ඊළාම් අරගලය
අනුරාධපුර ප්‍රහාරයට පෙර එල්ටීටීඊය සිටියේ මීට පෙර යුදමය වශයෙන් ඔවුන් හිමි කරගෙන සිටි අනභිබවනීය ප්‍රතිරූපය වාෂ්පවෙමින් තිබූ තත්ත්වයකය. මහා වීර දිනය අත ළඟ තිබෙන අවස්ථාවක අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට එල්ල කළ සාර්ථක ප්‍රහාරයෙන් එම චිත්රයේ යම් වෙනසක් ඇති කරගැනීමට සමත් වුවද, ඊට පසු තමිල් සෙල්වම් ඉලක්ක කොටගෙන එල්ල වූ ගුවන් ප්‍රහාරය විසින් නැවත එම චිත්‍රය එල්ටීටීඊයේ අවාසියට හේතුවන වෙනසක් ඇති කිරීමට හේතුවී තිබේ. දැන් ප්රභාකරන්ට මහා වීර දිනයේදී ජයග්‍රාහී කතාවක් කළ හැකිවනු ඇත්තේ මහා වීර දිනයට පෙර නැවත අනුරාධපුර ප්‍රහාරය වැනි මහා විනාශයක් ඇති කිරීමට හේතුවන විශ්මයජනක ප්‍රහාරයක් එල්ල කිරීමට සමත් වේ නම් පමණය.
එල්ටීටීඊයේ නැව් ඉලක්ක කොටගෙන එල්ල කෙරුණු සාර්ථක ප්‍රහාර එල්ටීටීඊය අන්දමන්ද කිරීමට හේතුවී තිබුණ ද ජනමාධ්‍යවලට යුද තොරතුරු ලියන විශ්ලේෂකයන්ගේ විමර්ශනයන්ට ඒ පිළිබඳ විස්තර ඇතුළත් නොවීම නිසා එම සිද්ධීන් මහජන අවධානයට යොමුවූයේ නැත. ඉන්පසු මුහුදේ ගමන් ගන්නා නැව්වලින් ඔබ්බට යමින් නායකයකු ඉලක්ක කොට ගනිමින් එල්ල කෙරුණු ප්‍රථම ගුවන් ප්‍රහාරය එය ලෙස සැලකිය හැකිය. කොයි මොහොතක හෝ තමිල් සෙල්වම්ට සිදුවූ දෙය තමන්ට ද සිදුවිය හැකි බව ප්රභාකරන් තේරුම් ගන්නට ඇති පළමු අවස්ථාව ද එය විය හැකිය. යුද්ධය තාක්ෂණ යුද්ධයක් බවට හැරෙමින් තිබෙන බව හා දකුණේ ජනතාව විදේශ බලවේගයන්ට එරෙහිව කොතරම් කෑ මොර ගැසුව ද ත්‍රස්ත විරෝධී අන්තර්ජාතික බලවේග එල්ටීටීඊයට එරෙහිව ශ්‍රී ලංකා ආණ්ඩුව කරන අරගලයේ කොටස්කරුවන් බවට පත්ව සිටින බව ද පෙනී යයි.
එල්ටීටීඊය රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව යටතේ කෙරෙන සාම සාකච්ඡාවලට පැමිණියේ යුදමය වශයෙන් ලබාගත හැකි සියලු ජයග්‍රහණ හිමිකර ගැනීමෙන් පසුවය. ඔවුන් දේශපාලන වශයෙන් ඥාණාන්විත සංවිධානයක් නම්, යුද්ධය අතහැර ප්‍රධාන ප්රවාහයට එකතු විය යුතුව තිබුණු ඓතිහාසික අවස්ථාව එය විය.
එහෙත් ආයුධ අතහැර නිරායුධ දේශපාලනයට ඒමට අවශ්‍ය කරන දැක්මක් හෝ සංයමයක් ඔවුන්ට නොතිබුණි. ඔවුන් අපේක්ෂා කළේ වෙනම රාජ්‍යයක් නොවේ නම්, ආයුධ සහිත කොන්ෆෙඩරල් රාජ්‍යයක් බැවින් ආයුධවලට ආයුබෝවන් කීමේ හැකියාවක් ඔවුන්ට නොතිබුණි.
