මු්දලේ වටිනාකම වාෂ්පවෙමින් තිබෙන අතර, ජීවන වියදම දරාගත නොහැකි තරම් වේගයකින් ඉහළයමින් පවතී. උද්ධමන වේගය 20%කි. බැංකු පොලී අනුපාතයද පිම්මේ ඉහළයමින් පවතී. ආර්ථික ක්‍රියාකාරකම් හැකිළෙමින් තිබෙන අතර, පරිපාලන හා යුද්ධ වියදම වේගයෙන් ඉහළ යමින් පවතී. ශ්‍රී ලංකාවට ලැබෙන ජාත්‍යන්තර ආධාර හැකිළෙමින් තිබෙන අතර, ජාත්‍යන්තර ආධාර සඳහා අලුතෙන් තහංචි පැනවෙන තත්ත්වයක් ද නිර්මාණය වෙමින් පවතී. රටේ පවතින අයහපත් ආර්ථික වාතාවරණය රටේ දේශපාලන චිත්රයේ ඇති ව්‍යාකූලභාවය ද තව තව වර්ධනය කිරීමට හේතුවී තිබේ.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීන් සැලකිය යුතු පිරිසක් විරුද්ධ පක්ෂයට එකතු කරගැනීම මගින් ආණ්ඩුව අස්ථාවර කිරීම විරුද්ධ පක්ෂයේ උපාය මාර්ගය වන විට විරුද්ධ පක්ෂයෙන් සැලකිය යුතු පිරිසක් ආණ්ඩුවට එකතු කරගැනීම මගින් තම ස්ථාවරභාවය තබා ගැනීම ආණ්ඩු පක්ෂයේ උපාය මාර්ගය වී තිබේ. අවශ්‍ය ව්‍යුහමය වෙනස්කම් ඇති කිරීම මගින් මෙම පොදු අර්බුදය ජයගත යුතුව තිබෙන බව තේරුම් ගැනීමට ආණ්ඩු පක්ෂය හෝ විරුද්ධ පක්ෂය සමත්වී නැත. කවර ආකාරයකින් හෝ විරුද්ධ පක්ෂය බෙලහීන කොට බලය ආරක්ෂා කරගැනීම ආණ්ඩුවේ අරමුණ වන විට කවර ආකාරයකින් හෝ ආණ්ඩු බලය ලබාගැනීම විරුද්ධ පක්ෂයේ අභිලාෂය වී තිබේ.
තොප්පිගලින් පසු
තොප්පිගල ජයග්‍රහණය ආණ්ඩුව අපේක්ෂා කළ තරමින් සිංහල ජනතාව කුල්මත් කිරීමට හේතු නොවීය. එය සුළු ජාතීන්ගේ හිත් වේදනාවට හේතු නොවන ලෙස එම ජයග්‍රහණය සැමරීමට ද ආණ්ඩුව අපොහොසත් විය. තවදුරටත් යුද්ධ මාවතේම ගමන් කරනවා හැර, ආණ්ඩුවට තෝරා ගැනීමට වෙනත් විකල්පයක් ඇති බවක් ද පෙනෙන්නට නැත.
එජාප හා මංගල පාර්ශ්වය 19 වැනිදා කොළඹ සාර්ථක විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට සමත් විය. එම විරෝධතා ව්‍යාපාරය එජාප පාක්ෂිකයන් තුළ කිසියම් ප්රබෝධයක් ඇති කිරීමට හේතුවී තිබෙන බව ද පෙනේ. 19 වැනිදා පැවති විරෝධතා ව්‍යාපාරය දක්ෂ ලෙස කළමනාකරණය කිරීමට ආණ්ඩුව ද සමත් වූ බව කිව යුතුය. ජනාධිපතිනි චන්ද්‍රිකා මෙන් විරෝධතා ව්‍යාපාරයට පහර දෙන තැනකට ගියේ නම් එය ඉතාමත් විනාශකාරී ප්‍රතිඵල ඇති කිරීමට හේතුවන්නට ඉඩ තිබුණා සේ ම එය මෙම එකතුවේ පැවැත්ම ශක්තිමත් කරන වැදගත් සාධකයක් වන්නට ද ඉඩ තිබුණේය.
එදින පැවැත්වුණ රැස්වීමට මංගල ආණ්ඩු පක්ෂයෙන් එක් කෙනෙකු හෝ දෙන්නෙකු හෝ ගෙන එනු ඇති බවට එජා පාක්ෂිකයන් බලාපොරොත්තු ඇති කරගෙන සිටිය ද එවැන්නක් සිදු නොවීය. ඒ වෙනුවට සිදුවූයේ එක්සත් ජාතික පක්ෂයට එකතු වී සිටි තිලක් කරුණාරත්න ආණ්ඩු පක්ෂයට එකතුවීමය.
