බී.එච්. ෆාමර්, ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී තිබෙන අර්බුදය කල්තියා දුටු සමාජ විද්‍යා ඉසිවරයෙකු ලෙස සැලකිය හැකිය. අපගේ ඉපැරණි වාරි ශිෂ්ටාචාරය පිළිබඳවත්, රටේ ඉතිහාසය පිළිබඳවත්, ඉතිහාසයේ එන ජනප්‍රිය මිත්‍යා විශ්වාස සේ ම, වර්ගය, ආගම, කුලය හා භාෂාව යන සාධක ජනතාව අතර පවත්නා බෙදීම් වර්ධනය කිරීමෙහිලා බලපා තිබෙන ආකාරය පිළිබඳවත්, ඔහු කර තිබෙන විග්‍රහය විශිෂ්ටය. ලංකාව නැවත එකතු කිරීමට බැරි තරමට බෙදීගිය ජාතියක් බවට පත්ව ඇති බව ඔහු ලීවේ 1963 වර්ෂයේ තරම් ඈතකදීය. කුල වශයෙන්, වාර්ගික වශයෙන් හා ආගමික වශයෙන් පවත්නා බෙදීම් නැවත නැවතත් ලංකාවේ අර්බුද හා අවුල් ඇති කිරීමට හේතුවනු ඇති බවත්, විටෙක ඒවා ඉබේ ද, තවත් විටෙක දිළිඳු ජනතාවට මුහුණ පාන්නට සිදුවන දු#ඛිත තත්ත්වයන්ගෙන් ඔවුන්ගේ සිත් අන් අතකට යොමු කිරීම සඳහා දේශපාලකයින් විසින් එසේ කරනු ඇති බවත් ඔහු කීවේය. ලංකාවේ ජාතී භේදවාදී ප්රශ්නයේ සංකීර්ණභාවය අළලා බී.එච්. ෆාමර් විසින් Ceylon-A ෘසඩසාැා භ්එසදබ නමින් ලියන ලද පිටු 74 එම පොත් පිංචට පෙරවදන ලියා තිබුණේ සෝල්බරි ව්‍යවස්ථාවේ නිර්මාතෘ සෝල්බරි සාමිවරයාය. ඔහුගේ එම පෙරවදන සෝල්බරි ව්‍යවස්ථාව පිළිබඳව එහි නිර්මාතෘ කරන ස්වයං විවේචනයක් ලෙස සැලකිය හැකිය. අවුල් වියවුල්වලින් ගහන ශතවර්ෂ ගණනාවක ඉතිහාසය නූතන ලාංකිකයන් කෙරෙහි අවාසනාවන්ත ලෙස බලපා තිබෙන තරම විග්රහ කරන මෙම පොත් පිංච තමන් ඇතුළු සෝල්බරි කොමිසමේ කොමසාරිස්වරුන්ට කියවන්නට ලැබුණේ නම් ලංකාවේ ජාතිභේදවාදී ප්රශ්නය විසඳා ගත හැකි ප්‍රශ්නයක් වේ යැයි කොමසාරිස්වරු විශ්වාස නොකරන්නට ඉඩ තිබුණු බව ඔහු ප්‍රකාශ කරයි. සෝල්බරි ව්‍යවස්ථාවේ නිර්මාතෘ මෙම පෙරවදන ලියන අවස්ථාව වන විට සෝල්බරි ව්‍යවස්ථාව අවලංගු කර නොතිබුණ ද ව්‍යවස්ථාවේ නිර්මාතෘ එම ව්‍යවස්ථාවේ අසාර්ථකභාවය මෙම පෙරවදනින් පිළිගෙන තිබුණි.