ආයුධ සමග කරන ක්‍රීඩාවේදී තිබුණු සියලු දෙමළ සන්නද්ධ කණ්ඩායම් අතුරින් දක්ෂතම කණ්ඩායම එල්ටීටීඊය විය හැකි වුවත් දුර්වලම දේශපාලන දැක්මක් තිබුණු දේශපාලන කණ්ඩායම වූයේ ද එල්ටීටීඊයයි. සිංහල මිනිසුන්ට තුවක්කුවෙන් කතා කොට ඔවුන් බිය ගන්වා සිය ඉල්ලීම් ලබාගැනීම එල්ටීටීඊයේ පිළිගත් දෘෂ්ටිය විය. එය අපේක්ෂා කළ ඉලක්ක සාධාරණ හෝ ප්‍රායෝගික නොවීය.
ගුවන් ප්‍රහාරවලින් මරණයට පත් තමිල් සෙල්වම් පිළිබඳව කෙරෙන සංවාදයේදී ඔහුගේ කුලය ද ප්‍රසිද්ධියේ සාකච්ඡාවට ලක්වන මාතෘකාවක් බවට පත්ව තිබේ. විමල් වීරවංශගේ කුලය අළලා කෙරුණු ප්‍රසිද්ධ කතාබහවලින් පසුව කෙරෙන ප්‍රසිද්ධ කුල සංවාදය එය ලෙස ද සැලකිය හැකිය. විමල් වීරවංශ පීඩිත කුලයකට අයත් වනවා සේ ම, තමිල් සෙල්වම් අයත් වූයේ ද පීඩිත කුලයකටය.
කුලය ද මේ රටේ අවුල් කෙරෙහි බලපා තිබෙන එක් සාධකයකි. එකම ජාතියකට අයත් වුවත්, සියලු සිංහලයන් එක සමාන නොවන්නා සේ ම, සියලු දමිළයන් ද එක සමාන නැත. සිංහල හා දෙමළ යන සමාජ දෙක තුළම කුලභේදය මුල් කරගත් උස් පහත් භේදයක් පවතී. සිංහල සමාජයේ පවත්නා එම උස් පහත් භේදය ජේවීපී පෙළ ගැස්ම කෙරෙහි බලපෑවා සේ ම දෙමළ සමාජයේ පවත්නා එම උස් පහත් භේදය එල්ටීටීඊ පෙළ ගැස්ම කෙරෙහි බලපෑවේය. ප්රභාකරන් විජේවීරගේ දෙමළ කාබන් පිටපත ලෙස සැලකිය හැකිවා සේ ම, අනෙක් අතට විජේවීරද ප්රභාකරන්ගේ සිංහල කාබන් පිටපත ලෙස ද සැලකිය හැකිය. විජේවීර සිංහල සමාජයේ කරාව කුලයට ද, ප්රභාකරන් දෙමළ සමාජයේ කරයාර් කුලයට ද අයත් විය. විජේවීර දකුණේ ධීවර බලප්‍රදේශයක් ලෙස සැලකිය හැකි තංගල්ලෙන් උපත ලබන විට ප්රභාකරන් උපත ලබන්නේ ද උතුරේ ධීවර බලප්‍රදේශයක් ලෙස සැලකිය හැකි වැල්වැටිතුරයෙනි. දෙදෙනාගේ සමාජ පසුබිම බොහෝ දුරට එක සමානය. ලෝක දෘෂ්ටිය සේ ම ගොඩනගන ලද දේශපාලන ව්‍යාපාරයන්ගේ ස්වභාවය ද බලය අල්ලා ගැනීම සඳහා දියත් කරන ලද සටන් ක්‍රමද බොහෝ දුරට එක සමානය. විජේවීර සිංහල සමාජය තුළ පවත්නා දෙමළ විරෝධය වැදගත් අවියක් ලෙස භාවිතා කරන විට ප්රභාකරන් දෙමළ සමාජය තුළ පවත්නා සිංහල විරෝධය වැදගත් අවියක් ලෙස පාවිච්චි කළේය. විජේවීර සිංහලයන්ගේ ගැලවුම්කරුවකු ලෙස පෙනී සිටින විට, ප්රභාකරන් දමිළයන්ගේ ගැලවුම්කරුවකු ලෙස පෙනී සිටියේය. විජේවීර සිංහල සමාජය තුළ පවත්නා කුලභේදය ප්‍රයෝජනයට ගනිමින් පීඩිත කුලවලට අයත් තරුණයින් දේශපාලන වශයෙන් සිය