මිහින්ද රාජපක්ෂ ආණ්ඩුව විජයග්‍රාහී එල්ටීටීඊ විරෝධී යුද්ධයක් වෙනුවෙන් පෙනී සිටියේය. ඒ සඳහා එල්ටීටීඊයට එරෙහිව අනුකම්පා විරහිත යුද්ධයක් ඉදිරියට ගෙනයමින් තිබුණු බල තුලනයේ සැලකිය යුතු වෙනසක් ඇති කිරීමට ද සමත් විය. මුළු යුද්ධ ව්‍යාපාරයේ ම අරමුණ වූයේ එල්ටීටීඊ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමය. ආණ්ඩුව ඵලය වැදගත් කොට සැලකුවා විනා හේතුව වැදගත් කොට නොසැලකීය.
නාස්තිය, දූෂණය හා උද්ධමනය පිළිබඳව ආණ්ඩුවට එරෙහිව එල්ලවෙමින් තිබුණු චෝදනා මැද ආණ්ඩුව පවත්වාගෙන ගිය යුද්ධ ව්‍යාපාරය සාමාන්‍ය මහජනයාගේ ආකර්ෂණයට හේතුවී තිබුණි. මොන වැරදි තිබුණත්, ජනාධිපතිවරයා කොටින්ට හොඳ ගේමක් දෙනවා යන්න සාමාන්‍ය මහජනයාගේ මතය විය.
ත්‍රස්තවාදී ව්‍යාපාරයකට එරෙහිව කරන යුද්ධයකදී කපොලු සිය ගණනක් අතරින් ඔවුන්ට අවශ්‍ය වන්නේ දුර්වල එක කපොල්ලක් පමණය. යුද්ධමය කෝණයකින් ගත් විට ඔවුන් දක්ෂ ලෙස අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට කඩා වැදී විශාල විනාශයක් කළේය. ඇතැම් විචාරකයන්ගේ ඇස්තමේන්තුවලට අනුව සිදුවී තිබෙන හානියේ මූල්‍ය අගය ඩොලර් මිලියන 30කි. ඔවුන් එවැනි ප්‍රහාරයක් මගින් අපේක්ෂා කරන්නට ඇත්තේ එල්ටීටීඊය ඇද වැටී නැති බවත්, හොඳින් සැලසුම් කොට විශ්මයට හේතුවන ආකාරයේ පහරදීම් කිරීමට තමන්ට තාමත් හැකි බවත්ය.
මෙම විනාශය ඇති කිරීම සඳහා ඔවුන් කර තිබෙන ආයෝජනය ද සැලකිය යුතු තරම් විශාලය. මරාගෙන මැරෙන පුද්ගලයකුගේ මූල්‍ය අගය කොතරම් ද යන්න පැහැදිලි නැත. ගුවන් යානා මිලදී ගත හැකි වුවත්, මරාගෙන මැරෙන්න සූදානම් මිනිසුන් වෙළෙඳපොළේ මිලදී ගත නොහැකිය. ඔවුන් එක විට එවැනි පුද්ගලයන් 21ක් තරම් විශාල ගණනක් යොදවා මෙතෙක් කරන ලද එකම පහරදීම ද මෙය ලෙස සැලකිය හැකිය.
ඒ මගින් තිබුණු චිත්‍රයේ තමන්ට වාසිදායක වෙනසක් ඇතිකර ගැනීමට එල්ටීටීඊය සමත් වී ඇතත්, තාමත් ඔවුන් සිටින්නේ ආරම්භයේ සිටි තත්ත්වයට වඩා ඉහළ තැනක නොව, පහළ තැනකය. මෙම ප්‍රහාරය නිසා ආණ්ඩුවේ ආරක්ෂක හමුදාවල විජයග්‍රාහී ස්වරූපය කිසියම් ප්‍රමාණයකට බොඳ කිරීමට හැකිවී ඇතත්, බල තුලනය මුළුමණින් ආරක්ෂක හමුදාවල අවාසියට හේතුවන ලෙස තවමත් වෙනස් වී නැත.