කාලයකට පසුව නැවත බී.එච්. ෆාමර් මතක් වූයේ රෝසි සේනානායක මුල් කොටගෙන රනිල් වික්‍රමසිංහට එරෙහිව අලවා තිබෙන අශෝභන පෝස්ටර් ව්‍යාපාරය ආශ්රයෙන් මතුවී තිබෙන කථිකාව නිසාය. ශ්‍රී ලංකාවේ කිසිවෙක් ආරක්ෂිත නැත. ඕනෑම පුද්ගලයෙක් අවලංගු කිරීම සඳහා වර්ගය, කුලය, ආගම යන සාධක තුනෙන් එකක් මාරක ආයුධයක් ලෙස යොදා ගත හැකිය. මීට කලකට පෙර සමාජවාදී විමල් වීරවංශ රෝසි සේනානායක හැඳින්වූයේ ලංසි පැපොල් ලෙසය. ලිබරල් ලෝක දෘෂ්ටිය වෙනුවෙන් පෙනී සිටින පුවත්පතක් විමල් වීරවංශට පහරදීමට කුලය සාධකයක් ලෙස යොදා ගත්තේය. එම පුවත්පත විමල් වීරවංශගේ පියාගේ වාසගම ගැන සේ ම රැකියාව ගැන ද කතා කර තිබුණි. ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක සහභාගි වූ රූපවාහිනී සාකච්ඡාවකදී එම සංවාදයට එජාපයෙන් සහභාගි වූ මන්ත්‍රීවරයා ඔහු අව්‍යාජ රත්නායක කෙනෙකු නොවන බව ප්‍රකාශ කළේය. 1996 හෝ 1997දී පමණ අත්තනගල්ලේ පොදු සුසාන භූමියේ භූමිදාන කළ පුද්ගලයකුගේ මළ සිරුරක් කිසියම් පිරිසක් රාත්‍රී කාලයේ වළලා තිබූ වළ හාරා මළමිණිය පිටතට ගෙන සුසාන භූමියෙන් පිටතට විසිකර තිබුණු අවස්ථාවක් ගැන මට ප්‍රදේශයේ ප්‍රභූ පුද්ගලයෙකුගෙන් අසන්නට ලැබුණි.
භේදවලින් තොර එක්සත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් පෙනී සිටි ඩී.ඇස්. සේනානායක ඒ වන විටත් ජාතික වීරවරයෙකු ලෙස සැලකුම් ලබමින් සිටි ඊ.ඩබ්. පෙරේරා දේශපාලන ලෝකයෙන් පිටමං කිරීම සඳහා ඔහුට එරෙහිව ආගම ආයුධයක් ලෙස පාවිච්චි කළේය. ඩී.ඇස්. සිය පුත් ඩඩ්ලි සේනානායක සමග තරග කිරීමට බත්ගම නියෝජිතයකු ඉදිරිපත්වීම කෝපයට හේතුවී ඩඩ්ලි සමග තරග බිමට පැමිණි අශෝක කරුණාරත්නගේ නිවසට සිය ආධාරකරුවන් ලවා අසූචිවලින් පහර දුන් ආකාරය පිළිබඳ සඳහනක් ජැන්සි ජිගින්ස්ගේ Caste ්බා ේපසකහ සබ එයැ චදකසඑසජි දෙ එයැ ීසබය්කැිැ 1947-1976, යන කෘතියට ඇතුළත්ය. එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රී ලංකාව බිහිකළ විශිෂ්ට ගණයේ විදුලි ඉංජිනේරුවා ලෙස සැලකිය හැකි ලක්ෂපාන විදුලි බලාගාරයේ නිර්මාතෘ ඩී.ජේ. විමලසුරේන්ද්‍ර පරාජය කොට ජයවීර කුරුප්පු ඒ තැනට ගැනීමට අවශ්‍ය වූ විට විමලසුරේන්ද්‍රට එරෙහිව කුලභේදය ආයුධයක් කොට ගත්තේය.
