අධිකරණය හා හිතුවක්කාරී බලය

October 29, 2026
Publication:
The courts are taking to themselves an enormous power no law gives them, and parliament shows no interest in correcting it. Ivan defends the right to strike against the reasoning that strikes inconvenience the public — every strike does — and says even in contempt a defendant may be punished only after a fair trial. The reason for the arbitrariness is that nothing in Sri Lanka examines what the courts do.

අධිකරණය නීතියෙන් නියම නොකළ අතිවිශාල බලයක් තමන් වෙත ආරෝපණය කරගනිමින් සිටින බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. මෙය විකෘති වී තිබෙන දේශපාලන ක්‍රමය තවදුරටත් විකෘති කරන නරක ප්‍රවනතාවක් වුවත්, මෙම තත්ත්වය නිවැරදි කිරීමට පාර්ලිමේන්තුව පවා කිසිදු උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නට නැත.

කේවල් කිරීමේ අයිතිය වැඩ කරන ජනතාව සතු අහිමි කළ නොහැකි මූලික අයිතියකි. වැඩ වර්ජනවල දී මහජනතාව ප්‍රාණ ඇපයට ගන්නා ප්‍රතිපත්තියක් කොතරම් සාධාරණ ද යන ප්‍රශ්නය පැන නැගිය හැකි වුවත් වැඩ වර්ජන මහජනතාව අපහසුතාවට පත් කරන්නේ ය යන පදනම මත පිහිටා වැඩ වර්ජන නීති විරෝධී ක්‍රියාවක් ලෙස සැලකීමේ හැකියාවක් නැත. හැම වැඩ වර්ජනයක් ම මහජනතාව කිසියම් අපහසුතාවකට පත් කරයි. වැඩ වර්ජන පමණක් නොව, පෙළපාලි පෙරහැර හා උද්ඝෝෂණ ව්‍යාපාර පවා මහජනතාව අපහසුතාවට පත් කරයි. ඒ නිසා පමණක් ම එවැනි ක්‍රියා නීති විරෝධී කළ නො හැකි ය. වැඩ වර්ජන කෙරෙහි පස මිතුරු ආකල්පයකින් ක්‍රියා කරන අධිකරණය ද තමන්ගේ ප්‍රශ්නවල දී වැඩ වර්ජනවල යෙදුණේ ය. අගවිනිසුරුවරයාට එරෙහිව ඉදිරිපත් වූ එක් දෝෂාභියෝගයක දී එක් දිනක් නීතිඥයන් පමණක් නො ව, විනිසුරුවරු ද වැඩ කිරීමෙන් වැළකී සිටියහ. එය ඉහළ අධිකරණ නිලධාරීන්ගේ ආශිර්වාදය ද මත ක්‍රියාත්මක වූ වැඩ වර්ජනයක් ලෙස සැලකිය හැකි ය. එම වැඩ වර්ජනය ද නඩු හබවලට සම්බන්ධ මහජනතාව කෙරෙහි දුෂ්කරතා ඇති කළේ ය. අධිකරණය තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා පාවිච්චි කළ සටන් ක්‍රමයක් අධිකරණයෙන් පිටස්තර වැඩ කරන ජනතාව සඳහා අසාධාරණ හා නීති විරෝධී විය හැක්කේ කෙසේ ද?

අධිකරණය තමන්ට ලැබී තිබෙන දඬුවම් පැමිණවීමේ බලය පාවිච්චි කළ යුත්තේ සාධාරණව හා නීතියට අනුකූල ව ය. ඒ බලය අත්තනෝමතික ලෙස පාවිච්චි කිරීමේ බලයක් අධිකරණයට නැත. සාධාරණ නඩු විභාගයක් ලබාදීමෙන් තොරව මිනිසුන්ට සිරදඬුවම් පැමිණවීම දැන් ශ්‍රී ලංකාවේ සාමාන්‍ය දෙයක් බවට පත්වෙමින් පවතී. උසාවි අපහාසයක දී පවා විත්තිකරුවකුට දඬුවම් පැමිණ විය යුත්තේ සාධාරණ නඩු විභාගයකින් පසු ව පමණ ය. එහෙත් ශ්‍රී ලංකා අධිකරණය එම මූලධර්මය නොසලකා ක්‍රියා කරන බව පෙනේ.

අධිකරණයේ හිතුවක්කාරී ක්‍රියාකාරකම්වලට ප්‍රධාන හේතුව එහි ක්‍රියාකාරීත්වය නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කෙරෙන ක්‍රමයක් ශ්‍රී ලංකාවේ නො තිබීම ය. විනිශ්චයකාරවරුන් තමන්ගේ ඥාතීන්ගේ හා හිතවතුන්ගේ නඩු අසන අවස්ථා බහුලව අසන්නට ලැබේ. නඩු හබවලට පැටලුණු කාන්තාවන්ගෙන් අයුතු ප්‍රයෝජන ගන්නා විනිශ්චයකාරවරුන් ගැන ද විටින් විට අසන්නට ලැබේ. එක් යුගයක දී නොහොබිනා දිවි පැවැත්මක් ඇති අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයකු මුළු අධිකරණය ම ගඳ ගැස්සුවේ ය. එකල සමහර විනිශ්චයකාරවරු උසස්වීම් ලබා ගැනීම සඳහා මෙම ලේකම්වරයාට කාන්තාවන් සැපයූහ. උසාවි ඇප මුදල් වශයෙන් ලබා ගත් රුපියල් කෝටි ගණනක් කූට ලෙස සොරාගෙන ඇති බව හෙළිදරව් විය. අවසානයේ ලේකම්වරයා රට අතහැර පලා ගියේ ය. දැන් පවතින තත්ත්වයත් ඊට බොහෝ වෙනස් නැත.

අධිකරණයේ පවතින දූෂිත තත්ත්වය අළලා දේශීය හා විදේශීය සමීක්ෂණ වාර්තා ගණනාවක් ම පළ කර ඇතත්, අඩු ම වශයෙන් ඒ එක ම වාර්තාවක්වත් පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ලක් කර නැත. රාජ්‍ය ව්‍යවසාය කාරක සභාව පවා කරුණු පරීක්ෂා කිරීමේ දී අධිකරණය, ජනාධිපති අරමුදල, නාගරික සංවර්ධන අධිකාරිය වැනි වඩා වැදගත් සංවේදී ආයතන දැනුවත් ව හෝ නොදැනුවත් ව අතහැර තිබෙන බවක් පෙනෙන්නට තිබේ.

අධිකරණ සේවා කොමිසමට කරන ලද පත් කිරීම්වලට එරෙහිව සී. විශ්වලිංගම් ප්‍රමුඛ පුරවැසියන් කණ්ඩායමක් විසින් පවරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම මූලික අයිතිවාසිකම් විෂය පිළිබඳව අධිකරණය පරීක්ෂාවට ලක් කෙරුණු වැදගත් නඩු විභාගයක් විය. එම නඩු විභාගයෙන් තහවුරු වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමේ වුවමනාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට පවා නැති බව ය. වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමු ද? •