මේ රට තිබෙන්නේ අතිවිශාල අර්බුදයක ය. එය නිදහසේ සිට ඇතිවී අද දක්වා වර්ධනය වූ ඓතිහාසික අර්බුදයක් ලෙස සැලකිය හැකි ය. එහි ප්‍රතිඵලයක් වශයෙන් රට අසමත් රාජ්‍යයක තත්ත්වයකට හෝ අසමත් රාජ්‍යයක තත්ත්වයකට වඩා වේගයෙන් ගමන් කරමින් තිබෙන රාජ්‍යයක තත්ත්වයකට පත්ව සිටී.
රට ඇද වැටී තිබෙන මෙම අවාසනාවන්ත තත්ත්වයට නිදහසේ සිට මේ දක්වා මහජන වරමින් බලයට පැමිණ රට පාලනය කළ පාලකයින් පමණක් නොව, බලයට නොපැමිණ අනියම් ලෙස රටේ ගමන් මගට බලපෑ අන්තවාදී බලවේග ද වගකිව යුතු ය. එක්සත් ජාතික පක්ෂය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මිස අප පක්ෂය කවදාවත් රට පාලනය කර නැති බැවින් රටේ ඇතිවී තිබෙන විනාශයට අප වගකිවයුතු නැතැයි කියා ජවිපෙට තර්ක කිරීමේ හැකියාවක් ඇතත්, ජවිපෙ හා එල්ටීටීඊ වැනි අන්තවාදී සංවිධානද පාලන බලයෙන් පිටස්තරව ඉඳිමින් සන්නද්ධ කැරලි මගින් එම පාප කර්මයට දායක වී ඇතැයි කිව හැකි ය. අන්තවාදී අදහස් දරන පැවිදි ව්‍යාපාර ද ආයුධ අතට ගැනීමකින් තොරව ම එම පාප කර්මයට දායක වී ඇති බව කිව හැකි ය.
1956 සිට අද දක්වා අනියම් ලෙස රට පාලනය කරමින් තිබෙන්නේ රටේ බහුතර බලයක් තිබෙන පක්ෂ නොව රටේ ජනතාව අතර බහුතර බලයක් නැති අන්තවාදී දේශපාලන ව්‍යාපාර විසිනි. රටේ තිබෙන අවුල් විසඳා ගැනීමට ඉඩ නොදීම ඔවුන් විසින් ඉටු කරන දේශපාලන කාර්ය භාරය වී තිබේ. උතුරේ ගමන් මග ජවිපෙ හා හෙළ උරුමය විසින් පාලනය කරමින් තිබේ. ඔවුන් දරන අන්තවාදී මත බහුතර මතය නොවී තිබියදීත් මහජනතාව අතර බහුතර බලයක් ඇති පක්ෂ ඍජු ලෙස හෝ අනියම් ලෙස පාලනය කිරීමට ඔවුන් සමත්ව තිබේ. එල්ටීටීඊය මහජන බලයක් ඇති දේශපාලන නායකයින් තමන්ගේ දේශපාලන සිරකරුවන් බවට පත් කරගත් ආකාරයට ම මෙම අන්තවාදී ව්‍යාපාර දෙක ද දකුණේ ජනප්‍රිය දේශපාලන නායකයින් දේශපාලන සිරකරුවන් බවට පත්කර ගැනීමට සමත්ව තිබේ.
මෙය ඉතාමත් අවාසනාවන්ත හා ඛේදජනක තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නැත.
රටට පුංචි හෝ බලාපොරොත්තුවක් තබා ගැනීමට තිබුණු තැන ලෙස සැලකිය හැකි සර්ව පාක්ෂික සමුළුව මරා දැමීම මෙම අන්තවාදී ව්‍යාපාර දෙකේ ම අරමුණ වී තිබෙන අතර, ඒ නපුරු අරමුණ කිසියම් විශාල ප්‍රමාණයකට සාක්ෂාත් කරගැනීමට ඔවුන් සම්බන්ධ වී තිබෙන බව ද පෙනේ.
දැන් විමල් වීරවංශ කියන්නේ ඒකීය ව්‍යුහය රැකීමට මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයේදී සහතික වී ඇති බැවින් ඊට පටහැනි විසඳුමක් දීමේ අයිතියක් සර්ව පාක්ෂික සමුළුවකට නැති බවය. එය මහින්ද රාජපක්ෂ මහතා සිය කැමැත්තෙන් දෙන ලද පොරොන්දුවකට වඩා ජනාධිපතිවරණය ඔන්න මෙන්න කියා තිබෙන අවස්ථාවක, ජවිපෙ විසින් මහින්ද රාජපක්ෂ මහතාගෙන් ලබා ගන්නා ලද පොරොන්දුවක් ලෙස සැලකිය හැකි ය. ආණ්ඩුවට පමණක් මෙම අර්බුදයට විසඳුමක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් තිබුණේ නම්, සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීමට අවශ්‍ය වූයේ ඇයි? ආණ්ඩුව, ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ කිහිපයකින් සමන්විත වන අතර, සර්ව පාක්ෂික සමුළුව ජවිපෙ හා එල්ටීටීඊය හැර අන් සියලු පක්ෂවලින් සමන්විත ය. එවැනි සමුළුවක් විසින් ගනු ලබන තීරණ ආණ්ඩු පක්ෂ තීරණය විය නො හැකි ය. ආණ්ඩු බලය බෙදාහැරීමේ ඒකකය දිස්ත්‍රික්කය විය යුතුයි කියන විට සර්ව පාක්ෂික සමුළුව එය පළාතක් විය යුතු බව කීවේ ය. අවසානයේ බහුතරයේ තීරණයට හිස නමමින් ජනාධිපතිවරයා ද එම මතය පිළිගත්තේ ය.
ජේවීපීය හෝ හෙළ උරුමය දරන අන්තවාදී මතවාද සර්ව පාක්ෂික සමුළුව පිළිගත යුත්තේ ඇයි? ඔවුන් දරන අදහස් අතර පොදුවේ පිළිගත හැකි අදහස් වේ නම්, ඒවා පිළිගත යුතුය. පිළි නොගත යුතු අදහස් ප්‍රතික්ෂේප කළ යුතු ය. සර්ව පාක්ෂික සමුළුව ඔවුන්ට ගැලපෙන තැනක් නොවේ නම්, ඔවුන් කළ යුත්තේ ඉන් පිටවී යාම ය.
සර්ව පාක්ෂික සමුළුව නිර්දේශ කරන විසඳුමක් ජනමතවිචාරණයකට ද ඉදිරිපත් කළ යුතු බව අමතක නොකළ යුතු ය. අවසානයේ විය යුත්තේ කුමක් ද යන්න තීරණය කළ යුත්තේ අන්තවාදී සුළු පිරිසක් නො ව, රටේ බහුතර ජනයා ය. •