තීරු බදු රහිත වාහන ප්‍රශ්නය

October 29, 2026
Publication:
The debate is being conducted as a farce, and what it shows is how rotten the country's highest political institution has become — every party in it, moral and immoral, revolutionary and counter-revolutionary alike. Ivan gives the gap that makes the permit valuable, proposes one modest car for a whole six-year term instead of two luxury ones, and notes that in Sinhala politics calling a man a non-Buddhist or low-caste does more damage than calling him a thief.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන පිළිබඳ ප්‍රශ්නය සාකච්ඡාවට ලක්වෙමින් තිබෙන්නේ විකට නාට්‍යයක් රඟ දැක්වෙන ආකාරයටය. විකාරරූපී ස්වරූපයකින් වුවත් ඉන් පෙන්නුම් කෙරෙමින් තිබෙන්නේ රටේ උත්තරීතරම දේශපාලන ආයතනය වන පාර්ලිමේන්තුව කුණුවී තිබෙන තරමය. එම ආයතනය නියෝජනය කරන සියලු පුද්ගලයින් ධාර්මික හා අධාර්මික හෝ විප්ලවකාරී හෝ ප්‍රති විප්ලවකාරී යන භේදයකින් තොරව කුණුවී තිබෙන තරම එයින් පෙන්නුම් කරයි.

හැත්තෑහතෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අද දක්වා භුක්ති විඳින මෙම වරප්‍රසාදය යටතේ තීරුබදු රහිත වාහනයක් ඔවුන්ට ලැබෙන මිල හා ඒ වාහනයේ වෙළෙඳපොළ වටිනාකම අතර මහා පරතරයක් පවතී. රුපියල් 3,460,132කට ලැබෙන මර්සිඩීස් බෙන්ස් මෝටර් රථයකට ආණ්ඩුව අත්හරින බදුවල පමණක් වටිනාකම රුපියල් එක් කෝටි විසිපන් ලක්ෂයකි. එවිට වෙළෙන්දා ලබන ලාභය ද එකතු කළ විට රුපියල් 35 ලක්ෂයකට ලැබෙන වාහනයක ඇත්ත වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි 2කට ආසන්නය. ඔහු තෝරා ගන්නේ ලෑන්ඩ් කෘෘසර් වර්ගයේ ජීප් රථයක් නම් රුපියල් 36 ලක්ෂයක් වැනි මුදලකට ඔහුට ලැබෙන වාහනය වෙනුවෙන් අත්හරින බදුවල වටිනාකම රුපියල් එක් කෝටි 30 ලක්ෂයකි. වෙළෙඳපොළ මිල රුපියල් කෝටි 2කට ආසන්නය. ඔහු තෝරා ගන්නේ බීඑම්ඩබ්. වර්ගයේ මෝටර් රථයක් නම් ඔහුට රුපියල් 36 ලක්ෂයකට ලැබෙන මෝටර් රථය වෙනුවෙන් අත්හරින බදුවල වටිනාකම රුපියල් කෝටි 2කට ආසන්න වේ.

රුපියල් කෝටි 2කට ආසන්න වටිනාකමක් ඇති වාහනයක් රුපියල් ලක්ෂ 36ක් වැනි මුදලකට ලැබේ නම් එවැනි වාහනයක් රුපියල් ලක්ෂ 155ක් වැනි මිලකට විකුණා රුපියල් ලක්ෂ 100ක (රුපියල් කෝටියක) වැනි ශුද්ධ ලාභයක් උපයා ගත හැකිය. වාහන වරප්‍රසාදයෙන් පමණක් මන්ත්‍රීවරයෙකුට වසර 05කට ඉපැයිය හැකි ආදායම රුපියල් ලක්ෂ 100කි. එය මාසික ආදායමක් ලෙස සලකතොත් තීරු බදු රහිත වාහන වරප්‍රසාදයෙන් පමණක් මන්ත්‍රීවරයෙකුට ලැබෙන මාසික ආදායම රුපියල් එක් ලක්ෂ හැටහය දාහකට සමානය.

