළඹට පලා යාමට හැකියාවක් නැති අසරණයන් පමණය. ඒ අසරණයන්ට අද ජීවත් වන්නට සිදුවී තිබෙන්නේ ආත්ම ගෞරවයක් ඇති මිනිසුන් ලෙස නොව, තිරිසනුන් ලෙසය. ඔවුන්ට එක්කෝ එල්ටීටීඊයේ හෝ එල්ටීටීඊයට එරෙහිව සටන් කරන අතුරු හමුදාවල ප්‍රවේණිදාසයන් පිරිසක් ලෙස ජීවත්වීමට සිදුවී ඇත්තේය. ඔවුන් මෙම කාලකණ්ණි තත්ත්වයට ඇද වැටී දැන් දශක දෙකකටත් වැඩිය. ඒ තත්ත්වයෙන් ඔවුන් නිදහස් වන්නට යන්නේ කවදාද යන්න පැහැදිලි නැත. ප්‍රභාකරන්ට අල්ලාගෙන සිටීමේ හැකියාවක් තිබිය හැකි වුවත්, වෙන ම දෙමළ රාජ්‍යයක් කවදා හෝ උදාකිරීමේ හැකියාවක් නැත. මේ තත්ත්වයෙහි වෙනසක් ඇති කළ හැකිවනු ඇත්තේ මහින්ද රාජපක්ෂට නොව ප්‍රභාකරන්ටය. වෙන ම රාජ්‍යයක් පිළිබඳ මනෝරාජික අදහස හා කරමින් සිටින තේරුමක් නැති සන්නද්ධ අරගලය ද අතහැර දේශපාලන විසඳුමක් සඳහා නිරායුධ වීමට ඇති කැමැත්ත ප්‍රකාශ කරන තැනකට ප්‍රභාකරන් ආ යුතුය. නිරායුධකරණය වෙනුවෙන් ගැටුම් ආරම්භ වන්නට පෙර උතුරු නැගෙනහිර පැවති ආරක්ෂක හමුදාවන්ගේ ප්‍රමාණයට සරිලන තත්ත්වයකට ආරක්ෂක හමුදාවන්ගේ ප්‍රමාණය අඩු කළ යුතුයි යන ඉල්ලීම ඉදිරිපත් කළ හැකිය. ඉන්දුනීසියාවේ අචේ ගරිල්ලන් සමග ප්‍රශ්න බේරා ගත්තේ ද ඊට සමාන ආකාරයකටය. ගරිල්ලෝ තමා ළඟ තිබූ ආයුධවලින් 25%ක් පළමු වටයේදී භාර දුන්හ. ඉන්දියානු ආණ්ඩුව අචේවලට යවා තිබූ අතිරේක හමුදාවලින් 25%ක් ඉවත් කරගන්නා ලදි. මේ ආකාරයට වට හතරකදී ගරිල්ලන් තමන් ළඟ තිබූ සියලුම ආයුධ ආණ්ඩුවට බාරදී නිරායුධ වූ අතර, ආණ්ඩුව ද අවසානයේ අචේ ප්‍රාන්තයට යවා තිබූ සියලු අතිරේක හමුදා ඉවත් කරගනිමින් ගැටුම් ආරම්භවීමට පෙර අචේවල පැවති තත්ත්වයට සමාන තත්ත්වයක් ඇති කර දුන්නේය. දෙපාර්ශ්වයේම ගෞරවයට හේතුවන මෙවැනි විසඳුමකින් එල්ටීටීඊයේ යුද්ධය සේ ම, ආණ්ඩුවේ ප්‍රති යුද්ධය අවසන් කළ හැකි අතර, එල්ටීටීඊ නිරායුධ කෙරෙන තත්ත්වයක් ඉදිරියේ ගැටුම් පැවති කලාපයේ අතිරේක ආරක්ෂක හමුදා පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව නැතිවී අධි ආරක්ෂක කලාප සඳහා ලබා ගත් ඉඩම් ඒවාහි අයිතිකරුවන්ට හිමිකර දීමේ හැකියාව ද ලැබෙන්නේය.

ප්‍රභාකරන්ට හා එල්ටීටීඊයට වෙන ම රාජ්‍යයක් පිළිබඳ අදහස හා ඒ වෙනුවෙන් කරන සන්නද්ධ අරගලය අත්හැරීම පහසු නැතත්, දෙමළ ජනතාවට යුද්ධය අවසන් කොට දැන් සිටින කාලකණ්ණි තත්ත්වයෙන් අත් මිදීමට හැකිවනු ඇත්තේ එවැනි විසඳුමක් සඳහා ප්‍රභාකරන් හා එල්ටීටීඊය එකඟ කරවා ගැනීමෙන් පමණය. •