බැලූ බැල්මට කොයි මොහොතක හෝ කඩා වැටෙනු ඇති බවට පෙනෙන්නට තිබුණත්, ආණ්ඩුව අල්ලාගෙන සිටීමේ හැකියාව වර්ධනය කරගනිමින් සිටී. එහෙත් අල්ලාගෙන සිටීමට හැකිවූ පමණකින් රට මුහුණ දී තිබෙන අර්බුදය තනිව ජය ගැනීමේ හැකියාවක් ආණ්ඩුවට නැත. නැවත රට කාර්යක්ෂමව හා නිසි වේගයකින් ඉදිරියට යන තත්ත්වයක් ඇතිවනු ඇත්තේ අවශ්‍ය ව්‍යුහමය වෙනස්කම් ඇති කිරීමෙන් පමණය. එහෙත් ආණ්ඩු පක්ෂයට පමණක් තනිව එවැනි වෙනසකට යා නොහැකිය. ඒ සඳහා විරුද්ධ පක්ෂවල ද එකඟතාව අත්‍යවශ්‍යය. එහෙත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිටින්නේ විරුද්ධ පක්ෂයේ ප්‍රධාන පක්ෂය වන එජාපයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාස නොකරන තත්ත්වයකය. අනෙක් අතට විරුද්ධ පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහතා සිටින්නේ ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විශ්වාස නොකරන තත්ත්වයකය. නායක දෙපළගේම අභිලාෂය වී ඇත්තේ තනියෙන් බුදුවීම වුවත්, එක්ව මිස තනියෙන් බුදුවීමේ හැකියාවක් නායක දෙපළටම නැත.
ආණ්ඩුවට අමාරුවෙන් අල්ලා සිටීමේ හැකියාවක් ඇතත්, මහජනයාගේ විශ්වාසයට හේතුවන ශක්තිමත් ඉදිරි ගමනකට ඉඩක් නැත. අනෙක් අතට මහජනයා අතර ආණ්ඩුව කෙරෙහි වර්ධනය වන කලකිරීමක් ඇතත්, ඉක්මන් ආණ්ඩු පෙරළියක් ඇති කිරීමේ හැකියාවක් ද විරුද්ධ පක්ෂයට නැත.
මංගල-ශ්‍රීපති දෙපළ විරුද්ධ පක්ෂයට එකතුවීම ආණ්ඩු විරෝධී බලවේගයන් අතර ඉක්මන් ආණ්ඩු පෙරළියක් පිළිබඳ විශ්වාසයක් ඇති කිරීමට හේතුවී තිබුණි. චන්ද්‍රිකාගේ ද සහාය ඇතිව ආණ්ඩුවෙන් ලොකු කුට්ටියක් ද කඩාගෙන ජවිපෙ සහාය ද ලබාගනිමින් ඉක්මන් ආණ්ඩු පෙරළියක් ඇති කිරීමට මංගල සමත් වනු ඇතැයි ඔවුන් විශ්වාස කළේය. එහෙත් මංගලගේ- ශ්‍රීපතිගේ කෑගැසීම් ආණ්ඩුවේ අධිකාරවාදි ගමන් මග ලිහිල් කිරීමට හේතුවූවා මිස ආණ්ඩු පෙරළියකට අවශ්‍ය ශක්තිමත් වටාපිටාවක් ඇති කිරීමට හේතු නොවීය. ආණ්ඩුවේ අධිකාරිවාදී ගමන් මග ලිහිල් කිරීමෙන් සිදුවූයේ ද ආණ්ඩුවේ ආයු කාලය කෙටිවීම නොව දීර්ඝවීමය.