ආරම්භයේදී ජාතිවාදී ප්‍රශ්නයක් ඇති නොවූ බවට ගෙනහැර දක්වන ජනප්‍රියම නිදර්ශනය වී ඇත්තේ පොන්නම්බලම් රාමනාදන්ය. උගත් ලාංකික නියෝජිතයකු තෝරා ගැනීම සඳහා 1911දී පැවති පළමු ඡන්දයේදී රාමනාදන්ගේ දෙමළකම නොසලකා සිංහලයින් ඔහුට එක පොදියට ඡන්දය දුන් බව කියනු ලැබේ. එහෙත් ඇත්තටම එම තරගයේදී පොන්නම්බලම් රාමනාදන්ට ජයගත හැකිවූයේ එම තරගයේදී වර්ගභේදය වෙනුවට කුලභේදය බලපෑ නිසාය. ඡන්ද බලය කෙරෙහි අධ්‍යාපනය හා දේපළ බලපෑවේය. කරාව කුලයෙන් තරග බිමට ආවේ කීර්තිමත් වෛද්‍යවරයෙකු වූ මාකස් ප්‍රනාන්දුය. තම කුලයේ නියෝජිතයකු තරග බිමට ගෙන කරාව කුලයේ නියෝජිතයා පරාජය කළ නොහැකි බව තේරුම් ගත් ගොවිගම ප්‍රභූ පන්තිය ඉන්දියාවේ විශ්‍රාම සුවයෙන් කල් ගත කළ පොන්නම්බලම් රාමනාදන් තරග බිමට ගෙනාවේය. උගත් ලාංකික නියෝජිතයා තෝරා ගැනීම සඳහා පැවති එම තරගය එළිපිට කෙරෙන කුල තරගයක් විය. පොන්නම්බලම් රාමනාදන් තරග බිමට කැන්දාගෙන ආ හෙක්ටර් ජයවර්ධන (ජේ.ආර්.ගේ බාප්පා) උපතින්ම ඔවුන්ට හිමි අන්ධකාරයේ ඔවුන් තැබිය යුතු බව ප්‍රසිද්ධ වේදිකාවල කී බව හොවාඩ් රිගින්ස් හා කේ.එම්. සිල්වාගේ ජේ.ආර්. චරිතාපදානයේ සඳහන් වේ.
මා විසින් ලියා ඇති ““පන්සලේ විප්ලවය”” නමැති කෘතියේ විග්රහ කර ඇති පරිදි බෞද්ධ පුනරුද ව්‍යාපාරයට ඇමරිකන්කාරයෙකු වූ හෙන්රි ස්ටීල් ඕල්කට් සිය නායකයා කරගැනීමට හේතුවූයේ ක්‍රිස්තියානි ආගම පිළිබඳ ප්රශ්නයේදී බෞද්ධ නායකයන් අතර පොදු බවක් තිබුණද, තමන් අතරින් කෙනෙකු නායකයකු ලෙස තෝරා ගැනීමට බැරි තරමට බෞද්ධ නායකයින් කුලභේදය මත භේදබින්න වී සිටි නිසාය. එකම අවස්ථාවක රට තුළ ආගම් වාදයක් සේ ම කුලවාදයක් ද තිබුණි. ක්‍රිස්තියානි විරෝධී ආගම්වාදයේදී එක පෙරමුණක සිටි බෞද්ධ නායකයින් කුලවාදයේදී කුලය අනුව බෙදී නිර්නාමිකව පළ කළ පොත් හා පත්‍රිකා මගින් ප්රතිපක්ෂ නින්දාවට හා අපහාසයට ලක් කළේය. හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි ගොවිගම කුලය වෙනුවෙන් නිර්නාමිකව ක්‍රියා කළ නායකයා වන විට වැලිගම ශ්‍රී සුමංගල හිමි කරාව කුලය වෙනුවෙන් නිර්නාමිකව ක්‍රියා කළ නායකයා විය. එකල සිංහල ගිහි පැවිදි ප්‍රභූ පන්තිය අතර පැවති කුල බෙදීම්වල තරම හා එකිනෙක කණ්ඩායම් කෙරෙහි පැවති වෛරයේ හා පිළිකුලේ තරම තේරුම් ගැනීමට නම් කුලවාදයේදී පළවූ පොත් හා පත්‍රිකා පිළිබඳව කෞතුකාගාරයේ ඇති එච්.සී. බෙල්ගේ එකතුව හා ඊට ඔහු යොදා ඇති සටහන් කියවිය යුතුය. (ඊැකක Collection. CM 24F)
