දුශ්ශීලවාදයෙන් පසු රනිල්ගේ අනන්‍යතා වාදය

October 29, 2026
Publication:
At the D.R. Wijewardena awards the opposition leader blamed journalists for destroying the Sri Lankan identity that Wijewardena began and D.S. Senanayake built. Ivan answers with the history: the 1911 educated Ceylonese seat, the manoeuvre to keep a Karava candidate out of it, and Ponnambalam Ramanathan brought back from retirement in India to prevent it. Palaces built on sand fall down, and this one was built by Ranil Wickremesinghe's own forebears.

ඩී. ආර්. විජේවර්ධන සම්මාන උළෙලේදී එහි ප්‍රධාන දේශනය කළ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනමාධ්‍යවේදීන්ගේ භූමිකාව ප්‍රශ්න කිරීමකට ලක් කර තිබුණි. මෙම ප්‍රශ්න කිරීම කර තිබුණේ ශ්‍රී ලාංකික අනන්‍යතාව, අසාර්ථක රාජ්‍ය, ජනමාධ්‍ය නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය යන අංශ පදනම් කොටගෙනය. රනිල් වික්‍රමසිංහ මහතා එහිදී කියා ඇත්තේ ඩී.ආර්. විජේවර්ධන විසින් ආරම්භ කොට මහාමාන්‍ය ඩී.ඇස්. සේනානායක විසින් ගොඩනගන ලද ශ්‍රී ලාංකික අනන්‍යතාව බිඳ දැමීම කෙරෙහි ජනමාධ්‍යවේදීන් වගකිවයුතු බවය. දැන් ශ්‍රී ලාංකික ජාතියක් වෙනුවට ඇත්තේ වර්ග, කුලය, හා ආගම අනුව බෙදුණු ජාතියකි. ඔහු කියන්නේ ඒ තත්ත්වය ඇති කළේ ජනමාධ්‍යවේදීන් බවය.

සාර්ථක රාජ්‍යයක් වශයෙන් පැවති ශ්‍රී ලංකාව අසාර්ථක රාජ්‍යයක තත්ත්වයට පත්ව තිබෙන බව කියන ඔහු ඒ තත්ත්වයට ශ්‍රී ලංකාව ඇද වැටීම වැළකීමට ජනමාධ්‍යවේදීන් ඵලදායී කිසිවක් කර නැති බව ද කියා සිටී.

වික්‍රමසිංහ මහතාගේ තුන්වැනි තර්කය වනුයේ රටක ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටීම කෙරෙහි ජනමාධ්‍ය මර්දනය තීරණාත්මක ලෙස බලපාන බව හා ඒ තත්ත්වය පරාජය කිරීමට ජනමාධ්‍යවේදීන් ඵලදායී කිසිවක් කර නැති බවය.

ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය හා එම අර්බුදය උත්සන්න කිරීමෙහි ලා ජනමාධ්‍ය හා ජනමාධ්‍යවේදීන් ඉටු කර තිබෙන විනාශකාරී කාර්ය භාරය පිළිබඳව රනිල් වික්‍රමසිංහ කරන විවේචනය බොහෝ දුරට නිවැරදිය. එහෙත් ජනමාධ්‍ය හෝ ජනමාධ්‍යවේදියා මේ ආරාවුලට වගකිවයුතු එකම විත්තිකරුවා ලෙස සැලකීම වැරදිය.

