ඩී.බී. විජේතුංග හා චන්ද්‍රිකා කුමාරතුංග යන විශ්‍රාම ගිය ජනාධිපතිවරුන් දෙදෙනා සඳහා වෙන් කෙරෙන ප්‍රතිපාදන මෙවර අය වැයෙන් මුළුමණින් කපා හැර තිබෙන බව “සන්ඩේ ටයිම්ස්” පුවත්පත වාර්තා කර තිබුණි.
ඊට අතිරේකව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය නිදහස් චතුරශ්‍රය අසලින් ලබාගෙන තිබූ නිල නිවස ද, ඩී.බී. විජේතුංග මහතා සිටි තට්ටු නිවාස සංකීර්ණයෙන් ලබාගෙන තිබුණු නිල නිවස ද වහාම ක්‍රියාත්මක වන පරිදි ආපසු ලබාගෙන ඇති අතර, ඔවුන් දෙදෙනාට වෙන් කර තිබෙන කාර්ය මණ්ඩලය ද උපරිම මට්ටමකට සීමා කර තිබේ.
ජනාධිපතිවරයෙකු විශ්‍රාම ගිය පසු ඔහුට මහජන වියදමින් නිල නිවසක් දිය යුත්තේ ඔහුට ජීවත්වීමට තත්ත්වයට ගැලපෙන තමන්ගේම නිවසක් නැති අවස්ථාවකදී පමණය. ජීවත්වීමට තමන්ගේම නිවාස තිබෙන අයට මහජන වියදමෙන් නිවාස දීමේ ක්‍රමයක් යුක්තිසහගත වන්නේ නැත.
ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විශ්‍රාම යෑමෙන් පසු ජීවත් වූයේ වෝඩ් පෙදෙසේ ඇති සිය නිවසේය. වෝඩ් පෙදෙසේ ඇති නිවස කුලියට දී ආණ්ඩුවෙන් ලබා ගන්නා නිවසක ඔහු ජීවත් වූයේ නැත. එහෙත් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ආණ්ඩුවෙන් නිවසක් ලබාගත්තේ තමන්ට ජීවත්වීමට හොඳ නිවෙස් දෙකක්ම තිබියදීය. තමන්ගේ නිවාස කුලියට දී රජයේ නිවාසයක ජීවත්වීම ඇගේ කෑදර අභිලාෂය විය.
බලයට පත්වන ජනාධිපතිවරුන් අයථා ලෙස වස්තුව රැස් කිරීමට තම නිල බලය පාවිච්චි නොකොට තමන්ගේ සම්පූර්ණ කාලය රටේ හා ජනතාවගේ යහපත පිණිස පාවිච්චි කරන අවස්ථාවකදී එවැනි ජනාධිපතිවරුන් බලා ගැනීමේ යුතුකමක් රටට ඇතත්, නිල බලයේ සිටියදී රට කාබාසිනියා කොට අයථා ලෙස වස්තුව රැස් කළ ජනාධිපතිවරුන් මහජන වියදමින් නඩත්තු කිරීමේ යුතුකමක් රටට තිබිය නොහැකිය.
විශ්‍රාම ගිය ජනාධිපතිවරයෙකු නඩත්තු කිරීම සඳහා වැය කෙරෙන මාසික වියදම රුපියල් ලක්ෂ 20ක් පමණ විය හැකිය. ශ්‍රී ලංකාව වැනි දුප්පත් රටක් විශ්‍රාම ගිය ජනාධිපතිවරයෙකු සඳහා ඒ සා විශාල වියදමක් දැරිය යුත්තේ ඇයි? මේ වැරදි සම්ප්‍රදායන් වෙනස් විය යුතුය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඩී.බී. විජේතුංග මහතා හා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සම්බන්ධයෙන් අනුගමනය කර තිබෙන ප්‍රතිපත්ති හා ඒ මගින් ඇතිවන සම්ප්රදාය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ද අදාළය.