මහත්මා ගාන්ධි ලංකාවට පැමිණ කොළඹදී ලංකා ජාතික සංගම් නායකයින් අමතා කරන ලද කතාවේදී (මෙම කතාවට ඇහුම්කන් දෙන්නට පැමිණි අය කව්දැයි මම නොදනිමි. එහෙත් රාමනාදන් සොහොයුරන් දෙදෙනාගේ සිට ඩී.එස්. සේනානායක, එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක, සී.ඩබ්.ඩබ්. කන්නන්ගර, ඒ.ඊ. ගුණසිංහ, වික්ටර් කොරයා, ජේ.ආර්. ජයවර්ධන වැනි වැදගත් නායක පිරිසක් එහි සිටින්නට ඇතැයි මම විශ්වාස කරමි.) වර්තමානයේ අපි මුහුණ දී තිබෙන සංකීර්ණ අර්බුදය කෙරෙහි බලපා තිබෙන ඉතා වැදගත් සාධකයක් වෙත අවධානය යොමු කළේය. ඉන්දියාවේ ස්පර්ශ කළ නොහැකි ජනතාවක් සිටින බව කියමින් ලංකාවේ ද රොඩීන් ලෙස හඳුන්වන එවැනි ජනතාවක් සිටින බව කීවේය. ඔබලාට සැබෑ නිදහසක් අවශ්‍ය නම්, ඉංග්‍රීසීන්ගෙන් නිදහස් වීමේ අවශ්‍යතාව තරමටම එම මිනිසුන්ට නිදහස දීම (සමානතාව ලබාදීම) වැදගත් කොට සලකන ලෙස ඉල්ලා සිටියේය. ගාන්ධි සංකේතාත්මක ස්වරයකින් කරන ලද එම කතාවේ සැබෑ අරුත තේරුම් ගැනීමට ලංකා ජාතික සංගම් නායකයින් සමත්වන්නට ඇතැයි මම නොසිතමි. ඔහු ඒ මගින් කියන්නට උත්සාහ කළේ ඉංග්‍රීසීන්ගෙන් නිදහස් වන තරම්ම ජාතිය තුළ පවත්නා උස් පහත් බෙදීම් තුනී කරගැනීම ජාතියක් ගොඩ නැගීමේ කාර්යේදී අත්‍යවශ්‍ය කොන්දේසියක් වන බවය. සිංහල හා දෙමළ ජාතියේ සියලුදෙනා එක සමාන නැත. ඔවුන් අතර උස් පහත් භේද පවතී. ආගම් වශයෙන් ගත්ත ද ඒ භේදය බෞද්ධ, හින්දු, කතෝලික යන ආගම් තුන තුළ ද පවතී. සිංහලයන් හෝ දමිළයන් ලෙස සැලකෙන සියලු දෙනා එක සමාන නැතිවා සේ ම, බෞද්ධයන් හෝ හින්දුන් ලෙස සැලකෙන සියලු දෙනා ද එක සමාන නැත. මේ නිසා ඇති අසහනය මුදාහැරෙමින් තිබෙන්නේ ඍජු ලෙස නොව අනියම් ලෙසය. සිංහල සමාජයේ ආන්තික තත්ත්වයක සිටින සමාජ කණ්ඩායම් නිසි පිළිගැනීමක් ලබා ගැනීම සඳහා ඍජු අරගල කරනවා වෙනුවට දෙමළ විරෝධී සටන්කාමී ස්වරූපයක් පෙන්නුම් කිරීම මගින් එම සමාජය තුළ පිළිගැනීමක් ලබාගැනීමට උත්සාහ කරති. මේ ලක්ෂණය දෙමළ සමාජය තුළ සේ ම බෞද්ධ හා හින්දු ආගමික සමාජ තුළ ද දැකිය හැකිය. එම තත්ත්වය ශ්‍රී ලංකාවේ ජාතිභේදවාදී අර්බුදය උග්‍ර කිරීමට හා සංකීර්ණ කිරීමට හේතුවී තිබේ.