පරපුරේ වැදගත්කම

රනිල් වික්‍රමසිංහ මෙම කතාවෙන් සිය පරපුරට අසමාන ඓතිහාසික වැදගත්කමක් ලබාදී ඇති බව කිව යුතුය. ඒ අනුව බෙදී සිටි ජාතිය ශ්‍රී ලාංකික ජාතියක් ලෙස ඒකාග්‍ර කළේ ද, එම ජාතියට ජාතික නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය උරුම කර දුන්නේ ද එම පරපුරේ වැදගත් පුරුක් දෙකක් වන ඩී.ආර්. විජේවර්ධන හා මහාමාන්‍ය ඩී.එස්. සේනානායකය. ඔවුන් විසින් එසේ ගොඩ නගා තිබූ රට හා ජාතිය ජනමාධ්‍ය හා ජනමාධ්‍යවේදීන් විසින් විනාශ මුඛයට පත් කෙරිණ. දැන් ශ්‍රී ලාංකික කියා ජාතියක් නැත. ඇත්තේ වර්ගය, ආගම, කුලය අනුව බෙදී ගිය ජාතියකි. රට ද ප්‍රජාතන්ත්‍රවාදයක් නැති අසරණ රාජ්‍යයක් බවට පත් කර තිබේ. රනිල් වික්‍රමසිංහ මහතාගේ මේ ප්‍රවේශය මට නිතැතින්ම සිහිගැන්වූයේ මෙම පරපුර පිළිබඳව ජොනතන් එස්. වෝල්ටර්ස් කර තිබෙන නිරීක්ෂණයකි. ඔහු කැලණියේ ඉතිහාසය පිළිබඳව ලියා ඇති කෘතියේ ඩී.සී. විජේවර්ධන (ඩී.ආර්. විජේවර්ධනගේ සහෝදරයා) විසින් ලියා ඇති ඍැඩදකඑ සබ එයැ එැපචකැ නමැති කෘතිය පිළිබඳව ද විග්‍රහයක් කර තිබේ. ඩී.සී. විජේවර්ධන එම කෘතියෙන් කැලණිය පන්සල හා බුද්ධාගම එකිනෙකට වෙන් නොකළ හැකි දෙයක් බවට පත් කිරීම මගින් කැලණිය පන්සලට අතිවිශාල වැදගත්කමක් ලබාදෙන අතර, එමගින් කැලණිය පන්සලේ භාරකාරත්වය හිමි කරගෙන සිටින විජේවර්ධන පරපුර ශ්‍රී ලංකාවේ බුද්ධාගමේ ආරක්ෂාව බාර පරපුර ලෙස අභිෂේක කරගැනීමක් සිදුවී ඇති බව ජොනතන්ගේ නිරීක්ෂණය වී තිබේ. රනිල් වික්‍රමසිංහ රට ජාතිය පිළිබඳ කර තිබෙන විග්‍රහය තුළ ද එම ආකල්පය දැකිය හැකිය. මීට පෙර දුශ්ශීල භික්ෂූන් පිළිබඳව කරන ලද නිර්භීත හෙළිදරව්ව තුළ ද එම ආකල්ප පෙනෙන්නට තිබුණි.

දුශ්ශීල දේශපාලන භික්ෂුවක් පිළිබඳ දැක්විය හැකි හොඳම නිදර්ශනය වනුයේ මාපිටිගම බුද්ධ රක්ඛිත හිමිය. ඔහු එවකට කැලණිය රජ මහ විහාරයේ අධිපතිව සිටියේය. එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක බලයට පත් කරන යාන්ත්‍රණය ලෙස ක්‍රියා කළ එක්සත් භික්ෂු පෙරමුණේ නිර්මාතෘවරයෙකි. ඔහු විස්කි බීවේය. මුදල් පොළී කළේය. විහාරයේ ප්‍රධාන දායකයාගේ අඹුව සිය පරඅඹුව බවට පත් කරගෙන සිටියේය. සාමාන්‍යයෙන් අලුත බලයට පත්වන ආණ්ඩුවක අගමැති හා කැබිනට් ඇමතිවරුන් දිවුරුම්දීමෙන් පසු පිළිගත් චාරිත්‍රයක් ලෙස පළමුවෙන් ගියේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට වුවත්, බණ්ඩාරනායකගේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් පසු අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය දළදා මාලිගාව වෙනුවට තමන්ගේ ආධිපත්‍යය යටතේ පැවති කැලණිය රජමහ විහාරය වෙත ගෙන්වා ගැනීමට එම භික්ෂුව සමත් විය. ඒ මගින් තමන්ට තිබෙන දේශපාලන බලපුළුවන්කාරකම ඔහු රටට ප්‍රදර්ශනය කළේය. අවසානයේ බණ්ඩාරනායක ඝාතන කුමන්ත්‍රණයේ මොළකාරයා ලෙස ක්‍රියා කළේ ද බුද්ධ රක්ඛිතය. අධිකරණය ඔහු එල්ලා මැරීමට නියම කළේය. ඉන්පසු ඉදිරිපත් වූ අභියාචනයක් සලකා බලා මරණ දඬුවම ජීවිතාන්තය දක්වා වන සිරදඬුවමක් බවට ලිහිල් කෙරිණ. ඔහු සිරකරුවකු ලෙස සිරදඬුවම් ගෙවමින් සිටියදී හිරගෙදරදී මිය ගියේය.