මන්ත්‍රීවරයෙකුට මෙම වාහන වරප්‍රසාදය ලැබෙන්නේ වසර 5කට එක් වරකි. මන්ත්‍රීවරයෙකුගේ නිල කාලය වසර 06කි. එවිට වසර 06ක නිල කාලය සඳහා තීරු බදු රහිත වාහන දෙකක් හිමිකර ගැනීමේ වරප්‍රසාදය ඔවුන් භුක්ති විඳී. එවිට එක් නිල කාලයක් සඳහා වාහන වරප්‍රසාදයෙන් පමණක් ලැබෙන ශුද්ධ ආදායම රුපියල් ලක්ෂ 200කි. මෙම වරප්‍රසාදය සහතික කිරීම සඳහා පමණක් එක් වාහනයක් වෙනුවෙන් බදු ආදායම් අහිමි කරගැනීමෙන් ආණ්ඩුව දරන අලාභය එක් පුද්ගලයෙකු සඳහා රුපියල් 1 කෝටි 25 ලක්ෂයකි. එක් පුද්ගලයකුගේ මන්ත්‍රීකම එක් නිල කාලයකට පමණක් සීමා වේ නම් ඔහු වෙනුවෙන් රජය වාහන වරප්‍රසාදය වෙනුවෙන් පමණක් දරන අලාභය රුපියල් 2 කෝටි 50 ලක්ෂයකි. මුළු මන්ත්‍රී මණ්ඩලය සඳහා එය රුපියල් කෝටි 562කි.

රටට ඔරොත්තු නොදෙන මෙවැනි කෑදර ක්‍රමයක් ස්ථාපිත කර දෙන්නට ජේ.ආර්. ජයවර්ධනට අවශ්‍ය වූයේ එතෙක් පාර්ලිමේන්තුවට ලැබී තිබුණු උත්තරීතර තත්ත්වය අහිමි කොට ඒ තත්ත්වය විධායක ජනාධිපති ධුරයට ආරෝපණය කරගැනීමේදී මන්ත්‍රීවරුන්ට ඇතිවන අපහසුවට ගෙවන වන්දියක් වශයෙනි. මීට පෙර මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට ආවේ තමන්ගේ පෞද්ගලික වාහනවලින් හෝ කුලී රථයකිනි. ඈත ප්‍රදේශවල සිට මන්ත්‍රීවරුන් දුම්රියෙන් කොළඹට පැමිණ පාර්ලිමේන්තුව රැස්වන දිනවල කොළඹ ශ්‍රාවස්තියේ නැවතුම් ගෙන එහි සිට කුලී රථයකින් හෝ බස්රියෙන් පාර්ලිමේන්තුවට ආවේය.

මන්ත්‍රීවරුන්ගේ වාහනවල ඉන්ධන වියදම දරන්නේ ද ආණ්ඩුවයි. එක පුද්ගලයෙකු දරන වියදමේ සාමාන්‍යය මසකට රුපියල් 30,000ක් පමණ විය හැකිය. ඊට අතිරේකව ටයර් ටියුබ් සඳහා වියදම් දරන්නේ ද ආණ්ඩුවයි. මේ ආකාරයට ඇමති මණ්ඩලය සමග පාර්ලිමේන්තුව නඩත්තු කිරීම සඳහා යන වාර්ෂික වියදම සමෘද්ධිලාභීන් 18 ලක්ෂයක් නඩත්තු කිරීමට යන වියදමටත් වැඩිවිය හැකිය. තීරුබදු රහිත වාහන සහනාධාරය, මන්ත්‍රීවරුන් නඩත්තු කිරීම සඳහා දරන වියදම දූෂිත හා වඩාත්ම නාස්තිකාර වියදම ලෙස සැලකිය හැකිය.

