මල්වතු නාහිමි කියන කතාව නිවැරදි ය

October 29, 2026
Publication:
The Malwatte prelate told a UNP member that all the parties should work together for the country's welfare, and Ivan agrees — with a condition. They need to come together not to govern but to replace the corrupt autocratic system with one the country can respect. Under the old system power changed every five years; under this one the cycle became eighteen, and the bureaucracy and the courts took sides accordingly.

එක්සත් ජාතික පක්ෂයේ නිල පුවත්පත වන “සියරට” එළිදැක්වීම වෙනුවෙන් මල්වතු නාහිමි බැහැ දකින්නට ගිය එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට එහිමියන් දී තිබෙන අවවාද අනුශාසනය වී ඇත්තේ ප්‍රධාන පක්ෂ දෙකේ නායකයන් ඇතුළු සියලු දේශපාලන පක්ෂ එකට එකතු වී රටේ සුභ සිද්ධිය වෙනුවෙන් වැඩ කළ යුතු බව ය.

මල්වතු නාහිමියන් දී තිබෙන අනුශාසනය අපිදු අනුමත කරමු. අප හිතන අන්දමට මේ සියලු දෙනා එකට එකතුවීමක් අවශ්‍ය වනුයේ රට පාලනය කිරීමටත් වඩා පවතින දූෂිත ඒකාධිපති දේශපාලන ක්‍රමය වෙනුවට රටේ ගෞරවයට හේතුවන නව දේශපාලන ක්‍රමයක් ගොඩනගා ගැනීමේ අවශ්‍යතාව සඳහා ය.

පැරණි ක්‍රමය යටතේ අවුරුදු 05කට වරක් පාලන බලය වෙනස් විය. රාජ්‍ය පාලකයාට සර්ව බලයක් නො තිබුණි. විටින් විට ආණ්ඩුවේ ජනප්‍රියතාව උරගා බැලෙන අතුරු ඡන්ද ක්‍රමයක් තිබුණි. පාලන බලය කෙටිකාලීන වීම නිසා රාජ්‍ය නිලධාරීන් අද මෙන් අනවශ්‍ය තරමට බලයට පත්වූ පාලක පක්ෂය සමග කල්ලි ගැසී ක්‍රියාකිරීමක් සිදු නොවී ය. දේශපාලකයන්ට ලැබුණු වැටුප් හා වරප්‍රසාද සරල මට්ටමක පැවතුණි. ඒ නිසා දේශපාලකයන්ගේ පරමාර්ථ අතර මුදල් හරිහම්බ කරගැනීම ප්‍රධාන පරමාර්ථයක් නොවී ය. අධිකරණය ද වර්තමානයේ තරම් පාලක පක්ෂ සමග කල්ලි ගැසී ක්‍රියාකරන තත්ත්වයක් නොතිබුණි.

එහෙත් 77 දී බිහිවූයේ තිබුණු ක්‍රමයට වඩා අශීලාචාර ක්‍රමයකි. එය රාජ්‍ය පාලකයාට පරම බලයක් ලබා දුන්නේ ය. රාජ්‍ය පාලකයා බරපතළ වැරදි කරන අවස්ථාවක දී පවා ඔහුට එරෙහිව අධිකරණය ඉදිරියට යෑමට පවා ඉඩක් නොවී ය. පාර්ලිමේන්තුවට තිබූ උත්තරීතරභාවය අහිමි වී එය විධායකයේ රබර් මුද්‍රාවක් බවට පත්විය. නැතිවූ ගෞරවය වෙනුවෙන් මන්ත්‍රීවරුන්ට ද්‍රව්‍යමය වශයෙන් වටිනා වරප්‍රසාද ලබාදෙන ක්‍රමයක් ඇතිවී දේශපාලනය ප්‍රධාන කොටම මුදල් උපයන මාර්ගයක් බවට පත්විය. අවුරුදු 05කට වරක් ආණ්ඩු මාරුවන ක්‍රමය අවසන් වී ආණ්ඩු මාරුවන චක්‍රය අවුරුදු 18ක් බවට පත්විය. මේ ක්‍රමය යටතේ බලයට පත්වන පාලක පක්ෂයක් දීර්ඝ කාලයක් එක දිගට රජ කරන බව තේරුම් ගත් විට නිලධරතන්ත්‍රය ද අධිකරණය ද පාලක පක්ෂය සමග එක්ව කල්ලි ගැසී ක්‍රියා කරන තත්ත්වයකට පත්විය. බලය ලැබීම පොදු වස්තුව කොල්ලකෑමට ලැබෙන නිල වරපතක් බවට පත්විය.

මෙම දූෂිත දේශපාලන ක්‍රමය වෙනස් කිරීමෙන් තොරව රටට එක අඩියක්වත් ඉදිරියට යෑමේ හැකියාවක් නැත. කෙළවරක් නැති ලේ වැගිරීම් මෙම ක්‍රමයේ ම තාර්කික ප්‍රතිඵලයකි.

ක්‍රමය වෙනස් කරගැනීමේ අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටි අයම මේ ක්‍රමයේ කෑදර ගොදුරු බවට පත්ව සිටිති. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය බලයට ආවේ මේ ක්‍රමය වෙනස් කරන බවට දිවුරා පොරොන්දුවෙමිනි. එහෙත් බලයට පැමිණි පසු පරම බලයේ රසය උපරිම ලෙස උරා බිව්වා මිස, ක්‍රමය වෙනස් කිරීමට උනන්දුවක් දැක්වූයේ නැත. මහින්ද රාජපක්ෂ මහතා ද බලයට පැමිණ ඇත්තේ ක්‍රමය වෙනස් කරන බවට පොරොන්දුවෙමිනි. ක්‍රමය වෙනස් කරගැනීමේ අවශ්‍යතාව වෙනුවෙන් බලවත් ලෙස පෙනී සිටි ජවි පෙරමුණ ද දැන් ඒ බව අමතක කොට මෙම ක්‍රමයේ රස උරාබොමින් ක්‍රමය තුළ ආසාවෙන් ජීවත් වන පුද්ගල පිරිසක් බවට පත්ව සිටී.

මේ ක්‍රමය ආරක්ෂා කර ගත යුතුයි කියන තැනක දේශපාලන පක්ෂ නායකයන් අතරත් සැමදා සිටියේ රනිල් වික්‍රමසිංහ පමණ ය. ඒ වෙනුවෙන් ඒ මහතාට අතිවිශාල වන්දියක් ගෙවන්නට සිදුවී තිබෙන අතර, සමහර විට මේ වන විට ඒ පිළිබඳ තමන් තුළ පැවති දැඩි මතය වෙනස් ව තිබෙනවා ද විය හැකි ය.

ක්‍රමය පොදු එකඟතාවකින් යුතුව වෙනස් නො කරගන්නේ නම්, එය ඒකාධිපතිත්වයකින් හෝ අරාජිකත්වයකින් කෙළවර වීමට ද ඉඩ තිබේ.•