ඉදිරි අයවැය පරාජය කිරීම විරුද්ධ පක්ෂයේ ඉලක්කය වී තිබෙන බව පෙනේ. අයවැය ඉලක්ක කොටගෙන ජවිපෙ ද ආණ්ඩුවට කොන්දේසි ඉදිරිපත් කරන තැනකට යමින් සිටින බව පෙනේ. අයවැයට තමන්ගේ ඡන්දය අවශ්‍ය නම් ඇමති මණ්ඩලය 30 දක්වා අඩු කරන ලෙසත්, දූෂිත ඇමතිවරුන් පත් කරන ලෙසත්, කෝප් වාර්තාව ක්‍රියාත්මක කරන ලෙසත් එම පක්ෂය ආණ්ඩුවෙන් ඉල්ලා සිටීමට තීරණය කර තිබේ.
නැවත පක්ෂය මහජනතාව අතර ජනප්‍රිය තැනකට ගෙන ඒමට අයවැය අවස්ථාවක් කරගැනීමට ජවිපෙ උත්සාහ ගනිමින් තිබෙන බව පෙනේ. මීට පෙර චන්ද්‍රිකා ආණ්ඩු කාලයේදී ජවිපෙ එවැනි මැදිහත්වීමක් කළේය. පරිවාස ආණ්ඩුවක් ඇති කරගැනීමට සමත් වුවද එම මැදිහත්වීම, තිබුණු දේශපාලන අර්බුදය සමනය කිරීමට හේතු නොවීය. එහෙත් ජවිපෙ මොන මොන කොන්දේසි ඉදිරිපත් කළ ද, අයවැයේදී ආණ්ඩුව පරාජය කරන තැනකට යෑමේ හැකියාවක් ජවිපෙට නැත. ශ්රීලනිපය සමග ඇති කරගත් සම්බන්ධතාව නිසා තමන්ට ලැබී තිබෙන ලොකු ගොඩ පුංචි කරගන්නා ක්‍රියාමාර්ගයකට එකඟවීමේ හැකියාවක් ජවිපෙට නැත. හෙළ උරුමයට ද ආණ්ඩුවට ආධාර කරනවා හැර අන් මගක් ගැනීමේ හැකියාවක් නැත.
මංගල – රනිල් ගිවිසුම
මංගල සමරවීර ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග ගැටුමක් ඇති කරගැනීම කෙරෙහි බලපෑ ආරම්භක හේතුවූයේ එජාපයේ මන්ත්‍රී පිරිසක් ආණ්ඩු පක්ෂයට එකතු කරගනිමින් ඔවුන්ට තනතුරු දීමය. එජාපයේ හාල්පාරුවන් පිරිසක් සමග ආණ්ඩු කරන්නේ කෙසේද යන්න මංගල ඒ මොහොතේ නැගූ ප්‍රධාන ප්රශ්නය විය. එක්සත් ජාතික පක්ෂ පිරිසක් සමග එකට වාඩිවෙන්නට බැරි තරම් අඩුපාඩුවක් ඔහු එදා එජාප කෙරෙහි පළ කළේය. එහෙත් පුදුමයකට මෙන් ඔහු ආණ්ඩු පක්ෂයෙන් කැපී එකතු වූයේ ජවි පෙරමුණට නොව එජාපයටය.
එක් අතකට එජාප ශ්‍රීලනිප වෙමින් තිබෙන අතර, අනෙක් අතට ශ්‍රීලනිප එක්සත් ජාතික පක්ෂය වෙමින් පවතී. නායකයින් දෙපළම වැඩි කැමැත්තක් දක්වන්නේ තම පක්ෂයේ මන්ත්‍රීවරුන් සමග වැඩ කරන්නට වඩා විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරුන් සමග වැඩ කරන්නටය.
මංගල හා රනිල් එක ගිවිසුමකට නොව ගිවිසුම් දෙකකට අත්සන් කර තිබෙන බව පෙනේ. එක් ගිවිසුමක් ප්රකටය. අනෙක් ගිවිසුම අප්‍රකටය. ප්‍රකට ගිවිසුමේ අප්‍රකට ගිවිසුම ගැන ද සඳහන් වේ. පක්ෂය ගිවිසුමක් ඇතිකර ගැනීමට පක්ෂ නායකයාට බලය දී ඇතත් ගිවිසුමට ඇතුළත් කොන්දේසි ගිවිසුම අත්සන් කරන්නට පෙර පක්ෂයට දැනුම් දී නැත. ගිවිසුමෙන් මංගලට ලබාදී තිබෙන දෙවැනි තැන දෙවැනි නායකයන්ගේ සංතෝෂයට හේතුවී නැත.