මෙම නාස්තිකාර හා දූෂිත ක්‍රමයට එරෙහිව පාර්ලිමේන්තුවට පැමිණි කිසිවකුත් නැගී නොසිටියේය. ශ්‍රී ලංකා, යූඑන්පී වශයෙන් පමණක් නොව හෙළ උරුමය හෝ ජේ.වී.පී. වශයෙන් ද නැගි නොසිටියේය. අඩුම වශයෙන් මෙවැනි නාස්තිකාර හා මජර ක්‍රමයක් වෙනුවට රටට ගැලපෙන පිළිගත හැකි වාහන ලබාදෙන විකල්ප ක්‍රමයක් වෙනුවෙන්වත් ඒ කිසිවෙක් පෙනී නොසිටියේය. වාහන අවශ්‍යම නම් අවුරුදු හයේ නිල කාලය සඳහා සුඛෝපභෝගී වාහන දෙකක් වෙනුවට මුළු නිල කාලය සඳහා සරල මිල අඩු එක වාහනයක් සඳහා වන එකඟතාවක් ඇති කරගත හැකිය. ඒ මගින් දැනට කෙරෙන වියදම 75%කින් පමණ අඩු කළ හැකිය. එවැනි ප්‍රතිසංස්කරණයක් වෙනුවෙන් පෙනී සිටීමටවත් කිසිදු පක්ෂයක් හෝ පුද්ගලයෙකු ගෙවී ගිය දශක දෙක තුළම පාර්ලිමේන්තුවේ නොසිටියේය.

තීරුබදු රහිත වාහන විකිණීම, බදුදීම පමණක් නොව අන්සතු කිරීම පවා සපුරා තහනම්ය. ඒ ඕනෑම ක්‍රියාවක් දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස සැලකෙන අතර, රේගු නීතිය අනුව එවැනි අවස්ථාවකදී බදු විරහිත පදනමක් මත වාහනය ලබා ගත් පුද්ගලයාගෙන් ඊට ලැබිය යුතු සම්පූර්ණ බදු මුදල අයකර ගන්නවාට අතිරේකව දඩයක් නියම කිරීමේ බලය රේගුව සතුය. නීති සම්පාදනය කරන්නේ පාර්ලිමේන්තුවයි. එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රීන් තමන් හදන නීතිවලට ගරු නොකරයි. ඔවුන් ඒවා උල්ලංඝනය කරන අවස්ථාවලදී ඔවුන්ට එරෙහිව නීතිය ද ක්‍රියාත්මක නොවේ. අඩුම වශයෙන් ජේ.එච්.යූ. මන්ත්‍රී හිමිවරුන් තමන්ට ලැබුණු වාහන අවුරුදු 05 සම්පූර්ණවීමෙන් පසු අයිති වන ආකාරයට විකුණා ඇති බව හෝ අන්සතු කර ඇති බව ප්‍රසිද්ධියේ පිළිගෙන ඇතත්, නීතිය තවමත් නිහඬය. නීතිය ක්‍රියාත්මක වන කරවන ආයතන මුහුණ දී තිබෙන අර්බුදයේ තරම එයින් පෙන්නුම් කරයි.

එල්ලාවල හිමියන් සඳහා ගෙන්වන ලද බෙන්ස් රථය මිලදී ගත් ව්‍යාපාරිකයා එම රථය රනිල් වික්‍රමසිංහ අතට පත් කිරීම මෙම නාට්‍යයේ එන ප්‍රබල ජවනිකාවක් විය. රනිල් වික්‍රමසිංහ මහතා එල්ලාවල හිමියන්ගේ බෙන්ස් රථයෙන් විවිධ තැන්වලට ගියේය. ඉන්පසු දිග හැරෙන ඊළඟ ජවනිකාව වඩා ත්‍රාසජනකය.

වාහනය මිලදී ගෙන එය රනිල් වික්‍රමසිංහ වෙත බාර දෙන ලද ව්‍යාපාරිකයා කියන ආකාරයට කිසියම් පිරිසක් ඔහු පැහැර ගෙන ගොස් හෙළ උරුමයේ ගිහි නායකයින් වන ඇමති චම්පික රණවක හා උදය ගම්මන්පිල වෙත ඉදිරිපත් කර ඇත. ඔවුන් ඔහුට බැණ වැදී තර්ජනය කොට වාහනයට අදාළ ලියවිල්ලක් ද පැහැර ගෙන ඇත. එහෙත් ඔහු ඉදිරිපත් කරන චෝදනා චම්පික රණවක හා උදය ගම්මන්පිල ප්‍රතික්ෂේප කරයි.