ජනමාධ්‍යවේදීන් ගැන

රනිල් ජනමාධ්‍ය හා ජනමාධ්‍යවේදීන් ගැන ප්‍රසිද්ධියේ ප්‍රශ්න කිරීම නිවැරදිය. මේ රට කුණු කිරීමට ඔවුන් දායක වී තිබෙන ආකාරය පෙන්වාදීම ද නිවැරදිය. එවැනි විවේචන තමන් රඟපාමින් තිබෙන භූමිකාව පිළිබඳව ආපසු හැරී බැලීමක් කිරීමට ජනමාධ්‍යවේදීන්ට බල කරනු ලබයි. එහෙත් ඇතිවී තිබෙන මෙම මහා විනාශයට වගකිවයුතු එකම පිරිස ජනමාධ්‍යවේදීන් පමණක් ලෙස සැලකීම වැරදිය. රනිල් වික්‍රමසිංහ මහතා ජනමාධ්‍යවේදීන්ට එරෙහිව ඉදිරිපත් කරන අධි චෝදනා පත්‍රය ඔහු ඇතුළු දේශපාලනඥයින්ට ද අදාළය. අධිකරණයට හා රාජ්‍ය නිලධරතන්ත්‍රයට ද අදාළය. උගතුන්ට, වෘත්තීයවේදීන්ට හා ආගමික නායකයන්ට ද අදාළය.

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන රනිල් වික්‍රමසිංහගේ මාමාය. ඔහු කළ ඉතා හොඳ දේ තිබෙනවා සේ ම පිස්සු නැටූ ප්‍රමාණය ද අප්‍රමාණය. ඔහු විරුද්ධ පක්ෂය බෙලහීන කිරීමේ අරමුණින් ශ්‍රීලනිප නායිකාවගේ ප්‍රජා අයිතිය අහෝසි කළේය. ජනමතවිචාරණයක් මගින් පාර්ලිමේන්තුවේ නිල කාලය දීර්ඝ කර ගත්තේය. ජනමතවිචාරණයට එරෙහිව ක්‍රියා කරන බලවේග දුර්වල කිරීම පිණිස විජය කුමාරතුංග වැනි විරුද්ධ පක්ෂයේ ක්‍රියාකරුවන් අත්අඩංගුවට ගත්තේය. ඇත්ත, සැටර්ඩේ රිවීව් වැනි පුවත්පත් සීල් තැබුවේය. 83 ජූලි සිද්ධීන් හේතුවක් කරගනිමින් ජවිපෙ තහනම් කළේය. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු නියෝජනය අහිමි කිරීමට හේතුවන ලෙස නීති සම්පාදනය කළේය. ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයක් දිශාවට යන ගමන ඒ වන විටත් ආරම්භ වී තිබුණි. එදා රනිල් වික්‍රමසිංහ මහතා ඒ සිදුවූ වැරදි ඉදිරියේ කුමක් කළේද? ජනමාධ්‍යවේදීන්ට එරෙහිව නගන සාධාරණ චෝදනා රනිල් වික්‍රමසිංහ මහතාට ද අදාළ වන්නේ එසේය. එම චෝදනා අන් සියලු දේශපාලකයන්ට සේ ම මීට ඉහත කියන ලද අන් සියු අංශවලට ද අදාළය.