බී.එච්. ෆාමර් නිවැරදි ලෙස විග්රහ කර ඇති පරිදි පසුකලකදී සිංහලයන් බවට පත්වූ ජන කණ්ඩායම්වලට ද පසුකලකදී බෞද්ධයන් බවට පත්වූ බෞද්ධයන් ද තමන් වඩා හොඳ සිංහලයින් හෝ බෞද්ධයින් ලෙස පෙනී සිටීමට උත්සාහ කරති. මේ ලක්ෂණ ද ලංකාවේ ජාතිභේදවාදී අර්බුදය උග්‍ර කරන හා සංකීර්ණ කරන සාධකයක් ලෙස ක්‍රියා කරමින් තිබේ.
තමුසෙ කව්ද යන භයානක ප්රශ්නය ඕනෑම කෙනෙකුට එරෙහිව මතු කළ හැකිය. කව්ද යන ප්‍රශ්නයෙන් අදහස් වන්නේ වර්ගය, ආගම හා කුලයයි. වර්ගය සිංහල වුවත් ආගම බෞද්ධ නොවේ නම් එය ප්‍රශ්නයක් බවට පත්විය හැකිය. වර්ගය සිංහල වී ආගම බෞද්ධ වී කුලය ගොවිගම නොවේ නම් එය ද ප්‍රශ්නයක් බවට පත්විය හැකිය. වරක් ගුණදාස අමරසේකර හා ආචාර්ය නලින් ද සිල්වා සමග කරන ලද සුහද සාකච්ඡාවකදී නලින්ගේ ප්‍රධාන සංරචකය පිළිබඳ න්‍යාය සාකච්ඡාවට ලක්විය. එම තර්කය වර්ගය හා ආගම පිළිබඳ ඝන දෙකට පමණක් සීමා කරන්නේ ඇයිදැයි මම ප්‍රශ්න කළෙමි. ලොකු ගොඩවල් එකට ගන්නේ නම් ඊට කුලය ද එකතු කොට සිංහල, බෞද්ධ, ගොවිගම යන ඝන තුනම ගත හැකි නොවේදැයි මා ප්‍රශ්න කළ විට එය නලින්ගේ සංතෝෂයට හේතු නොවූවත් ගුණදාස අමරසේකර කොක්හඬලා සිනාසුණේය. ලොකු ගොඩවල් තෝරා එකට ගොඩ ගසන ක්‍රමයේදී නලින්ට ඒ ගොඩේ සිටිය හැක්කේ වර්ගය හා ආගම යන ඝන දෙක එකට ගන්නා ක්‍රමයකදී පමණය. එයට කුලය එකතු කළ විට නලින් ඉන් බැහැර කරයි. ඒ නිසා එවැනි ක්‍රමයක් ගැන සංතෝෂවීමේ හැකියාවක් නලින්ට නොතිබුණද එම ගණ තුනේදීම තමන් ඉන් බැහැර නොවන නිසා එම ගණන් ගැනීම අමරසේකරගේ සංතෝෂයට හේතුවිය.