ගල්කිස්ස හෝටලයේ මංගල සාදය
චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ දුව යසෝධරාගේ විවාහය වෙනුවෙන් ගල්කිස්ස හෝටලයේ පැවති වර්ණවත් සාදය මහජන අවධානය දිනා ගත් විශේෂ සාදයක් වී යැයි කිව හැකිය. මේ සාදය සඳහා දිනය හා ස්ථානය නියම කරගන්නට පෙර සිටම එය පවත්වනු ඇත්තේ කවර ස්ථානයක ද යන්න චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට සමීප ඇතැම් අය දැන සිටියහ.
මා සමග ඒ ගැන කතා කළ එක් පුද්ගලයෙක් තරමක හාස්‍යයකින් යුතුව කීවේ කිසිම වියදමකින් තොරව සාදය පැවැත්විය හැකි එකම තැන ගල්කිස්ස හෝටලය හෝ බණ්ඩාරනායක සම්මන්ත්රණශාලාව වන නිසා ඇය ඒ ස්ථාන දෙකෙන් එකක් මිස වෙනත් ස්ථානයක් තෝරා නොගනු ඇති බවය.
බණ්ඩාරනායක සම්මන්ත්රණශාලාව චීනයෙන් රටට ලැබුණු තෑග්ගකි. සම්මන්ත්රණශාලාවේ භෝජන ශාලාවක් පවත්වාගෙන යාමේ, එහි පැවැත්වෙන උත්සව කටයුතුවලදී අවශ්‍ය ආහාර පාන සැපයීමේ බලය ලබාදී තිබුණේ ගල්කිස්ස හෝටලයටය. ගල්කිස්ස හෝටලය ඒ වෙනුවෙන් දක්වන ප්රතිඋපහාරයක් වශයෙන් බණ්ඩාරනායක පවුලේ සිදුකෙරෙන සියලු උත්සව කටයුතු නොමිලේ කර දෙන සම්ප්රදායක් ගොඩනැගී තිබුණි. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ දුවගේ මංගල සාදය නොමිලේ කර දෙන්නට සිදුවූයේ ද එහි ප්‍රතිඵලයක් වශයෙනි.
මෙවැනි සාදයක් සඳහා හෝටලය එක් පුද්ගලයෙකු සඳහා අය කරන මිල රු. 2500/-ක් හා සාදයට පැමිණි සංඛ්‍යාව 500ක් ලෙස සලකා ගණන් බැලුවහොත් හෝටලය තමන්ට කරන ලද උපකාරය වෙනුවෙන් කරන ලද ප්‍රති උපකාරයේ වටිනාකම රු. 1250,000කි. ගල්කිස්ස හෝටලයේ වාසනාවකට මෙන් බණ්ඩාරනායක පවුලේ දරුවන්ගෙන් දරුවන් සිටින්නේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට පමණය. අත්‍යවශ්‍ය හැම දෙයක්මත් කිසිම අඩුවකින් තොරව නොමිලේ ලැබෙන ජීවිතයක් කොතරම් වාසනාවන්තද?
දූෂණය ජාතික ලක්ෂණයක් බවට හැරීම
මීට කලකට ඉහතදී නාවික සෙබළෙක් නාවික හමුදාවේ ඉහළ නිලධාරීන් විසින් සිදු කරන දූෂණ ගැන මා සමග කතා කළේය. මා ඔහුට ඇහුම්කන්දී ඔබේ සේවා කාලය තුළ ඔබට හොරකම් කිරීමට ලැබෙන අවස්ථාවලදී ඔබ හොරකම් නොකරන්නේදැයි ප්‍රශ්න කළෙමි. මා අසන ලද එම ප්‍රශ්නයෙන් ඔහුගේ මුහුණ වෙනස් විය. මුහුදේදී එල්ටීටීඊයට ඩීසල් විකිණීමට ලැබෙන අවස්ථාවලදී ඩීසල් විකුණා ඇති බව ඔහු කීවේය. ඔබට ඇත්තේ දූෂණය පිළිබඳ ප්‍රශ්නයක් නොව, දූෂණයෙන් ඔබ උපයන ප්‍රමාණය හා නිලධාරීන් උපයන ප්‍රමාණය අතර ප්‍රශ්නයක් පමණක් බව මම ඔහුට කී විට ලජ්ජාවට පත්වූ ආකාරයෙන් වුවත් මා කී මතය ඔහු පිළිගත්තේය. රටේ දූෂණය පිළිබඳ ප්රශ්නයේ ඇත්ත ස්වභාවය එම කතාව තුළ ගැබ්වී ඇතැයි මම සිතමි.