සියලු දෙනා ඒ මොහොතේ ලැබෙන වාසි සලකා පිස්සු නැටූහ. නැතිනම් ඒ නටන පිස්සු ඉදිරියේ කට පියාගෙන සිටියහ.

ජාතික නිදහස දිනා ගැනීම, ශ්‍රී ලාංකික ජාතියක් ගොඩ නැගීම, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කාරණා පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතා කර තිබෙන විවරණය ඒකපාර්ශ්විකය. ඒ අගතිය සිය පරපුරරේ දේශපාලන ක්‍රියාකාරකම් දෙස අනවශ්‍ය තරම් ගෞරවයකින් භක්තියකින් හා ආශ්වාදයකින් බැලීමේ තර්කානුකූල ඵලයක් ලෙස ද සැලකිය හැකිය.

නූතන දේශපාලනයේ ආරම්භක ලක්ෂය ලෙස රනිල් වික්‍රමසිංහ මහතා විස්තර කර ඇත්තේ 1915 සිංහල මුස්ලිම් කෝලහාලයයි. එම කෝලහාලය බ්‍රිතාන්‍ය ආධිපත්‍යයට එරෙහිව දියත් කෙරුණු කැරැල්ලක් ලෙස වරදවා වටහා ගත් බ්‍රිතාන්‍ය පාලකයෝ යුද්ධ නීතිය පනවා සිංහල බෞද්ධ නායකයන්ට එරෙහිව බිහිසුණු මර්දනයක් දියත් කළහ. සිංහල බෞද්ධ නායකයන් කිහිප දෙනෙකු වෙඩි තබා මරා දමන ලද අතර, තවත් පුද්ගලයන් ගණනාවක් අත්අඩංගුවට ගැනිණ. විදේශ පාලනයක් තුළ තමන්ගේ අනාරක්ෂිතභාවය හා අසරණභාවය සිංහල නවීන ප්‍රභූ පන්තියට තේරුම් ගිය ප්‍රථම අවස්ථාව එය විය. පොදු ජාතික අනන්‍යතාවක් තුළ එක්සත් වීමේ වැදගත්කම සේම පාලන බලයට සම්බන්ධවීමට හැකියාව ලැබෙන දේශපාලන ප්‍රතිසංස්කරණ දිනාගැනීමේ වැදගත්කම ද ඔවුහු තේරුම් ගත්තේය.

කෝල්බෘෘක් කොමිෂන් නිර්දේශ අනුව 1834 ඇති කළ ව්‍යවස්ථාදායක සභාවේ සිංහලයන්ට ලැබුණු නිල නොවන නියෝජිත ධුරයට තේරී පත්වීමේ ඒකාධිකාරි අයිතිය හිමිව තිබුණේ පහතරට මුදලි පේරුවටය. එම විශේෂ පිරිස සමන්විත වූයේ ඔබේසේකර, බණ්ඩාරනායක, ඉලංගකෝන්, ද අල්විස්, ලිවේරා හා පීරිස් යන පවුල් කණ්ඩායමෙනි. ඔවුන් රදළ නොවූවත් රදළ බවක් ආරූඪ කරගත් පවුල් කණ්ඩායමක් විය.

1889 දක්වා ව්‍යවස්ථා දායක සභාව නියෝජනය කිරීමට සිංහලයන්ට ලැබී තිබුණේ එක නියෝජනයක් පමණය. 1889දී පහතරට සිංහල නියෝජිතයාට අතිරේකව උඩරට සිංහලයින් සඳහා ද නියෝජිතයකු පත් කරන ලදි. ඉන්පසුත් 1912 තෙක්ම පහතරට සිංහල නියෝජිතයාගේ ධුරයට පත්වීමේ ඒකාධිකාරි අයිතිය ලැබී තිබුණේ පහතරට මුදලි පේරුවටය. එම තත්ත්වය අලුතෙන් සල්ලිකාරයන් වීම මගින් ප්‍රභූ තත්ත්වයක් හිමි කරගෙන සිටි දෙවැනි පන්තියේ ගොවිගම ප්‍රභූන්ගේ සේ ම ඊටත් වඩා කරාව ප්‍රභූ පන්තියේ දැඩි විරෝධයට හේතුවී තිබුණි.