නීතිඥ එස්.එල්. ගුණසේකර, තීරණාත්මක මොහොතකදී මෙම සාධක තුනෙන් එකක් ගෙන පුද්ගලයකු නිෂේධ කළ අවස්ථාවක් පිළිබඳව දැක්විය හැකි හොඳම නිදර්ශනයකි. ඔහු අප දන්නා කාලයේ හැමදාමත් දැඩි සිංහලවාදියෙකු විය. ඒ සමග ඔහු ඉතාමත් අවංක හා ප්‍රතිපත්තිගරුක පුද්ගලයෙකු ලෙස ද සැලකිය හැකිය. වෙනත් සිංහලවාදීන් මෙන් නොව, ඔහු සිංහලයන් ගැන කරන කතාබහ කොළඹට සීමා නොකොට මායිම් ගම්මානවල ජීවත් වන සිංහලයින්ගේ ජීවිත නගා සිටුවීමට තමන්ට කළ හැකි හැමදෙයක්ම කළේය. අවසානයේදී සිංහල උරුමය ව්‍යාපාරය ගොඩ නැගීමට ඔහු ද දායක වූ අතර, 2001 පාර්ලිමේන්තු මැතිවරණයේදී එම පක්ෂයට හිමිවූ එකම පාර්ලිමේන්තු ආසනය සඳහා ඔහු පත් කිරීමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළේය. උත්පත්තියෙන් හිමි කරගත් ආගම මුල් කොටගෙන තමුසෙ කව්ද යන මාරාන්තික ප්රශ්නය පක්ෂ අභ්‍යන්තරයේ මතුවූයේ ඒ අවස්ථාවේදීය. ඊ.ඩබ්ලිව්. පෙරේරා නිෂේධ කෙරුණු ආකාරයටම ඔහු ද එක ඇසිල්ලකින් නිශේධ කෙරුණි. තමන් ද මහ ජාතිය තුළ සිටින සුළු ජාතිකයෙකු බව ඔහුට තේරුම් යන්නට ඇත්තේ එදාය.
දේශපාලනයේදී බෞද්ධයකු ලෙස පිළිගැනෙනුයේ බෞද්ධ ගුණධර්ම පිළිපදින පුද්ගලයකු නොව, බෞද්ධ පියෙකුට දාව බෞද්ධ මවකගෙන් උපන් පුද්ගලයෙකු හෝ බෞද්ධාගම ප්‍රසිද්ධියේ වැළඳ ගත් අබෞද්ධයකු පමණය. ජාතියේ පියා ලෙස සැලකෙන ඩී.එස්. සේනානායකගේ බිරිඳගේ ආගම දේශපාලන සතුරන්ගේ ඉලක්කයක් බවට පත්විය. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට ද සිය පියාගේ ආගම පිළිබඳ ප්‍රශ්නයක් තිබූ අතර, මවගේ ආගමට බර තබා ක්‍රියා කරන ප්‍රතිපත්තියක් මගින් අවුලක් ඇතිවීම වළකා ගැනීමට උත්සාහ කළේය. බණ්ඩාරනායක අබෞද්ධයකුව සිට බුද්ධාගම ප්‍රසිද්ධියේ වැළඳ ගත් පුද්ගලයෙකු නිසා මවගේ හා පියාගේ ආගම වැදගත් ප්‍රශ්නයක් බවට පත්වූයේ නැත. රෝහණ විජේවීර පවා පිරිසිදු බෞද්ධයකු ලෙස සැලකිය නොහැකිය. ඔහු තෝරාගත් බිරිඳගේ ආගම කතෝලික වීම ඊට හේතුවයි. රනිල් වික්රමසිංහටද පියාගේ ආගම දේශපාලනයේදී ලොකු හිසරදයක් වී තිබේ. කුරුණෑගල බිෂොප් ලක්ෂ්මන් වික්‍රමසිංහ පියාගේ සහෝදරයා බව ජනතාව දනී. ඒ නිසා තමා හොඳ බෞද්ධයකු බව පෙන්නුම් කිරීම සඳහා බෞද්ධ පොත්පත් ලියන්නට සේම වැඩි වැඩියෙන් බුදුන් වහන්සේ ගැන කතා කිරීමට ද ඔහුට සිදුවී තිබේ. මේ ගැටලුවට මහින්ද රාජපක්ෂ මහතාට ද මුහුණ දෙන්නට සිදුවිය හැකිය. බෞද්ධයින්ටත් වඩා පසුකලකදී බෞද්ධයින් බවට පත්වූ අයට හා මිශ්‍ර බෞද්ධයින්ට වඩා හොඳ බෞද්ධයින් ලෙස පෙනී සිටීමට බල කරන සමාජ වටපිටාවක් දේශපාලනය තුළ පවතී. එම තත්ත්වය රටේ ජාතිභේදවාදී ආරවුල වඩ වඩාත් සංකීර්ණ කිරීමට හා තීව්ර කිරීමට හේතුවී තිබේ.