රනිල් වික්‍රමසිංහ නතර කළ තැනට නැවත රට යායුතු නැත. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව එල්ටීටීඊය සමග කරන ලද ගනුදෙනුවේ ප්‍රශස්ථ හා ශක්තිමත් අංග තිබුණ ද, අයහපත් හා දුර්වල අංග ද තිබුණි. එය ඒ මොහොතේ එකිනෙකාගේ දේශපාලන අවශ්‍යතා සලකා ඇති කරගත් එකඟත්වයක් ලෙස සැලකිය හැකිය. ප්‍රතිපක්ෂ නායිකාවක් අත විධායක බලය තිබෙන තත්ත්වයක් යටතේ තමන්ගේ ආණ්ඩුව අල්ලා ගෙන සිටීම සඳහා එවැනි වැඩපිළිවෙළක් ආණ්ඩුවට අවශ්‍ය වී තිබුණා සේ ම, ඒ පැවති තත්ත්වයන් යටතේ තමන්ට පිළිගැනීමක් ලබාගැනීම සඳහා තාවකාලික සම්මුතියක් ඇතිකර ගැනීමට එල්ටීටීඊයට ද අවශ්‍ය වී තිබුණි. ඒ තිබුණු තත්ත්වය යටතේ එල්ටීටීඊය සතුටු කරන ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියාකිරීමට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට සිදුව තිබුණේය. ඇති කරගත් සම්මුතිය බාහිර වශයෙන් ආටෝපකාරී වුවත්, අභ්‍යන්තරය තුළ හිස් බවක් තිබුණි. එහිම ප්‍රතිඵලයක් වශයෙන් අවසානයේ එල්ටීටීඊය විසින්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීම වළකන අතර, එල්ටීටීඊයට පහසුවෙන් යටත් නොවන දැඩි මතධාරි ජනාධිපතිවරයෙකු බලයට ආවේය. ඉන්පසු දෙපාර්ශ්වය අතර ගනුදෙනුව කෙරුණේ සාකච්ඡාවෙන් නොව, යුද්ධයෙනි. දැන් බල තුලනය තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ සාකච්ඡා ආරම්භ කළ කාලයේ තිබුණු තැන නොව අන් තැනකය.
දැන් එල්ටීටීඊය සේ ම ආණ්ඩුව සිටින්නේ ද වැදගත් සන්ධිස්ථාන දෙකකය. දේශපාලන විසඳුමක් සඳහා සාකච්ඡා ආරම්භ කළ හැකි තැනකය. දැන් සිටින තැන ආණ්ඩුවට අවාසිදායක නොවනවා සේ ම, එල්ටීටීඊයට ද අවාසිදායක නැත. ආණ්ඩුව සිටින තැන යුද්ධය ආරම්භක අවස්ථාවේ සිටි තැනට වඩා ශක්තිමත්ය. එල්ටීටීඊය සිටින්නේ ද අනුරාධපුර ප්‍රහාරයට පෙර සිටි තැනට වඩා ශක්තිමත් තැනක ය.
මෙය ආණ්ඩුවට සිය විසඳුම් යෝජනා ඉදිරිපත් කළ හැකි හොඳම අවස්ථාවකි. අචේ (Aceh) ආරාවුල විසඳා ගැනීමට පාවිච්චි කළ ප්‍රවේශයට සමාන ප්‍රවේශයක් ශ්‍රී ලංකාව සඳහා ද යොදා ගත හැකිය.
අචේවල සිදුවුයේ අනාගතයේ ඇතිකර ගන්නා ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා එකඟතාවක් ඇති කරගනිමින් ගරිල්ලන් කොටස් වශයෙන් ආයුධ බාරදෙමින් නිරායුධ වන අතර, ආණ්ඩුව අචේ ප්‍රාන්තයට යවන ලද ආරක්ෂක හමුදා ගැටුමට පෙර පැවති තත්ත්වයට කොටස් වශයෙන් ඉවත් කරගැනීමය. අප රටට ගැලපෙන්නේ ද දිග් ගැස්සෙන සාකච්ඡාවලට වඩා ඉක්මණින් ප්‍රතිඵල ලබාගත හැකි එවැනි විසඳුමකි.
එසේ නැතුව පිළිගත හැකි දේශපාලන විසඳුමක් ලබාදීමේ අවශ්‍යතාව ප්‍රතික්ෂේප කරමින් ත්‍රස්තවාදී ප්‍රශ්නයක් මිස, ජනවාර්ගික ප්‍රශ්නයක් රටේ නැතැයි කියන ස්ථාවරයක පිහිටා ක්‍රියාකරන්නට ගියහොත් දැනටමත් අවුල්සහගත තත්ත්වයක සිටි ආණ්ඩුව අවුල් ජාලාවකට තල්ලු වී යනු නොවැළැක්විය හැකිය. •