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ජනාධිපති මහින්ද රාජපක්ෂට කැමති නැති අය සිටිනවා විය හැකි වුවත්, තමන්ට තිබෙන අකමැත්ත නිසා පමණක් ඔවුන් ආණ්ඩුව පෙරළන තැනකට යන්නේ නැත. තමන්ගේ පැවැත්ම පරදුවට තබන ඉක්මන් මැතිවරණයකට යනවා වෙනුවට ලැබෙන කුඩම්මාගේ සැලකිලි මැද හෝ තිබෙන වරප්‍රසාද භුක්ති විඳීමට ඔවුන් කැමතිය. අනෙක් අතට ආණ්ඩු පක්ෂයෙන් කිසියම් පිරිසක් විරුද්ධ පක්ෂයට එකතු වූ පමණකින් ආණ්ඩුව පෙරළෙන්නේ ද නැත. ආණ්ඩුව පෙරෙළෙනු ඇත්තේ ආණ්ඩු පක්ෂයේ කිසියම් පිරිසකට අතිරේකව ජවිපෙ ද ආණ්ඩුව පෙරළන තැනකට යන්නේ නම් පමණය. ජවිපෙ සහාය නැතිව ආණ්ඩු පක්ෂයේ පිරිසකගේ සහාය ඇතිවූ පමණකින් ආණ්ඩු පෙරළියට අවශ්‍ය ආණ්ඩු පක්ෂ මන්ත්‍රී සංඛ්‍යාව පණහකට අඩු නැත. ඉක්මන් ආණ්ඩු පෙරළියක් ගැන සිහින දකින්නෝ ජීවත්වන්නේ මහ පොළාවේ නොව, දේශපාලන සිහින ලෝකවලය.
තමන්ට සිටින මන්ත්‍රී සංඛ්‍යාව අඩුකර ගැනීමට හේතුවන ඉක්මන් මැතිවරණයකට කැමති වීමේ හැකියාවක් ජවිපෙට නැත. ඔවුන්ගේ උපාය මාර්ගය වී ඇත්තේ මහජන විරෝධය අවම කරගැනීම සඳහා දැඩි ස්වරයකින් ආණ්ඩුව විවේචනය කරන අතර, ආණ්ඩුව පෙරළා දමන වැඩපිළිවෙළකට සහාය නොදී අල්ලා ගෙන සිටින ප්‍රතිපත්තියක් පවත්වාගෙන යෑමය.
ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විධායක ජනාධිපති ක්‍රමය ඇති කර තිබෙන්නේ ජනාධිපතිවරණයකදී හැර ව්‍යවස්ථානුකූලව විධායක ජනාධිපති පරාජය කළ නොහැකි ආකාරයටය. වැරදි පාලනය හෝ වෙනත් හේතු නිසා රට අර්බුදයෙන් අර්බුදයට යා හැකි වුවත්, විධායක ජනාධිපතිවරයාට ඒ නිසා තනතුර අහිමිවන්නේ නැත. එහෙත් ව්‍යවස්ථානුකූලව ජනතාව කැරළි ගසන තත්ත්වයකට ගියහොත් හා කැරලි මැඬපැවැත්වීමට බැරි තරම් ප්‍රබල වුවහොත් ජනාධිපතිවරයාට තනතුර අහිමි විය හැකිය. ඒත් නැතිනම් ජනාධිපතිවරයා මරා දැමිය යුතුය. ඒ හැර ව්‍යවස්ථානුකූලව ජනාධිපති පහකළ හැකි ක්‍රමයක් මේ ක්‍රමය තුළ නැත.
ප්රතිපක්ෂ සිය උපාය මාර්ග වැඩපිළිවෙළවල් සකස් කළ යුතුව තිබෙන්නේ මේ යථාර්ථය ද සැලකිල්ලට ගනිමිනි. එහෙත් අවාසනාවකට ආණ්ඩුවට එරෙහිව සටන් කරන නායකයන් එම යථාර්ථය සැලකිල්ලට ගෙන ක්‍රියා කරන බවක් පෙනෙන්නට නැත. විධායක ජනාධිපති ක්‍රමය නිර්මාණය කළේ රනිල් වික්‍රමසිංහගේ මාමා විය හැකි වුවත්, ක්‍රමයට නෑකම වැදගත්වන්නේ නැත. මෙම තනතුරට පත්වන පුද්ගලයා කවුරුන් වුවත් ඔහු ඉතා බලවත්ය. ඒකාධිපති නායකයකු තරම්ම බලවත්ය. තනතුරේ සිටින පුද්ගලයා කොතරම් වැරදි කළ ද ඔහු නීතිය ඉදිරියට පැමිණ විය නොහැකිය.