මා පසුගිය සතියේදී පිටස්තර දේශනයකදී ප්‍රාදේශීය සභිකයකු සමග කතාබහක යෙදීමට අවස්ථාව ලැබුණි. ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ වැටුප කොපමණදැයි මම ප්‍රශ්න කළ විට සියලු දීමනා සමග රුපියල් දස දහසක් පමණ වන බව ඔහු කීවේය. ඔබගේ ප්‍රාදේශීය සභාවේ සභාපති තනතුරෙන් උපයන මාසික ආදායම කොපමණදැයි මම ඊළඟට ප්‍රශ්න කළෙමි. අවම ආදායම රුපියල් 50,000ක් පමණ විය හැකි බව ඔහු කීවේය.
අයථා ලෙස ආදායම් උපයන ප්‍රධාන මාර්ග මොනවාදැයි ප්‍රශ්න කළ විට ඔහු විසින් දෙන ලද පිළිතුර වූයේ ප්‍රදේශයේ ඉඩම් වෙන්දේසි කරන ආයතනවලින් ලැබෙන ආදායම් ප්‍රධාන බවය.
පළාතේ මහ ඇමතිගේ මාසික ආදායම කොපමණ වියහැකි දැයි මා ප්‍රශ්න කළ විට එය ලක්ෂ 10ත් 15ත් අතර විය හැකි බව ඔහු කියා සිටියේය.
මා මේ කතාව පසුදින වෙනත් පුද්ගලයෙකු සමග කී විට ඔහු මට කීවේ කොළඹ නගරයට ආසන්න ප්‍රාදේශීය සභාවල සභාපතිවරයෙක් මසකට උපයන ආදායම රුපියල් ලක්ෂ තුන හතරක් විය හැකි බවය.
බස්නාහිර පළාත් සභාවට අනුයුක්ත බස් ටයිම් කීපර් කෙනෙකු මගේ කර්තෘ මණ්ඩල සාමාජිකයෙකුට කියා තිබෙන කතාවක් අනුව බස් ටයිම් කීපර් කෙනෙකු සිය ප්‍රධානියාට මසකට රුපියල් 2000ක් ගෙවිය යුතුය. ප්‍රධානියා යටතේ සේවය කරන ටයිම් කීපර්ලාගේ සංඛ්‍යාව 600කි. ටයිම් කීපර්ලා ගෙවන කප්පමෙන් පමණක් ලොක්කා උපයන මාසික ආදායම රුපියල් ලක්ෂ 12කි.
ලොක්කාට මසකට රුපියල් 2000ක් ගෙවන ටයිම් කීපර් කෙනෙකු දිනකට උපයන ආදායම කොපමණදැයි කර්තෘ මණ්ඩල සාමාජිකයාගෙන් මා අසා සිටිද්දී ඔහු කීවේ ඒ ගැන තමා ප්‍රශ්න කළේ නැති බැවින් තමන්ට ඒ ගැන කිසිවක් කිව නොහැකි බවය. එහෙත් පසුගිය සඳුදා මට ඔහු කීවේ ටයිම් කීපර් තමන්ට හමුවූ බවත්, ඔහු දිනකට උපයන ආදායම කොතරම්දැයි ප්‍රශ්න කළ විට දැන් නීති තද බැවින් තමන් ඍජු ලෙස මුදල් එකතු නොකරන බවත්, දිනකට රුපියල් 1000 බැගින් ගෙවා ඒ කාරියට වෙනත් පුද්ගලයකු යොදවා ඇති බවත්ය. ඔහුට දිනකට ලැබෙන කප්පමේ ප්‍රමාණය රුපියල් 2000ක් ලෙස සැලකුව ද ඔහු ඒ මගින් උපයන මාසික ආදායම රුපියල් 50,000ක් පමණ විය හැකිය.
