පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙන නව ක්‍රමය පිළිබඳ විරුද්ධ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට කර තිබෙන ප්‍රකාශය එම විෂය පිළිබඳව කර තිබෙන ඉතාමත් හොඳ විග්‍රහයක් ලෙස සැලකිය හැකි ය. සී.ඩබ්.ඩබ්. කන්නන්ගර ඇති කළ නිදහස් අධ්‍යාපන ක්‍රමය ඔළුවෙන් සිටුවා එය වරප්‍රසාදලාභීන්ට සීමාවූ අධ්‍යාපන ක්‍රමයක් බවට හරවා ඇත. දෙමාපියන්ගේ උගත්කම අනුව ලකුණු දීමේ ක්‍රමයේ ඇති විනාශකාරී ස්වරූපය රනිල් වික්‍රමසිංහ මහතා ඉතා හොඳින් විශ්ලේෂණය කර තිබුණි.
සාමාන්‍ය පෙළ සමත් දෙමාපියන්ට ලකුණු 8කි. උසස් පෙළ සමතුන්ට ලකුණු 10කි. ඩිප්ලෝමාලාභීන්ට 12කි. උපාධිධාරීන්ට 15කි. එහෙත් සාමාන්‍ය පෙළ සමත්වීමේ ජාතික මට්ටම පවා තිබෙන්නේ පහළ තැනක ය. වැඩිහිටි ජනගහනය උගත්කම අනුව වර්ග කළහොත් ලැබෙන චිත්‍රය ලස්සන නැත. එවැනි තත්ත්වයක් යටතේ දෙමාපියන්ගේ උගත්කමට ද ළමයාට ලකුණු දෙන ක්‍රමයක් ඇති වුවහොත් පන්ති භේදය හා කුල භේදය රජ කරන පාසල් ක්‍රමයක් ඇතිවනු නොවැළැක්විය හැකි ය.
රනිල් වික්‍රමසිංහ මහතාගේ විග්‍රහය තුළ ඇති කරුණක් වැරදි ය. නිදහස් අධ්‍යාපන පනත එජාපය ඇති කළ දෙයක් නොවේ. කන්නන්ගර මහතාගේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිවලට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ඇමති මණ්ඩලයේ පවා සහයෝගය නො ලැබුණේ ය. ඩී.ඇස්. සේනානායක පවා කන්නන්ගරගේ වැඩපිළිවෙළට අකුල් හෙළන ලද බව ඒ ගැන ලියැවී ඇති පොත්පත්වල පැහැදිලිව සඳහන් වේ.
කන්නන්ගරට නිදහස් අධ්‍යාපන ක්‍රමයක් සඳහා වන ගැඹුරු දැක්මක් තිබුණි. ඒ සමග තමන් දන්නා සිහිනය සැබෑ කරගැනීම සඳහා වන වැඩපිළිවෙළක් ද ඒ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයෑම සඳහා වන අතිවිශාල අධිෂ්ඨානයක් ද තිබුණි. ශ්‍රී ලංකාවේ සියලු නූතන දේශපාලකයන් අතරින් ඉතාමත්ම ඉදිරිගාමී හා විප්ලවකාරී සේවාවක් ඉටු කළ පුද්ගලයා ලෙස සැලකිය හැක්කේ ඔහු ය.
රටේ ඇතිවී තිබෙන පිරිහීම කෙරෙහි බලපා තිබෙන එක් වැදගත් හේතුවක් ලෙස සැලකිය හැක්කේ පාර්ලිමේන්තුව තමන් වෙත පැවරී තිබෙන යුතුකම් හා වගකීම් හරියාකාරව ඉටු නොකිරීමය. ජන ජීවිතය කෙරෙහිත් රටේ අනාගතය කෙරෙහිත් බලපාන ප්‍රශ්න උනන්දුවෙන් හා ගැඹුරින් සාකච්ඡා කරන තත්ත්වයක් පාර්ලිමේන්තුවේ තිබුණේ නම් සමහරවිට මේ රට මෙතරම් ම අවලස්සන නොවන්නට ඉඩ තිබුණි. මෙම විෂයයේදී රනිල් වික්‍රමසිංහ මහතා පෙන්නුම් කර තිබෙන ධෛර්යය වෙනත් විෂයයන් පිළිබඳවත් පෙන්නුම් කිරීමට සමත් වී නම් පාර්ලිමේන්තුවේ ඵලදායිතාව මීට වඩා ඉහළ යන්නට තිබුණි.
පාර්ලිමේන්තුව සිය යුතුකම් නිසියාකාරව ඉටු නොකරන විට මහජනයාට සිය දුක්ගැනවිලි විසඳා ගන්නට යන්නට සිදුවන්නේ අධිකරණයට ය. එවැනි අවස්ථාවලදී අධිකරණය තමන් සිටිය යුතු සීමාවේ නො සිට ව්‍යවස්ථාදායකයේ වගකීම් ඉටු කරන්නට ගිය රට අවුල් ජාලාවක් බවට පත්වීම ස්වාභාවිකය. දැන් සිදුවී තිබෙන්නේ ද එයයි.
මෙය රටට නැති අවුල් ඇති කරන ක්‍රමයක් බව අධ්‍යාපන ඇමතිවරයා ද පිළිගනී. මෙම ක්‍රමය ශ්‍රේෂ්ඨාධිකරණයේ පළමු තීරණයන්ට පටහැනි බව හා ඒ මගින් මානව හිමිකම් උල්ලංඝනය වීමක් සිදුවන බව ද අධ්‍යාපන ඇමතිගේ මතය වී තිබේ.
දැන් මේ වරද නිවැරදි කරන්නේ කෙසේ ද යන්න අප ඉදිරියේ තිබෙන අභියෝගයයි. මෙම ආරාවුලට ජනාධිපති ද පාර්ලිමේන්තුව ද මැදිහත් විය. ඔවුන් එකට එකතු වී මහජනයාගේ ගෞරවයට හේතුවන විසඳුමක් ලබාදිය යුතු ය. •