විරුද්ධ පක්ෂය ඥාණාන්විත නම් කළ යුතුව තිබෙන්නේ ඉක්මන් ආණ්ඩු පෙරළියක් පිළිබඳව බොරු සිහින දැකීම නොව, ව්‍යුහමය වෙනස්කම් ඇති කරගැනීම මගින් ක්‍රමය ශිෂ්ටසම්පන්න කරගන්නා වැඩපිළිවෙළකට යොමුවීමය. එවැනි වැඩපිළිවෙළකට ආණ්ඩු පක්ෂය ද එකඟ කරවා ගැනීමය. මා බලයට පත්වීමෙන් පසු අවශ්‍ය ව්‍යුහමය වෙනස්කම් ඇති කරනවා කියන සිතිවිල්ල සැබෑ කරගත හැකි සිතිවිල්ලක් නොවේ. ජනාධිපති රණසිංහ ප්‍රේමදාසට ද සමහර ව්‍යුහමය වෙනස්කම් ඇති කරගැනීමේ වුවමනාවක් තිබුණි. ජනාධිපති ධුරයේ සිටියදී ඔහු කොතරම් බලවත් වුවත් විරුද්ධ පක්ෂයේ සහාය ලබාගැනීමට අසමත්වීම නිසා සිය අරමුණ සාර්ථක කරගැනීමට සමත් වූයේ නැත. ජනාධිපතිනි චන්ද්‍රිකාට ද එවැනි අදහස් තිබුණි. ඇය ද විරුද්ධ පක්ෂයේ සහාය ලබාගැනීමට අසමත් වීම නිසා ඒ කිසිම වෙනස්කමක් ඇති කරගැනීමට සමත් වූයේ නැත. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ද එවැනි සිහින තිබිය හැකිය. එහෙත් විරුද්ධ පක්ෂයේ සහාය නොලැබෙන්නේ නම් ඒ කිසිවක් සාර්ථක කරගැනීමට හැකිවන්නේ නැත. රනිල් වික්‍රමසිංහට බලය ලැබුණු දාකට වෙන්නේ ද ඒ දේමය.
දේශපාලන අර්ථයෙන් බලන විට අද රටට අවශ්‍යව ඇත්තේ තනිව බුදුවන ක්‍රමයක් නොව පොදුවේ බුදුවන ක්රමයකි. රට මුහුණ දී තිබෙන අර්බුදයේ තරම අනුව රටට නැවත ශක්තිමත් ඉදිරි ගමනක් ලබාගත හැකිවනු ඇත්තේ ව්‍යුහමය වෙනස්කම් ඇති කරන තැනකට යොමුවීමෙනි. එය ආණ්ඩු පක්ෂයට හෝ විරුද්ධ පක්ෂයට තනිව කළ නොහැකිය. ඒ කළ හැකිවනු ඇත්තේ ඒ අරමුණ වෙනුවෙන් මේ දෙපිරිසම එකට එකතු වී ක්‍රියා කරන තැනකට ඒමෙන් පමණය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සේ ම විරුද්ධ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ද දේශපාලන වශයෙන් ජරාජීර්ණභාවයට පත්වීමෙන් වැළකී මහජනයාගේ ගෞරවයට හේතුවන ලෙස පැවතිය හැකිවනු ඇත්තේ ද පටු කට්ටිවාදයෙන් තොරව එක්සත්ව රට එවැනි වැඩපිළිවෙළකට යොමු කිරීමෙන් පමණය. •