කුලය හා දේශපාලනය

මුදලි පේරුවේ කෙනෙකු වෙනුවට එම තනතුරට තමන්ගේ කෙනෙකු පත් කරවා ගැනීමට කරාව හා දුරාව ප්‍රභූ පන්තිය 1889 සිටම උත්සාහ කළේය. ඒ උත්සාහය අසාර්ථක වූ පසු ඔවුහු පත් කරනු ලබන ක්‍රමය වෙනස් කරවා ගැනීම සඳහා ඔවුහු කෑගැසූහ. අවසානයේදී 1911දී උගත් ලාංකිකයෙකු සඳහා ආසනයක් ඇති කොට සිය නියෝජිතයා සීමිත ඡන්දයකින් තෝරා පත් කරන ක්‍රමයක් ඇති කරන ලදි. එම තනතුරට කරාව කුලයේ නියෝජිතයකු පත්වීම වැළැක්වීම සඳහා ඉන්දියාවේ විශ්‍රාම සුවයෙන් කල් ගෙවමින් සිටි පොන්නම්බලම් රාමනාදන් තරග බිමට ගැනීම සඳහා ඔහු ලංකාවට කැන්දාගෙන ආවේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ පියාගේ සහෝදරයකු වූ හෙක්ටර් ජයවර්ධනය. රනිල් වික්‍රමසිංහ මහතා නියෝජනය කරන ඥාති පරපුර ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ වන ආරම්භක අවස්ථාව එයයි. එම මැතිවරණය ලංකාවේ පැවති පළමු මැතිවරණය ලෙස සැලකිය හැකි අතර, පහතරට මුදලි පේරුව පමණක් නොව අලුතෙන් සල්ලිකාරයන් බවට පත්වූ දෙවැනි පන්තියේ ගොවිගම ප්‍රභූ පන්තිය ද කරාව කුලයෙන් තරග කළ දොස්තර මාකස් ප්‍රනාන්දු පරාජය කිරීම සඳහා එක පොදියට පොන්නම්බලම් රාමනාදන්ට ඡන්දය දුන්නේය. කේ.එම්. ද සිල්වා සඳහන් කර තිබෙන ආකාරයට උපතින් ඔවුන්ට උරුම වූ අන්ධකාරයේම ඔවුන් කොටුකර තබන ලෙස රාමනාදන්ගේ ඡන්ද ව්‍යාපාරය මෙහෙයවූ හෙක්ටර් ජයවර්ධන ප්‍රසිද්ධ රැස්වීම්වලදී ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටියේය.

සිංහල-මුස්ලිම් කෝලහාලයේදී ව්‍යවස්ථාදායක සභාවේදී රාමනාදන් අත්අඩංගුවට ගෙන සිටි සිංහලයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කතා කරන විට පහතරට සිංහලයන්ගේ නියෝජිතයා වූ එස්.සී. ඔබේසේකර (එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ මවගේ පියා) අත්අඩංගුවට ගෙන සිටි සිංහල බෞද්ධ නායකයන් හැඳින්වූයේ අනුකම්පා නොකළ යුතු තක්කඩි පිරිසක් ලෙසය.

අත්අඩංගුවට ගනු ලැබූ සිංහල නායකයන් මුදා ගැනීම සඳහා දියත් කෙරුණු වැඩපිළිවෙළ වෙනුවෙන් බර පැන උසුලන ලද්දේ එෆ්.ආර්. සේනානායක විසිනි. ඊ.ඩබ්ලිව්. පෙරේරාගේ එංගලන්ත ගමනට වියදම් කරන ලද්දේ ඔහු විසිනි. දේශපාලන ප්‍රතිසංස්කරණ දිනා ගැනීම සඳහා සංවිධානාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාවට නැගීමේ අවශ්‍යතාව නව ප්‍රභූ පන්තියට තේරුම් කරදීම සඳහා පොන්නම්බලම් අරුණාචලම් දේශපාලන කරළියට ගෙනාවේ ඩී.ආර්. විජේවර්ධන විසිනි. ලංකා ජාතික සංගමය නමින් දේශපාලන ප්‍රතිසංස්කරණ දිනා ගැනීම සඳහා වන දේශපාලන ව්‍යාපාරයක් ඇරඹුණේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