මෙය රටේ නිල බලයක් ඇති හැම තැනකටම ආවේණික පොදු ධර්මතාවක් ලෙස සැලකිය හැකිය. වාහන බලපත්‍රයක් ලබාගැනීමට යන හැම පුද්ගලයෙකුටම ඒ සඳහා ඍජු ලෙස හෝ අනියම් ලෙස පරීක්ෂකවරයාට කප්පමක් ගෙවිය යුතුය. ප්‍රතිසංවිධානයට පෙර මෝටර් රථ කොමසාරිස් කාර්යාලයේ සේවය කරන එක් පුද්ගලයකුගේ දවසේ සාමාන්‍ය ආදායම රුපියල් 15,000ක් පමණ වන බව එහි අභ්‍යන්තරයේ කෙනෙකු වරක් මා සමග කීවේය. සමහර ආයතනවල නිලධාරීන් අප්රසිද්ධියේ නොව ප්‍රසිද්ධියේ පගාව ගනිති. නිල බලයක් ඇති පොඩි මිනිසුන් සොච්චමත්, නිල බලයක් ඇති ලොකු මිනිසුන් ලොකුවටත් හොරකම් කරති. විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජෙනරාල්වරයා විශ්‍රාම යෑමට පෙර තම නමට ලියා ගත් රූපවාහිනී බලපත්‍රය ඩයලොග් සමාගමට විකුණන ලද මිල රුපියල් ලක්ෂ 4000කි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ද සිය විශ්‍රාම යෑමට පෙර මාදිවලින් අක්කර එකහමාරක ඉඩමක් සිය නමට ලියවා ගත්තාය. තමා යටතේ තිබුණු ජනාධිපති අරමුදලෙන් රුපියල් මිලියන 65ක් තමන් නමට හදා ගත් භාරයකට බැරකර ගත්තාය.
ජනාධිපතිවරුන් අතර සිටි ප්රතාපවත්ම පුද්ගලයා ලෙස සැලකිය හැකි ජේ.ආර්. ජයවර්ධන භුක්ති විඳි මිරිස්සේ ඉඩම වෙනත් පුද්ගලයෙකුගෙන් බලහත්කාරයෙන් ලබා ගත් ඉඩමක් විය. ඉඩමේ ඇත්ත අයිතිකරු ජූලියස් ඇන්ඩ් ක්‍රීසි සමාගම මගින් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාට එරෙහිව නඩුවක් පැවරීමට ක්‍රියාකරමින් සිටි බව මම එකල අසා ඇත්තෙමි. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට හිමි මාදම්පේ මුදුකටුව වත්ත ලංකාවේ තිබෙන හොඳම හා සාරවත්ම පොල් වතුවලින් එකකි. එය ජනාධිපතිවරයා විසින් ඉඩම් ප්‍රතිසංස්කරණ නීතිය යටතේ තමන්ට අහිමි වූ ඉඩම් වෙනුවෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමෙන් ලබාගත් ඉඩමක් බව මම අසා ඇත්තෙමි. ජනාධිපතිවරයා පමණක් නොව, නිල බලය ඇති වෙනත් අය ද අතර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට දී වඩා වටිනා සාරවත් ඉඩම් හුවමාරු කර ගත්හ. ඉඩම් නැති බලවතුන්ට දිගුකාලීන පදනමක් යටතේ තුට්ටුවකට දෙකට ආණ්ඩුවේ සාරවත් වතු ලබාගත හැකි ක්‍රමයක් ඇති කර දුන්නේය. අවසානයේ කිසිම ඉඩම් හිමිකමක් නොතිබූ දේශපාලකයන් පවා විශාල වතු හිමියෝ බවට පත්වූහ.
ජනාධිපතිවරුන්ගේ සිට නිල බලයක් ඇති පුංචි සිංඤෝ දක්වා වන සියලු දෙනා තමන්ට තිබෙන නිල බලයේ ප්‍රමාණයට ගැලපෙන ලෙස පොදු වස්තුව කොල්ලකන ක්‍රමයක් රටේ ස්ථාපිත වී තිබේ. මෙම දූෂිත ක්‍රමය වෙනස් කිරීමෙන් තොරව දූෂණය ජයගත හැක්කේ කෙසේද?