ජාතික හෙළ උරුමය කෙරෙහි රනිල් වික්‍රමසිංහ ඇති කරගෙන තිබෙන කෝපය කෙරෙහි කරුණු දෙකක් බලපා තිබෙන බව පෙනේ. ජාතික හෙළ උරුමය පක්ෂයේ උත්පත්තිය තමන්ගේ වාසියට හේතුවනු ඇතැයි විශ්වාස කළ රනිල් වික්‍රමසිංහ ආරම්භක අවස්ථාවේදී එම ව්‍යාපාරයේ පෝෂණය සඳහා අනියම් ලෙස ආධාර කළේය. එහෙත් පාර්ලිමේන්තු මැතිවරණයේදී හෙළ උරුමයට ලැබුණේ රනිල් අපේක්ෂා කළ පරිදි පොදු පෙරමුණේ ඡන්ද නොව එජාපයේ ඡන්දයය. එම මැතිවරණයේදී එජාපයේ පරාජය කෙරෙහි ජාතික හෙළ උරුමය ද තීරණාත්මක ලෙස බලපෑවේය. ජාතික හෙළ උරුමය ආරම්භයේදී එක්තරා ප්‍රමාණයකට යූඑන්පී හිතවාදී විය. කතානායක තේරීම් ඡන්දයේදී ඔවුන් පොදු පෙරමුණ ඉදිරිපත් කළ ඩිව් ගුණසේකරට එරෙහිව ඡන්ද ද පාවිච්චි කළේය. එහෙත් මහින්ද රාජපක්ෂ ආගමනයෙන් පසුව එම පක්ෂය ආණ්ඩුවේ කොටස්කරුවකු වී රනිල් වික්‍රමසිංහට හා එජාපයට පහර දෙන්නට විය. රනිල් වික්‍රමසිංහ ඉලක්ක කොට පහර දෙන විට රනිල් වික්‍රමසිංහ ඇන්ග්ලිකන් ක්‍රිස්තියානිකාරයෙකු ලෙස හැඳින්වීම මගින් දේශපාලන වශයෙන් ඔහු අවලංගු කිරීමට දරන වෑයම රනිල් වික්‍රමසිංහගේ උදහසට හේතුවී තිබෙන ලොකුම සාධකය වී තිබේ. ජාතික හෙළ උරුමය දුස්සීල සමාගමක් ලෙස විස්තර කරන අතර, පාඨලී චම්පික රණවක පාවුලු චම්පික රණවක ලෙස හැඳින්වීම මගින් තමන්ගේ අවලංගුවීම වළකා ජාතික හෙළ උරුමය අවලංගු කිරීම රනිල්ගේ උපාය මාර්ගය වී තිබෙන බව පෙනේ. තමන් වෙත පිරිසිදු බෞද්ධ ලේබලය ආරෝපණය කරගනිමින් රනිල් බෞද්ධයකු නොව ඇන්ග්ලිකන් ක්‍රිස්තියානිකාරයෙකු ලෙස ජාතික හෙළ උරුමය චෝදනා කරන විට රනිල් ඔවුන්ට පෙරළා පහර දෙන්නේ ද ඔවුන් එක්කෝ බෞද්ධ ව්‍යාපාරය තුළ සැඟවී සිටින ක්‍රිස්තියානිකාරයන් හෝ දුශ්ශීල බෞද්ධයන් ලෙස හඳුන්වමිනි. සිංහල දේශපාලනය තුළ හොරෙක්, තක්කඩියෙක්, මිනීමරුවෙක් කියන යෙදුමට වඩා අබෞද්ධයෙක්, අසිංහලයෙක් හෝ හීන කුලයකින් පැවත එන බව හඟවන යෙදුම් භයානක ප්‍රතිඵල ඇති කරයි. ඒ සියල්ලෙන් පෙන්නුම් කෙරෙන්නේ රටේ ජාතික දේශපාලනය කුණුවී තිබෙන තරමය.•