දේශපාලන ප්‍රතිසංස්කරණ දිනා ගැනීම සඳහා ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා එෆ්.ආර්. සේනානායක හා ඩී.ආර්. විජේවර්ධන වැනි පුද්ගලයන් අතින් පුරෝගාමී කාර්ය භාරයක් ඉටුවූ බව සැබෑවකි. එහෙත් ඔවුන් විසින් ආරම්භ කළ එම ව්‍යාපාරයට එහි උපතේ සිටම බරපතළ සීමා තිබුණි. එය මහත්මා ගාන්ධි මෙන් නිදහස මහජන අරගලයක් මගින් දිනාගත යුතු දෙයක් ලෙස නොසැලකීය. ඒ වෙනුවට බ්‍රිතාන්‍යයන්ට පක්ෂපාත හා කීකරුවීම මගින් යාප්පුවෙන් හා ආයාචනා කරන පිළිවෙතක් මගින් ලබාගත යුතු දෙයක් ලෙස සැලකීය. එය වර්ගය, කුලය, ආගම මත භේදබින්න වී සිටි ජනතාව ඔවුන් අතර පැවති වෙනස්කම් තුනී කරමින් ශක්තිමත් නව ජාතියක් ගොඩ නගන ව්‍යාපාරයක් නොවීය. ඒ වෙනුවට ඒ සියලු දෙනා මතුපිටින් පමණක් එකට එකතු කරන ව්‍යාපාරයක් විය.

ඩී.එස්. සේනානායක

නිදහස දිනාගැනීම සඳහා දියත් කෙරුණු දියාරු දේශපාලන අරගලය තුළ දේශපාලන ප්‍රමුඛතාව සඳහා වන පවුල් පොරයක් ද විය. තමාගේ පරපුරේ කෙනෙකු වූ ඩී.එස්. සේනානායක ප්‍රමුඛයා බවට පත් කිරීම සඳහා විජේවර්ධනවරු, ජයවර්ධනවරු, කොතලාවලවරු එකට එකතු වී බලවත් කල්ලියක් ලෙස ක්‍රියා කළහ. ඒ සඳහා ඔවුහු වඩා කැපී පෙනෙන හා ජ්‍යෙෂ්ඨ තත්ත්වයක් හිමි කරගෙන සිටි ඊ.ඩබ්. පෙරේරා, ඩී.බී. ජයතිලක, සී.ඩබ්.ඩබ්. කන්නංගර වැනි නායකයින් දේශපාලන තලයෙන් පිටමං කිරීම සඳහා යටි උගුල් අදින ප්‍රතිපත්තියක් පවත්වාගෙන ගියහ. ඩී.එස්. සේනානායක ප්‍රමුඛයා බවට පත් කිරීමේ අරමුණ ජයගැනීම සඳහා ඩී.ආර්. විජේවර්ධන තමාට තිබුණු පුවත්පත් බලය ද උපරිම ලෙස ප්‍රයෝජනයට ගත්තේය.

ඩී.එස්. සේනානායක උගතෙක් නොවීය. එහෙත් පූර්ණ නිදහස වෙනුවට ඩොමීනියන් තත්ත්වයේ නිදහසක් දිනා ගන්නා අතර, ඒ ක්‍රියාවලිය තුළ රටේ නායකයා වීම සඳහා ඉතා සියුම් වැඩපිළිවෙලක් ඔහුට තිබුණේය. ඒ වැඩපිළිවෙළට ආධාර කරන බලවත් පවුල් කල්ලියක් ද ඔහුට සිටියේය.