ටිල්වින් සිල්වාගේ
වැදි බණ
අවුරුද්දක කාලයක් හෝ ආණ්ඩුවට එකතු වී වැඩ කරන ලෙසට ජනාධිපතිවරයා ජවිපෙට කරන ලද ආරාධනයකට ජවිපෙ ලේකම්වරයා අපූරු පිළිතුරු දී තිබුණි. අපට එහිදී වැදගත් වන්නේ එම පක්ෂය ජනාධිපතිවරයාගේ ආරාධනය ප්‍රතික්ෂේප කිරීම හෝ ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව විවේචනය කිරීම නොවේ. ම්ලේච්ඡ ක්‍රියාකාරකම්වලින් පිරුණු සිය අතීතය ඒ මගින් වීරත්වයට නගා තිබීමය.
ටිල්වින් සිල්වා මහතාගේ පිළිතුරේ අපට වැදගත් වන කොටස මෙසේය.
““වසරක කාලයක් සඳහා ආණ්ඩුව හා එක්වන ලෙසම ආරාධනා කරන අතරම 88-89 ටයර් සෑයවල දැවුණු තරුණයන්ට කරන යුතුකමක් ලෙසින් ආණ්ඩුවට එක්වන ලෙස ඔබතුමා විසින් කරන ලද ප්‍රකාශය ගැන ද වචනයක් කිව යුතුව තිබේ. 1988-89 දී එවකට පැවති දේශද්‍රෝහී එජාප ආණ්ඩුවට එරෙහිව සටන් වැද දිවි පිදූ ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් හා සාමාජිකයන් දිවි පිදුවේ වල්මත් වී අයාලේ යන ආණ්ඩුවලට සම්මාදන් වී නොවේ. එදා දිවි පිදූ සියලු දෙනාට තිබුණේ බලය පිළිබඳ පටු බලාපොරොත්තු නොව, මව්බිමේ නිදහසත් ජනතාවගේ විමුක්තියත් දිනා ගැනීම හා නව සමාජයක් ගොඩනැගීම පිළිබඳ වූ උතුම් අරමුණුය. ඒ අරමුණු කුමන දුෂ්කර තත්ත්වයක් යටතේ වත් අත් නොහැර සිටීමට අපි අදිටන් කරගෙන සිටිමු. ඒ වෙනුවෙන් කටයුතු කරමු.””
තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් අනුකම්පා විරහිතව විරුද්ධවාදීන් හා වෙනත් මත දරන්නන් ඝාතනය කරන සටන් ක්‍රමයක් රටට හඳුන්වාදීමේ පුරෝගාමීන් වූයේ ජවි පෙරමුණය. ඒ අර්ථයෙන් උතුරේ ප්රභාකරන් ද දකුණේ විජේවීරගෙන් ආභාසය ලැබූ නායකයකු ලෙස සැලකිය හැකිය.
ගම්බද තරුණ පරපුරට විසඳා ගැනීමට දැවෙන ප්‍රශ්න තිබුණු බව සැබෑය. ඔවුන් කෙරෙහි පන්ති පීඩනය සේ ම කුල පීඩනය ද බලපෑවේය. එහෙත් ඒ පීඩනය ජයගැනීම සඳහා ඔවුන් යොදා ගත් සටන් ක්‍රමය ම්ලේච්ඡ හා මිනීමරු සටන් සම්ප්රදායයක් වී යැයි කිව හැකිය.
බලයේ සිටි ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව ඉතාමත් හිතුවක්කාරී හා අධිකාරිවාදී ආකාරයකින් රට පාලනය කළ බව සැබෑවකි. එහෙත් ඒ තත්ත්වය පාලනය කිරීමට තිබුණු හොඳම ක්‍රමය තොග වශයෙන් මනුෂ්‍යයන් ඝාතනය කරන තැනකට යොමුවීම නොවේ.
