දේශපාලන ජීවිතයට වසර තිහක් පිරෙන රනිල්

October 29, 2026
Publication:
Thirty years is a coming of age, so Ivan puts the basic questions to the opposition leader: after three decades in politics, is there anything to be satisfied with in the country or in its political system, what caused the state they are in, and how is it to be overcome? He says he asks not to embarrass him but because he takes him for a leader with intellectual capacity.

එ.ජා.ප. යේද විපක්ෂයේද නායක රනිල් වික්‍රමසිංහ මහතා රටේ දේශපාලන කටයුතු වෙනුවෙන් වැයකර තිබෙන කාලය වසර 30කි. එය දේශපාලඥයකු වැඩි විය පැමිණි අවස්ථාවක් ලෙස සලකා ඒ මහතා වෙත මූලික ප්‍රශ්නයන් ඉදිරිපත් කිරීමට අපි කැමැත්තෙමු.

එක දිගට අවුරුදු 30 ක් දේශපාලනයේ යෙදුණු නායකයෙකු වශයෙන් රට හා රටේ තිබෙන දේශපාලන ක්‍රමය ගැන සතුටු විය හැකි තත්වයක් තිබෙන්නේද? ඒ දෙකම තිබෙන්නේ සතුටු විය නොහැකි තැනක නම් ඊට බලපා තිබෙන හේතු මොනවාද? ඒ තත්ත්වය ජයගත යුතුව තිබෙන්නේ කෙසේද? අප මේ ප්‍රශ්නය වඩා විස්තරාත්මකව ඉදිරිපත් කරනුයේ ඒ මහතා අපහසුතාවට පත් කිරීම සඳහා නොව බුද්ධිමය හැකියාවක් ඇති නායකයකු ලෙස සලකා රට බේරා ගැනීමට කුමක් කළ යුතු ද යන ප්‍රශ්නයේදී වඩා ප්‍රායෝගිකව කල්පනා කරන තැනකට ගැනීම සඳහාය.

රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයට ආවේ 1977 දී ය. දැන් අප ජීවත්වන දේශපාලන ක්‍රමය ඇති වුයේ ද ඒ යුගයේ දී ය. ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන ශ්‍රී ලංකාවේ නූතන යුගයේ දේශපාලන නායකයින් අතරින් තේජාන්විත ම හා දැවැන්තම නායකයා වන බවට සැකයක් තිබිය නොහැකිය. ඔහු රටේ යහපතට බොහෝ දේ කළා සේ ම ඔහු ඇතිකළ දේශපාලන ක්‍රමය රටේ විනාශයට හේතු වී තිබෙන බවද කිවහැකිය.

පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක් ඇතිව බලයට පත් ජේ. ආර්. ජයවර්ධන එම පාර්ලිමේන්තු නිල කාලය සම්පූර්ණ වීමෙන් පසු එම පාර්ලිමේන්තු මැතිවරණයත් ජයගැනීමේ හැකියාව තිබිය දී මැතිවරණයකට නොගොස් පාර්ලිමේන්තුවේ නිල කාලය තවත් අවුරුදු හයකින් දීර්ඝ කර ගන්නා ජනමත විචාරණයකට ගියේ අනුපාතික ක්‍රමය යටතේ පවත්වනු ලබන මැතිවරණයකින් ලැබෙන ප්‍රතිඵලය තමන්ට තිබූ බලය හීන කරන ප්‍රතිඵලයක් ඇති කරන බව දැන සිටි නිසාය. ආර්ථිකය විවෘත කිරීම ඔහු ගනු ලැබූ නිර්භීත පියවරක් ලෙස සැලකිය හැකිය. ඔහුගේ පාලන යුගය තුළ ඉහළ ආර්ථික වර්ධන අනුපාතිකයක් පෙන්නුම් කළා සේ ම ලේ හැලෙන අනුපාතිකයේ සේ ම දූෂණ අනුපාතිකයේ ද ඉහළ අගයක් පෙන්නුම් කළේය. මැති ඇමතිවරුන්ගේ හා ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේ දූෂණ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම අතර මග දී විසුරුවා හැරීමෙන් පෙන්නුම් කළේ ද දූෂණයට එරෙහිව දැඩි ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියා කිරීමට තිබූ අකමැත්තය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මහජන මුදලින් කප්පම් ගෙවන ක්‍රමයක් ඇති වූුයේද ඒ යුගයේදීය. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අති විශාල ප්‍රමාණයකට තනතුරු දෙන ක්‍රමයක් ස්ථාපිත වූයේද ඒ කාලයේදීය. විරුද්ධ පක්ෂ ව්‍යාපාර පමණක් නොව වෘත්තීය සමිති ව්‍යාපාරද අනුකම්පා විරහිතව මර්දනය කළේය. අවුරුදු 05 කට වරක් ආණ්ඩු වෙනස් වන සම්ප්‍රදාය නැති වී බලයට පත්වන පක්ෂ එක දිගට අවුරුදු 18ක් පාලන බලයේ සිටින ක්‍රමයක්ද ස්ථාපිත විය. ඒ ක්‍රමය තුළ ජනාධිපති සර්ව බලධාරීය. ඔහු කරන කිසිදු වරදක් ප්‍රශ්න කළ නොහැක.

ජේ. ආර්. ජයවර්ධන ඇතිකළ ක්‍රමය දැන් ඊට යාහැකි් ඉහළම දුර වෙත පැමිණ තිබේ. අවසාන විග්‍රහයේ දී එම දේශපාලන ක්‍රමය විසින් ඇති කර තිබෙන ප්‍රතිඵල විනාශකාරීය. රට තිබෙන්නේ අන්ත දූෂිත නීතියේ පාලනයක් නැති කැලේ නීතිය රජකරන තත්ත්වයකය. ජාතිය බෙදීගිය ජාතියක් බවට පත් කිරීමට හේතුවී තිබෙන අතර ශ්‍රී ලංකා රාජ්‍යය අසමත් රාජ්‍යයන් ගෙන් එකක් බවට පත්කිරීමට හේතු වී තිබේ.

මේ ක්‍රමය වෙනස් කළ යුතු බව ඔබ නොසිතන්නේද? ආණ්ඩු පෙරලියට වඩා මේ මොහොතේ රටට අවශ්‍ය ව ඇත්තේ දේශපාලන ක්‍රමයේ ව්‍යුහමය වෙනසක් බව ඔබ නොසිතන්නේද? රටේ යහපතට හේතුවන එවැනි වෙනසක් සඳහා කාලය මිඩංගු නොකොට මජර ගලන තරමට කුණු වී තිබෙන දේශපාලන ක්‍රමය ආරක්ෂා කර ගනිමින් ඇති කරන ආණ්ඩු වෙනසක් සඳහා කාලය මිඩංගු කිරීම පලදායක වන්නේ කෙසේද? •