ඩොමීනියන් තත්ත්වයේ නිදහසක් හා නව ආණ්ඩු ක්‍රමයක් සඳහා ඔහු 1993දී වයිට් හෝල් අධිකාරිය වෙත යවන ලද ව්‍යවස්ථා කෙටුම්පත ඇමති මණ්ඩලය සමග සාකච්ඡා කොට තනන ලද්දක් නොවීය. වයිට් හෝල් අධිකාරියේ වුවමනාවන් ද සැලකිල්ලට ගනිමින් අයිවර් ජෙනින්ස් විසින් සකස් කර දෙන ලද කෙටුම්පතක් විය. කෙටුම්පත සකස් කිරීමෙන් පසුත් ජනතාව අතර තබා ඇමති මණ්ඩල සාමාජිකයන් අතරවත් සාකච්ඡාවට ලක් නොකෙරිණ.

වයිට් හෝල් අධිකාරිය වෙත තමා විසින් ව්‍යවස්ථා කෙටුම්පතක් යවා තිබියදී අවශ්‍ය ප්‍රතිසංස්කරණ සොයා බලා නිර්දේශ කිරීම පිණිස වයිට් හෝල් අධිකාරිය සෝල්බරි කොමිෂන් සභාව ලංකාවට එවීම ඩී.එස්. සේනානායකගේ විරෝධයට හේතුවිය. ඇමති මණ්ඩලය ද කොමිසම වර්ජනය කරන්නට තීරණය කළේය.

එහෙත් ඩී.ඇස්. සේනානායක කොමිසම ප්‍රසිද්ධියේ වර්ජනය කරන අතර, කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන්ට ප්‍රීතිමත් නිවාඩුවක් සහතික කිරීම සඳහා රහසේ නිර්ලෝභීව මුදල් වියදම් කළේය. කොමිෂමේ කටයුතු බලාගැනීමේ වගකීම පවරා තිබුණේ ඔලිවර් ගුණතිලකටය. ඔලිවර් ගුණතිලක තමන් වෙත පවරන ලද වගකීම කොතරම් ශූර ලෙස ඉටු කිරීමට සමත්වී ද කිවහොත් ඔහු කොමසාරිස්වරුන්ට ප්‍රීතිමත් හා සැපවත් ජීවිතයක් සහතික කිරීම පිණිස ක්‍රියා කරන අතර, කොමිසමේ සුදු ජාතික ලේකම්වරිය සිය පෙම්වතිය බවට පත්කර ගැනීමට ද සමත්විය. අවසානයේ ඩී.එස්. සේනානායක ඔලිවර් ගුණතිලක මගින් කොමිසම අනියම් ලෙස පාලනය කළේය. අවසානයේදී කොමසාරිස්වරුන් ක්‍රියා කළේ ද ඩී.එස්.ගේ වුවමනාවන්ට ගැලපෙන ලෙසය.

නිදහසට

කේවල් කිරීම

සෝල්බරි ආණ්ඩු ක්‍රමය යටතේ පැවැත්වෙන පළමු පාර්ලිමේන්තු මැතිවරණයට පෙර නිදහස පිළිබඳ ප්‍රසිද්ධ ප්‍රතිඥාවක් ලබාගැනීමට ඩී.එස්.ට අවශ්‍ය විය. එවැනි ප්‍රතිඥාවක් ඇත්නම් නිදහස දිනා ගත් වීරයා ලෙස පළමු පාර්ලිමේන්තු මැතිවරණයට සාර්ථකව මුහුණ දිය හැකි බව ඔහු දැන සිටියේය.

ඔහු එම ගනුදෙනුව බේරාගැනීම සඳහා වයිට් හෝල් අධිකාරිය සමග කෙරෙන සාකච්ඡාවලට යවන ලද්දේ ද ඔලිවර් ගුණතිලකය. බ්‍රිතාන්‍යයට පක්ෂපාත ඩී.එස්. සේනානායකගේ වාසියට හේතුවන ලෙස නිදහස ප්‍රදානය නොකරයි නම් ඒ ගනුදෙනුව දැඩි බ්‍රිතාන්‍ය විරෝධී ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියා කරන සමසමාජ පක්ෂය සමග තරග කරන්නට සිදුවනු ඇති බවට ඔහු වයිට් හෝල් අධිකාරියට අනතුරු ඇඟවීය. ඔහුගේ සටකපට තර්කය වයිට් හෝල් අධිකාරිය පිළිගත් අතර, ප්‍රසිද්ධ ප්‍රතිඥාවක් ද ප්‍රකාශයට පත්විය.