83 ජූලි සිද්ධීන් පදනම් කොටගෙන ජවිපෙ තහනම් කිරීම ඉතාමත් අසාධාරණ වුවත්, ඒ අවස්ථාවේදී තහනම් කළ එකම සංවිධානය ජවිපෙ පමණක් නොවන බව අමතක නොකළ යුතුය. තවත් පක්ෂ ගණනාවක් ද තහනම් කළේය. එහෙත් ඒ පක්ෂ, පක්ෂ තහනම හේතුවක් කරගනිමින් මිනිසුන් ඝාතනය කරන තැනකට තල්ලු වූයේ නැත.
මනුෂ්‍ය ඝාතනයේදී ද ජවිපෙට කිසිම මිම්මක් නොතිබුණි. නරක මිනිසුන් ලෙස සැලකිය හැකි මිනිසුන් පමණක් නොව, ඉතාමත් විශිෂ්ට ගණයේ මිනිසුන් ද ඝාතනය කළේය. ප්‍රේමකීර්ති ද අල්විස්, සාගරිකා ගෝමස් වැනි අහිංසක කලාකරුවන් පමණක් නොව, ස්ටැන්ලි විජේසුන්දර, පටුවතවිතාන වැනි සම්භාවනීය උගතුන් ද ඝාතනය කළේය. තමන් සමග කලක් එකට එකම දේශපාලනයක නිරත වූ නන්දන මාරසිංහ වැනි තමන්ගේ පැරණි සගයන් පවා ඝාතනය කළේය. ඉන්දියානු පරිප්පු විකුණන වෙළෙඳුන් පවා ඝාතනය කළේය. පාර්ලිමේන්තුවට බෝම්බ ගැසුවේය. පාර්ලිමේන්තුව තුළදීම මන්ත්‍රීවරුන් මරා දැම්මේය. පළාත් සභාවලට තරග කළ අපේක්ෂකයන් හා පළාත් සභා මන්ත්‍රීවරුන් 45ක් ඝාතනය කළේය. ඔවුන් අතින් එදා ඝාතනයට ලක්වූවන්ගේ සංඛ්‍යාව 6000කට අඩු නැත. මේ සියල්ල කළේ ඉන්දියානු විරෝධී දේශප්‍රේමී යුද්ධයක මුවාවෙන් වුවත්, ඔවුන් අතින් ඝාතනයට ලක්වූ 6000 අතර එක් ඉන්දියානු සෙබළෙකු ද නොවීය.
ඉතා වටිනා පොදු දේපළ අනුකම්පාවිරහිතව විනාශ කළෝය. ඔවුන් විසින් පුළුස්සන ලද ලංගම බස් රථ සංඛ්‍යාව 3000කට අඩු නැත. ගම්බද තැපැල් කාර්යාල පවා ගිනි තැබිණ.
ඔවුන්ගේ දුෂ්ට කැරැල්ල රාජ්‍යය අනුකම්පා විරහිතව තමන්ට එරෙහිව කැරලි නායක පුරවැසියන් තොග ගණනින් මරා දමන තැනකට තල්ලු කළේය. රාජ්‍යය මිනීමරන රාජ්‍යයක් බවට පත් කළේය.
තම ව්‍යාපාරය විසින් කරන ලද සියලු දුෂ්ට ක්‍රියාකාරකම් වීරකම් ලෙස සලකන්නේ නම්, එයින් පෙනී යන්නේ ජනතා විමුක්ති පෙරමුණ ආයුධ අතහැර ඇතත්, මිනීමරු චින්තනය තවමත් අතහැර නැති බවය. මේ රට විනාශයට පත් කළේ බලයේ සිටි ආණ්ඩු පමණක් නොවේ. රාජ්‍ය බලය අල්ලා ගැනීම සඳහා හෝ වෙනම රාජ්‍යයක් ඇති කර ගැනීම සඳහා ආයුධ සන්නද්ධ අරගලවල යෙදුණු ජවිපෙ හා එල්ටීටීඊ වැනි සංවිධාන ද රට පාලනය කළ පාලකයන් කර තිබෙන විනාශයට වැඩි විනාශයක් මේ රටට කර ඇති බව අප අමතක නොකළ යුතුය. මෙරට මිනීමරු දේශයක් බවට පත්කිරීමට ඔවුන් ද ක්‍රියාකාරී ලෙස දායක වී තිබේ. •