අනාගතයේ ඇති කරන්නට යන ප්‍රතිසංස්කරණ යෝජනා ගැන ද ගිවිසුමේ සඳහන් වේ. පක්ෂ මාරුව වළකන දැඩි නීති ඇති කිරීමේ අවශ්‍යතාව ගැන ද එහි සඳහන්ය. දැන් ද පාර්ලිමේන්තු මන්ත්‍රීන් සඳහා පක්ෂ මාරුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනිය. එජාපයෙන් 17ක් ආණ්ඩු පක්ෂයට එකතුවීම සේ ම ආණ්ඩු පක්ෂයෙන් දෙකක් විරුද්ධ පක්ෂයට එකතුවීම ද නීති විරෝධීය. ප්රශ්නය වී ඇත්තේ නීති නැතිකම නොවේ. තිබෙන නීති නොපිළිපැදීමය. දේශපාලකයන් පමණක් නොව අධිකරණය ද නීතියට ගරු නොකරති.
පක්ෂ මාරුව වළකන නීති ගැන කතා කරන මංගල එක්සත් ජාතික පක්ෂයෙන්, මුස්ලිම් කොංග්රස් පක්ෂයෙන් හා හෙළ උරුමයෙන් මන්ත්‍රීන් ආණ්ඩු පක්ෂයට බිලිබෑමේ ක්‍රියාවලියේදී බිලීබාන්නාගේ කාර්ය ඉටු කළේ මංගලය. මංගල ආණ්ඩුව පෙරළන්නට උත්සාහ කරන්නේ ද ආණ්ඩු පක්ෂයෙන් පිරිසක් විරුද්ධ පක්ෂයට එකතු කරගැනීම මගිනි. ඒ සියලු දේ එසේ කරන අතර, පක්ෂ මාරුව වැළැකීමට නීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාව ද කතා කරයි. ඔහු ආඳා මාළු ඉරට්ටෙන් කන ක්‍රමයක් යොදාගෙන තිබෙන බව පෙනේ.
අධිකරණයේ ස්වාධීනත්වය ගැන ද ගිවිසුමේ සඳහන්ය. ඊට ඇතුළත් විග්‍රහය අනුව අධිකරණය පිරිසිදු සේම ස්වාධීනය. දූෂිත වන්නේ නීතිපති දෙපාර්තමේන්තුව පමණය.
ගිවිසුමට අත්සන් තබා ඇති රනිල් වික්‍රමසිංහගේ එජාප අධිකරණ නායකයාට එරෙහිව දෝෂාභියෝග දෙකක් ද, තේරීම් කාරක සභාවක් සඳහා වන යෝජනාවක් ද ඉදිරිපත් කර තිබේ. ඒ යෝජනා මගින් එජාප තරයේ කියා සිටියේ අධිකරණ නායකයා එම තනතුරේ තබාගැනීමට නුසුදුසු තරම් දූෂිත පුද්ගලයෙකු බවය. එම චෝදනා ඉල්ලා අස්කර ගනිමින් තවමත් රනිල් වික්‍රමසිංහ ඒ ගැන අධිකරණ නායකයාගෙන් සමාව ඉල්ලා නැත. එවැනි ස්ථාවරයක පිහිටා ක්‍රියා කළ පුද්ගලයෙකු එම ගිවිසුමට එවැනි විවරණයක් ඇතුළත් කළේ කෙසේද යන්න තේරුම් ගැනීම අමාරුය.
අධිකරණයට සංඥාවක්
එවැනි විවරණයක් ගිවිසුමට ඇතුළත් කිරීම මගින් මංගල අධිකරණයට දේශපාලන සංඥාවක් දීමට උත්සාහ දරා තිබෙන බව පෙනේ. ලලිත් හා ගාමිණී ජනාධිපති ප්‍රේමදාස පෙරළන්නට උත්සාහ කළේ කතානායකගේ සහාය ඇතිවය. මංගල කතානායක වෙනුවට අධිකරණයේ සහාය ඇතිව ඒ දේ කරන්නට සිහින දකින තැනක සිටි බව පෙනෙන්නට තිබේ.
