අයවැය හා රටේ දේශපාලනය

October 29, 2026
Publication:
The budget has become decisive for the opposition as much as for the government: the UNP fears that a government victory will draw more members across and dissolve it, and the JVP is using the leverage the crisis has handed it to press conditions that would push the country to ruin. If the political system is not civilised, Ivan writes, the duty of making it so lies with the parties in parliament.

අයවැය ආණ්ඩුවට සේ ම, විරුද්ධ පක්ෂයට ද තීරණාත්මක වී තිබේ.

අයවැයේ දී ආණ්ඩුව ජයගතහොත් තවත් පිරිස් ආණ්ඩුවට එකතුවීම තුළ තමන් දියවී යන තත්ත්වයක් ඇතිවනු ඇතැයි කියන බියක් එජාප තුළ රජ කරන බව පෙනේ. ඒ නිසා එම පක්ෂයේ නායකයන් අයවැය පරාජය කිරීමේ බලවත් උත්සාහයක නිරත වී සිටින බව පෙනේ. ආණ්ඩුව ද විරුද්ධ පක්ෂයෙන් එල්ල වී තිබෙන අභියෝගය පරාජය කිරීම සඳහා ප්‍රති මෙහෙයුමක යෙදී සිටින බව පෙනේ.

ජේවීපීය ද මෙම අර්බුදයේ දී තමන්ට ලැබී තිබෙන තීරණාත්මක වැදගත්කම ප්‍රයෝජනයට ගනිමින් රට විනාශයට තල්ලු කරන කොන්දේසි ඉදිරිපත් කරන තැනකට තල්ලු වී සිටින බව පෙනේ.

උද්ගත වී තිබෙන මෙම විශේෂ තත්ත්වය යටතේ ඉදිරි දින කිහිපය තුළ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් ඒ පැත්තෙන් මේ පැත්තටත්, මේ පැත්තෙන් ඒ පැත්තටත් මාරු වන ආකාරය දැක බලාගැනීමේ අවස්ථාව රටට ලැබෙනු ඇත.

මේ රටේ දේශපාලන කටයුතු වර්තමානයේ සේ ම, අතීතයේ ද සිදුවූයේ රටේ යහපතට හෝ ගෞරවයට හේතු වන ආකාරයකට නොවේ. මෙය පුද්ගලයන්ගේ වරදකට වඩා ක්‍රමයේ වරදක් ලෙස සැලකිය හැකි ය. දේශපාලන ක්‍රමය අකාර්යක්ෂම වනවා සේ ම, අන්ත දූෂිත ද වේ. මේ ක්‍රමය තුළ බලයට පත්වන හැම පාලනයක් ම වෙනස් වන්නේ ප්‍රමාණයෙන් මිස, ගුණයෙන් නොවේ. සිරිතක් වශයෙන් හැම පාලනයක් ම අකාර්යක්ෂම වූවා සේ දූෂිත ද විය.

ක්‍රමය වෙනස් කිරීමෙන් තොරව ආණ්ඩු පෙරළීමෙන් හෝ අලුත් ආණ්ඩු ඇති කිරීමෙන් හෝ රටට යහපතක් සිදුවී නැත. රටේ යහපත පිණිස රටට අවශ්‍ය වී ඇත්තේ ක්‍රමයේ වෙනසකි.

කලක් ජවිපෙ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටියත්, දැන් ඒ පොරොන්දුව ජවිපෙට මුළුමණින් අමතක වී තිබෙන බව පෙනේ. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට තරග කළේ ද විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන බවට පොරොන්දු වෙමිනි.

පවතින දේශපාලන ක්‍රමය ශිෂ්ටසම්පන්න නොවේ නම්, ශිෂ්ටසම්පන්න ක්‍රමයක් ඇති කරගැනීමේ වගකීම ඇත්තේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවලට ය. දේශපාලන පක්ෂ වශයෙන් දේශපාලනඥයන් වශයෙන් තමන් ඇද වැටී තිබෙන ඛේදජනක හා හාස්‍යජනක තත්ත්වය තේරුම් ගැනීමට තරම් ඔවුන්ට බුද්ධියක් නැද් ද? කවදා හෝ පක්ෂ භේදයකින් තොරව මේ රටේ ජනතාව ඔවුන්ට එරෙහිව නැගී සිටිනු ඇති බව ඔවුන් තේරුම් ගන්නේ කවදා ද?

දැන් තිබෙන ආණ්ඩුව පරාජය කිරීමෙන් පමණක් අදූෂිත හා කාර්යක්ෂම පාලනයක් සහතික කිරීමේ හැකියාවක් ඔවුන්ට තිබේ ද? මේ ක්‍රමය වෙනස් කිරීමෙන් තොර ව රට යහපත් තැනකට ගැනීමේ හැකියාව තිබේ ද?

මෙම දූෂිත පීඩාකාරී හා අකාර්යක්ෂම දේශපාලන ක්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාව දේශපාලන පක්ෂ තේරුම් නොගනී නම් ඒ අරමුණ ජයගැනීම සඳහා මහජනයා සංවිධානාත්මකව පෙරට ආයුතු කාලය දැන් එළඹ තිබේ. •