සන්ඩේ ලීඩර් මුද්‍රණාලය ගිනි තැබීම

October 29, 2026
Publication:
An armed group broke into the press that prints the Sunday Leader in the small hours of the 21st, beat the workers and set the building alight. On the face of it the government had it done. Ivan defends Lasantha Wickrematunge's right to the politics he chooses while saying plainly what he thinks of it: neither the editor nor the president wants a change of system, each wants the other removed.

21 වැනිදා එළිවන යාමේ “සන්ඩේ ලීඩර්” පුවත්පත මුද්‍රණය කරන මුද්‍රණාලයට කඩා වැදුණු ආයුධ සන්නද්ධ කණ්ඩායමක් මුද්‍රණාලයේ වැඩ කරමින් සිටි පිරිසට පහර දී මුද්‍රණාලයට ගිනි තබා තිබේ. “සන්ඩේ ලීඩර්” පුවත්පත හා ආණ්ඩුව අතර තිබුණු ගැටුමේ ස්වභාවය අනුව බැලූ බැල්මට මෙම සාහසික ක්‍රියාව ආණ්ඩුව විසින් කරවන ලද්දක් බව පෙනී යයි.

“සන්ඩේ ලීඩර්” කර්තෘ ලසන්ත වික්‍රමතුංග හා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අතර එම ආණ්ඩුව බලයට පැමිණි දා සිට අප්‍රසන්න ගැටුමක් තිබුණි. “සන්ඩේ ලීඩර්” කර්තෘ හා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර ජනාධිපතිවරණයට පෙර සුහද සම්බන්ධයක් තිබුණ ද, ජනාධිපතිවරණයේ දී “සන්ඩේ ලීඩර්” කර්තෘ රනිල් වික්‍රමසිංහ මහතාට ආධාර කරන ප්‍රතිපත්තියක පිහිටා මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව වැරෙන් පහර දෙන ප්‍රතිපත්තියකට යෑම නිසා හා ජනාධිපතිවරණයෙන් පසුත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව දැඩි ලෙස පහර දෙන පිළිවෙතක පිහිටා ක්‍රියා කිරීම නිසා පැවති සුහදත්වය බිඳ වැටී දෙදෙනා එකිනෙකා කෙරෙහි පසමිතුරු ආකල්පයකින් ක්‍රියා කරන තත්ත්වයක් ගොඩ නැගී තිබුණි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හැකි ඉක්මණින් පරාජය කොට, රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවක් කරළියට ගැනීමේ මෙහෙයුමක යෙදී සිටින බලවත් චරිත කිහිපය අතර “සන්ඩේ ලීඩර්” කර්තෘ ලසන්ත වික්‍රමතුංග ද සිටින බව රටට රහසක් නොවන්නේ ය. ලසන්ත රඟපාමින් සිටින මෙම දේශපාලන භූමිකාව තුළ ලසන්ත වික්‍රමතුංග එජාපයට සිටින අංක එකේ වීරයෙකු වනවා සේ ම, ආණ්ඩුවට සිටින අංක එකේ හතුරකු වන්නේ ය. ඒ අර්ථයෙන් ලසන්තගේ මුද්‍රණාලයට එල්ල කෙරුණු පහරදීම ආණ්ඩුව තමන්ට සිටින අංක එකේ දේශපාලන හතුරකුට එල්ල කරන ලද ප්‍රතිප්‍රහාරයක් ලෙස සැලකිය හැකි ය.

ලසන්තගේ දේශපාලනය ගැන අපට ද විවේචනයක් ඇත්තේ ය. විශේෂයෙන්ම කලක් අංක එකේ හෙරක් ලෙස විග්‍රහ කෙරුණු චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය තවත් පසුකලක දී, ජාතිය ගලවා ගැනීමට සිටින වීරවරියක් බවට පත්කිරීමට ඔහු විසින් දරන ලද උත්සාහය අපගේ ද විවේචනයට හේතු විය. ලසන්ත වික්‍රමතුංග ක්‍රියාකාරී දේශපාලනයේ නිරතවීමට කැමති දේශපාලන සත්වයකු නිසා ම පෑනෙන් කරන හරඹයේ දී අසාධාරණ ලෙස ක්‍රියාකරන අවස්ථා සේ ම, සීමාන්තික ලෙස ක්‍රියා කරන අවස්ථා ද ඇති බව අපි දනිමු. එහෙත් නීතිය ඉක්මවා ක්‍රියා නොකරන තාක් පුරවැසියකු ලෙස පමණක් නො ව, පුවත්පත් කතුවරයෙකු ලෙස තමන් කැමති දේශපාලනයක නිරත වීමේ අයිතිය ඔහුට හිමිවිය යුතු ය. ත්‍රස්තවාදී ප්‍රහාර මගින් ඔහු හෝ ඔහුගේ පුවත්පත නිහඬ කිරීමට දරන කවර උත්සාහයක් හෝ අනුමත කළ නොහැකි අතර, ඔහුගේ මුද්‍රණාලයට එල්ල කළ ප්‍රහාරය හෙළා දැකිය යුතුවා පමණක් නො ව, ඊට ආණ්ඩුව වග කිවයුතු බව ද අපි ප්‍රකාශ කරමු.

මෙම කැත දේශපාලන ක්‍රමය තුළ මේ ආණ්ඩුවෙන් පමණක් නො ව, කවර ආණ්ඩුවකින් හෝ එල්ල වන මෙවැනි ක්‍රියා අපේ පුදුමයට හේතු නොවන බව ද කිව යුතු ය. දේශපාලන ක්‍රමය සකස් වී ඇත්තේ ප්‍රති පක්ෂවලට සහයෝගයෙන් වැඩ කළ හැකි ආකාරයකට නො ව, වෛරයෙන් එකිනෙකා ඇණ කොටා ගත යුතු ආකාරයකට ය. මේ ක්‍රමය තුළ ලසන්තට ජනාධිපති මහින්ද රාජපක්ෂ පෙනෙනුයේ වහා බලයෙන් පහ කළ යුතු විනාශකාරී පුද්ගලයෙකු ලෙස ය. එසේ ම ජනාධිපති මහින්ද රාජපක්ෂට ලසන්ත වික්‍රමතුංග වැනි කෙනෙකු පෙනෙනු ඇත්තේ අනුකම්පා විරහිතව මර්දනය කළ යුතු විනාශකාරී පුද්ගලයෙකු ලෙස ය.

ලසන්ත වික්‍රමතුංග වැනි පුවත්පත් කතුවරයෙකු පවා දේශපාලන ක්‍රමයේ වෙනසක් වෙනුවෙන් පෙනී නො සිටී. ඒ වෙනුවට උනන්දුවක් දක්වන්නේ තමන්ට බලපෑ හැකි තමන් කැමති පාලකයකු පාලනයට ගැනීම ය. ලසන්ත කැමති නැති පාලනයක් තුළ මෙවැනි නින්දා සහගත දේවල් සිදුවීම පුදුමයට හේතු නො වන වා සේ ම, දේශපාලන ක්‍රමයේ වෙනසකින් තොර ව ඇතිවන ලසන්ත කැමති පාලනයක් තුළ ද එවැනි නින්දා සහගත දේවල් සිදුවනු නො වැළැක්විය හැකි ය.•