මංගල පාර්ශ්වය පවත්වාගෙන යන වෙබ් අඩවියේ මීට ටික දිනකට පෙර අධිකරණය පිළිබඳ අපූරු ප්‍රවෘත්තියක් පළවී තිබුණි. එම ප්‍රවෘත්තියෙන් කියා තිබුණේ අගවිනිසුරු ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර වරුන් හත්දෙනෙකු පිළිබඳව විශේෂ පොලිස් පරීක්ෂණයක් පැවැත්වෙන බවය. ඉන්පසු මෙම ප්‍රවෘත්තිය වෙනත් ප්රවෘත්ති වෙබ් අඩවි ගණනාවක ද පළවිය. ඇමති ජෙයරාජ් ප්‍රනාන්පුල්ලේ ප්රවෘත්ති සාකච්ඡාවකදී ඒ ගැන කීවේ ආණ්ඩුව හා ශ්‍රේෂ්ඨාධිකරනය අතර ගැටුමක් ඇති කිරීමේ අරමුණින් මංගල පාර්ශ්වය එම ප්‍රවෘත්තිය නිර්මාණය කර තිබෙන බවය. අධිකරණය පසුගිය කාලයේ ආණ්ඩු විරෝධී බලවේගයන්ගේ ආශ්වාදයට හේතුවන තීන්දු ගණනාවක්ම ප්‍රකාශයට පත් කරන ලදි. ඒ සමග අගවිනිසුරුවරයා ජනාධිපති වරයාට එරෙහිව අරගල කරන තැනකට තල්ලු වී ඇතැයි කියන කතාවක් ද රට පුරා පැතිර ගියේය. එජාපයෙන් ආණ්ඩුවට එකතු වී සිටින 17 දෙනාගේ මන්ත්රීකම් අහෝසි කරන තීන්දුවක් දෙන්නට යන බව කියන කතාවක් ද දේශපාලන අංශවල කතාබහට හේතුවී තිබුණි. ටෙලිකොම් කොටස් අයිතියේ හුවමාරුවකට එරෙහිව ශ්‍රීපති ඉදිරියට ගෙනා මූලික අයිතිවාසිකම් පෙත්සමකින් ශ්‍රීපති ජයගත්තේය. එම තීන්දුව මංගල පාර්ශ්වයේ ආධාරකරුවන් සලකන ලද්දේ තම නායකයින් කරන අරගලයට අධිකරණ නායකයා විසින් දෙන ලද සහායක් ලෙසය. අවසානයේ එල්ටීටීඊ ගනුදෙනුව පදනම් කරගෙන ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජනාධිපති ධුරය අහිමි කරන ලෙස අනාගතයේ අධිකරණය දෙන්නට යනු ඇතැයි කියන තීන්දුවක් ගැන ද සිහින දැක්කේය.
මේ සියලු සිහින සුන්දරය. එහෙත් රාත්‍රියට පෙනෙන සුන්දර සිහින සැබෑවන්නේ නැති තරම්ය. එස්.බී. දිසානායක ද එවැනි සුන්දර සිහිනයක් දුටු පුද්ගලයෙකි. එහෙත් ඒ දකින ලද සිහිනය කෙළවර වූයේ හිරගෙදරිනි. එස්.බී. දිසානායකගේ අභාවවාචක අත්දැකීම්වලින් උගත යුතු පාඩම්වත් මංගල තවමත් ඉගෙන නැති බව ඉන් පෙනී යයි.
අධිකරණයක ස්වාධීනත්වය තීරණය කරන්නේ අධිකරණය දේශපාලන වශයෙන් කාට පක්ෂපාතද යන පදනම මත නොවේ. අධිකරණය බලයේ සිටින ආණ්ඩුවට පක්ෂපාත නොවිය යුතුවා සේ ම, විරුද්ධ පක්ෂයට ද පක්ෂපාත නොවිය යුතුය. අධිකරණයක් තිබිය යුත්තේ ඒ සියල්ලටම ඉහළිනි. එය පක්ෂ භේදයෙන්, පන්ති භේදයෙන්, වර්ග, ආගම් හා කුලභේදයන්ගෙන් තොරව සාධාරණව යුක්තිය පසිඳලන ආයතනයක් ලෙස ක්‍රියා කළ යුතුය. අවාසනාවකට අපේ රටේ නැත්තේ ද එවැනි අධිකරණ ක්රමයකි. අධිකරණය තව තව දේශපාලනටය ඇඳා ගැනීමෙන් වන්නේ රටේ අර්බුදය වඩ වඩා කුණුවීම පමණය. •