ව්‍යවස්ථාව රාජ්‍ය මන්ත්‍රණ සභාවේ තුනෙන් දෙකක ඡන්දයකින් අනුමත වීම අත්‍යවශ්‍ය කොන්දේසියක් වී තිබුණි. ශ්‍රී ලාංකික ජාතියක් පිළිබඳ සූත්‍රයක් කරළියට ගනිමින් වෙනස්කම් නොකරන බවට සුළු ජාතික පක්ෂවලට යළි යළි සහතික වීමට ඩී.එස්.ට සිදුවිය. සෝල්බරි කොමිසම ලංකාවට පැමිණෙන අවස්ථාව වන විටත් ජාතීන් අතර පොදු එකඟතාවක් නොතිබුණි. පොන්නම්බලම් තමන්ගේ පණහට පණහේ ඉල්ලීම ඉදිරිපත් කර තිබුණේ ද ඒ අවස්ථාවේදීය. මුස්ලිම් නියෝජිතයින් සිටියේ ද සැකයෙනි. ගොවිගම නොවන පීඩිත කුල කණ්ඩායම් ගණනාවක නියෝජිතයෝ ඇතිවිය හැකි ගොවිගම ආධිපත්‍යයක් ගැන කොමිසම ඉදිරියේ බිය පළ කළහ.

පැවති මෙම අවුල්සහගත තත්ත්වය ඉදිරියේ ව්‍යවස්ථාවට තුනෙන් දෙකක ඡන්දයකින් අනුමත කරගැනීම සඳහා සුළු ජාතීන්ගේ සහාය අත්‍යවශ්‍ය විය. ඩී.එස්. එහිදී ඔවුන්ට විවිධ සහතික දුන්නේය. තනි තනිව හමුවී විවිධ පොරොන්දු දුන්නේය. ඒ පිළිබඳ කදිම විස්තරයක් අමිර්තලිංගම්ගේ චරිතාපදානයට ඇතුළත්ය. අවසානයේ ව්‍යවස්ථාව තුනෙන් දෙකක ඡන්දයකින් අනුමත කරවා ගනිමින්, පළමු පාර්ලිමේන්තු මැතිවරණයෙන් කැපී පෙනෙන ලෙස නොවූවත් එක්තරා ප්‍රමාණයක ජයග්‍රහණයක් හිමිකර ගනිමින් රටේ පළමු අගමැතිවීමට ඩී.එස්. සේනානායක සමත් වුවත් ශ්‍රී ලාංකික ජාතියක් සඳහා ශක්තිමත් අත්තිවාරමක් ගොඩ නැගීමට ඔහු සමත් නොවීය. වර්ගභේදය ආගම් භේදය හා කුල භේදය අහෝසි කොට ශ්‍රී ලාංකික ජාතියක් ඇති කිරීමේ ලස්සන පොරොන්දුවලින් හා චාටු කතාවලින් ඇති කළ හැකි දෙයක් නොවේ. රනිල් වික්‍රමසිංහගේ පරපුරේ අය ඒ මාලිගාව ඉදි කළේ වැල්ලේය. එය බලා සිටියදී කඩා වැටෙන මාලිගාවක් බවට පත්වූයේ ඔවුන් එය ශක්තිමත් අත්තිවාරමක් මත ඉදිකිරීමට අසමත් වූ නිසාය. වැල්ලේ මාලිගා ඉදිකිරීමේ පුරුද්දෙන් අප අත් මිදිය යුතුය. රනිල් වික්‍රමසිංහගේ පරපුරේ පැරැන්නන් අපට වැදගත් වනුයේ ඔවුන්ගේ අභව්‍යවාචක අත්දැකීම්වලින් අපට උගත හැකි වැදගත් පාඩම් තිබෙන නිසාය. •