ග්‍රහණයට ගන්නා විට ප්රභාකරන් ද දෙමළ සමාජයේ පවත්නා කුලභේදය ප්‍රයෝජනයට ගනිමින් පීඩිත කුලවලට අයත් තරුණ තරුණියන් දේශපාලන වශයෙන් ග්‍රහණයට ගත්තේය. දෙවැනි කැරැල්ලේදී ජවිපෙ අතින් ඝාතනයට ලක්වූ සිංහලයන්ගෙන් වැඩි පිරිසක් සිංහල සමාජයේ උසස් යැයි සම්මත කුලවලට අයත් වූවන් වන අතර, එල්ටීටීඊය අතින් ඝාතනවලට ලක්වූ දමිළයන්ගෙන් ද වැඩි පිරිසක් දෙමළ සමාජයේ උසස් යැයි සම්මත කුලවලට අයත් වූවන් ලෙස සැලකිය හැකිය. ප්රභාකරන්ගේ දෙවැනියා ලෙස සැලකිය හැකි තමිල් සෙල්වම් දෙමළ සමාජයේ පීඩිතම කුලයකට අයත් වූවා සේ ම, විජේවීරගේ දෙවැනියා ලෙස සැලකිය හැකි ගමනායක අයිති වූයේ ද සිංහල සමාජයේ පීඩිතම කුලයකටය. දෙමළ සමාජයේ පීඩිත කුලවලට අයත් තරුණ තරුණියන් ක්‍රියාකාරී ලෙස සිංහල විරෝධී වීම මගින් දෙමළ සමාජය තුළ පිළිගැනීමක් ලබාගැනීමට උත්සාහ කරන්නා සේ සිංහල සමාජය තුළ ද පීඩිත කුලවලට අයත් තරුණ තරුණියන් ක්‍රියාකාරී ලෙස දෙමළ විරෝධී වීම මගින් සිංහල සමාජය තුළ පිළිගැනීමක් ලබාගැනීමට උත්සාහ කරයි. මෙම නොවිසඳුණු ගැටලුව ශ්‍රී ලංකා සමාජයේ තිබෙන අර්බුද උග්‍ර කිරීමට හා සංකීර්ණ කිරීමට හේතුවී තිබේ.
මහත්මා ගාන්ධි ලංකාවට පැමිණ ලංකා ජාතික සංගමයේ නායකයන් අමතා කළ කතාවේදි බාහිර සතුරාට එරෙහිව ශක්තිමත් හා අර්ථවත් සටනක් කළ හැකිවනු ඇත්තේ පළමු කොට සමාජයේ අභ්‍යන්තරයේ සිටින නිසි පිළිගැනීමක් නැති තමන්ගේ ජනයාට සමාන පිළිගැනීමක් ලබාදීමට සමත් වන්නේ නම් පමණක් බව කීවේය. මහත්මා ගාන්ධි එහිදී දලිත් ජනයාට සමාන පිළිගැනීමක් ලබාදීම සඳහා ඉන්දියාවේ දියත් කර තිබෙන ව්‍යාපාරය ගැන ද ඔවුන්ට කියා දුන්නේය. එහෙත් එදා මහත්මා ගාන්ධි ඉල්ලා සිටිය කොන්දේසිය සම්පූර්ණ කිරීමට ලංකා ජාතික සංගමයේ නායකයන් අසමත් වූවා සේ ම, අද දක්වා බලයට පැමිණි නායකයින් එය ඉටුකිරීමට අද දක්වාම අසමත් වී තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ලෙන් පසුව කැරැල්ලට තුඩු දුන් හේතු සොයා බැලීම සඳහා පත් කළ තරුණ අසහන කොමිසම මෙම ප්රශ්නයේ ඇති බරපතළකම රටට පෙන්වා දුන්න ද අවශ්‍ය වෙනස්කම් ඇති කිරීමට රට සමත් වූයේ නැත. සිංහල හා දෙමළ සමාජය තුළ ඔඩුදුව ගිය ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන මෙම අවුල නිරාකරණය කරගැනීමට රට සමත් වේ නම්, රට මුහුණ දී තිබෙන අර්බුදවලින් හරි අඩක් නිරාකරණය කරගත්තා හා සමාන විය හැකිය. •